අන්ධ අයට පෙනීම දිය හැකි සෛල ප‍්‍රතිකාරයක්! පියවි සෛල ගැන තවත් තොරතුරු...


පුනර්ජනනී වෛද්‍ය විද්‍යාව - 3

බි‍්‍රතාන්‍යයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් ඇතුළු පිරිස මේ අතින් නව පර්යේෂණ රැසක් සිදු කරමින් යද්දී ලන්ඩනයේ අනෙක් පැත්තේ තවත් පිරිසක් අන්ධ භාවයට පිළියම් සොයා අත්හදා බැලීම් කරනවා. ඒ මහාචාර්ය පීට් කොෆේ (Pete Coffey) ඇතුළු කණ්ඩායමක්. එය අන්ධභාවයට පිළියම් කිරීමේ ලන්ඩන් ව්‍යාපෘතිය කියලයි හැඳින්වෙන්නේ. වයස්ගත වීමේදී ඇති වන පේශී දුර්වලතාව නිසා බොහෝ දෙනා තුළ ඇති වන අන්ධභාවය නැති කිරීමට පියවි සෛල යොදා ගනිමින් ඔවුන් රසායනාගාරය තුළ දැන් හදා බැලීම් කර ගෙන යනවා.

 
"දැනට මෙවැනි රෝගීන්ට පිළියමක් ඇත්තේ නැහැ. මේ වෙනකම් කිසිකෙනෙක් මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයලත් නැහැ." කොෆී කියනවා.

මෙහිදී ඔවුන් කරන්නේ රෝගී සෛල වෙනුවට නිරෝගී සෛල තැන්පත් කර නැතිවී ගිය පෙනීම නැවත ලබාදීමයි. සීපැලියන්ගේ කණ්ඩායම වගේ නෙමෙයි කොෆී යොදා ගන්නේ කලල පියවි සෛලයි. ඔවුන් කළ අත්හදා බැලීම්වල දී ඔවුන්ට මෙතෙක් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත්තේ කලල පියවි සෛලවලින් පමණයි.

පර්යේෂණයට යොදා ගත්තේ දින පහක් වයසැති කලලයක්
කලල පියවි සෛල යොදා ගෙන පර්යේෂණ කිරීම ගැන කොෆීට පැහැදිලි අදහසක් තියෙනවා. "මට මුහුණ පාන්නට වන එක දෙයක් තියෙනවා, කලලයක් කියන දෙය ගැන වෙනස් වෙනස් අය වෙනස් වෙනස් තේරුම් දෙනවා. අපි මේ පර්යේෂණවලට අරන් තියෙන්නේ දින පහක් වයසැති කලලයක්. විවිධ ආගම්වලට අනුව ඒක ජීවිතයක් තමයි. නමුත් මම නම් කලලය දකින්නේ සිරුරු කොටසක් හැටියටයි. මේක අනෙක් සිරුරු කොටස් දන් දෙනවා වගේ දෙයක්. කලලයකට බැහැ තනිවම දිවි රැක ගන්න." කොෆී කියනවා.

ඔවුන් පර්යේෂණ සඳහා යොදා ගන්නා කලල පියවි සෛල ලබා ගන්නේ අනවශ්‍ය යැයි ඉවත දමන කලලවලින්. විශේෂයෙන් ම පරීක්ෂණ නාල තුළ වර්ධනය සිදු කර, IVF ප‍්‍රතිකාරය සඳහා යොදා ගන්නට පිළියෙල කොට ප‍්‍රයෝජනයට නොගන්නා ඒවායි. "අපි ඒවා නොගත්තොත් ඒවා විසි කර දමනවා." ඔහු තවදුරටත් කියනවා.

කොෆී කරන පර්යේෂණයේ දී එක තනි කලල සෛලයකින්, රෝගීන් මිලියන ගණනකට අවශ්‍ය, දෘෂ්ටි විතාන වර්ණක සාදන බාහිර සෛල අංශු සෑදිය හැකියි.

"මිනිස් කලල සෛලයක් ස්වභාවයෙන් ම නොනැවතී වැඩෙනවා. ඉතින් අපට එක සෛලයක් ඇති අවශ්‍ය හැමදෙයක් ම ලබා ගන්න. අපි ඒවායේ අනුකෘති නයිට්රජන් කුටීරවල බහා රටවල් තුනක ගබඩා කරල තියෙනවා. මේ එක සෛලයකින් රෝහල්වලට එන මිලියන 28ක ජනගහනයකට සේවය සලසන්න පුළුවන්. ඒක වටින්නෙ නැද්ද?" ඔහු ප‍්‍රශ්න කරනවා.

කොෆීගේ මේ ව්‍යාපෘතිය පුනර්ජනනී වෛද්‍ය විද්‍යාව අතින් ලෝකයේ වඩාත් ම ඉදිරියට ගිය එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ වසරේ අවසාන භාගයේ දී රෝගීන් සඳහා ශායනික අත්හදා බැලීම් කිරීමට නියමිතයි. එහෙත් මේ පර්යේෂණ සාර්ථක වුනත් තවමත් ස්ථිරව වකවානුවක් කියන්න බැහැ, මේවා පුළුල් ලෙස ලොව භාවිතයට එන.

ප‍්‍රතිඵල ජනගත වෙන්න තව කල් යාවි
"මෙහි කනගාටුවට ඇති කාරණයක් වන්නේ මේ සඳහා වූ කාල රාමුවයි. ළඟදීම ජනතාව අතරට ඒ යැයි සිතන දෙයටත් වසර දහයක් විතර ගත වෙනවා. මේ පර්යේෂණවල ඇතැම් ප‍්‍රතිඵල මහජනතාවට අත්විඳින්නට හැකි වන්නේ බොහෝ විට වසර 20ත් 50ත් අතර කාලයකදියි. මොකද මේවායින් වන අතුරු ආබාධ ගැන අපි හරියට දන්නේ නැහැ. දීර්ඝ කාලීනව හානියක් නො වන බව දැන ගත්තාට පසුවයි, මේවා සමාජ ගත කළ හැක්කේ." මෙහෙම කියන්නේ කොෆීගේ ව්‍යාපෘතිය සමීපව කටයුතු කරන පෝල් වයිටින්. ඔහු ලෝක ප‍්‍රකට ඖෂධ හා වෛද්‍ය උපකරණ නිපදවන සමාගමක් වූ ෆයිසර්හි විධායක අධ්‍යක්ෂවරයායි.

මේ සෛල පර්යේෂණ පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙහි මෑත දී කෙරුණු අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා, රසායනාගාරයේ සාර්ථකව සිදු වූ සෛල බෙදීම ඒ ආකාරයෙන් ම ශායනික පරීක්ෂණවල දී සිදු නො වූ බව. ඔවුන් පර්යේෂණ කළේ මියන් යොදා ගෙනයි. මීයන්ගේම සමේ සෛලවලින් තැනූ බහුප‍්‍රභව පියවි සෛල (induced pluripotent stem cells-iPSCs) ඔවුන්ට ම බද්ධ කළ විට ප‍්‍රතික්ෂේප කෙරුණු බව ඒ පරීක්ෂණවලින් පෙනී ගියා.

මේ ගැන මහාචාර්ය විල්මුට්ගෙන් ප‍්‍රශ්න කළ විට ඔහු කීයේ ‘ඒක ඉතා ප‍්‍රාථමික පරීක්ෂණයක් බවයි.’ කෙසේ වෙතත් මේ වගේ දේවල් ගැන තවත් සෙවීම් කළ යුතු බවයි ඔහුගේ අදහස. එසේ ම මේ බහුප‍්‍රභව පියවි සෛල (induced pluripotent stem cells-iPSCs) තැනීමේ කි‍්‍රයාවලියේ දී ඇතැම් සෛලවල පිළිකා ඇති වීමේ අවදානමක් මතු විය හැකියි. ඒ ගැනත් විමසීම් කළ යුතුව තිබෙනවා.

"කලින් පැවති ක‍්‍රමය අනුව සිදු වුණේ අපි පීටර්ගෙන් සොරකම් කරල පෝල්ට දෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ එක් අයකුගේ සිරුරු කොටසක් අරන් තවත් අයකුට බද්ධ කිරීමක්. ඒත් දැන් සිදු වන්නේ රසායනාගාරයක පටක රෝපණය කරලා ඒවා සිරුර තුළට ඇතුළු කොට සිරුර තුළ ම ප‍්‍රතිනිර්මාණය කිරීමක්. මේ බැරෑරුම් කටයුත්තක්. යම්හෙයකින් අපට හැකි වුණොත් රසායනාගාරය තුළ, හදවතක්, පෙණහැල්ලක් හෝ ශ්වාසනාලයක් වවන්න, සිරුර කොටසක් දෙන කෙනෙක් එනතුරු බලා ඉන්න වශ්‍ය වන්නේ නැහැ. මේක හරි ගියදාට අපේ ශායනික හා ප‍්‍රතිකාර කිරීම්වල විශාල පෙරළියක් සිදු වෙනවා නොඅනුමානයි." යයි සීෆැලියන්ගේ කණ්ඩායමේ ඇඩෙලෝලා ඔසෙනි කියනවා.

කලල පියවි සෛලගැන පුරෝගාමී ශී‍්‍ර ලාංකික විද්‍යාඥයා - මහාචාර්ය අරිෆ් බොන්සෝ


කලල පියවි සෛල ගැන ලෝකයේ පර්යේෂණ කරන තවත් විශිෂ්ටයකු ඉන්නවා. ඔහු ඒ අතින් පුරෝගාමී මෙහෙවරක් කරන අයෙක්. ශී‍්‍ර ලාංකිකයන් වන අපට ඔහු ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඔහුත් ශී‍්‍ර ලාංකිකයකු වීම නිසා. ඔහු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරිෆ් බොන්සෝ. (Ariff Bongso) ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයෙක්.

ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ නාරිවේද හා ප‍්‍රසව වෛද්‍ය අංශයේ පර්යේෂණ මහාචාර්ය වරයෙක්. එහි ප‍්‍රජනන තාක්ෂණ වැඩ සටහනෙහි ප‍්‍රධානියා ඔහුයි. එසේ ම සිංගප්පූරුවේ ලියාපදිංචි ජෛවතාක්ෂණ සමාගමක් වූ ‘එම්බ්‍රොයිනික් ස්ටෙම් සෙල් ඉන්ටර්නැෂනල්’ ආයතනය පිහිටුවීමේ දී පුරෝගාමී වූ විද්‍යාඥයෙක්.

පියවි කඳ සෛල ගැන ලොව පළමුවරට සිදු කළ පර්යේෂණවලින් කළ සොයා ගැනීම් ගැන පේටන්ට් හිමිකම් කීපයක් හා ඒ පිළිබඳව ලොව පුරා පළ වූ පර්යේෂණ ලිපි 430ක් ඔහුගේ නමට තියෙනවා. වෛද්‍ය විද්‍යාව සඳහා වූ මීළඟ නොබෙල් ත්‍යාගය ඔහුට හිමි වේවි යැයි මේ ක්ෂේත‍්‍රයේ කතාබහක් යනවා. එහෙම වුණොත් ප‍්‍රථම ශී‍්‍ර ලාංකික නොබෙල් ත්‍යාගලාභියා ඔහු වේවි.

කෘති‍්‍රම සෛල පර්යේෂණවල ප‍්‍රගතිය කෙටියෙන්
1995 - රෝගියකුගේ සෛල මීයකුගේ පසුපස තැන්පත් කිරීමෙන් කන් හැඩයැති කාටිලේජ ව්‍යුහයක්(මිනිස් කනක් නොවේ) නිපදවීම.
1996 - වැඩිහිටි සෛලයකින් ක්ලෝනීකරණය කළ ප‍්‍රථම ක්ෂීරපායී සත්ත්වයා වූ ඩොලී බිහි කිරීම.
2007 - ක්‍යෝතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෂින්යා යමනකා විසින් කලල පියවි සෛල වෙනුවට ඒ අයුරින් ම කි‍්‍රයා කිරීමට හැකි වන සේ වැඩිහිටි පියවි සෛල වෙනස් කිරීම.
2011 - ලෝකයේ ප‍්‍රථම සින්තටික් අවයවය (ශ්වාසනාලයක්) බද්ධ කිරීම.
2012 - කෘති‍්‍රම ව නිපද වූ නාසයක් ප‍්‍රථම වරට බද්ධ කිරීමට සූදානම් කිරීම.

> 
ක්ලෝනීකරණයෙන් බිහි කළ ලොව ප‍්‍රථම බැටළුවා - ඩොලී


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. තනි අලියාJuly 2, 2012 at 7:16 PM

    තවත් දර්ශණිය හයේ පහරක්!

    ReplyDelete