HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බල්ලන්ටත් ටීවී! මිනිසාගේ හොඳම සුරතලා වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්!

දැන් බල්ලන්ගේ ජීවිතයත් මිනිස් ජීවිතයට ආසන්නයි! බල්ලන්ට විශේෂ කෑම. බල්ලන්ට බාබර් සාප්පු. බල්ලන්ට හෝටල. දැන් බල්ලන්ට අලූතින්ම ලැබිලා තියෙන්නේ ටීවී. ඒක විශේෂයෙන් බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්! එහි රූප රාමුවලින් පෙනෙන්නේ බල්ලන්ට පේන වර්ණ විතරයි. ඇහෙන්නේ බල්ලන්ගේ කනට මිහිරි ශබ්ද තරංග ආයාමවලින් නිකුත් වෙන සංගීතය විතරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සැන් දියේගෝ ප‍්‍රාන්තයේ මුලින් ම ඇරඹෙන මේ බලූ ටීවී එක පස්සේ අනෙක් ප‍්‍රාන්තවලටත් පැතිර යාවි. බලූ සුරතලූන්ට ආදරේ ඇති අයට වාරික මුදලක් ගෙවා කේබල් ඔස්සේ මේ විශේෂ බලූ චැනලය ලබා ගත්තෑකි. පටන් ගැනීමේ දී මෙහි පැය අටක වැඩසටහන් මාලාවක් විකාශය කෙරෙනවා. ඔබ වැඩට ගිය පසු ඔබේ සුරතලාට පාළු නම් ඔබ එන තෙක් ටීවී බල බලා ඉන්න පුළුවන්.

 
ඔබේ සුරතල් සුනඛයා සතුටින් තබන ‘ඩෝග් ටීවි’ බලන ප‍්‍රංශ බුල්ඩෝග් බල්ලෙක්.

බලූ ටීවී එක නිසා කැමරාකරණයේත් ලොකු වෙනසක් කෙරෙනවා. මෙහි දී වැඩසටහන් රූප ගත කිරීමට කැමරාව තබන්නේ සාමාන්‍ය බල්ලන්ගේ ඇස් මට්ටමටයි. කැමරාශිල්පියාට රූප ගත කිරීම් කරන්න වෙන්නේ එක්කෝ දණගහගෙන නැත්නම් කුඩා පුටුවක වාඩි වෙලයි.

”මං බල්ලන් වෙනුවෙන් තැනූ චිත‍්‍රපටය කැමරා ගත කිරීමට තෝරා ගත්තේ පහත් කෝණයක්. ඒ බල්ලකුට පෙනෙන හැටියට ඒ ඇස් මට්ටමට නිපදවුවා ම තමා බල්ලාගේ සිත හොඳින් ම එයට ග‍්‍රහණය කර ගත් හැක්කේ.” ඩොග් ටීවී ආයතනයේ ප‍්‍රධාන විධායක ගිලාඞ් නිවුමන් කියනවා.

මේ ටීවී චැනලය සඳහා වැඩසටහන් නිපදවද්දී වර්ණත්, ශබ්දයත්, විශේෂයෙන් සංගීතයත්, බල්ලන්ගේ ඇසත් කනත් ඉලක්ක කර ගෙන වෙනස් කරන්න වුණා. මේ චැනලයේ වෙළඳ දැන්වීම් නැහැ. වර්ග කිරීම්, නැවත විකාශ නෑ.

”දැනටමත් සැන් දියේගෝවල මිලියනයක් දෙනා ඩෝග් ටීවී ලබා ගැනීමට ඇනවුම් කරලා. ඒ නිසා ඒ සමාගම මාස කීපයක් ඇතුළත අනික් ප‍්‍රාන්තවලටත් මෙය ලබා දෙන්න සූදානම්.” නිවුමන් කියනවා.

මේ සඳහා වැය වන්නේ මසකට වාරිකය ඩොලර් 4.99ක් පමණයි. ඇමරිකාවේ මිලියන හතළිස් ලක්ෂයක් දෙනා ගෙදරදොර බල්ලන් ඇති කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සියයට 97කට ටෙලිවිෂන් යන්ත‍්‍ර තියෙනවා. ඒ නිසා බලූ ටීවී එකට ඒ ගැන විශාල බලාපොරොත්තුවක් තියා ගත්තෑකි.

මෙහි ඉන්නා අවුරුද්දක් වයසැති මේ ‘බ්ලූ’ නම් බලූ සුරතලා දැන් විශේෂ බලූ ටෙලිවිෂන් එක බලන්න පටන් අරන් මාසයක් විතර ඇති. ප‍්‍රංශ බුල්ඩෝග් වර්ගයේ සුනඛයකු වූ ඌ දැනටමත් ඊට ඇති විශේෂ කැමැත්ත උගේ අයිතිකාරිය වූ සැන් දියේගෝ හී මේරි කැටනියාට අඟවලා ඉවරයි.

”මට හැම තිස්සෙ ම මගේ බලූ පැටියා තනියමයි දාලා යන්නෙ වැඩට යන කොට. ඒ ගැන මට පොඩි දුකක් තිබුණා. දැන් ඒක නෑ, මේ චැනලය නිසා. දරුවන් නැති මට එයා මගේ දරුවෙක් වාගෙයි. මම මේ චැනලය ගැන සතුටු වෙනවා.” කැටානියා කියනවා.

අවුරුදු ගානක් තිස්සේ සුරතල් සතුන් තනිකරල දාල යන අය ඒ යන කොට ඒ සුරතලූන්ගේ තනියට ටෙලිවිෂන් එක හරි රේඩියෝ එක හරි දාල යන එක සිරිතක් කර ගෙන සිටි බවයි, මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ ආචාර්ය නික් ඩොඞ්මන්ගේ අදහස.

ඔහු කියන්නේ පර්යේෂණ අනුව පෙනී ගිය දෙයක් නම් මේ ටෙලිවිෂන තිරයෙන් බල්ලන්ට පෙනෙන්නේ ආලෝකය නිවෙන පත්තු වෙන නිකම් රූප රාමුවක් විතරයි කියන එකයි.

ඒත් ඩිජිටල් ටීවී, අධිරූපණ කැමරා ආදිය යොදා ගෙන, නව තාක්ෂණයට අනුව කරන වැඩසටහන් බල්ලන්ට රූප ග‍්‍රහණය කර ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තියෙන බවත්, ඔහු සඳහන් කරනවා.

ඒ අතර නිවුමන් කියන්නේ, ”අනෙක් අතට බලූ සුරතලූන්ට කාමරයේ ඕනෑම තැනක සිට නැරඹිය හැකි විශාල රූපවාහිනී තිරත් දැන් තියෙනවා.” කියලයි.


 
ටෙලිවිෂනය හරහා බල්ලන්ට දිනපතා අලූත් අත්දැකීම් ලබන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන බල්ලන්ට බලා තේරුම් ගත හැකි විදියට රූප රචනා කොට වැඩසටහන් තැනීමටත් ඔවුන් සූදානම්.

ඇත්තටම බල්ලන්ට ඔවුන් බලන දේ තේරෙනවද? ඩොඞ්මන් කියන්නේ ඒ ගැන තවමත් පර්යේෂණ සිදු කෙරෙන බවයි. ඒත් බල්ලන්ට අතින් බල්ලන් නම් ටීවී එකෙන් අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් ම තමන්ගේ වරිගයා දැක්කහම ප‍්‍රතිචාර දක්වනවා.

ස්ථිරවම ශබ්ද නම් ඔවුන් හඳුනා ගන්නවා. බුරන ශබ්ද, සයිරන් නළා හඬ එහෙම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා බලූ ටීවී එකේදි ශබ්දය නම් පරිස්සමෙන් හසුරුවන්න වෙනවා.

 
බල්ලාගේ හොඳම මිතුරාට සිදු වුණා, දණ ගහගෙන රූප ගත කරන්න, බල්ලන්ට ඔවුන් දකින විදියට ම වැඩසටහන් පෙන්වන්න.

අධි සංඛ්‍යාතවල ශබ්ද බල්ලන්ගේ කන්වලට දරන්න බැහැ. ඒවා ඉවත් කරලයි තියෙන්නෙ. සංගීතය බල්ලන්ගේ කනට මිහිරි වෙන විදියටමයි සකස් කෙරෙන්නෙ. සාමාන්‍ය ටිවීවල මොර දෙන ශබ්ද, වෙඩි ශබ්ද, පිපිරීම් ශබ්ද, රොක්, ජෑස් වගේ සංගීතයන් මේ බලූ ටීවී එකේ නැහැ.

”බල්ලන්ට නිල් හා කහ පැහැයන් පෙනෙනවා. ඒත් රතු හෝ කොළ පැහැයන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ බලූ ටීවී එකේ වර්ණත් සාමාන්‍ය ටීවී එකකට වඩා වෙනස්” නිවුමන් කියනවා.

බල්ලන්ව කම්මැලි නැතිව, ප‍්‍රබෝධවත්ව තැබීම තමයි, ‘ඩෝග් ටීවී’වල අරමුණ. මේක සාර්ථක වුණාට පස්සේ ‘කැට් ටීවී’ එකකුත් ගේන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.


 
බල්ලන්ගේ නිදා ගැනීමේ රටාවන් අධ්‍යයනය කර ඒවාට බාධාවක් නොවන අයුරින් උත්තේජනය වෙන, සන්සුන් වෙන, ආකාරයෙන් වැඩසටහන් සම්පාදනය කරල තියෙනවා.

 
බල්ලන්ට පෙනෙන වර්ණවලින් විතරයි, ඩෝග් ටීවී තිරය පිරිල තියෙන්නෙ.





Post a Comment

4 Comments

  1. මේක බල්ලන්ට හදපු එකක් නෙවි මිනිස්සු රවට්ටන හදපු එකක් .... බල්ලන්ට පාට පෙනෙන්නේ නෑ

    ReplyDelete
  2. මොන විදිහෙ වැඩසටහන් ද දන්නැ යන්නෙ..... නාට්‍ය වගේ ඒවානම් නැතුව ඇති.

    මේකට පේටන්ට් අරන් ඇති නේද ශුවර් එකටම.
    _____________________

    වැදගත් ම දේ ඒක නෙමේ. මමත් බලු ටීවී එකට යෝජනාවක් දෙන්නම්. මල් කැකුලුට පුලුවන් නම් එයාලට කියන්න. එයාලට කියන්න එයාෆ්‍රෙෂ්නර් මැෂින් එක්ක වගේ එකක් හදලා ඒක ටීවි එකට සම්බන්ධ කරන්න කියලා. පස්සෙ රූපත් එක්ක ඩේටා මේකට එවන්න. එතකොට බල්ලන් කැමති සුවඳවල් රූප බලන ගමන් ම උන්ට වින්දැකිනේ..... මේ යෝජනාව සමස්ථ ලෝකවාසී බල්ලන් වෙනුවෙන් අතර ඔවුන් මෙය ක්‍රියාවට නැංවූවොත් සෑම 4.99 $ කින්ම .50 ලංකාවේ ළමා සෞඛ්‍ය නංවන්න ආධාරයක් හැටියට අපිට දෙන්න ඕනේ කිව්වා කියලත් කියන්න. :D

    ReplyDelete
  3. බුද්ධි, ඔයා හැමදාම මට ප‍්‍රශංසා කරනවා. ඔයාගේ බ්ලොග් එකත් මං නිතරම බලනවා අපට මේ වගේ දෙයක් කරන්න හිතුන එක හේතුවක් තමා ඔයාගෙ ලියවීම. ඒවට බොහොම පිං. ඔයාගෙ යෝජනාව හොඳයි. ඒත් අපි පරක්කු වැඩියි. මං මේ තොරතුරු ගත්තු ලිපියෙ තිබුණා බල්ලන්ට ඉව කරල වැඩ සටහන් අඳුන ගන්න බල්ලන්ව ආකර්ෂණය සුවඳ එකතු කරන ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා ඒකත් ළඟදි හඳුන්වා දෙනව කියලා. ෂුවර් එකටම ඒකටත් කොපි රයිට් අරන් ඇති.
    - පර්සි

    ReplyDelete
  4. පර්සි මහත්මයා,

    පර්සි ජයමාන්න නම මට හුරුපුරුදු එකක් උනත් ඒක කෙහොම උනාද මට මතක නෑ. නමුත් "ඔයාගේ බ්ලොග් එකත් මං නිතරම බලනවා අපට මේ වගේ දෙයක් කරන්න හිතුන එක හේතුවක් තමා ඔයාගෙ ලියවීම. " කියලා කිව්වහම මට ඇතුවුනු හැඟිම් විස්තර කරන්න බෑ. මේ වගේ වටිනා බ්ලොග් එකක් පටන් ගන්න මගේත් දශම ගනනක දායකත්වයක් තියෙනව කියලා දැන ගැනීම මගේ සතුටට කාරණක්. ඉතසිතින් ඒ වෙනුවෙන් පින් දෙන්නේනම් මම එය අනුමෝදන් කරගන්නවා දෙවරක් නොසිතාම.

    ඒ වගේම ‍මේවැනි බ්ලොග් අඩවියක් සිංහලෙන් පවත්වාගෙන යන ඔබලාට කොහෙම ස්තුති කරන්නද!

    ඔබ දන්නවද? අසූ ගණන් වල ආ "සුරතලා" ළමා පත්තරේ ස්වර්ණමය යුගයේ පාඨකයෙක් මම. මම එතකොට හරිම පොඩියි. නමුත් තාත්තා ඒ පත්තර මම බැලුවට පස්සෙ පරිස්සමට අරගෙන තියලා තිබුනා. පස්සෙ මට අකුරු කියවන්න පුලුවන් උනාම මම නැවත ඒවා කියෙව්වා. නමුත් දැන් ඒ එකක්වත් මම ළග නෑ. ඒ වගේ ළමා පත්තර වර්තමානයේ නැද්ද කියලාත් වෙලාවකට හිතෙනවා.

    ඉතින් මම මේ කියන්න හදන්නෙ මල් කැකුලු බ්ලොග් අඩවියෙත් පරණ වෙන්නෙ නැති ලිපි බොහොමයක් තියෙනවා. ඒවා අපේ පොඩි උන් දවසක කියවන තුරු මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්න කියලයි. අර සුරතලා පත්තර වලට උනා වගේ වෙන්නෙ නැතුව තව සෑහෙන කාලයක් මේක රැක ගන්න කියලයි.

    එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!!!

    යහපත් අරමුණකින් මේ කරන කාර්ය දිගටම කරගෙන යන්නත්, අප ලබා ගන්නා දැනුම සහ තොරතුරු මහන්සියෙන් සැපයීම වෙනුවෙනුත් මමත් ඔබට අනේක වාරයක් පින් දෙනවා.

    ස්තුතියි!

    -බුද්ධි

    (මේක පබ්ලිෂ් කලත් නැතත් කමක් නෑ. වැදගත් වෙන්නෙ ඔබ කියෙව්වා කියලා මම දැන ගැනීම විතරයි.)

    ReplyDelete