තාරකා විද්‍යාව හා ජ්‍යොතිෂය එකක්ද? දෙකක්ද? ඉපැරණි ජ්‍යොතිෂ නිවැරදිභාවයේ රහස?


තාරකා විද්‍යාවත් ජ්‍යොතිෂයත් යන විෂයයන් දෙකට වඩා පැරණි විෂයයක් ඇත්නම් ඒ ගණිතය පමණි. තාරකා විද්‍යාවේ මූලාරම්භය ආදි කල්පිත ගල්යුගය දක්වා විහිදේ. ඉතා ඈත අතීතයේ ගල්ගුහාවල ගත කරන අවධියේ රාති‍්‍රකාලයේ එළිමහනේ ගිනිගොඩක් ගසාගෙන රාති‍්‍රය ගත කළ මිනිසුන්ගේ දෙනෙත් රාති‍්‍ර අහස දෙසට යොමු වූයේ නිතැතින් ම ය. රාති‍්‍ර අහසේ තාරකා රටා හඳුනා ගැනීමත් ඒ ඒ තාරකා රටා මගින් සෑදෙන රූපය අනුව ඒවා නම් කිරීමත් සිදු විය. මෙය තාරකා විද්‍යාවේ උපතට මුල් වූ පළමු සංසිද්ධිය විය හැකිය.

දෙවැනිව, ග‍්‍රහ ලෝක වෙන් කර හඳුනා ගැනීම සිදු විය. තෙවැනිව, එම ග‍්‍රහ ලෝක නම් කිරීමත් ඒවා ගමන් කරන තාරකා වශයෙන් වෙන් කර හඳුනා ගැනීමත් සිදු විය. ගුරු, බුද, කුජ, ශනි හා සිකුරු යන ග‍්‍රහ ලෝක පහ රාති‍්‍ර අහසේ ගමන් කරන්නේ යම් තීරුවක් ඔස්සේ බවද පුරාණ මිනිසා යම් අවස්ථාවක දී හඳුනා ගැනීමට සමත් විය. එම තීරුව සෑදී ඇත්තේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන තාරකා මණ්ඩල මගින් බව හඳුනා ගත් පුරාණ මිනිසා එය රාශි චක‍්‍රය (Zodiac) යැයි නම් කළේය.


ඒ ඒ ග‍්‍රහ ලෝක රාශි චක‍්‍රයට අයත් ඒ ඒ තාරකා මණ්ඩලය පසුබිමේ ඇතිව පෙනෙන විට මේ ප‍්‍රතිඵල ලැබෙන්නේ ය යනුවෙන් අනාවැකි කීමට පටන් ගැනීම ජ්‍යොතිෂයේ ආරම්භය විය.
එය සිදු වූයේ කවරදාද කොපමණ වසර ගණනකට ඉහත දී දැයි පැවසීමට කිසිවකුටත් හැකියාවක් නැත. එහෙත් බැබිලෝනියානු යුගය, මිසර ශිෂ්ටාචාරය, පසු කර ගී‍්‍රක අවධිය වන විට රාති‍්‍ර අහසේ තාරකා මණ්ඩල 48ක් වෙන් කර හඳුනා ගැනීමට මිනිසා සමත් ව සිටියේය. ඒ වන විට හඳුනාගෙන සිටි ග‍්‍රහයන් රාශි චක‍්‍රය තුළ ගමන් කිරීමේදී ඒ ඒ තාරකා මණ්ඩල පසුබිමේ ඇති ව පෙනෙන විට මේ මේ ප‍්‍රතිඵල ලැබෙන්නේ ය යනුවෙන් ජ්‍යොතිෂ සිද්ධාන්ත ගණනාවක් ද ගී‍්‍රක යුගය වන විට බිහි වී තිබුණි.

ඒ කාලය වන විට භාරතයේ ද සෑහෙන තරම් දියුණු ජ්‍යොතිෂ විෂයයක් ද තාරකා විද්‍යා දැනුමක් ද වර්ධනය වී තිබුණි.

1609 දී ගැලිලියෝ ගැලිලි විසින් දුරේක්ෂය නිපදවා රාති‍්‍ර අහසට යොමු කර සෙනසුරු ග‍්‍රහයා වටා වූ වළලූ හඳුනා ගැනීමත් ගුරු ග‍්‍රහයා වටා ගමන් කරන කැලිස්ටා, ගැනිමීඩ්, අයෝ හා යුරෝපා යන උප ග‍්‍රහයන් (චන්ද්‍රයන්) සිව් දෙනා හඳුනා ගන්නා තුරු ම තාරකා විද්‍යාව හා ජ්‍යොතිෂය එකට අත්වැල් බැඳ ගත් විෂයයන් දෙකක් විය. ඒ කාලයේ තාරකා විද්‍යාව හැඳින් වූයේ ද ‘නක්ෂ්ත‍්‍රය’ කියාය.

 
ගැලිලියෝ ගැලිලි (Galileo Galile)

 
ගැලිලියෝ ගැලිලි විසින් නිපදවූ දුරේක්ෂය

ජ්‍යොතිෂ මූලධර්ම හා සිද්ධාන්තවලට පදනම වූ ග‍්‍රහලෝක හා තාරකා මණ්ඩල ආදි සියල්ල තාරකා විද්‍යාත්මක තොරතුරු මත රඳා පවතී. යම් පුද්ගලයෙක් පෘථිවිය මත යම් ස්ථානයක උපදින මොහොතේ එම ස්ථානයට සාපේක්ෂව නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවෙමින් තිබූ තාරකා මණ්ඩලය එම පුද්ගලයා ගේ ලග්නය ලෙස සලකනු ලැබේ. පෘථිවිය මත එම ස්ථානයට සාපේක්ෂව රාශි චක‍්‍රය මත තිබූ අනිකුත් තාරකා මණ්ඩල හා ඒවා තුළ පිහිටි ග‍්‍රහලෝක මොනවාද යන්න ජන්ම කේන්ද්‍රය මගින් දැන ගත හැකි වේ. එම ජන්ම කේන්ද්‍රය ගණනය කර පිළියෙල කර ගැනීමේ කාර්යය මුළුමනින් ම තාරකා විද්‍යාව මත පදනම් වූ කාර්යයක් වේ.

එහෙත් එම ජන්ම කේන්ද්‍රය දෙස බලා එම පුද්ගලයා බෙඳු ගතිගුණ ඇත්තෙක් වන්නේය. මෙවැනි රැකියාවක යෙදෙන්නේ ය. මේ කාලවලදී ජයග‍්‍රහණ අත්පත් කර ගන්නේය. යනුවෙන් පලාපල පැවසීමේ කි‍්‍රයාවලිය මුළුමනින් ම ජ්‍යොතිෂයට අයත් කාර්යයක් වන්නේය.

එහෙත් අප විසින් මෙහිදී පැහැදිලිව වටහා ගත යුතු වැදගත් ම කරුණක් ඇත. පෘථිවිය සහ කුජ, බුද, ගුරු, ශුක‍්‍ර, ශනි, යන ග‍්‍රහ ලෝක සියල්ල අපගේ සූර්යයා වටා භ‍්‍රමණය වන්නේ අප අයත් සෞරග‍්‍රහ මණ්ඩලය තුළ වන නමුත් රාශි චක‍්‍රයට අයත් මේෂ, වෘෂභ, මිථුන ආදී තාරකා මණ්ඩල සියල්ල ම පිහිටා ඇත්තේ අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින් වේ. (අපට ආසන්න ම තරුව වූ ප්‍රොක්සිමා සෙන්ටෝරි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.243ක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු තත්පරයට කිලෝමීටර් තුන් ලක්ෂයක් බැගින් වර්ෂයක කාලයක් තිස්සේ ආලෝකය යන දුරයි.)

ඒ එක් තාරකා මණ්ඩලයක පිහිටි තාරකා එකිනෙකා අතරත්, අති විශාල දුර ප‍්‍රමාණයක් ඇති නමුත් පෘථිවියේ සිට බලන අපට ඒවා ඉතා ළංව කිසියම් රූපයක් සාදන්නා සේ පෙනේ. අපගේ සෞර ග‍්‍රහ මණ්ඩලයට අයත් ග‍්‍රහ ලෝක පෙනෙන්නේ එම තාරකා මණ්ඩල පසුබිමින් ඇතිව පමණක් වේ. එම තාරකා මණ්ඩල තුළ පිහිටි තාරකා හෝ අපගේ සෞර ග‍්‍රහ මණ්ඩලයට අයත් ග‍්‍රහ ලෝක හෝ පෘථිවිය මත වෙසෙන මිනිසුන් එකිනෙකාට වෙන් වෙන් ව ආකර්ෂණයක් හෝ බලපෑමක් ඇති නොකරන්නේය. ජ්‍යොතිෂය අනුව යම් කෙනෙක් උපත ලබන මොහොතේ අහසේ පෘථිවිය වටා අවකාශය තුළ ග‍්‍රහයන් පිහිටි ආකාරය දැක්වෙන අහස් සිතියමක් ලෙස ජන්ම කේන්ද්‍රය සැලකිය හැකිය. එම ජන්ම කේන්ද්‍රයේ පිහිටි ග‍්‍රහයන් නිසා එම ජන්ම කේන්ද්‍රය හිමි තැනැත්තාට ශුභ හෝ අශුභ විපාක ඇති නොවන්නේය. ශුභ හෝ අශුභ විපාක ඇති වන්නේ ඒ ඒ පුද්ගලයා පෙර ආත්මභාවවල කළ කී දෑ අනුවම වේ. මෙහි දී සිදු වන්නේ එම ග‍්‍රහ පිහිටීම නිමිත්තක් වශයෙන් ගෙන පලාපල පැවසීමය. එම ග‍්‍රහයන් නිමිත්තක් මිස හේතුව නොවේ. යමකුගේ දෛවය ගැන කීමට අත්ලේ රේඛා හෝ දේහ ලක්ෂණ විද්‍යාව අනුව අඟපසඟවල හැඩරුව උපයෝගී කර ගන්නා විට දී ද ඒවා නිමිත්තක් වශයෙන් මිස හේතුව ලෙස පිළිගැනීමක් සිදු නොවේ. ඒ ආකාරයට ම ග‍්‍රහලෝකවල පිහිටීම නිමිත්තක් (indicator) ලෙස පමණක් කි‍්‍රයා කරන බව මනාව තේරුම් ගත යුතු වේ.

දහසය වන සියවසේ ජීවත් වූ විද්‍යාඥයකු වූ ජොහැන්නස් කෙප්ලර් (Johannes Kepler), සූර්යයා වටා ග‍්‍රහලෝක හෝ වෙනත් ආකාශ වස්තු චලනය වීම පිළිබඳව නියමයන් තුනක් පළ කළේය. ඉන් පළමුවන නියමයට අනුව සෑම අවකාශ වස්තුවක් ම සූර්යයා වටා ගමන් කරන්නේ ඉලිප්සයක, පාරාවලයක හෝ බහුවලයක වේ. කෙප්ලර්ගේ දෙවැනි නියමයට අනුව එම ග‍්‍රහ වස්තුව හෝ සූර්යයා සම්බන්ධ කරන රේඛාව සම කාල සීමාවක් තුළ සම අවකාශ ප‍්‍රමාණයක පැතිරී යන බව කියැවේ. එහි තුන්වැනි නියමයට අනුව අවකාශ වස්තුවේ පරිභ‍්‍රමණ කාලයේ වර්ගය, සූර්යයගේ සිට එයට ඇති සාමාන්‍ය දුර ප‍්‍රමාණයෙහි ඝනයට සමානුපාතික වේ.

 
ජොහැන්නස් කෙප්ලර් (Johannes Kepler)

සියලූම ග‍්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාර පථවල ගමන්ඉපැරණි ජ්‍යොතිෂ කරන බැවින් කිසියම් දිනක කිසියම් මොහොතක දී එම ග‍්‍රහයා තිබෙන්නේ කුමන තාරකා මණ්ඩලය පසුබිමේ ඇතිව ද යන්න ගණනය කරනු ලබන්නේ ඉහතකී කෙප්ලර්ගේ නියමයන්ට අනුවය.

එහෙත් වසර දහස් ගණනකට ඉහත සංහිතා ග‍්‍රන්ථවල ශනි, ගුරු, ඇතුළු ග‍්‍රහලෝක අසවල් දින අසවල් ග‍්‍රහ තාරකා මණ්ඩලය පසුබිමේ ඇති ව පෙනෙන බැව් ඉතා නිවැරදිව සඳහන් වෙයි. ඒ අවධිය වන විට නූතන තාරකා විද්‍යා දැනුම අංශු මාත‍්‍රයක් හෝ ලෝකය තුළ විද්‍යාමාන වී නැතත් එම ගණනය කිරීම් නිවැරදිව දැන් මට්ටමට ඉපැරණි ඍෂිවරුන් සමත් වූයේ ඔවුන් සතු අන්තර් ඥානය හෝ දිවැස හෝ චිත්ත බලයන් අනුව යැයි නිගමනය කිරීමට අපට සිදු වේ.

- අතුල මංචනායක 
amanchanayake@yahoo.com
 
(මේ ආරාධිත ලේඛකයා තාරකා විද්‍යාව මෙන් ම ජ්‍යොතිෂය ද ගැඹුරින් හදාළ ඒ පිළිබඳ පොතපත ලියූ අයෙකි. මෙම ලිපිය පළ කරන්නේ පසුගිය දා අපේ පාඨකයන් තාරකා විද්‍යාවත් ජ්‍යොතිෂය පිළිබඳවත් නැඟූ ප‍්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙනි.)


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. දයාබර සංස්කාරකතුමනි,

    අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා අතුල මහතාගෙන් අපූරු ලිපියක් දැමීම ගැන ස්තූතියි.

    මල් කැකුළු වෙනුවෙන් අපේ ශක්ති පමණින් යම් ආධාරයක් අපිටත් කරන්න පුළුවන්.

    ඒක මාසෙකට රුපියල් 1000ක් වෙන්නත් පුළුවන්. 10000ක් වෙන්නත් පුළුවන්.

    මේ වෙබ් අඩවිය කරන සේවය අති මහත්. පුළුවන්නම් මල්කැකුළු නමින් ගිණුමක් ආරම්භ කරලා ගිණුම් අංකය අපට කියන්න.

    අපිත් යම් දායකත්වයක් දක්වන්නම්.

    ReplyDelete
  2. //ජන්ම කේන්ද්‍රයේ පිහිටි ග‍්‍රහයන් නිසා එම ජන්ම කේන්ද්‍රය හිමි තැනැත්තාට ශුභ හෝ අශුභ විපාක ඇති නොවන්නේය. ශුභ හෝ අශුභ විපාක ඇති වන්නේ ඒ ඒ පුද්ගලයා පෙර ආත්මභාවවල කළ කී දෑ අනුවම වේ. මෙහි දී සිදු වන්නේ එම ග‍්‍රහ පිහිටීම නිමිත්තක් වශයෙන් ගෙන පලාපල පැවසීමය. එම ග‍්‍රහයන් නිමිත්තක් මිස හේතුව නොවේ.//

    සහතික ඇත්ත. ඒත් හුගක් ‍ජෝතීර්වේදිනුත් මේ කාරණයනම් අවබෝධ කර‍ගෙන නැහැ.

    ReplyDelete
  3. කැපවීම, නිවැරදි අවබෝධය හා නිවැරදි ක්‍රමවේද භාවිතය. මේවට ගහන්න අෑත අහසෙ තාරකා වලට පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි!

    ReplyDelete
  4. නමක් නැතිව කළ යෝජනාවට බොහොම ස්තූතියි. මල් කැකුළු හැමදාමත් අලූත් වේවී ගෙනියන්න අපට ඕනෑ. ඔබේ සහය ලැබෙනවා නම් අපට ඒත ඒ තරම් දෙයක් නෙවෙයි. ළඟදීම මල්කැකුළු නමින් ගිණුමක් අරින්න බලාපොරොත්තු වෙනවා. අංකය දාපුවාම හැකි පමණින් උදවු කරන්න. තවත් ගොඩක් අලූත් දේ ලියන්න බලන් ඉන්නවා. ඔබ හැම කියවන්න කැමති දේ කිව්වොත් ඒ ඕනෑම දෙයක් ලියන්න අපට පුළුවන්. මේ මල් කැකුළු අවුරුදු 8ත් 80ත් අතර සියලූම ළමයින්ටයි.
    සංස්කාරක

    ReplyDelete