වටිනා ලෝහ හා ඛනිජ සොයා ග‍්‍රහකවලට යන්න සූදානමක්! පෙරමුණ ගන්නේ සිනමාකරු ජේම්ස් කැමරන් සමග ගූගල් හිමිකරුවන්!


ගූගල් ප‍්‍රධානීන් වන ලැරී පේජ් හා එරික් ෂ්මිඞ් යන දෙදෙනා, සිනමාකරු ජේම්ස් කැමරූන් සමග එක්ව පෘථිවියට ආසන්නව කක්ෂගතව ඇති ග‍්‍රහකවල ඇති ප්ලැටිනම් ආදී වටිනා මූල ද්‍රව්‍ය සොයා ගවේෂණයේ යෙදෙන්නට ආයෝජනයක් කරන්නට සැලසුම් කර තියෙනවා.

මේ සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ බෙලෙවු හි පිහිටුවා ඇති ‘ප්ලැනටරි රිසෝසස්’ නම් නව සමාගමක් පිහිටුවා තියෙනවා. එම සමාගම මගින් මුලින් ම කෙරෙන්නේ මූල ද්‍රව්‍ය සොයා නිරීක්ෂණ මෙහෙයුම් කළ හැකි රොබොටික අභ්‍යවකාශ යානා සංවර්ධනය කර විකිණීමයි. මේවා ඉතාමත් අඩු මිලැති යානා ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව පසුගිය දා ඒ සමාගම ප‍්‍රකාශ කළා.

එහි සංදර්ශනාත්මක මෙහෙයුමක් දෙවසරක් තුළ පෘථිවි කක්ෂය අවට කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව එම සමාගම පිහිටුවීමට මුල් වූ ආචාර්ය පීටර් ඩයමැන්ඩිස් හා එරික් ඇන්ඩර්සන් යන දෙදෙනෙ කියනවා.

කොහොම වුනත් ඉදිරි වසර 10 ඇතුළත පෘථිවි කක්ෂයේ පාවෙන නිරීක්ෂණ වේදිකා ඉදිකොට අලෙවි කරන්නට ‘ප්ලැනටරි රිසෝසස්’ සමාගම බලාපොරොත්තු වෙනවා. ඒ මේ වැඩපිළිවෙළේ එක් පියවරක් හැටියටයි.

 
විද්‍යාඥයන් පිරිසකගේ අමු ද්‍රව්‍ය සොයා ග‍්‍රාහකවල කැණීම් කරන සැලැස්මක්

එහි අරමුණ පෘථිවිය අසලින් පා වී යන දහස් ගණනක් වන සමහර ග‍්‍රහකවල ඇති ඇති වටිනා ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමයි.

අඩි 98ක් විතර වන ග‍්‍රහකයක, අද වටිනාකමේ හැටියට ඩොලර් බිලියන 50ක් පමණ ප්ලැටිනම් තිබිය හැකි යැයි ඒ සමාගමේ ප‍්‍රකාශකයෙක් ලන්ඩනයේ ඬේලි මේල් පුවත්පතට පසුගිය දා කීවා.

මේ හැම මෙහෙයුමකින් ම වටිනා ලෝහ හා ඛනිජ ද්‍රව්‍ය පොළොවට ගෙන ඒමට ලැබෙන එකක් නැහැ. ප්ලැටිනම් හා වෙනත් වටිනා ලෝහ වර්ග කැණීම්වලට අමතරව, මේ ග‍්‍රහකවල ජලය ඇත්නම් ඒවා උකහා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. එසේ එක් රැුස් කරන ජලය, කක්ෂයේ ම වෙනත් ඉන්ධන තැන්පතු සමග ගබඩා කර තබන්නට සැලසුම් කරනවා. එවිට, ඒ ජලය, අනාගතයේ දී නාසා ආයතනය හා වෙනත් ආයතනවල අභ්‍යවකාශ වැඩ සටහන් යටතේ උඩුගුවනට යන අයගේ ප‍්‍රයෝජනයට ගත හැකි වේවි.

”අපට දිගු කාලීන සැලැස්මක් තියෙනවා. එක රැයකින් ලාබ ලබන්නට අපේ බලාපොරොත්තුවක් නැහැ. ඒ සඳහා කාලයක් ගත වේවි.” ඇන්ඩර්සන් රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කළා.

නියම ප‍්‍රතිලාභ ලබන්නට තවත් දශක කීපයක් යනවා. ඒ ග‍්‍රහකවල කැණීම් කිරීමෙන් ප්ලැටිනම් කාණ්ඩයේ වටිනා ලෝහ හා දුර්ලභ ගණයේ ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමෙනුයි.

”ඓතිහාසිකව බැලූවොත් මිනිසා මෙතෙක් වැඩිම ආයෝජනයක් කර ඇත්තේ ගවේෂණය හා ප‍්‍රවාහනය සඳහායි. මේ සියල්ලකදී ම මිනිසා කළේ සම්පත් සොයා යාමයි. යුරෝපීයයන් කුළුබඩු සොයා ලෝකය පුරා ගියා. ඇමරිකානු පදිංචිකරුවන්, රන්, තෙල්, දැව හෝ බිම් සොයා එහි බටහිර දෙසට සංක‍්‍රමණය වූයේත් ඒ අරමුණ ම ඇතිවයි.” ඩයමැන්ඩිස් කියනවා.

”ඒ වටිනා සම්පත් සොයා යන්නට අවශ්‍ය නිසා තමයි, ජනයා විශාල වියදමක් දරා නැව් තනන්නට, දුම්රිය මාර්ග හා නළ මාර්ග ඉදි කරන්නට ඉදිරිපත් වූයේ. අපි අභ්‍යවකාශයට ගියේ පෘථිවියේ අපට ලොකු අගයක් ඇති ලෝහ, ඛනිජ, බලශක්තිය, ඉඩකඩම් දෙපළ, ජලය ආදී අභ්‍යවකාශයේ ඇති පදම් ඇතැයි සිතන දේ සොයා ගෙනයි.” ඔහු කියනවා.

ඩයමැන්ඩිස් හා ඇන්ඩර්සන් යන දෙදෙනා ම මේ සඳහා කෙතරම් මුදලක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවාදැයි කීවේ නැත.

මේ ‘ප්ලැනටරි රිසෝසස්’ ආයතනයේ මේ ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කරන්නන් අතර ඉන්නේ ගූගල් බිලියනපතියන් වන පේජ් හා ෂ්මිඞ් හා සිනමාකරු කැමරූන් පමණක් නොවෙයි. දෙවරක් ම අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය හිටපු මයික්‍රොසොෆ්ට්හී මෘදුකාංග ප‍්‍රධානී චාල්ස් සිමෝනී ද, ගූගල් අධ්‍යක්ෂවරයකු වූ කේ. රාම් ශී‍්‍ර රාම් හා රොස් පෙරෝ කණිෂ්ට ද ඉන්නවා.

‘ප්ලැනටරි රිසෝසස්’ ආයතනය ග‍්‍රහකවල කැණීම් කරන්නට බලාපොරොත්තු වන්නේ කුමන කාලයකදැයි හෙළි කරන්නට කැමති වූයේ නැහැ.

අපේ ග‍්‍රහයා තුළ අමු ද්‍රව්‍ය සඳහා සම්පත් හිඟ වීම නිසා මෑත වසරවල දී ගෝලීය වශයෙන් උද්ධමනයක් ඇති වූවා පමණක් නොව ජාතීන් අතර සංහිඳියාව බිඳී යන තත්වයක්ද උදා කළා.

සමාගමට සිදු වුණා, වියදම් අඩු කළ හැකි තාක්ෂණයක් සංවර්ධනය කර ගන්න, ඒ නිසා ඔවුන් මුලින් ම කළේ ඈත අවකාශයට යවන රොබෝටික යානාවල වියදම දහයෙන් එකේ සිට සීයෙන් එකක් දක්වා කපා හැරීම කළ හැකි ක‍්‍රම යොදා ගැනීමයි. එයින් පිරිවැය මිලියන ගණනින් කපා හරිනු ලැබුවා. ඩයිමැන්ඩිස් කියනවා.

මෙහිදී තෝරා ගෙන ඇති තාක්ෂණයේ දී සන්නිවේදනය සිදු කෙරෙන්නේ ලේසර් ධාරවක් ඔස්සේ බැවින් විශලා රේඩියෝ ඇන්ටෙනා උඩුගුවනට ගෙන යාමේ අවශ්‍යතාවක් නැත. මේ ක‍්‍රමය ප‍්‍රකාශික ලේසර් සන්නිවේදනය (optical laser communications) කියා හැඳින්වෙනවා.

අභ්‍යවකාශ ව්‍යවසායකයන් වන පීටර් ඩයිමැන්ඩිස් හා එරික් ඇන්ඩර්සන් දෙදෙනා තමයි ප්ලැනටරි රිසෝසස් සමාගම වෙනුවෙන් පෙනී සිටින්නෙ. එම සමාගම පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ගේ අරමුණ වන්නේ අභ්‍යවකාශයේ නව කර්මාන්තයක් ආරම්භ කිරීම හා ස්වාභාවික සම්පත්වලට නව නිර්වචනයක් සැපයීම බවයි.

වානිජමය අභ්‍යවකාශ ගවේෂණය කෙරෙහි දැඩි අභිලාෂයක් දක්වන මේ ඩයිමැන්ඩිස් හා ඇන්ඩර්සන් දෙදෙනා මේ නව ව්‍යාපෘතිය සඳහා කලින් නාසා ආයතනයේ නිලධාරීන් දෙදෙනකු ද හවුල් කර ගෙන තියෙනවා.

1995 දී අන්තර්ජාතික අභ්‍යවකාශ සමුළුවේ දී අධි මිලක් වැය නොවන අභ්‍යවකාශ යානයක් තැනීම සඳහා රාජ්‍ය නොවන ආයතන යොමු කරවීමේ අරමුණෙන් අන්සාරි එක්ස් ප‍්‍රයිස් නම් තරගයක් සංවිධානය කිරීමට මුල්වරට යෝජනා කළේ මේ ආචාර්ය පීටර් ඩයිමන්ඩිස් විද්‍යාඥයාමයි. අද ඔහුගේ සිහිනය සැබෑවී තිබෙනවා.

”දැන් අන්තිමේ දී අපේ පොළොවට හානි නොකර මිනිසාට අවශ්‍ය සම්පත් පෘථිවියට පිටින් උකහා ගැනීමට හැකි තාක්ෂණය අපට ලැබී තිබෙනවා.” ඔහු පසුගියදා ෆෝබ්ස් සඟරාවට කීවා.

හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරූන් අභීත ගවේෂණවලට අමුත්තෙකු නොවෙයි. ටයිටැනික් හා අවටර් යන ජනපි‍්‍රය චිත‍්‍රපට ඔබට දුන් ඔහු පසුගියදා තනිව ම පොළොවේ ගැඹුරුම තැන වූ මරියානා අගාධයේ චැලෙන්ජ්ර් ඞීප් ගවේෂණයෙහි යෙදුණු හැටි ‘මල්කැකුළු’ තුළින් නැරඹුවා ඔබට මතක ඇති.


 
අඟහරු මත යන රෝවරය දැන් රතු ග‍්‍රහයා වෙත යමින් සිටියි. නව සමාගමක් අභ්‍යවකාශ තරණයට අවශ්‍ය උපකරණ සියයට එකක් දක්වා අඩු කරන උත්සාහයක.

 
නාසා ආයතනය දැනටමත් ග‍්‍රහකයක් මතට නිරීක්ෂණ යානයක් සාර්ථකව පතිත කළා. ඒ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 196ක් දුරින් පිහිටි ඊරෝස් නම් ග‍්‍රහකය වෙතයි.


 
නාසා ආයතනයේ අධෝරක්ත ආකාශ ස්කෑනරයෙන් ග‍්‍රහක වැනි වස්තූන් හසු කර ගැනීමට හැකියි. නියෝවයිස් උපකරණවලින් මෑත දී කරන ලද එවැනි ස්කෑන් කිරීමක් මගින් පෘථිවියේ සිට සැතැපුම් මිලියන 120 ඇතුළත මධ්‍යම ප‍්‍රමාණයේ ග‍්‍රහක 19,000ක් ඇතැයි සොයා ගෙන තියෙනවා.

 
සිනමාකරු ගවේෂක ජේම්ස් කැමරූන්

 
අභ්‍යවකාශයට ගිය බිලියනපති චාල්ස් සිමෝනී


 
 නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසය මේ ග‍්‍රහකවල බහුලව වටිනා ලෝහ ද්‍රව්‍ය ඇති බවයි.


 
අභ්‍යවකාශ විද්‍යාඥ ව්‍යාපාරික පීටර් ඩයමන්ඩිස්

 
විශේෂඥයන් විශ්වාස කරන විදියට, දැන් තමයි අපට හැකියාව ලැබී තියෙන්නේ පෘථිවියට ආසන්නව කුඩා ග‍්‍රහක විශාල ප‍්‍රමාණයක් ඇති බව දැන ගන්න.

 
අපේ පෘථිවියට ආසන්නව ඇති මෙවැනි ග‍්‍රහකයක ඇතුළේ ජලය, ඔක්සිජන්, වටිනා ලෝහ වර්ග ආදිය බහුලව තිබිය හැකියි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. bohoma watina lipiyak... bohoma sthuthiy... :)

    ReplyDelete
  2. වටිනා ලිපියක්... ගොඩක් නොදන්නා කරුනු දැනගත්තා... ස්තුතියි

    ReplyDelete
  3. //ඔහු පසුගියදා තනිව ම පොළොවේ ගැඹුරුම තැන වූ මරියානා අගාධයේ චැලෙන්ජ්ර් ඞීප් ගවේෂණයෙහි යෙදුණු හැටි//

    දන්න විදියට කැමරන් මහත්මයා ඒ ගිහින් ඉන්නේ ඇවටර් 2 චිත්‍රපටය සඳහා පසුබිම් පරීක්ෂණයකටයි...

    වෙනදා වගේම වටිනා දැනුවත් කිරීමක්... අන්තර්ජාලයෙන් මේ පුවත ඇස ගැටුනු විගසම ‘මල් කැකුළු‘ ඔස්සේ මම මේ ලිපිය පළවෙයි කියලා බලාපොරොත්තු වුනා... ගොඩක් ස්තුතියි !!! ජය !!!

    ReplyDelete