ඕස්ටේ‍්‍රලියාව හොයාගත් දේශගවේෂකයා : කපිතාන් ජේම්ස් කුක්



18 වන සියවසේ මැද භාගය වෙනකල්ම යුරෝපීය ගවේෂකයින් වැඩිපුර උනන්දුවක් දැක්වූයේ වෙළඳාමටයි. එසේ නැතිනම් රටරටවල වස්තුව කොල්ලකෑමටයි. ඒත් එක බි‍්‍රතාන්‍ය ජාතික නාවික කපිතාන්වරයෙක් මීට වඩා වෙනස් මඟක යමින් අලූත් විධියේ ගවේෂණ කටයුත්තකට අත ගැහුවා. ඒ තමයි විද්‍යාත්මක දේශ ගවේෂණය. ඔහු වඩාත් උනන්දු වුණේ විද්‍යා සොයා ගැනීම් හා පර්යේෂණවලටයි. 1768 සිට 1779 දක්වා දකුණු පැසිෆික් සාගර කලාපය තරණය කරමින් ගවේෂණ චාරිකා 3 කට සහභාගී වුණා. පළමු වතාවට විද්‍යාත්මක ක‍්‍රම වේදයන් භාවිත කරමිනුයි, කපිතින් කුක් මහ සාගරය තරණය කළේ. ඔහු යාත‍්‍රා කළේ තරු රටා අනුව මග සොයා ගෙනයි. ඔහුගේ මේ තාරකා නිරීක්ෂණ ක‍්‍රමවේදය පසු ව, අනාගත නාවිකයින්ට ලොකු උදව්වක් හා පහසුවක් වුණා. ඔහු ඔහුට දකින්න ලැබුණු හැමදෙයක්ම ඉතාමත් උනන්දුවෙන් හා ඉතාමත් නිවැරදි ව වාර්තා ගත කළා. හැකි පමණින් සත්ව හා ශාක විශේෂ ඔහු ආපහු එංගලන්තය බලා පැමිණෙද්දී රැුගෙන ආවා. කලින් හමුනොවූ, දකින්න නොලැබුණු සත්ව හා ශාක විශේෂ චිත‍්‍රයට නගනු ලැබුවා. නවීන ලෝකයට ඉමහත් මෙහෙයක් කළ දේශ ගවේෂකයා ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක්වී තියෙනවා. ඔහු මියගියේ 1779 පෙබරවාරි 14 වැනිදායි.

ලෝකයේ දේශ ගවේෂකයන් අතර ජේම්ස් කුක්ට ලැබෙන්නේ ඉතාමත් සුවිශේෂ තැනක්. ඔහු උපන්නේ 1728 වසරේ දී එංගලන්තයේ විට්නි ප‍්‍රාන්තයේ යෝක්ෂයර්හි මාර්ටන් නගරයේදීයි. ගොවියකුගේ පුතකු වූ 12 හැවිරිදි වියේ දී තොරොම්බල්කාරයකුගේ අත් උදවුකාරයකු විදියට වැඩ කරලා තියෙනවා. ඒත් ඔහුගේ වැඩි ආශාව තිබුණේ මුහුදටයි. ඒ නිසයි ඔහු පසුව නැව් අයිතිකරුවකුගේ සහයකයකු වුණේ. පුංචි සන්ධියෙදිම, ඔහු ස්වාමියා සමග මුහුදු ගමන් යන්න පටන් ගත්තා. ඔහු විවේක කාලයෙදිත් කළේ නැව් පැදවීමේ කලාවත් තාරකා විද්‍යාවත් ඉගෙන ගත් එකයි. ඒ කාලේ මුහුදු ගමන් යන හැටිත් මුහුදේ දී මග සොයා ගන්නා හැටිත් ඔහු හොඳින් ම තේරුම් ගත්තා. මේ විදියට කුඩා කොලූ ගැටයකු හැටියට මුහුදු ජීවිතයේ අත්දැකීම් ලැබූ කුක් 1775 වසරේ දී බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට එක් වුණා.

මේ කාලේ කැනඩාවේ පදිංචිව සිටි ඉංගී‍්‍රසින් හා ප‍්‍රංශකාරයන් අතර ගැටුමක් ඇති වුණා. දේශ සීමා අයිතිය පිළිබඳව ඇති වූ මේ ආරවුල යුද්ධයකට පෙරළුණා. කැනඩාවේ සැන්ට් ලෝරන්ස් ගංගාව ආශ‍්‍රය කර ගෙන ඇති වූ මේ යුද්ධයට සහය වීමට එංගලන්තයෙන් යැවූ ගවේෂණ නැව් කණ්ඩායමට කුක් ඇතුළත් වූ නැවත් ගියා. 1759 දී කැනඩාවේ විසූ ප‍්‍රංශ ජාතිකයන් සමඟ පැවති මෙම යුද්ධය හත් වසරක් පුරා පැවතුණා. මේ යුද්ධය අතරතුරේ දී ම ඉහළට නැඟීමේ ආශාවත්, නොපසුබට උත්සාහයත් නිසා වසර හතරකින් ම නැව් කපිතන්වරයකු බවට පත් වුණා. ඒ අනුව ඔහුට ‘මර්කරි’ නැවේ කපිතන් හැටියට කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා.

වීර චාරිකා ඇරඹීම

1760 වසරේ දී කුක් මුහුදේ යාත‍්‍රා කිරීම් ගැන අත්දැකීම්වලින් හා දැනුමෙන් ප‍්‍රවීණයෙක් බවට පත් වුණා. ඔහුගේ මේ දැනුම ඊළඟ එළඹුණු ලෝකයේ දීර්ඝතම ගවේෂණ චාරිකා තුනකටම ප‍්‍රයෝජනවත් වුණා. ලෝකයේ උතුරටත් දකුණටත් ගිය මේ අපූරු චාරිකා තුන නිසා ඔහු ගවේෂකයන් අතර විශිෂ්ටයා බවට පත් වුණා.

පළමුවැනි ගවේෂණ චාරිකාව

පළමුවන ගවේෂණය සඳහා ඔහු තෝරාගත් නැව තමයි ‘එන්ඩෙවර්’. 1768 අගෝස්තු 26 වැනි දා කපිතන් ජේම්ස් කුක් එංගලන්තයේ ප්ලිමත් වරායෙන් සුවිශේෂ ගමනක් ඒ නැවෙන් පිටත් වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 40ක්. ඔහු සමග ඒ සුවිශේෂ ගමනට විද්‍යාඥයන් පිරිසක්, චිත‍්‍රශිල්පීන් දෙදෙනකු ද ඒ ගමන සඳහා ම විශේෂයෙන් තෝරා ගත් නාවික පිරිසකුත් එක්ව සිටියා.

 
ජෙම්ස් කූක් ගේ "එන්ඩෙවර්" අනුකරණය කරමින් තැනූ නැව

මේ ගවේෂණයට අරමුණු දෙකක් තිබුණා. සිකුරු ග‍්‍රහයා සූර්යයා හරහා යන ගමන නිරීක්ෂණය කරන්නට ඉංගී‍්‍රසි තාරකා විද්‍යාඥයකුව ටහිටි දුපතට ගෙන යාම එක අරමුණක්. ඒ වන විට සිකුරු ග‍්‍රහයා සූර්යයා හරහා යන ගමන නිරීක්ෂණය කරන්්නට රුසියාව සයිබීරියාවේදීත් ස්කොට්වරුන් ඇබිසිනියාවේදීත්, ප‍්‍රංශ ජාතිකයන් ඉන්දියාවේ, නවසීලන්තයේ හා ඕස්ටේ‍්‍රලියාවේ දීත් මේ පිළිබඳ ව නිරීක්ෂණය කරන්න යොදා ගෙන තිබුණා. ලන්ඩනයේ රාජකීය සංගමය කුක්ට පවරා තිබුණේ සිකුරු සංක‍්‍රමණයට පෙර ටහිටි දූපතට ගොස් එහි ආරක්ෂක බලකොටුවක් ඉදි කොට නිරීක්ෂණයට කටයුතු සැලැස්වීමයි. සිකුරුගේ හිරු හරහා ගමන යෙදී තිබුණේ 1769 ජූනි 3 වැනිදාටයි. හෝන් තුඩුව වටා යමින් සාගර තරණයේ යෙදෙද්දී කුක්ගේ පිරිසේ දෙදෙනකු අධික ශීතල නිසා මියගිය ද නියමිත පරිදි යාත‍්‍රා කොට විශේෂ නිරීක්ෂණ බලකොටුවක් ඉදි කොට තාරකා විද්‍යාඥයා එහි රැඳවීමට කුක් සමත් වුණා. ඉන්පසු කුක් ඒ දූපත පිළිබඳ තමන් ම අධ්‍යයනයක නිරත වුණා.

තාරකා විද්‍යාඥයාගේ කටයුතු අවසන් වීමෙන් පසු කුක් ඊළඟට නවසීලන්තය බලා ගියා. 1769 ඔක්තෝබර 8 වැනිදා එහි කුඩා බොක්කක නැංගුරම් ලෑ ඔහු හා ඔහුගේ පිරිසට එහි ගොඩ බසින්නට එරට වැසියන් වු ම ඕරිවරුන් ඉඩ දුන්නේ නෑ. ඔහු ඔවුන්ගෙන් ගැලවුණේ වෙඩි කීපයක් තැබීමෙන්. ඔහු ඉන්පසු නවසීලන්ත දූපත් දෙක වටා යාත‍්‍රා කරමින් ඕස්ටේ‍්‍රලියාවේ නැගෙනහිර වෙරළ දිගේ යාත‍්‍රා කළා.


පැසිෆික් සාගර කලාපය ගවේෂණය කිරීමට කපිතාන් කුක් රැගෙන ගිය විද්‍යඥ කණ්ඩායමේ හිටියා උද්භිද විද්‍යාඥයෙක් සහ සිත්තරෙක්. කුක් රැගෙන ගිය උද්භිද විද්‍යාඥයා තමයි ජෝසප් බෑන්ක්ස්. සිත්තරා තමයි සිඞ්නි පාකින්සන්. ඕස්ටේ‍්‍රලියාවේ දී කපිතාන් කුක් සහ ජෝසප් බෑන්ක්ස් නව ශාක හා සත්ව විශේෂ ගණනාවක් සොයා ගත්තා. සශ‍්‍රීකව වැවුණු දෙල් ගස්වල පටන් පැන පැන යන කැන්ගරුවන් දක්වා වූ මේ සත්ව හා ශාක විශේෂයන් මීට කලින් යුරෝපීයයන් දැකලා තිබුණේ නැහැ. කුක් සහ ජෝසප් බෑන්ක්ස් ගිය එක් ස්ථානයක ශාක විශේෂ අති විශාල ගණනක් දකින්න ලැබුණා. ඉතිං කුක් එම ස්ථානය නම් කළා ‘බොට්නි බේ’ යන නමින්. එහි තේරුම ‘උද්භිද විද්‍යා බොක්ක‘ යන්නයි. අද ඒ ස්ථානය ඕස්ටේ‍්‍රලියාවේ ඉතා වැදගත් නගරයක් ලෙස සැළකෙනවා.

අද සිඞ්නි වරාය පිහිටා ඇත්තේ මේ අලංකාර ස්ථානයෙයි. මේ භූමියෙහි සරුසාර බව දුටු කුක් අනාගතයේ දී එහි තම රටවැසියනට පදිංචි විය හැකියැයි තීරණය කළා. අද ඕස්ටේ‍්‍රලියාව ඉංගී‍්‍රසින්ගේ ජනාවාසයක් වී ඇත්තේ ඒ අනුවයි. මේ වතාවේ ගමන නිමා කොට කුක් 1771 ජූලි 12 වැනි යළිත් එංගලන්තයට ආවා.

දෙවැනි ගවේෂණ චාරිකාව

ඊළඟ අවුරුද්දේ ම, එනම් 1772 දී ඔහුට සිය දෙවැනි ගවේෂණයෙහි යෙදෙන්නට සිදු වුණා. මේ ගවේෂණය සඳහා ‘රෙසොලියුෂන්’ හා ‘ඇඞ්වෙන්චර්’ යන නම් ඇති නැව් දෙකක් ම ඔහුට ලැබුණා. මේ ගමනට පළමු ගමනටත් වඩා විශාල විද්‍යාඥයන් පිරිසක් සහභාගි වුණා.

අපි‍්‍රකාවට දකුණින් තවත් මහාද්වීපයක් ඇද්දැයි සෙවීම මෙහි දී ඔහුට පැවරුණු කාරියයි. එසේ නව මහාද්වීපයක් ඇත්නම් එය හැකිතාක් ඉක්මනින් සොයා ගෙන, එහි ස්වදේශිකයන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධකම් පවත්වා ගන්නටත් ඔවුන් හා වෙළඳ ගනුදෙනු කරන්නටත් කටයුතු සැලසුම් කරන්නැයි දන්වා තිබුණා.

කුක් අපි‍්‍රකාව වටේ යමින් වඩාත් දකුණට යාත‍්‍රා කළා. ඔහුගේ ඉදිරි ගමනට විශාල හිම තට්ටුවක් නිසා බාධා පැමිණුණා. ඔහු ඒ හිම තට්ටුව වටේ සැතැපුම් 1,250ක් යාත‍්‍රා කළා. හිම තට්ටුවට ඔබ්බෙන් මිනිස් වාසය ඇති බිමක් නොමැති බව තහවුරු කර ගත් කුක් එතැනින් නවසීලන්තය දෙසට යාත‍්‍රා කළා. ඔහුගේ නාවිකයන්ට විවේක ගන්නටත් අලූත් ආහාර හා පලතුරු ලබා ගන්නත් ඉඩ සැලසුණා.

ඒත් කුක්ගේ දකුණුදිග මහාද්වීපය සෙවීමේ අරමුණ නතර වුණේ නෑ. ඔහු නැවතත් යාත‍්‍රා කිරීමට අණ දුන්නා. ඉන්පසු කලින් ඔහු විසින් සොයා ගෙන නම් කර තිබූ ‘ෆ්‍රෙන්ඞ්ස් දූපත්’වලට ගියා. එතැනින් යළිත් දකුණ බලා ගිය ඔහුට යළිත් දක්ෂිණ ධ්රුව හිම තට්ටුව හමු වුණා. ඉන් ඔබ්බට යාම නවතා ඔහුට ආපසු මග සොයා ගෙන එන්නට සිදු වුණා. එතැනින් පාස්කු දූවට ගිය කුක් කැනැක්වරුන් විසූ නව කැඩෝනියාව සොයා ගත්තා. ඉන්පසු හෝන් තුඩුව හරහා යළිත් එංගලන්තය බලා ආපසු ගියා. කුක්ගේ දෙවැනි ගවේෂණ චාරිකාව අවසන් වුණේ එහෙමයි.

තුන්වැනි ගවේෂණ චාරිකාව

මේ ගමන්වල විඩාව නිවා ගන්න තරම්වත් කුක් නතර වුණේ නෑ. වැඩිකල් නොයාම තුන්වැනි ගවේෂණයටත් පිටත් වීමට ඔහු තීරණය කළා. 1776 දී ඇරඹුණු එවර ඔහුගේ ගමනට එක් වුණේ ‘රිසොලියුෂන්’ නැවට අමතරව එක් වුණේ ‘ඩිස්කවරි’ කියන නැවයි. එවර ඔහුගේ ගවේෂණයේ ඉලක්කය වූයේ උතුරු පැසිපික් සාගරයයි. ඇමෙරිකාව හරහා හෝ ඇමෙරිකාව වටා ගොස් උතුරට යා හැකි නැව් මාර්ගයක් සොයා ගැනීම ඒ ගමනේ අරමුණ වුණා. ඔහු සුපුරුදු ගමන් මාර්ගය වූ කේප් තුඩුව හරහා නවසීලන්තයට ගියා. මුලින් ම ඔහු ටයිටි දූපතට ගියා. ඉන්පසුවයි, උතුරු පැසිපික් සාගරය ගවේෂණයට පටන් ගත්තේ. මේ ගමනේ දී තමයි, කුක්ට හවායි කියන දූපත් සමූහය හමුවුණේ. ඒ දූපත් කලින් ස්පාඤ්ඤ ජාතිකයන් විසින් සොයා ගෙනයි, තිබුණේ. එහි ගොඩබට කුක් ඇතුළු පිරිසට කෙතරම් උණුසුම් පිළිගැනීමක් ලැබුණා ද කීවොත් ආපසු එන ගමනේ දීත් එහි නැවතී යන බවට පොරොන්දුවෙමින් තමයි, ඔවුන් එතැන් සිට යළි ගමන් ඇරඹුවේ.

ඇමෙරිකා වෙරළ දිගේ බොහෝ දුරක් උතුරට යාත‍්‍රා කළ කුක් බේරිං සමුද්‍ර සන්ධිය තෙක් ගොස් එය පසු කිරීමට සමත් වුණා. එහෙත් උතුරෙනුත් ඔහුගේ ඉදිරි ගමනට බාධාවක් ඇති වුණා. ඒත් හිම තට්ටුවක්. දකුණේ වගේ ම උතුරේත් මිනිස් වාසයක් නොමැති තවත් හිම තට්ටුවක් ඇති බව තේරුම් ගත් ඔහු ආපසු එන්නට හැරුණා.

මෙහෙම ආපහු එන ගමනේ දී අපූරු දෙයක් සිදු වුණා. කුක් තීරණය කළා, යළිත් හවායි දූපත්වලට ගොඩ බසින්නට. ඔහුගේ නැව්වල අලූත්වැඩියා හා නඩත්තු කටයුතුවලට අවශ්‍ය වූ නිසා. ඔහු එහි ගොඩ බසින විට වෙරළේ විශාල පිරිසක් එක් රැස්ව සිටියා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් බිම දිගා වී මොනවාදෝ කියමින් නමස්කාර කර ඔහුව පිළිගත්තා.

ඒ දූපතේ පැවති පුරාවෘත්තයකට අනුව ඔවුන් ඇදහූ රානෝ නම් දෙවියා යෝධ යාත‍්‍රාවක නැඟී අනාගතයේ යම් දවසක ඈත මුහුදෙන් මතුවී එන බවක් කියවුණා. ඒ දූපතේ ප‍්‍රධාන පූජකයා පිරිසට කියා දුන්නේ කුක් එම දෙවියා බවයි. ඒ නිසයි, කුක්ට අදහන්න බැරි පිළිගැනීමක් ලැබුණේ. කුක් ඇඳගෙන හිටියේ දම්පාට දිගු කබායක්. ඔහුගේ හිස මත වූ තොප්පියේ පිහාටු ගසා අලංකාර කර තිබුණා. කුක් එතෙක් තමන් බලාපොරොත්තු වූ දෙවියා ලෙස පිළිගත් ඔවුන් පුද පඬුරු මහත් රාශියක් ඔහුට පිළිගැන්නුවා. ඔහුට ගෞරව පිණිස එරට ජනයා විශාල වශයෙන් රැස්වුණු උත්සවයකට ද සහභාගි වීමටත් සිදුවුණා. ප‍්‍රධාන පූජකයා ආගමික වතාවත් කර යාච්ඤාවක් කළා. ඒ කිසිවක් කුක්ට තේරුණේ නෑ. ඒත් ඔවුන් ඔහුට ගරු කළ හැටියට කිසිම හානියක් නොකරන බව ඔහු තේරුම් ගෙන තිබුණා.

සති තුනක් එහි රැඳුණු කුක් සහ පිරිස යළිත් ගමන් ඇරඹුවා. ඔවුන්ට ප‍්‍රචණ්ඩ කුණාටු සහිත රාති‍්‍ර දෙකකට මුහුණ දීමට සිදුවුණා. නැව්වලට අලාභ හානි සිදු වූ නිසා තවදුරටත් ගමන යා නොහැකි බව තේරුම් ගත් කුක් නැව් ආපසු හරවා ගෙන යළිත් හවායි දූපත්වලට ගියා. ඒත් එවර ‘දෙවියා’ පිළිගන්න විශාල පිරිස් වෙරළේ රැස්ව සිටියේ නැහැ. ඒත් රජු හා පූජකවරුන් ඔහුට සුපුරුදු ලෙස ගෞරව දැක්වූවා. ඒත් එහි වැසියන් කීපදෙනෙක් කුක්ගේ ‘ඩිස්කවරි’ නැවට අයිති බෝට්ටුවක් සොරකම් කිරීම නිසා කුක්ගේ පිරිසත් වැසියනුත් අතර ආරවුලක් ඇති වුණා. ආරවුල සමථයකට පත් කරන්නට කුක් පිරිසක් සමග සමග ගොඩ බිමට ගියා. එහිදි එහි වැසියකු පසුපසින් කළ පහර දීමකින් කුක් බලාපොරොත්තු නොවූ මොහොතක මියගියා. ඉන්පසු හවායි වැසියන් වට වී ඔවුන්ගේ ‘ඒ දෙවියා’ කැබලිවලට ඉරා දැම්මා. පසුව මිතුරු පූජකයෙක් ඔහුගේ සිරුරේ කැබලි රැගෙන කුක්ගේ නැවට ඇවිත් අවසාන වතාවත් කර කුක්ගේ සිරුර මුහුදේ රැලි අතරට එක් කළා. ගවේෂණයට අයත් සෙසු පිරිස රජු හමුවී සමාදාන වුණා. කුක්ගේ මරණයෙන් රජු මහත්සේ කම්පාවට පත් වී සිටියා. කුක්ගේ දෙවැනියා සෙසු පිරිස සමග රජුගෙන් සමුගෙන ආපසු යන්නට නැව් නැංගා. ඒ පිරිස ආසියානු වෙරළ දිගේ යාත‍්‍රා කොට එංගලන්තයට ආවා.

කපිතාන් කුක්ගේ ගමන් මග සොයා ගත් ක‍්‍රමය ප‍්‍රාථමික එකක් වුනත් ඒ කාලයේ හැටියට ඔහු එය ඉතා සාර්ථකව භාවිත කළා. ඔහු දේශාංශක මැන ගත්තේ හෝරාමානය හා සෙක්ස්ටන් හෙවත් ෂෂ්ටකය නම් උපකරණය යොදා ගෙනයි. ගමන් මග සොයා ගත්තේ තරුවල පිහිටීම උපයෝගී කර ගෙනයි.

කපිතාන් කුක් එතෙක් කිසිම නාවිකයකු නොකළ දෙයක් කිරීමටත් සමත් වුණා. තමන් සමග නැවේ ගමන් කළ නැවියන්ගේ මුඛ වණවීම, සම ඉරිතැලීම වැනි ලක්ෂණ පහළ වනු දුටු විගස තමන් ගොඩ බට දූපත්වල දී අලූත් පලතුරු ලබා දීමෙන් එම ඌනතා ලක්ෂණ මග හැරවීමට ඔහු සමත් වුණා. නැවියන් පෙළුණේ විටමින් ඒ ඌනතාවෙන් බව ඔහු නිශ්චිත ව දැන ගත්තා ද යන්න හෙළි වි නැතත් ඔවුන්ට වැළඳුණේ ශීතාද රෝගය බවත් එය ඇති වන්නේ විටමින් ඒ නොලැබීමෙන් බවත් අද අපි දනිමු.


Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


1 අදහස්:

Ranjith Kapuge said...

wow

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top