HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පණ බේරාගෙන දුවන්න දක්ෂයෝ : ඇන්ටිලොප් කුරංගයින්ගේ කතාව



ඇන්ටිලොප් යන නමින් සත්ත්ව විද්‍යානුකූල ව නිශ්චිත එක් සත්ත්ව විශේෂයක් දැක්විය නො හැකියි. සමාන ගති ලක්ෂණ ඇති විවිධ පවුල්වලට අයත් සත්ත්ව විශේෂ බොහොමයකට ලොව පුරා ‘ඇන්ටිලොප්’ කියා කියනවා. නියම වශයෙන් ම ඇන්ටිලොප් කියා කිව හැක්කේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන ‘ප්‍රෝන්හෝන්’ (pronghorn) හා ‘ප්‍රෝන්බක්’ (pronbuck) යන නම්වලින් හැඳින්වෙන (සත්ත්ව. නා. ඇන්ටිලෝකැප්රා ඇමෙරිකානා Antilocapra americana) කුරංගයාටයි. ඌ අයත් වන්නේ ඇන්ටිලෝකැප්රිඬේ (Antilocapridae) පවුලට. අනෙක් ඇන්ටිලොප් සත්තු බොවිඬේ (Bovidae) පවුලට අයත් වෙයි.

කුරංගයින් කියන්නේ අපි කවුරුත් හොඳින් හඳුනන පාදවල කුර තියෙන සතුන්ටයි. ගව, එළු, බැටළු, ආදී කුර සහිත කිරි බී වැඩෙන සතුන් තමයි කුරංගයින් කියලා කියන්නේ. ඔවුන්ගෙන් බොහොමයක් අයත් වන්නේ ද බොවිඬේ පවුලටයි. මේ පවුල් දෙකට ම අයත් ඇන්ටිලොප් සතුන් ඔවුන්ගේ අලංකාර පෙනුම, ලාලිත්‍යය හා වේගයෙන් දිවීමේ හැකියාව නිසා විශේෂයෙන් කැපී පෙනෙයි.

බොහෝ සතුන්ට ඉහළට විහිදුණු, පසුපසට ඇඹරී ගිය අං තියෙනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ සම රන්වන්, රතු මුසු දුඹුරු, අළු පැහැ ගන්නවා. හොම්බ හා පස්සා පැත්ත සුදු හෝ ළා පැහැයක් ගන්නවා. සමහර සතුන්ගේ සිරුරෙහි අලංකාර ඉරි වැටී තියෙනවා. ප‍්‍රධාන වශයෙන් අපි‍්‍රකාවේ වෙසෙන මේ ඇන්ටිලොප් සතුන් ඉඳහිට ආසියාවේ ද දැක්ක හැකියි. විවිධ සත්ත්ව පවුල්වලට අයත් වුවත් ඔවුන් කෙරෙන් විද්‍යාමාන වන පොදු ලක්ෂණ කීපයක් නිසා ඇන්ටිලොප් කියා භාවිත කරනු ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ ඇන්ටිලොප් සතුන්ට දුර පිමි පනිමින් ඉතා වේගයෙන් දිවීමේ හැකියාව තියෙනවා. එසේ ම ඔවුන් පෙනුමෙන් ඉතාමත් අලංකාරයි.

ඇන්ටිලොප් සතුන් වැඩි දෙනකු හමු වන්නේ විවෘත තණ බිම්වල දීයි. ඔවුන්ගේ තණ උලෑ කෑමත්, විශාල තණබිම්වල දුව පැන ඇවිදිමින් විශාල රංචු වශයෙන් හැසිරෙන ආකාරයත් මන බඳනාසුලූයි. ඇතැම් ඇන්ටිලොප් වර්ග පඳුරු සහිත බිම්වල හා වනාන්තරවල තනි ව ම සිටිනු ද දැකිය හැකියි.

ඇන්ටිලොප් සතුන් ප‍්‍රමාණයෙන් පවා විවිධයි. ඒ ඒ වර්ග හොඳින් වැඩුණු පසු උරහිස තෙක් උස සෙ.මී. 25 සිට සෙ.මී. 180ක් තරම් වෙනස් වෙයි. එසේ වැඩි ම උසක් ඇත්තේ රජ ඇන්ටිලොප් (Royal Antelope)ටයි. සියලූ ම පිරිමි සතුන්ට මෙන් ම ගැහැනු සතුන් ටික දෙනකුට අං තියෙනවා. නියම ඇන්ටිලොප් ලෙසින් හැඳින්වෙන ප්‍රොන්හෝන් මධ්‍යම ප‍්‍රමාණයේ සතෙක්. උගේ සිරුර රතු මුසු දුඹුරු පැහැතියි. යටි කය සුදු පැහැතියි. බෙල්ලේ සුදු පටි දෙකක් වැටී තියෙනවා. තද දුඹුරු පැහැති කෙටි කෙසරු තියෙනවා. පස්සා පැත්තේ වටකුරුවට පැල්ලමක් සේ වැටී ඇති සුදු ලොම් අවශ්‍ය විටෙක පුම්බා දීප්තිමත් සුදු පැහැයක් නිකුත් කිරීමට ඌට පුළුවන්. එය අනෙක් සතුන්ට අනතුරු හැඟවීමට කරන සංඥාවක්. බොංගෝ නම් වර්ගය රතු මුසු රඹ පැහැතියි. පිටෙහි සුදු ඉරි 12ක් වැටී තියෙනවා.

 
රොයල් අන්ටිලෝප්

ඇන්ටිලොප් සතුන්ට හොඳින් වැඩුණු මොළයක් තියෙනවා. ඇසීමේ හා ගඳ සුවඳ දැනීමේ තියුණු හැකියාවක් තියෙනවා. මේ සමග ඔවුන් සතු අසාමාන්‍ය කි‍්‍රයාශීලීත්වය හා ජවය, අනතුරක සේයාවක් සැණෙන් හඳුනා ගෙන ඉක්මනින් ඉන් පැන දිවීමට හැකියාව ඔවුනට ලැබී තියෙනවා.

ඇන්ටිලොප් කුරංගයින් අතර සිටින යෝධයා - එලන්ඞ්
බොහෝ ඇන්ටිලොප් සතුන් එළුවන් හෝ බැටළුවන් හෝ තරම් වන අතර ඉන් ලොකු ම සත්ත්වයා වන්නේ උර හිස තෙක් සෙ.මී. 175ක් (අඟල් 69ක්) පමණ උසැති කි.ග‍්‍රෑ. 800ක් (රාත්තල් 1,764ක්) බරැති යෝධ එලන්ඞ් නම් අපි‍්‍රකාවේ වෙසෙන විශේෂයයි.

 
යෝධ එලන්ඩ්

කුඩාම ඇන්ටිලොප් කුරංගයා - ඩේන්ටි රෝයල්
කුඩා ම සත්ත්වයා වන්නේ ද අපි‍්‍රකාවේ වෙසෙන, උර හිස තෙක් සෙ.මී. 25ක් (අඟල් 10ක්) පමණ උසැති, කි.ග‍්‍රෑ. 2.7 ක් (රාත්තල් 6ක්) පමණ බරැති ඩේන්ටි රෝයල් නම් වර්ගයයි. උන්ගේ අං ද හැඩයෙන් හා ප‍්‍රමාණයෙන් ද විවිධයි. රෝයල් ඇන්ටිලොප්ගේ අං අඟලකට (සෙ.මී 2.5කට) වඩා දිග නැත. යෝධ සේබල් ඇන්ටිලොප්ගේ පසුපසට වකුටු වී ගිය අං දිගින් සෙ.මී. 160ක් (අඟල් 63ක්) පමණ වෙයි. බොවිඬේ පවුලට අයත් ඇන්ටිලොප් සතුන්ගේ අං හැළෙන්නේ නැත. එහෙත් ප්‍රෝන්හෝන්ගේ අං වසරක් පාසා හැළී අලූත් අඟක් වැඩෙයි.

 
කුඩාම අන්ටිලෝපයා : ඩේන්ටි රෝයල්

ඇන්ටිලොප් සත්තු ශාක භක්ෂකයෝයි. තණකොළ හා වෙනත් විවිධ පැළෑටි ආහාරයට ගන්නා ඔවුනගේ දිව දිගුයි; ලොකුයි; පහසුවෙන් හැසිරවිය හැකියි. ඔවුන් වමාරා කන සතුන් වන අතර මාංශ භක්ෂකයන් හා සසඳන කල ලොකු ආමාශ හා වඩාත් දිගු අන්ත‍්‍ර සහිතයි. බොහෝ විට ඔවුන් මුලින් කඩිසර ව උලා කා ගිල දමන ආහාර පසු ව නිවිහැනහිල්ලේ විකමින් සිටිනු දැක්ක හැකියි. දිවීම ගැන සලකන විට ප්‍රෝන්හෝන්ට පැ.කි.මී 70 ක (පැ.සැ. 45 ක) පමණ වේගයෙන් දිවිය හැකියි. උගේ එක් පිම්මක් දිගින් මී. 6ක් (අඩි 20ක්) පමණ වෙයි. තොම්සන් ගැසලි වර්ගයට පැ.කි.මී 80ක (පැ.සැ. 50ක) පමණ වේගයෙන් දිවිය හැකියි. ලොකු ම පිමිකාරයා වන ඉම්පාලා මී. 2.4ක් (අඩි 8ක්) පමණ උසින් යුත් මී. 10ක් (අඩි 33ක්) පමණ දිග පිම්මකට හිමිකම් කියයි.

ඇන්ටිලොප්ලා මුවන්, ඔටුවන්, ජිරාෆ් හා ඌරන් ආදී සකුර සතුන් අයත් වන ආටියෝඩක්ටිලා ගෝත‍්‍රයේ සතුන්ට ඇන්ටිලොප් නෑකම් කියයි. ආටියෝඩක්ටිලා කියන්නේ කුර ඇති සතුන්ටයි. ඇන්ටිලොප්ගේ මහපටැඟිල්ල හා ලොකු ඇඟිලි පරිණාමයේ මුල් යුගයේ දී ම අහෝසි වී ගොස් ඇත. උන් සිට ගෙන සිටින්නේ මැදැඟිලි දෙකෙනි. ඒවා ලොකු නිය පොතු දෙකක් එනම් බෙදුණු කුර දෙකක් බවට පත් වී ඇත. දෙපස ඇඟිලි දෙක කුඩා ව අකි‍්‍රය ව ඇත.

පොසිල වාර්තාවලට අනු ව බොවිඬේ පවුලට අයත් ඇන්ටිලොප් සතුන් වසර මිලියන 65 ක් තරම් ඈත කාලයේ දී යුරේසියාවේ හා අපි‍්‍රකාවේ තණ බිම් පැවති ප‍්‍රදේශවල විසූ බව හෙළි වි තියෙනවා. විශාල වශයෙන් ඇන්ටිලොප් වර්ග අතීතයේ මෙන් ම දැනුදු සිටින්නේ අපි‍්‍රකාවේ තැනිතලා හා සවානා බිම්වලයි. පිරිමි ගැහැනු සතුන් එක් වන කාලයට පිරිමි සතා තමන් හා එක් ව යන ගැහැනු සතකු තෝරා ගෙන අවට ගස් පඳුරුවල තම ගන්ධ ග‍්‍රන්ථීන් ඒවා මත අතුල්ලා තම සීමාවන් ලකුණු කරයි. සමහර ඇන්ටිලොප් වර්ගයක් එක ගැහැනු සතකු හා වෙසෙන අතර සමහර වර්ගයක් ගැහැනු සතුන් කීප දෙනකු ඇතුළත් පට්ටියක් තෝරා ගනියි. බොහෝ සත්ත්ව විශේෂවල ගන්ධ ග‍්‍රන්ථීන් ඇත්තේ ඇස් ඉදිරියෙන්. සමහරුනගේ ඒවා ඇත්තේ අං පසුපස හෝ හකු මත හෝ නො එසේ නම් වලිගයේ, පසුපස හෝ පාදවලයි. මොවුන් ගේ ගැබ් කාලය මාස 4 සිට 8 දක්වා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වරකට එක පැටියකු බැගින් බිහි කරයි. එහෙත් ප්‍රොන්හෝන් හා අං හතරේ ඇන්ටිලොප් වර්ග බොහෝ විට එකවර පැටවුන් දෙදෙනකු ප‍්‍රසූත කරනවා.

හොඳින් වැඩුණු ඇන්ටිලොප් සතකු දඩයම් කිරීම කොටියන්, සිංහයන්, ව්‍යාඝ‍්‍රයන් ඇතුළු විලෝපිකයන්ට ලෙහෙසි පහසු නො වේ. ඒ නිසා ඔවුන් සාමාන්‍යයෙන් ගොදුරු කර ගන්නේ වයස්ගත සතුන් හා පැටවුනුයි. ඇන්ටිලොප් සතුන්ට වඳ වී යාමේ තර්ජනය එල්ල වී තියෙන්නේ එවැනි විලෝපිකයන්ගෙන් නො ව මිනිස් දඩයක්කාරයන් ගෙනි. මෙසේ තර්ජනයට ලක් වී ඇති සතුන් අතරින් එලන්ඞ්, රොවාන්, මහා කුඩූ, වෝටර් බක්, නිල්ගයි (ඉන්දියාවේ නිල් ගවයා), කඳුකර න්‍යාලා හා බොංගෝ කැපී පෙනෙයි. අරාබි ඔරික්ස්, යෝධ සේබ්ල්, බ්ලෙස්බොක්, බොන්ටෙබොක් යන වර්ග වඳ වී යන්නට ආසන්නය. අනෙක් සතුන්ට අභය භූමි නිසා රැකවරණ සැලසී තියෙනවා.

Post a Comment

0 Comments