මුලින් පොළොව මත ඇවිද ගෙන ගිය සතා? ති‍්‍රමාන තාක්ෂණය යොදා කරන පර්යේෂණයක්!


මිහිමත ඇවිද ගිය මුල් ම සත්වයා දිය රැලි අතරින් අලංකාර ලෙස මතු වී ආ අයෙක් නෙවෙයි. දැනට හඳුනා ගෙන ඇති ආකාරය අනුව ඌ ඉක්තියෝස්ටෙගා (Ichthyostega) ලෙසින් නම් කර තියෙනවා. ඌ ගොඩබිම බඩගා ඇත්තේ ඉතා අමාරුවෙන්.

කලින් විද්‍යාඥයන් විශ්වාස කළේ ඌ ඇවිද යන්නට ඇත්තේ සැලමන්දරාවකු යන ආකාරයට කියායි. දැන් අපට පරිගණකය උපයෝගී කර ගෙන ඒ සතාගේ ති‍්‍රමාන රූපයක් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව නිසා ඌ මුල්වරට ගොඩබිම ඇවිදින්නට ඇත්තේ කටුස්සකුට වඩා මඩකරියකු ආකාරයෙන් යැයි සිතා ගත හැකිව තියෙනවා.

මුලින් ම ගොඩබිම බඩගා ගිය සතා මඩකරියකුට සමානව ඇවිද්ද බව පැහැදිලියි.

මේ සතා ජීවත්ව සිට ඇත්තේ වසර මිලියන 360ත් 410ත් අතර කාලය තුළ, ඩෙවෝනියන් අවදියේයි. දැන් ගී‍්‍රන්ලන්තය පිහිටා ඇති ප‍්‍රදේශය එකල ගංවතුර පිටාර ගලන නිම්නයක්ව පවතින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මීටරයක් පමණ දිග සිරුරක් තිබූ ඌ සිවුපාවෙකු හෝ පෘෂ්ඨවංශිකයකු වන්නට ඇති. උගේ සිරුර මාළුවකුගේත් කිඹුලකුගේ සම්මිශ‍්‍රණයක් වන්නට ඇති. උගේ කඳට සවි ව තිබූ පාද හතර මගින් සිරුර බිම දිගේ කෙටි දුරක් ඇද ගෙන යා හැකි වුණා.

දැන් විද්‍යාඥයන් නිර්මාණය කරල තියෙනව, පළමු වතාවට, ඒ සත්වයාගේ ඇටසැකිල්ලේ ති‍්‍රමාන ආදර්ශයක් උගේ අත්පා චලන හැකියාව අධ්‍යයනය කිරීමට. කලින් කෙරුණු පර්යේෂණවලින් පෙන්වා දී තිබුණේ ඌ එහා මෙහා ගියේ බිම්පණුවකු හෝ සැලමන්දරාවකු හෝ වාගෙයි, කියලයි.

ලන්ඩනයේ රාජකීය පශු වෛද්‍ය ආයතනයේ ආචාර්ය ස්ටෙෆනි පියර්ස් කියන්නේ, ”මේ ආදි සිවුපාවුන් සමහර විට ඇවිදින්නට ඇත්තේ මඟුරන්, මඩකරියන් වැනි මාළු බිම ඇවිදිනව වගේ වෙන්න ඇති. එහි දී ඉදිරිගාත් උපයෝගී කර ගන්නට ඇත්තේ සිරුර ඉදිරියට හා ඉහළට ඔසවා තබා ගන්න කරු දෙකක් හැටියට වෙන්න ඇති.

”ආදි සිවුපාවුන් ඒ වන විටත් වැඩි කාලයක් ජලයේ ගත කරමින් සිටි නිසා බිම් දිවියට හුරුවීම සඳහා කරන ලද අරගලයේ දී එය ජය ගන්න මේ විදියේ චලන ඉරියව්වක් භාවිත කරන්න ඇති.”

;
මේ සතාට වරකට කෙටි දුරක් විතරයි බිමින් යා හැකි වුණේ. ඌ වැඩි කාලයක් ගත කරන්න ඇත්තේ ජලයේයි.

බොහොමයක් මාළුන් මෙන් නොව මේ මඩකරි ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් ගත කළේ ජලයෙන් පිටතයි. ඔවුන්ගේ ඇස් හිසේ ඉහළින් පිහිටා තිබීම නිසා ඔවුන්ට අවට හොඳින් දකින්න පුළුවන් වුණා. ඒ වගේ ම දුර තියා ම ගොදුරක් දැක ගන්න හෝ විලෝපිකයකු හඳුනා ගන්නත් හැකියාව තිබුණා.

ඔවුන්ගේ සවිමත් පේශීන් සහිත පා යුගල වරල්වලට සමාන වූ අතර ඒවායින් මඬේ බඩ ගා යන්නත් ඇතැම් විට ගස් නගින්නත් හැකි වුණා.

මේ මඩකරියන් ඝර්මකලාපීය අපි‍්‍රකාව, ආසියාව හා ඔස්ට‍්‍රලේෂියාව ආදි ප‍්‍රදේශවල ගංවතුර ගලා ගිය තෙත් බිම්වල නිතර ම දක්නට ලැබුණා. ඔවුන් ජලයෙන් ගොඩට විත් මැස්සන් වැනි කුඩා සතුන් හා කුඩා කක්කුට්ටන් වගේ ම ඇල්ගී ආදිය ආහාරයට ගත්තා. නැවත ජලයට ගියා.

මේ ඉක්තියෝස්ටෙගා ජීවත් වූ පරිසරය තෙත් හා වියළි වශයෙන් වරින් වර වෙනස් වෙමින් පැවති නිසා ඒ සතුන්ට විවෘත ජලයේ පිහිනා යාමටත්, වියළි බිමේ ඇවිද ගෙන යාමටත්, පහත් ජලයේ බඩගා යාමටත් හැකියාව තිබුණා.

ඉක්තියෝස්ටෙගා හා අනෙක් පැරණි සිවුපාවුන් (කොඳු ඇටය හා යුගල පාද ඇති සතුන්) මේ පරිසරයේ එහා මෙහා ගිය හැටි දැන ගැනීම ප‍්‍රයෝජනවත් වේවි, මුල් යුගයේ සිවුපාවුන් මුහුදෙන් ගොඩට විත් පරිණාමයට ලක් වූ අයුරු අවබෝධ කර ගැනීමට නම්.

ආචාර්ය පියර්ස් පැවසුවේ, ”අපි අවුරුදු තුනක් තිස්සේ වෙහෙසුණා, මේ අසීරු පොසිල ද්‍රව්‍යවලින් අවසානයේ දී ඉක්තියෝස්ටෙගාගේ ඇටසැකිල්ල එකලස් කොට ති‍්‍රමාන ආකාරයට සකසන්න. මෙයින් අපට හැකියාව ලැබුණා, පැරණි පෘෂ්ඨවංශිකයන් පිහිනීමෙන් ඇවිදීමට හුරු වීම කෙසේ සිදුවිණිදැයි විමසා බලන්නට. එය අපේ සිත් තදින් ඇද ගත්තා.” යනුවෙනි.

අත්පා චලනය කළ ආකාරය පරීක්ෂා කර බලන්නට ඇගේ පර්යේෂකයන් පොසිල ආදර්ශ දුසිම් ගණනක් ස්කෑන් කර බලා ඒවා අවට පාෂාණවලින් ඒවා සංඛ්‍යාංක ක‍්‍රමයට වෙන් කර ගත්තා.

ඒ සෑම අස්ථියක් ම ඉතා පරිස්සමෙන් ආපසු එකලස් කර සජීවී මෘදුකාංගයක ජිග්සෝ ප‍්‍රහේළිකාවක් මෙන් මහත් වෙහෙසක් ගෙන, සෑම සන්ධියක ම උපරිම චලනයක් ලැබෙන සේ යළි සකසා ගත්තා.

එංගලන්තයේ කැන්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ සම පර්යේෂක මහාචාර්ය ජෙනිෆර් ක්ලැක් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”අපේ මේ නව ප‍්‍රති නිර්මාණයෙන් පැහැදිලි වුණා, ඉක්තියෝස්ටෙගා නම් සතා විශාල සැලමැන්දරයෙකු සේ සිය සවිමත් පාද හතරෙන් ඇවිදමින් ගියාය, යන පැරණි පොතපතෙහි හා කෞතුකාගාරවල ඇති ඒ පැරණි මතය සම්පූර්ණයෙන් ම වැරදි බව.”

ඔවුන් මේ දත්ත ජීවත්ව ඉන්නා තවත් සතුන් පස් දෙනකු වන සැලැමැන්දරා, කිඹුලා, ප්ලැටිපස්, සීල් හා ඔටර් යන සතුන් සමග සන්සන්දනය කර බැලූවා. පර්යේෂකයන්ට පෙනී ගියා ඉක්තියෝස්ටෙගාගේ උරස් හා කලවා සන්ධිවල අස්ථිවල පිහිටීම නිසා ඔවුන්ගේ චලනයන් අසාමාන්‍ය ආකාරයට සීමා වී ඇති බව.

මේ නිසා ඒ සතාට සාමාන්‍යයෙන් ඇවිදින ආකාරයට පියවර තබා ‘ඇවිදීමට’ හැකියාවක් තිබුණේ නැහැ. මේ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් ‘නේචර්’ සඟරාවේ පළ වුණා. ඉන් පෙන්වා දෙනු ලැබුවා, සාමාන්‍යයෙන් ගොඩබිම ජීවත්වන සතුන්ට අත්‍යවශ්‍ය වන පාද චලන ලබා දෙන ආකාරයට නොව මොවුන්ගේ අස්ථි සන්ධි වෙනස් ආකාරයට පිහිටා තිබුණු බව.

බි‍්‍රතාන්‍යයේ රාජකීය පශු වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්ය ජෝන් හචින්සන් පවසන්නේ ”මෙහි දී අප දුටු සිත්ගන්නාසුලූ දෙයක් නම් මුල් යුගයේ ටෙට්රාපෝඩෝමෝප්ස් නම් වූ මසුන්ට ඔවුන්ගේ වරල් කැරකැවීමේ හැකියාව තිබීමයි. එයින් පැහැදිලි වුණා, පෘෂ්ඨවංශිකයන් ගොඩබිම ඇවිදීමේ දී අත්පා හැඩගස්වා ගෙන ඇත්තේ ප‍්‍රධාන වශයෙන් ඉදිරියට පසුපසට හා ඉහළට පහළට චලනය කළ හැකි ආකාරයට පමණක් බව.” කියායි.

සිවුපාවුන් ගොඩබිමට හොඳට හුරුපුරුදු වන තෙක් ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ, ඔවුන්ගේ පාද දීර්ඝ අක්ෂය ඔස්සේ කරකවා චලනය කරන්නට. ඒ නිසා තමයි, පුරාණ ගොඩබිම් සතුන්ට ඔවුන්ගේ පාද හතරෙන් ම හරියට එක වගේ ම ඇවිදින්නට නොහැකි වුණේ.”

ඉක්තියෝස්ටෙගා වැනි සතුන්ට ඉදිරි පා එකට චලනය කිරීමේ හැකියාව තිබුණ ද පසුපස පාද හොඳින් පොළොව මත පිහිටියේ නැහැ. ඒවා වල්ගයත් සමග ඉතා අඩු කාර්යය භාරයක් ඉටු කළේ ඒ සතාගේ ගමනට.

දැන් පර්යේෂකයන් සැලසුම් කර ඇත්තේ ඔවුන්ගේ පාද චලන ආදර්ශ ඇටසැකිල්ලේ වෙනත් සන්ධිවල හා පේශීවල චලනය වන ආකාරයන් හා සසඳා බලන්නයි. එවිට, මේ සතුන් චලනය සිදු කළ අන්දම හා ඔවුන් තුළ පැවති හැකියාවන් පිළිබඳව වඩාත් හොඳ සංකීර්ණ ජෛවයාන්ති‍්‍රක විශ්ලේෂණයක් ලබා ගත හැකි වේවි.

පරිගණකය ඔස්සේ සැකසූ ති‍්‍රමාන ආදර්ශ යොදා ගෙන කෙරෙන මෙවැනි අධ්‍යයනයන් තුළින් මුල් යුගයේ සතුන් ඇවිද ගිය අන්දම පමණක් නොවෙයි, දිවීමේ හැකියාව ලබා ගත් අන්දමත් පැහැදිලි කර ගැනීමට අපට හැකි වේවි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. එල කිරිස් ...නියම ලිපියක්...

    ReplyDelete