HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිසා අමරණීය වෙයි ද? ‘වියපත් නොවී’ ජීවත්වෙන්න මඟක් දැන් පෑදිලා!


වයසට යාම තීරණය කරන ජානමය යතුරක් හඳුනා ගැනීමට බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් දැන් සමත් වී තියෙනවා. මේ නව සොයා ගැනීම නිසා වයසට යාම නවතා දැමිය හැකි හෝ වයසට යාම ප‍්‍රමාද කළ හැකි හෝ ඖෂධ නිපදවීමට අනාගතයේ අපට මඟ පෑදේවි.

මෙහිදී විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ආහාර වැනි සාධක නිසා සිරුර වයස්ගත වීම පමා කරන ජාන හතරක් කෙරෙහියි. ඒවා වෙන් කර හඳුනා ගැනීමට ඔවුන් දැන් සමත් වෙලා තියෙනවා.

ආහාර වැනි සාධක නිසා පාරිසරික හා ජීවන රටාවන් හේතුවෙන් මේ වයසට යාම සිදු කරන ජානවල සකි‍්‍රය වීම් හා අකි‍්‍රය වීම් විටින් විට සිදු වෙනවා. මේවා කුඩා කල ඇති කර ගන්නා ආහාර පුරුදු නිසා සිදු වන බවත් දැන් පැහැදිලි වී තිබෙනවා.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ, මේ ප‍්‍රධාන ජානවල සිදු වන වෙනස් කම් පාලනය කිරීම තුළින් වයසට යාම වැළක්විය හැකි ඖෂධ නිපදවීමට මඟ පෑදෙනු ඇත කියායි.

 
කි‍්‍රස්ටෝපර් ලැම්බට් ‘හයිලෑන්ඩර්’ චිත‍්‍රපටයේ අමරණීය මිනිසා වූ කොනර් මැක්ලොයිඞ්ගේ චරිතය රඟපාන අයුරු.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ මිනිසා අමරණීය කළ හැකි ජාන හඳුනාගත් පසු ඊට සුදුසු ඖෂධ හා ක‍්‍රමවේදයන් සැකසිය හැකියි කියායි.

වයසට යාම වළක්වා ලීමේ දී අපිජානමය වෙනස් කිරීම් වැදගත් වන බව විද්‍යාඥයන් දැනටමත් දන්නවා. පරිසරයේ ඇති බාහිර සාධක මගින් ඞීඑන්ඒවල රසායනික වෙනස්කම්වල බලපෑම් කළ හැකි බවත් ඔවුන් අවබෝධ කර ගෙන තියෙනවා.

ඔවුන් මේ නව පර්යේෂණ කටයුතු මෙහෙයවා ඇත්තේ ජානවල සිදු වන මේ වෙනස්කම්වලට බලපැම් ඇති වන්නේ කෙසේ ද කුමන අවස්ථාවල දී ද යන ප‍්‍රහේලිකාව විසඳා ගැනීම පිණිසයි.

මේ පිළිබඳ හෙළිවන්නේ ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ විද්‍යාඥයන් පිරිසක් කළ අධ්‍යයනයකින්. ඒ පිරිසේ ආචාර්ය ජෝදානා බෙල් ඒ ගැන කියන්නේ මෙහෙමයි: "අපට පෙනී ගියා ජෛව වයස නිර්වචනය කිරීමට කලින් භාවිතා කළ වයසට අදාළ ගතිලක්ෂණවල දී අපිජනන වෙනස්කම් ඊට බලපාන බව."

"අපි හඳුනාගෙන තියෙනවා වයසට අදාළව සිදු වන අපිජනන වෙනස්කම් රාශියක්. ඒත් එයින් හතරක් නිරෝගීව වියපත් වීමට හා දිගු කලක් ජීවත් වීමේ හැකියාව ලබා දීමට සමත්. අපට මේ සොයා ගැනීම් දිගු කලක් නිරෝගීව ජීවත් වීමට අවශ්‍ය සාධක ලෙස යොදා ගත හැකියි."

"මේ ප‍්‍රතිඵල උදවු වේවි, ජෛව යාන්ත‍්‍රණයේ ඇති නිරෝගීව වියපත් වීම හා වියපත් වීම හා සම්බන්ධ රෝග ආදිය තේරුම් ගන්න. ඉදිරියේ දී කටයුතු කෙරෙන්නේ පරිසර සාධක අපිජනන වෙනස්කම්වලට බලපාන්නේ කෙසේදැයි සෙවීමටයි."

මේ විද්‍යාඥයන්ගේ පර්යේෂණ කටයුතු ගැන ‘පබ්ලික් ලයිබ්‍්‍රරි ඔෆ් සයන්ස් ජෙනටික්ස්’ (Public Library of Science Genetics) නම් අන්තර්ජාල සඟරාවේ පළවුණා. ඔවුන් මුලින් ම විමසා බැලූවේ වයස අවුරුදු 32ත් 80ත් අතර නිවුන් පුද්ගලයන් 172කක ගේ අපිජනන වෙනස්කම් ගැනයි.

මෙවැනි අධ්‍යයනවලදී බොහෝ විට නිවුන් පුද්ගලයන් යොදා ගන්නේ ඔවුන් තුළ එකම ජාන සර්වසමව යුගල වශයෙන් පිහිටන නිසයි. එහිදී ජානමය හා පාරිසාරික බලපෑම් වෙන්කර දැක්වීම වඩා පහසු වෙයි.

එක් සර්වසම නිවුන්නකු අනෙකාට වඩා ඉතා වෙනස් ගතිලක්ෂණ විදහා පාන්නේ නම් ඊට හේතුව ජානමය බලපෑමක් නොවෙයි.
වයස්කාල ක‍්‍රමානුගතව සිදු වන වෙනස්කම්වලට අදාළව කෙරෙන විශ්ලේෂණයන් හිදී වයස්වලට අදාළව සිදු වන වෙනස්කම් 490ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත් වී තියෙනවා.

වයස්වලට අදාළ මේ ගතිලක්ෂණ සසඳා බැලීමේ දී, කොලෙස්ටෙරෝල් මට්ටම්වලට, පෙනහලූ කි‍්‍රයාකාරිත්වයට හා මවු පස ආයුකාලයට විශේෂයෙන් ම සම්බන්ධ වූ ඒවා විදහා පෑ ජාන හතරක් ඇති බව පැහැදිලි වුණා.

තවදුරටත් කෙරුණු පර්යේෂණවල දී, වයස අවුරුදු 22ත් 61ත් අතර අඩුවයස් නිවුන්නුන් 44 දෙනකුගේ කාණ්ඩයක් තුළ, අපිජනනමය ඞීඑන්ඒ වෙනස්කම් බොහොමයක් තිබුණු බව ඔවුන්ට පෙනී ගියා.

පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ, පාරිසරික සාධක හේතුවෙන් වයසට අදාළව සිදු වන ජානමය වෙනස්කම් ඇති බවත් ඇතැම් ඒවා බොහෝ කල් සිට කි‍්‍රයාත්මක වන බවත් එයින් පැහැදිලි වුණා.

කිංග්ස් කොලීජියේ නිවුන් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහාචාර්ය ටිම් ස්පෙක්ටර් කියන්නේ, "මේ අධ්‍යයනය නිවුන් අය පිළිබඳව කෙරෙන විශාල අධ්‍යයනයක කොටසක් විතරයි. වියපත් වීමට බලපාන ප‍්‍රධාන ජාන වෙන් කර හඳුනා ගෙන, ජීවන ක‍්‍රමයට අනුව ඒවා වෙනස් වෙමින් හැඩ ගැසෙන්නේ කෙසේ ද, වියපත් වීම වළක්වන පිළියම් සංවර්ධනය කිරීම ප‍්‍රධාන අධ්‍යයනයට අයත් වෙනවා" කියායි.

"මේ වියපත් වීම පිළිබඳ කෙරෙන පර්යේෂණවලින් අනාගතයේ දී විස්මය දනවන ප‍්‍රතිඵල ලැබේවි" ඔහු වැඩි දුරටත් කියනවා.

එංගලන්තයේ කේම්බි‍්‍රජ්ෂයර්වල හින්ක්ස්ටන්හී ‘වෙල්කම් ට‍්‍රස්ට් සැන්ජර් ඉන්ස්ටිටියුට්’ ආයතනයේ සේවය කරන ජාන විශේෂඥයන් මේ අධ්‍යයනයේ දී ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. එහි විද්‍යාඥයකු වූ ආචාර්ය පැනෝස් ඩිලොවුකාස් පෙන්වා දුන්නේ මේ පර්යේෂණ තවමත් පවතින්නේ ආරම්භක අවස්ථාවේ බවයි.

"අපේ මේ අධ්‍යයනය යොමු වී ඇත්තේ ජිනෝමියේ සුවිශේෂ වූ පුංචි කොටසකට, එනම්, අපිජනනමය වෙනස්කම්වලට බලපාන ජාන කොටස් ගැන විතරයි. මූලික සොයා ගැනීම්වලින් අපට පෙනී ගියා අපිජනනමය විවිධත්වයන් ගැන තවදුරටත් පුළුල්ව විමසීම් කළ යුතු බව." ඔහු පැහැදිලි කළා.

Post a Comment

1 Comments

  1. KO ITHIN MEKE BEHETHAK WATH KEMAK GENAWATH KIYANNE NEHENE.

    ReplyDelete