HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පැටවුන් කුසෙහි පැසක ලා ගෙන හදන සේපාටිකයන්ගේ කතාව

මේ කියන්න සූදානම් වන්නේ ඔයාලා හොඳින් හඳුනන පිරිසක් ගැනයි. ඔයාලා ඔවුන්ගෙන් සමහර අයව දැකලත් ඇති. විස්තර දන්නවත් ඇති. ඒත් ඔවුන් ගැන කියන්න තවත් නම් කොයිතරම් අපූරු දේවල් තියෙනවද? ඔවුන් ක්ෂීරපායී සත්ව විශේෂයක්. හරියට අපි වගේ. කිරි බීලා තමයි, වැඩෙන්නෙ. ඔවුන් වැඩිපුර ම දකින්න ලැබෙන්නේ ඕස්ටේ‍්‍රලියාවෙයි. එ වගේ ම නිව්ගිනියාවෙත් ඇමෙරිකාවෙත් ඉන්නවා. ඔවුන් ලෝකයේ වෙනත් කිසිම තැනක දකින්නට නැහැ. කුසෙහි ඇති පැසෙහිලා දරුවන් ඇති දැඩි කිරීම තමයි, මේ සතුන්ගේ ඇති සුවිශේෂ ලක්ෂණය. මොවුන් හැඳින්වෙන්නේ මාසුපියලියා හෙවත් සේපාටිකයන් ලෙසයි. පැසිපොව්වන් කියලත් මොවුනට කියනවා. මේ මාසුපියලියා ගෝත‍්‍රයට අයත් සත්ව විශේෂ 266 ක් ඉන්නවා.

මේ සේපාටිකයන්ට අයත් වන සතුන් අතරට ඕස්ටේ‍්‍රලියාවෙන් කැන්ගරුවන් හා කෝලා වලසුන් විතරක් නෙවෙයි, නුම්බැට්, බැන්ඩිකූට්, වුම්බැට්, පොසම් හා වල්ලබී ආදී සතුන් ද ඇමෙරිකාවෙන් ඔපොසම් ද අයත් වෙනවා. අනෙක් ක්ෂීරපායී සතුන්ට වඩා මේ සතුන් වෙනස් වන්නේ මේ සතුන් මවගේ ගර්භාෂය ඇතුළේ වැඩි කලක් නොසිට ඉතාමත් කුඩා ම කාලයේ දී ම පිටතට ඒමයි. ඒ නිසා ඔවුන්ට වැඩෙන්න මවගේ කුසෙන් පිටත විශේෂ පැසක් තියෙනවා. මේ පැසට මුලින් ම එන අවස්ථාවේ දී පුංචි කැන්ගරු පැටියා කොයිතරම් කුඩා ද කීවොත් තේ හැන්දකට පස් දෙනෙක් විතර දමන්න පුළුවන්.


ලෝකයේ විශාලතම සේපාටිකයා: රතු කැන්ගරුවා
සේපාටිකයන් හෙවත් පැසිපොව්වන් අතුරින් විශාලතමයා තමයි, රතු කැන්ගරුවා. කැන්ගරුවන්  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික වූ සත්ව විශේෂයක්. රතු කැන්ගරුවන් කියා හඳුන්වන කැන්ගරු විශේෂයේ පිරිමි සතුන් රතු මිශ‍්‍ර දුඹුරු පැහැයෙන් යුක්තයි. පිරිමි සතුන් ප‍්‍රමාණයෙන් ගැහැනු සතුන් මෙන් දෙගුණයක් පමණ විශාලයි. ගැහැනු සතුන් නිල් මිශ‍්‍ර අළු පැහැයෙන් යුක්තයි. දිගු පිමි පැන පැන දිව යාමට හැකි වනසේ ඔවුන්ගේ පසුපස පාද දිගින් මා ශක්තිමත් ලෙස හැඩ ගැසී තියෙනවා. අනෙකුත් සේපාටිකයන් වගේ ම රතු කැන්ගරුවන් ද රාත‍්‍රි කාලයේ දී ක‍්‍රියාශීලී වන නිශාචරයින්. ඔවුන් දිවා කාලයේ ගස් සෙවණක් යටට වී විවේක ගන්නවා. ඒත් සීත දිනවල දී ඔවුන් දවල් කාලයේ දීත් ක‍්‍රියාශීලී ව හැසිරෙනවා. ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය වන්නේ තණකොළයි. ඊට අමතර ව පඳුරුවල දළු කෑමටත් ප‍්‍රිය කරනවා. ඉදිරි ගාත‍්‍රාවලින් ඉදිරිපසට නැමීමේ දී කැන්ගරුවන් ඔවුන්ගේ සිරුරේ සමබරතාව රඳවා ගන්නේ දිගු වල්ගයෙන්.

කැන්ගරු පිම්ම
කැන්ගරුවන් සහ කැන්ගරු පවුලේ සාමාජිකයින් වන වෝලබියලා ගමන් කරන්නේ හරිම අපූරු ක‍්‍රමයකටයි. ඒ තමයි, ඔවුන්ගේ පැන පැන යෑම. ඔවුන්ගේ පසුපස ගාත‍්‍රා එහෙම නැතිනම් පසුපස කකුල් හරිම ශක්තිමත්. ඒවා යෝධ දුන්නක් එහෙම නැතිනම් ස්පි‍්‍රං එකක් වගේ ක‍්‍රියාත්මක වෙනවා. ආහාර සොයමින් ඔවුන් තැනිත් තැන ගමන් කරන්නේ පැන පැන යමින්.  පැන පැන යාමේදී සමබරතාව රැක ගැනීමට දිගු වලිගය උදව් වෙනවා. එක පිම්මකින් මීටර 1 සිට 2 ක දුර ප‍්‍රමාණයකට පනින්න කැන්ගරුවෙකුට පුළුවන්. වේගයෙන් යද්දී එක පිම්මකින් මීටර 9 ක් දුර පනින්න පුළුවන් හැකියාවක් කැන්ගරුවන්ට තියෙනවා. කැන්ගරුවන්ට ඔවුන්ගේ පසුපස කකුල් දෙක වෙන වෙන ම සෙලවීමේ හැකියාවක් නෑ. ඒකයි ඔවුන් පැන පැන යන්නේ. ඔවුන්ට ඇවිදීමට නොහැකි නිසා. හොඳින් වැඩුණු කැන්ගරුවකුට පැයට කි.මී. 48ක පමණ වේගයෙන් පැන පැන යා හැකියි.


පැටවුන් බෝ කිරීම
පුංචි පැටවුන් හදන විදියෙනුත්, එනම් ඔවුන්ගේ ප‍්‍රජනනය සිදුවන විදියෙනුත් සේපාටිකයන් අනෙක් ක්ෂීරපායීන්ගෙන් වෙනස් වෙනවා. සේපාටික ගැහැනු පිරිමි සතුන් දෙදෙනකු එකතු වුනාට පස්සේ ගැහැනු සතාගේ ගර්භාෂයේ කුඩා කලලයක් හට ගන්නවා. දින 30කට පස්සේ මේ පුංචි පැටියා ගර්භාෂයෙන් පිට වෙනවා. ඒ වන විට මේ අලූත උපන් පැටියාගේ සිරුරෙන් පැහැදිලි ව වැඩිලා තියෙන්නෙ කට හා ඉදිරි පා දෙක විතරයි. ඌට කියන්නේ ‘ජොයියා’ කියලයි. හොඳින් වැඩුණු, කි.ග‍්‍රෑ. 27ක් බර රතු කැන්ගරුවකුගේ මෙවන් පැටියකු උපදින විට මි.ග‍්‍රෑ. 800ක් විතරයි බර වෙන්නෙ. සාමාන්‍ය පෙනුම කලලයක් වගෙයි. එතැනින් තමන්ගේ දෑතේ වාරුවෙන් මවගේ උදවු කිසිවක් නැති ව, මවගේ සිරුරේ ලොම් අල්ලා ගෙන ඉහළට නඟින ජොයියා උදරයේ ඇති විශේෂ පැසකට (මල්ලකට) ඇතුළු වෙනවා. කිරි උරා බොන තනපුඩු තියෙන්නෙ ඒ පැස ඇතුළෙයි. එතැන තමයි, මාස 11ක් වෙනකම් ඌ වැඩෙන්නෙ. මවගේ පැසෙහි වැඩෙන මුල් කාලේ ජොයියාට කට තිබුණාට කිරි උරන්න ශක්තියක් නැහැ. ඌ කටින් මවගේ තනපුඩුවෙ එල්ලිලා ඉන්නවා. මවගේ තන පුඩුවලට සම්බන්ධ පේශියකින් උගේ කටට කිරි විදිනවා. ජොයියාට මාස 4ක් වුනාට පස්සෙ ඌ පැසෙන් එළියට ඇවිත් එහෙ මෙහෙ දුවන්නත් කෑම සොයා කන්නත් පටන් ගන්නවා. ඒත් රෑට නිදා ගන්නත් ඉඳහිට කිරි උරා බොන්නත් ඌ පැස සොයා යනවා.


රංචු ගැහිලයි ඉන්නේ
රතු, සහ අළු කැන්ගරුවන් මෙන්ම වෝලබීස්ලා ජීවත්වන්නේ කල්ලි වශයෙන්. එක රංචුවක 10 දෙනෙකු ඉන්නවා. කල්ලියේ නායකත්වය දරන්නේ ජව සම්පන්න ශක්තිමත් පිරිමි සතෙක් විසින්. ඊට අමතරව කල්ලියේ ලාබාල පිරිමි සතුන් හා ගැහැනු සතුන් කිහිප දෙනෙකු ඉන්නවා. හොඳින් ආහාර ඇති ප‍්‍රදේශවල ජීවත්වන කැන්ගරු රංචුවකට කැන්ගරුවන් 100 ක් පමණ අයත් වෙනවා.

බොක්සිං ගහගන්නත් දක්ෂයි
පැටවුන් බෝ කිරීමේ කාලය උදාවෙද්දී ගැහැනු සතුන් වෙනුවෙන් සටන් කිරීමට ශක්තිමත් පිරිමි සතුන් පෙලඹෙනවා. පිරිමි සතුන් දෙදෙනෙක් සටන් වදින්නේ පසුපස ගාත්වලින් හිටගෙන ඉදිරිපස කුඩා ගාත් භාවිතා කරමිනුයි. ඒක හරියට බොක්සිං තරගයක් වගෙයි. සටන් වදින දෙදෙනාගෙන් එක් සතෙක් පැරදී පලා යන තෙක්ම මෙම බොක්සිං තරග පැවැත්වෙනවා.

කැන්ගරු පවුලේ සාමාජිකයෝ : ගස් නගින ගස් කැන්ගරුවෝ
කැන්ගරු සහ වොලබී පවුලේ කිට්ටු ම සාමාජිකයා තමයි ගස් කැන්ගරු. මොවුන් ජීවත් වන්නේ ඊසාන දිග ඕස්ටේ‍්‍රලියාවේ හා නිව් ගිනියාවේ ඝර්ම කලාපීය වනාන්තරවලයි. ඔවුන්ගේ ඉදිරිපාද වල ගාත් දිගයි හරිම ශක්තිමත්. පසුපස ගාත් කුඩායි. දිගු වලිගයක් තියෙනවා. සමබරතාව රැක ගැනීමට දිගු වලිගය උපකාරී වෙනවා. ඒ වගේ ම ගස් දිගේ යාමේ දී උල් තියුණු නිය උපකාරී වෙනවා. මොවුන් ගස් නගින්න උපන් හපන්කම් ඇති අයයි. මොවුන් කෑමට ගන්නේ ගස්වල කොළ සහ පලතුරුයි. ඒවා සොයමින් ගහෙන් ගහට පනිමින් හුඟක් දුර ගමන් කරන්නට කැන්ගරූට පුළුවන්.

යුකැලිප්ටස් ජීවිකාවට බැඳ ගත් කෝලවලහා
ඉංග‍්‍රීසියෙන් ‘කෝලා බෙයර්’ කීවා ම නම් කවුරුත් මේ හුරුබුහුටි සතාව හඳුනනවා. කෝලා වලසා ඕස්ටේ‍්‍රලියාවේ අභිමානයයි. අළු පාට හුරුබුහුටි, අහිංසක කෝලා වලසුන් ජීවත් වන්නේ නැගෙනහිර ඕස්ටේ‍්‍රලියාවේ යුකැලිප්ටස් වනාන්තරවලයි. යුකැලිප්ටස් ගස තමයි කෝලා වලසුන්ගේ පැවැත්මට දායක වන ප‍්‍රධාන තම සාධකය වන්නේ. ඔවුන් කෑමට ගන්නේ යුකැලිප්ටස් ගසේ කොළ, දළු සහ පොතුයි. ඔවුන් නිදාගන්නේත් වාසය කරන්නේත් පැටවුන් බිහි කරන්නේත් යුකැලිප්ටස් ගස්වලයි. ගස් උඩට වී දිනකට පැය 18 ක්ම ඔවුන් නිදාගනිමින් විවේක ගන්නවා. එහෙම කරන්නේ ශක්තිය වැයවීම ඉතිරි කර ගැනීමටයි. කෝලා වලසුන්ගේ අත්වලත් කකුල්වලත් තියෙනවා මහපට ඇඟිලි. හරියට අපට තියෙනවා වගේ. ගස් කඳන් හොඳින් අල්ලා ගැනීමටත් බදා ගැනීමටත් ඒවා උපකාරී වෙනවා. ඔවුන් ගස් දිගේ බඩ ගාමින් ඉහළට නගින්නේ ඒ ඇඟිලිවල ඇති තියුණු නියවල ආධාරයෙනුයි. කෝලා ගැහැනු සතුන් වරකට බිහි කරන්නේ එක පැටවකු විතරයි. පුංචි පැටවා මාස 6 ක කාලයක් කෝලා අම්මාගේ පැසෙහි ඉන්නවා.


කෝලා වලසුන්ගේ ආහාර රටාව
කෝලා වලසුන්ගේ ආහාර ගැනීම සුවිශේෂයි. ඒක ඔවුන්ට ම ආවේණික වූවක්. ඔවුන් හැම යුකැලිප්ටස් ගසක ම කොළ ආහාරයට ගන්නේ නෑ. යුකැලිප්ටස් විශේෂ 100 ක් අතුරින් ඔවුන් ආහාරයට ගන්නේ විශේෂ 12 ක කොළ පමණයි. වැඩුණු කෝලා වලසෙක් දිනකට කිලෝ ග‍්‍රෑම් 1.1 ක යුකැලිප්ටස් කොළ ප‍්‍රමාණයක් කෑමට ගන්නවා. බොහෝ කෘන්තකයින්ට මෙන් කෝලා වලසුන්ගේ කම්මුල් ඇතුළේ ඇති මලූවල තවත් කොළ රඳවා ගැනීමටත් හැකියාව තියෙනවා. කෘන්තකයින් කියලා කියන්නේ ලෑටි ගාන සතුන් උදා: මීයන්, ඉත්තෑවන් වගේ. ඒත් කෝලා වලසුන් කෘන්තකයින් අයත් රොඩෙන්ටියා (Rodentia) ගෝත‍්‍රයට අයත් වන්නේ නම් නෑ. යුකැලිප්ටස් ගසේ කොළවල තියෙන සියලූම පෝෂක කොටස් කෝලා වලසුන් ලබා ගන්නවා. ආහාරයට ගන්නා යුකැලිප්ටස් කොළ ඉතාමත් හොඳින් ජීර්ණය වීමට කෝලා වලසුන්ට දිග බඩවැල් තියෙනවා.

ගුල් හාරන ලැජ්ජාශීලී වුම්බැට්
ගිනිකොනදිග ඕස්ටේ‍්‍රලියාවේ බහුලව වසය කරන වුම්බැට් විශේෂය හරිම ලජ්ජාශීලීයි. මොවුන් ජීවත් වෙන්නේ පොළොවේ හාරන ලද ගුල්වලයි. මොවුන් නිශාචරයි. කෑම සොයා එළියට එන්නේ රෑටයි. මොවුන්ගේ ආහාර තමයි ගස්වල මුල් වර්ග, පෙද පාසි හා තණකොළ. වුම්බැට්ලා කෑම සොයමින් දිනකට කිලෝ මීටර 2 ක හෝ 3 ක ප‍්‍රදේශයක් පුරා ඇවිදිනවා. පැටවුන් බෝ කිරීමේ කාලයේ දී හැර වුම්බැට් සතුන් ජීවත් වන්නේ තනිවමයි. ගැහැනු සතුන් බිහි කරන්නේ වරකට එක පැටවෙක් විතරයි. පුංචි පැටවා පැස තුළ මාස 6 ක කාලයක් ජීවත් වෙනවා. වුම්බැට් සතුන්ගේ පැසට ඇතුළු විය හැක්කේ පිටිපසිනුයි. ඊට හේතුව ගුල් හාරමින් පොළොව තුළට ගමන් කිරීමේදී පැස තුළට පස් යාම වැළැක්වීම සඳහායි.


වුම්බැට් ගුල්
වුම්බැට් සතුන් හරිම ක‍්‍රියාශීලීයි. ඒ වගේමයි ඔවුන්ට දක්ෂ ලෙස ගුල් හාරන්නට පුළුවන්. අඩි 100 ක් පමණ පොළව යට ගුල් හාරමින් උමං පද්ධති ඉදි කිරීමට වුම්බැට්ලාගේ තියුණු නිය සහ ශක්තිමත් ගාත් උදව් වෙනවා. දහවල් කාලයේ දී ඔවුන් මේ ගුල් ඇතුළට වෙලා විවේක සුවය විඳිනවා. ගිම්හාන කාලයේදී සිසිල් ව සිටින්නටත් ශීත කාලයේ දී උණුසුම් ව සිටින්නටත් වුම්බැට්ස්ලා ප‍්‍රිය කරනවා. දිවා කාලයේ ගුල් ඇතුළේ සිටින්න පුරුදු වුනත් ඉඳලා හිටලා ගුලෙන් එළියට ඇවිත් අව්ව තැපීමටත් වුම්බැට්ස්ලා කැමතියි.


දවස පුරාම ක‍්‍රියාශීලී නුම්බැට්
නුම්බැට්ස්ලා ජීවත් වන්නේ බටහිර ඕස්ටේ‍්‍රලියාවේ වනාන්තරවලයි. දවස පුරාම ක‍්‍රියාශීලී ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වන එක ම සේපාටිකයා තමයි මේ නුම්බැට්. මොවුන්ගේ ආහාර තමයි වේයන් සහ කුහුඹුවන්. ඉදිරිපස ගාත‍්‍රාවලින් පෙරළුණු ගස් කඳන් හාරමින් ඒවා යට සැඟවී ඉන්න වේයන් හා කුහුඹුවන් කෑමට ඇලෙනසුලූ දිවක් මොවුන්ට තියෙනවා.

බිහිසුණු හඬක් නංවන තස්මේනියන් යකා
මාංශභක්ෂක සේපාටිකයන් අතරින් ලොකු ම සතා හැටියට සැලකෙන්නේ තස්මේනියානු යකා හෙවත් තස්මේනියන් ඩෙවිල් (Tasmanian devil). මේ තස්මේනියානු යකා ප‍්‍රමාණයෙන් මහත ටෙරියර් බල්ලෙකු තරම් ලොකුයි. තස්මේනියානු යකා ජීවත්වන්නේ ඕස්ටේ‍්‍රලියාවට පහළින් පිහිටන තස්මේනියාව කියන දූපතේ විතරයි. මෙම සතාට ‘ඩෙවිල්’ නැත්නම් ‘යකා’ කියලා කියන්න ප‍්‍රධාන හේතුව ඌ ඇඟකිළිපොළා යන බිහිසුණු හඬකින් උඩුබුරලෑමයි. අනෙක් හේතුව තමයි රාති‍්‍ර කාලයේ දඩයමේ ගොස් සර්පයින්, කටුස්සන් වැනි සතුන් ආහාරයට ගැනීම. වැටුණු ගස් කඳන්වල ඇති බෙනවල හෝ වුම්බැට් සතුන් බිම හාරන ගුල්වල දිවා කාලය සැඟවී විවේක ගන්නා ඌ ගොදුරු සොයා එළියට එන්නේ රාත‍්‍රියටයි. සර්පයින්, කටුස්සන් වැනි උරගයන් පමණක් නොව කුඩා ක්ෂීරපායී සතුන් ද ඔහු දඩයම් කරනවා. මෙසේ සතුන් දඩයම් කළත් තස්මේනියානු යකා වැඩිපුර කැමති මළකුණු ආහාරයට ගන්නයි.


බොරුවට මැරෙන්න දක්ෂ ඔපොසම්
ඔපොසම් කියලා කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ස්පාටිකයන් විශේෂයක්. ඔවුන් බහුල ව ජීවත් වෙන්නේ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ. ඔපොසම් විශේෂ 75 ක් දකින්න ලැබෙනවා. ඔවුන් අතුරින් විශාලතම ඔපොසම් සතුන් විශේෂය තමයි, වර්ජිනියානු ඔපොසම්. මොවුන් දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවේ පමණයි. උණුසුම් පළාත්වල නම් වසර 3 කට වතාවක් වර්ජිනියානු ඔපොසම් ගැහැනු සතෙකු පැටවුන් බිහි කරනවා.


වරකට පැටවුන් 10 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් බිහි කිරීමට ගැහැනු සතා සමත් වෙනවා. ඔපොසම් සතුන් සතුරන්ගෙන් බේරීමට හරිම අපූරු දෙයක් කරනවා. ඒ තමයි ඔවුන්ගේ ජීවිතයට තර්ජනයක් දැනුනු විගස ඔවුන් මැරුණා වගේ වැතිරී ඉන්නවා. මේ නිසා ඉංග‍්‍රීසි භාෂාවට එක් වූ පිරුළක් තියෙනව, ප්ලේයින් ඔපොසම් "Playing Opossum", කියලා. එහි තේරුම ඔපොසම් සතකු වගේ බොරු කරන්න දක්ෂයි කියන එකයි.

දිග නහයක් ඇති බැන්ඩිකූට්
හාවෙකුගේ ප‍්‍රමාණයෙන් හෝ ඊටත් වඩා කුඩා ප‍්‍රමාණයේ නහය දිග සේපාටිකයෙක්. බැන්ඩිකූට් හරිම ක‍්‍රියාශීලීයි. කැන්ගරුවන් මෙන් පැන පැන යන රාත‍්‍රියේදී කෑම සොයා යන සත්වයෙක්. බැන්ඩිකූට් විශේෂ කිහිපයක් ඉන්නවා. මේ අතරින් දිගු නහයක් ඇති බැන්ඩිකූට් සතුන් ද අනෙක් විශේෂ මෙන් ම තියුණු නිය සහිත ඉදිරිපස ගාත‍්‍රාවලින් පොළොව හාරා කෘමි සතුන් හා පනුවන් කැමට ගන්නවා.


මීට අමතරව අනෙකුත් අපෘෂ්ඨවංශීන් (ඒ කියන්නේ කශේරුකාවක් නැතිනම් කොඳු ඇට පේළියක් නොමැති සතුන්) ඇටවර්ග, පෙද පාසි, යුෂවලින් පිරුණු ගස්වල මුල් ද කෑමට ගන්නවා. බැන්ඩිකූට්ලා අවුරුද්ද පුරාම පැටවුන් බිහි කරනවා. ගැහැනු සතෙක් වරකට පැටවුන් දෙදෙනෙක් හා තුන්දෙනෙක් බිහි කරනවා. පුංචි පැටවුන් අම්මලාගේ පැසට වෙලා දින 50 ක කාලයක් ගත කරනවා.

Post a Comment

1 Comments