HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහ පොළොවේ ඇති වතුර එක බුබුළකට ගත්තොත්! සැතැපුම් 860ක ‘පුංචි’ වතුර බුබුළක්!


ජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල ගණනත් අති මහත්. වතුරෙන් සමන්විත නිසා පොළොවට ‘දියත’ කියා කියනවා.

මිහිමත ඇති ජලය අපේ ලෝකයේ වැඩි වන ජනගහනයේ පවස සන්සිඳුවන්නට ප‍්‍රමාණවත් මදි. මේ මිහිමත ඇති ජල සම්පත ඉක්මනින් ඉවර වී ගෙන යනවා. අනාගත පරපුරට ජලය ඉතිරි කර තබන්න! ජල සම්පත පරිස්සෙමින් පරිහරණය කරන්න! පානීය ජලය සුරකින්න! ජල දූෂණය වළක්වන්න! මෙවැනි කියමන් ඔබ කොතෙකුත් අසා ඇතුවා නිසැකය.

අපේ ජල සම්පතේ ප‍්‍රමාණය ගැන සිතා ගත නොහැකි නිසා මේ කියමන්වල ඇති බරපතල කම වුනත් ඔබට නිසි ලෙස තක්සේරු කළ නොහැකියි.

පසුගියදා අපේ ජල සම්පත පිළිබඳ අපූරු ‘පින්තූරයක්’ අපට දැක ගන්න ලැබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මිනුම් දත්ත අනුව ලෝකයේ ඇති ජලය ප‍්‍රමාණය එක ජල බිඳුවකට හෙවත් දිය බුබුළකට කැටි කළ හොත් ඒ ජල බුබුළ සැතැපුම් 860ක් පළල එකක් වනු ඇතැයි සඳහන් වෙනවා.

පොළොව මතුපිට ජලයෙන් වැසී ඇති ප‍්‍රමාණය සියයට 70ක් වුනත් එය ඇත්තේ ඉතාමත් තුනී ස්තරයක් හැටියටයි.

සෑම සාගරයක් ම, සෑම මුහුදක් ම, සෑම ගඟක් ඇළදොළක් ම පමණක් නොව පොළොවට යට සැඟවී ඇති ජලය සියල්ල එකට කැටි කොට ගෙන පෘථිවිය හා සසඳමින් තැබුවොත් පෙනෙන්නේ ‘පුංචි’ දිය බුබුළක් හැටියටයි. (රූපය බලන්න.)

”ඔබ දන්නා විදියට පෘථිවිය සෑම තැනකම පාහේ දක්නට ලැබෙන්නේ ජලයයි. ඒත් මේ සියලූ ජලය එකට කැටි කළහොත් මේ ආකාරයේ නිල් පැහැති පුංචි ජල බුබුළක් සෑදෙනවා. දැන් එහි ප‍්‍රමාණය ගැන එක්තරා දුරකට හිතා ගන්න ඔබට පුළුවන් වේවි” ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කරනවා.

පෘථිවියේ සමස්ත ජලයෙන් සියයට 95ක් ඇත්තේ සාගරවලයි.

ඒ හැරෙන්නට වලාකුළු හා ජල වාෂ්ප ලෙසින් වායුගෝලය තුළත්, වැව්, පොකුණු, ගංගා, ඇළදොළ ආදියෙහිත් ජලය තියෙනවා. හිම තට්ටු, ග්ලැසියර ආදියෙහි පමණක් නොව සියලූ ජීවීන්ගේ සිරුරු තුළත් ජලය තියෙනවා. අපේ සිරුරේත් ජලය සියයට 57ක් පමණ තියෙනවා. මේ සියලූ ජලය කැටි කොට ගත්තොත් තමා මේ රූපයේ ඇති ජල බුබුළ සෑදෙන්නේ.

පොළොව මතුපිට ඇති ජලයෙන් වැඩි හරියක්, එනම් සියයට 96ක් ඇත්තේ ලූණු මිශ‍්‍ර ජලයයි. එනම් කරදියයි.

එහෙත් අපට වඩාත් වැදගත් වන්නේ මිරිදියයි. ඒ අප ඇතුළු සමස්ත ලෝකවාසීන්ගේත්, සියලූ ජීවීන්ගේත් ජීවය පවත්වා ගෙන යාමට උපකාර වන්නේ මිරිදිය වන නිසයි. අපට එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට මේ පිරිසිදු ජලය අපට නැතුව ම බැහැ. පෘථිවිය මත ඇති මේ ජලය ප‍්‍රමාණය කොතරම් දැයි ඔබට පහසුවෙන් දැක ගත හැකියි. එසේ ම ජල චක‍්‍රය අනුව ලැබෙන වැස්සත් එයින් වැටෙන වැසි ජලයෙන් වැව් ගංගා ඇළ දොළ පිරෙන ආකාරයත් ඔබට දැක ගන්න පුළුවන්.

 
පෘථිවිය මතුපිට ඇති ජලය ප‍්‍රමාණය සියයට 70ක් වුවත් එය ඇත්තේ ඉතා තුනී ස්තරයක් හැටියටයි.

ඒත් ඔබේ දෙපා යටින් ඇති ඔබට නොපෙනෙන ජලයත් ඔබේ ජීවිතය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය සාධකයක්. සති ගණනක් වැසි නොලැබුණහොත් ගංගාවල ගලන ජලයට මොකද වෙන්නේ? එසේ ම ඔබ අවට පරිසරයට ගහකොළවලට මොකද වෙන්නේ? ඒ තත්වය ඔබ දකින්නේ කොහොමද? ඒ තත්වය ඔබේ සිරුරට දැනෙන්නේ කොහොමද?

මේ ගැන හිතන කොට ඔබට පානීය ජලය මෙන් ම අප අවට අපට නොපෙනෙන්නට පවතින ජලය ද එකසේ වැදගත් බව තේරුම් යනවා නිසැකයි. බීමට ගන්නා ජලයට වඩා වැඩි ජල ප‍්‍රමාණයක් ඔබේ ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය බව පැහැදිලි වෙනවා ඇති.

Post a Comment

5 Comments

  1. මේ කතාව මටනම් තේරෙනවා අඩුයි. අපි ජීවත්වෙන භූමි ප්‍රමාණය සියයට 30ක් නම් කොහොමද සියයට 70ක් වුණු ජලය ප්‍රමාණය මේ තරම් කුඩා වෙන්නේ. අනික මුහුදේ ජලය සියුම් ස්ථරයක් නොවේනේ. මේ ලිපිය ගැටලු සහගතයි. පහදා දෙන්න.

    ReplyDelete
  2. අඥාත මිතුරාට, පොළොවේ අර්ධ විෂ්කම්භය කිලෝමීටර් 6 378 100ක්. ඒ පොළොව මැදට ඇති දුරයි. සාගරයේ ගැඹුරුම තැන මරියානා අගාධයෙහි ගැඹුර කිලෝමීටර් 11 000යි. ජලය ස්තරයේ මහත තුනීද නැද්ද ? පොළොවේ මතුපිට ක්ෂේත‍්‍රඵලය වර්ග කිලෝමීටර් 510 072 000යි. මතුපිට ඇති ජලය ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 361132000 ක්. මතුපිට භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 148 300 000 ක්. අපේ ලිපියේ කතා කළේ ක්ෂේත‍්‍ර ඵලය ගැනයි. ඔබම ගණන් හදල බලන්න. පොදු සම්මුතියට අනුව පොළොව වසා ගෙන ඇති ජලයෙහි ප‍්‍රතිශතය 70.8ක්. භූමි ප‍්‍රමාණය සියයට 29.2ක්.
    සංස්කාරක, මල්කැකුළු

    ReplyDelete
  3. ඒ කියන්නෙ පොලොවෙ පරිමාවෙන් දස ලක්ෂයෙන් පංගුවයි වතුර(0.00000126)

    ReplyDelete
  4. @ Percy Jayamanna said...

    කිලෝමීටර් නෙමෙයි, මිටර් 6 378 100 යි...
    මිටර් 11 000 යි

    ReplyDelete
  5. කිලෝමීටර් නෙමෙයි, මීටර් 6 378 100, මීටර් 11 000

    කිලෝමීටර් නම් 6 378 , 11 යි...

    ReplyDelete