HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ යේසුස් වහන්සේගේ සොහොන් ගැබ ද? පුරාවිද්‍යාඥයෝ රොබෝ අතක් යවා ජෙරුසෙලමේ සොහොන් බිමක් පිරික්සති!

යේසුස් වහන්සේ මිහිදන් කරනු ලැබුවේ කොහේද? පුරාවිද්‍යාඥයෝ පිරිසක් කැමරාවක් සහිත රෝබෝ අතක් යවා ජෙරුසෙලමේ සොහොන් බිමක් පිරික්සති. ඔවුන්ට එහි තිබී මිනිස් අස්ථි සහිත ඉපැරණි මිනී පෙට්ටියක් හමුවෙයි. ‘දිව්‍යමය යෝහෝවඃතුමාණනි, උත්ථානය කරනු මැනවි’ යන අරුත ඇති හීබෲ වැකියක් ද එහි ලියා තිබුණි.

යේසුස් වහන්සේගේ අවසානයේ සැතපුණු ස්ථානය මෙය යැයි පිළිගත හැකි ප‍්‍රබල සාක්ෂියක් ලෙස ඔවුහූ එය විශ්වාස කරති. කෙසේවෙතත් අනෙක් විද්වතුන් මේ සොයා ගැනීම දෙස බලන්නේ බලවත් සැකයෙන් යුතුවය.

මිනිස් අස්ථි ඇතුළත් ඒ වදන් කොටා ඇති හුණුගල් පෙට්ටියට සමාන පෙට්ටියක මුව විට ඉදිරියේ මාළුවකුගේ හා රිටක් අතින් ගත් මිනිසකුගේ රුවක් කොටා ඇත. එය ජොනාහ් හා තල්මසා පිළිබඳ ඉතා පැරණි බයිබල් කතාව සිහිපත් කරන්නෙකැයි ඔවුහූ කියති.

 
පළමුවන සියවසට අයත් සේ සැලකෙන යේසුස්ගේ සොහොනෙහි ගල් පෙට්ටියෙහි කොටා ඇති මාළුවකුගේ රූපය. ඇතැම් පුරාවිද්‍යායන් මෙය හඳුන්වන්නේ මල් වාස් එකක් කියායි.


මෙම සොහොන සොයා ගෙන ඇත්තේ යේසුස් පවුලේ සොහොන් බිම නමින් කලින් හඳුනා ගෙන ඇති ස්ථානයේ සිට අඩි 200ක් තරම් දුරිනි. එම සොහොන් බිම ද 1980 ගණන්වල සොයා ගත් වේලේ ඒ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය.

පුරාවිද්‍යාඥයෝ එදා කීවේ එහි ඇති අස්ථි කැබලි ඇතුළත් බඳුන් මත යේසු පවුලේ අයගේ නම් කොටා ඇති බවය. මේ සොයා ගැනීම නිසා විවිධ මත පළ වන්නට විය.
එක් මතයක් වන්නේ යේසුස්ගේ සිරුර මිහිදන් කර ඇත්තේ එතුමන් විවාහ වී පවුල් කෑ මේරි මග්දලේනාගේ සිරුර අසලින් බවය. එහෙත් ප‍්‍රධාන පෙළේ දේවධර්මවාදීන් මෙන් ම පුරාවිද්‍යාඥයන් ද මේ මත පිළිගත්තේ නැත. ඔවුහූ මේවා පදනමක් නැති විකාර කතා ලෙස බැහැර කළහ.

 
1980 දී කළ කැණීම්වලින් පසු යේසුස්ගේ සොහොන මත ඉදි කළ ස්මාරකය

යේසුස්ගේ පවුලේ සොහොන් බිම පරීක්ෂා කළ හැකි වූයේ ඉතාමත් කෙටි කාලයකට පමණය. මූලධර්මවාදී යුදෙව්වන් ඒ කැණීම් කිරීම ගැන දැඩි ලෙස විරෝධය පෑම හේතුවෙන් එය වසා දැමීමට සිදු විය.

ඉන්පසු එය වසා දමා ඒ මත ස්මාරක කුලූනක් ඉදි කරනු ලැබීය.

කෙසේවෙතත්, දේවධර්ම ලේඛන පිළිබඳ, උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ විශේෂඥයකු වූ ජේම්ස් ටැබර් හා වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ සිම්කා ජැකොබොවිසි යන දෙදෙනා මේ ගැන නොකඩවා පර්යේෂණවල යෙදෙන්නට තීරණය කළහ.

2010 දී ඒ දෙදෙනා ඊශ‍්‍රායල රජයෙන් අවසර ලබා ගත්තා, සිදුරු කීපයක් පමණක් කර ඒ තුළින් රොබොටික අතක් යවා අවට ප‍්‍රදේශයේ පොළොව යට ගවේෂණය කරන්න.

ඒ අනුව ‘පේටියෝ සොහොන’ යනුවෙන් ඔවුන් නම් කළ වෙනම කුටියක් හමු විය. එය ඒ ගොඩනැගිල්ලේ ඉදිරිපිට මිදුලේ පොළොව යට පිහිටියේය.

ඔවුන්ට මේ ශිලා අක්ෂර හමු වූයේ ඒ පේටියෝ සොහොන තුළයි.

මේ දෙදෙනාගේ තර්කය වන්නේ මේ සොහොන් ගැබ් දෙකම ඇත්තේ ප‍්‍රවාදයේ එන පරිදි යේසු මිහිදන් කළ ඇරිමාතියාවේ ජෝශප්ට අයත් ව තිබූ භූමියක යන්නය.

 
‘දිව්‍යමය යෙහොවඃ, උත්ථානය කරනු මැනවි’ යන අරුත් දෙන ගී‍්‍රක බසින් ලියැවුණු සෙල් ලිපි අකුරු.

එහි එක් ගල්පුවරුවක ‘දිව්‍යමය යෙහොවඃ, උත්ථානය කරනු මැනවි’ යන අරුත් දෙන ගී‍්‍රක බසින් කොටා ඇති වදනක් හමු විය.

තවත් එකක දණ්ඩක් මුවින් ගත් මාළුවකුගේ රුවක් කොටා තිබුණි. ටැබර් කියන්නේ එයින් අනාගත වක්තෘ ජෝනා ගැන හෙළිදරවු වෙන බවයි.

”මේ සෙල්ලිපි අකුරුවලින් හෙළි වෙන්නේ උත්ථානයක් ගැන තමයි. මේ සොහොනේ තැන්පත් කර ඇති මියගිය පුද්ගලයා හෝ ඒ අසල කොටා ඇති ජෝනාගේ සංකේත රූපය අනුව යේසුස්ගේ නැවත පහළ වීමක් ගැනයි, එහි සඳහන් වන්නේ.” ටැබර් කියයි.

කි‍්‍රස්තු වර්ෂ පළමුවන සියවසේ යුදෙව් විත‍්‍රකලාවල රූප ඇත්තේ නැති තරම්ය. එයට හේතුව මිනිස් හෝ සත්ව රූප නිර්මාණය යුදෙව් ආගමෙන් තහනම් කර තිබීමය. එහෙත් රෝමන් සොහොන් ගැබ්වල මෙවැනි රූප සටහන් හමු විය. බොහෝ විට එසේ හමු වූ රූපවලින් නිරූපණය වූයේ යේසුස්ගේ උත්ථානයයි.

මෙම සොහොන කි‍්‍ර.ව. 70 ට පෙර නිමවූ එකක් යැයි සැලකේ. රෝමය විසින් ජෙරුසෙලම් නගරය විනාශ කිරීමෙන් පසු මෙම සොහොන් බිම් අභාවිතයට ගියේය. මේ සටහන් හා සලකුණු කි‍්‍රස්තියානියට අයත් ඒවා නම් මෙතෙක් සොයා ගෙන ඇති පැරණිම පුරාවිද්‍යාත්මක වාර්තා මේවා විය හැකිය. සමහර විට මේවා මුල් යුගයේ යේසු අනුගාමිකයන් විසින් කරන ලද ඒවා වන්නට පුළුවන.

 
සොහොන සිදුරු කොට රොබොටික අතක් සහිත දුරස්ථ පාලක කැමරාවක් ඒ තුළට යවනු ලැබීය.

”කවුරු හරි කීවොත් මේ යුගයේ යුදෙව් සොහොනක උත්ථානයක් ගැන හෝ ජෝනා පිළිබිඹුවක් ගැන සඳහනක් තියෙනව කියලා මම වුනත් ඒක පිළිගත්තෙ නැහැ මේ වන තෙක්. අපේ කට්ටියත් මේක විශ්වාස කළේ නැහැ, මේ විදියට ඇස් පනාපිට ම මේවා දැක ගන්න ලැබෙනකම්” ටැබර් කියයි.

මේ ගැන තොරතුරු ඇතුළත් කර අලූත් පොතක් පළ වී තිබේ. සයිමන් ඇන්ඞ් ෂුස්ටර් ප‍්‍රකාශනයක් වන එහි නම, ‘ද ජීසස් ඩිස්කවරි: ද නිව් ආකියොලොජිකල් ෆයින්ඞ් දැට් රිවීල්ස් ද බර්ත් ඔෆ් කි‍්‍රස්ටියැනිටි’ (The Jesus Discovery: The New Archaeological Find That Reveals the Birth of Christianity) වේ. එහි අරුත ‘කිතු දහමේ උපත හෙළි කරන නව පුරාවිද්‍යා සොයා ගැනීමක්’ යන්නය. මේ පිළිබඳව තැනුනු වාර්තා චිත‍්‍රපටයක් ද ඩිස්කවරි නාළිකාවෙන් විකාශය වීමට නියමිතය.

”එකිනෙකට ඇති සම්බන්ධය ඉතා වැදගත් පුරාවිද්‍යාවෙදි. මේ සොහොන් ගැබ් දෙක අතර දුර අඩි 200කටත් අඩුයි. එකම වත්තකයි, පිහිටලා තියෙන්නෙ, ඒ යුගයේ විසූ ධනවත් පවුලකට අයත්. අපි මේ සොහොන් ගැබ පිරික්සන්න කල්පනා කළේ මෙය යේසුගේ සොහොනට ඒ තරම් සමීප නිසයි.” ටැබර් පැහැදිලි කරයි.

යේසුතුමා මිහිදන් කළ අයුරු බයිබලයේ සඳහන් වී ඇත්තේ මෙසේය:

බයිබලයේ සඳහන් අන්දමට කුරුසියේ ඇණ ගැසූ දා හැන්දෑවේ ඇරිමාතියාවේ ජෝශප් මියගිය යේසුස්ගේ දේහය ඒ නගරයේ පාලකයා වූ පොන්ටියස් පිලාතුගෙන් ඉල්ලා සිටියා.
මෝසස්ගේ නීතියට අනුව ගසක එල්ලා මැරුණු කෙනෙකුගේ සිරුර එදින රාති‍්‍රය පුරා එසේ තිබෙන්නට නොහැරිය යුතුය. එදින ඉර බසින්නට පෙර මිහිදන් කළ යුතුය.
ඒ අනුව ජෝශප් ලිනන් රෙද්දකින් යේසුගේ දේහය දවටා සොහොන් ගැබක තැන්පත් කළේය.

බයිබලයේ ඇතුළත් ජෝන්ගේ සුභාරංචියේ සඳහන්ව ඇත්තේ, ජෝශප්ට මෙම මිහිදන් කිරීමේ කටයුත්ත සඳහා නිකොඩමස් උදව් කළ බවයි. යුදෙව් චාරිත‍්‍රයක් ලෙස ඒ සඳහා අවශ්‍ය කළුඅගිල් හා කෝමාරිකා ශාක සාර ඇතුළු වෙනත් කුළුබඩු ගෙනවුත් දෙන ලද්දේ ඔහු විසිනි.

 
ආචාර්ය ජේම්ස් ටැබර්

මේ වන විට ඊශ‍්‍රායල පුරාවිද්‍යා අධිකාරිය විසින් මෙවැනි සොහොන් ගැබ් 2000ක් පමණ සොයා ගෙන තිබේ. යම් ආකාරයක හෝ කොටන ලද ලේඛන කිසිවක් ඇති සොහොන් ගැබ් හමුවී ඇත්තේ 650ක් පමණය. ඒත් ඒ කිසිවක් මේ පිරිස විසින් සොයා ගෙන ඇති කොටන ලද අක්ෂරවලට සමාන නැත.

එම යුගයේ සොහොන් ගැබ් 12ක පමණ මළවුන් ගැන සිහිවටන කොටා ඇති අතර ටැබර් පවසන ආකාරයට ඒවායේ බොහෝ විට සඳහන්ව ඇත්තේ මළ අයගේ ඇටකටුවලට බාධා නොකරන ලෙස කරන අවවාදයන් ය. එහෙත්, ඊට බොහෝ සේ වෙනස් අරුතක්, එනම්, උත්ථානය පිළිබඳ විශ්වාසය පළ කෙරෙන ගී‍්‍රක වදන් පේළි හතරක්, කොටා තිබූයේ මෙම සොහොන් ගැබෙහි පමණ ය.

 
1980 ගණන්වල දී යේසුස්ගේ සොහොන් ගැබ අසලින් සොයා ගන්නා ලද සිරුරු මිහිදන් කළ ගල් පෙට්ටියක්.

 
2007 දී අසල සොහොන් ගැබේ කොටසක් පිරික්සන සිනමාකරු සිම්කා ජැකොබොවිසි

ටැබර් පවසන ආකාරයට ඔහු කියවූ සෙල්ලිපියෙහි ගී‍්‍රක වදන්වල අරුත වෙනස් ආකාර කීපයකින් දැක්විය හැකිය. එහෙත් හැම එකකින් ම යේසුස්ගේ උත්ථානය පිළිබඳ විශ්වාසය තහවුරු කෙරෙන බව ඔහු අවධාරණය කරයි.

ටැබර්ට අනුව මෙහි කොටා ඇති රූප සටහන්වලින් ද ඒ බව තහවුරු වෙයි. එක පැත්තක කොටා ඇති මාළුවකුගේ රූපයෙහි වල්ගය පෙට්ටියෙහි දාරය අසලින් අවසන් වෙයි. ඔහුගේ අදහස් දැක්වීම්වලට අනුව එහි දැක්වෙන්නේ මාළුවා වතුරට පනින අයුරුය.

එසේ ම ඒ පෙට්ටියෙහි ඉදිරිපස දාරයේ කොටා ඇති කුඩා මාළු රූප හා අනෙක් පැත්තේ ඇති කුරුසි හැඩයේ දොරෙහි රූපයෙන් දැක්වෙන්නේ බයිබලයේ ජෝන්ගේ කතාවෙහි මරණයට පත් වීම පිළිබඳ අදහස යැයි ටැබර් අර්ථ දක්වයි.

කෙසේ වෙතත්, ඇතැම් විද්වත්තු මේ මතය එකහෙළා ප‍්‍රතිෙක්‍ෂප කරති. ඉන් එක් අයකු ලෙස ඇමරිකාවේ ඩියුක් විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයන අංශයේ සම මහාචාර්ය මාක් ගුඞ්ඒකර් ඒබීසී ප‍්‍රවෘත්තිවලට ප‍්‍රකාශයක් කරමින් පවසන්නේ එහි ඇත්තේ මාළුවකුගේ රූපයක් නොවන බවය. ”ඒක කොහොමද මාළුවකුගේ රූපයක් වෙන්නෙ. එතැන තියෙන්නේ දෙපැත්තෙන් අල්ලන අඬු දෙකක් ඇති භාජනයක්. වාස් එකක්! මුල් රෝම යුගයේ එවැනි භාජන බොහෝ සේ භාවිත වුණා.” යැයි පවසන ඔහු ඒ සොහොන් දෙකෙහි ම යේසුතුමන්ට අදාළ වන තිරසාර සාක්ෂි කිසිවක් නැතැයි අවධාරණය කරයි.

Post a Comment

6 Comments

  1. මම නම් හිතන්නේ, ඊසා (යෙසුස්) මියගියෙ ඉන්දියාවේ කාශ්මීර ප්‍රදෙශයෙ...

    ReplyDelete
  2. // එක් මතයක් වන්නේ යේසුස්ගේ සිරුර මිහිදන් කර ඇත්තේ එතුමන් විවාහ වී පවුල් කෑ මේරි මග්දලේනාගේ සිරුර අසලින් බවය. //

    ජේසු තුමා විවාහ වුනා කියලා තියෙන්නෙ කොහෙද ?

    ReplyDelete
  3. බොහොම වටිනා කියන ලිපියක්..

    ReplyDelete
  4. uda ayata kiyanna thiyenne nodanna deval kiyanna yanna epa kiyala......anith eka yesus nevel jesus lesa ohuva amantranaya karanna kiyalath illanava.....mokada romanu katholika api yesus kiyala kiyanna.....loke vadi pirisak kiyanne jesus kiyala

    ReplyDelete
  5. නිකන් මෝඩයෙක් වගේ දොඩවන්න එපා....
    යේසුස් කියල තමයි ග්‍රීක් බසින් කියනෙ ඒක තමයි හරි නම උදාහරණයක් හැටියට ලංකාවෙ "ජුවන්" ,ඇමරිකාවෙදී "ජෝන්" වෙනව ඉතාලියේදී "ජොවාන්නි" වෙනව මේ මොන නම කිවුවත් එයා ජ්ජුවන්ම තමයි.

    ReplyDelete
  6. නිකන් මෝඩයෙක් වගේ දොඩවන්න එපා....
    යේසුස් කියල තමයි ග්‍රීක් බසින් කියනෙ ඒක තමයි හරි නම උදාහරණයක් හැටියට ලංකාවෙ "ජුවන්" ,ඇමරිකාවෙදී "ජෝන්" වෙනව ඉතාලියේදී "ජොවාන්නි" වෙනව මේ මොන නම කිවුවත් එයා ජ්ජුවන්ම තමයි.

    ReplyDelete