ආසියාවේ සිංහයන් ඉන්නවාද? වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින ආසියානු සිංහයා!


සිංහයින් ඉන්නේ අප‍්‍රිකාවේ වනාන්තරවල. ඒත් ආසියාවේ සිංහයන් ඉන්නවාද? අපේ ලංකාවේත් ඉස්සර සිංහයන් හිටියා කියා කියනවා. අද නම් සත්තු වත්තේ හැරෙන්න ලංකාවේ වෙනත් කිසිතැනක සිංහයන් ජීවත් වන්නේ නෑ. මහාවංශයේ සඳහන් වෙන විදියට සිංහල ජාතිය ආරම්භ වී තියෙන්නෙත් සිංහයකුගෙන්.

සිංහයා අයත් වන්නේ බිළාල පවුලටයි, ඒ කියන්නේ මහ බළල් පවුලටයි. දිවියා (Leopard) තමයි, මේ පවුලට අයත්, අපට ඉන්න, එකම නෑයා. එයාට පුල්ලි කොටියා කියලත් කියනවා.


ආසියානු සිංහයාගේ සත්ව විද්‍යාත්මක නාමය තමයි, පැන්තේරා ලියෝ පර්සිකා (Panthera leo persica) මේ ආසියානු සිංහයන් අප‍්‍රිකානු සිංහයන්ගෙන් බිහි වූ උප සත්ව විශේෂයක් හැටියටයි, සත්ව විද්‍යාඥයන් හඳුන්වන්නේ.  මෙම ආසියානු සිංහයන් අද ජීවත් වන්නේ ඉන්දියාවේ විතරයි. ඒ නිසා මොවුන්ව ඉන්දියානු සිංහයන් කියලත් හඳුන්වනවා. ඈත අතීතයේ නම් මධ්‍යධරණී ප‍්‍රදේශයේ සිට ඉන්දියාව දක්වාම මේ ආසියානු සිංහයන් ජීවත් වුණා. ආසියානු සිංහයන් වැඩිපුරම ජීවත් වුණේ නිරිත දිග ආසියාවේ. මෙම සිංහයන්ට පර්සියානු සිංහයන් (Persian Lion) කියලත් කියනවා. ඈත අතීතයේ කොකේසස් කඳුනරයේ සිට යේමනය දක්වාත්, මෙසිඩෝනියාවේ සිට ඉන්දියාව සහ පර්සියාව (අද ඉරානය) දක්වාත්, පාකිස්තානයේත් බංග්ලාදේශයට අයත් දේශසීමා දක්වාත් මෙම ආසියානු සිංහයන් ජීවත් වුණා. ඒත් අද මේ සිංහයන් ඉන්දියාවට ම සීමා වෙලා. අද ඔවුන් දකින්න ලැබෙන්නේ ඉන්දියාවේ ගුජරාට ප‍්‍රාන්තයේ ගිරි රක්ෂිතයේ ම විතරයි. ඒ නිසා ම ආසියානු සිංහයන්ව ‘ගිර් සිංහයන්’ ලෙසින් ද හැඳින්වෙනවා. 2008 වන විට ගිර් වනරක්ෂිතයේ සිටින ඉන්දියානු සිංහයින් ගණන 350 ඉක්මවයි.

අපි‍්‍රිකානු සිංහයන් හා ආසියානු සිංහයන් අතර වෙනස
බැලූ බැල්මට ම කොයි සිංහයාත් එක වගේ පෙනුනත් ළං වී හොඳින් සංසන්දනය කර බැලූවොත් අප‍්‍රිකානු සිංහයන් හා ආසියානු සිංහයන් අතර පැහැදිලි වෙනස්කම් කිහිපයක් ම දැක ගන්න පුළුවන්. අප‍්‍රිකානු සිංහයන්ට වඩා ආසියානු සිංහයන්ගේ ලෝම ඝනකමින් වැඩියි. ඔවුන්ගේ කේසරත් අපි‍්‍රකානු සිංහයන්ට වඩා දිගයි. වලිග කෙළවර සහ වැලමිට අසල ඇති ලෝමත් දිගින් වැඩියි. ආසියානු සිංහයන්ගේ ගැහැනු සහ පිරිමි දෙවර්ගයේම සමෙහි බඩ යටට නැමුණු රැල්ලක් තියෙනවා. හොඳින් වැඩුණු මේ වර්ගයේ පිරිමි සතකු දිගින් මීටර 1.6ත්, 2.2 ත් අතර ද බරින් කිලෝ ග‍්‍රෑම් 125 ත් 225 ත් අතර ද වෙනවා. ගැහැනු සතා දිගින් මීටර 1.4ත් 1.7 ත්  අතර ද බරින් කිලෝ ග‍්‍රෑම් 100 ත් 150 ත් අතර ද වෙනවා.

සිංහයන් හුඟක් සමාජශීලී සතුන් ලෙස හැඳින්විය හැකියි. ඒ කියන්නේ ඔවුන් රැළක් ලෙස ජීවත්වීමට පි‍්‍රය කරන බවයි. සාමාන්‍ය ආසියානු සිංහ රැළකට සිංහ ධේනුවන් දෙදෙනකු පමණ ඇතුළත් වන අතර අප‍්‍රිකානු සිංහ රැළකට සිංහ ධේනුවන් 4ත් 6ත් අතර ගණනක් ඇතුළත් වෙනවා. ඒ වගේ ම ආසියානු සිංහයා වැඩිපුර තමන් අයත් රැළේ සිංහ ධේනුවන් සමග ගැවසෙන්නේ නැහැ. ඌ රැළ හා එක් වන්නේ වර්ගයා බෝ කිරීමට හෝ ඉඳහිට ලොකු දඩයමක් කළ යුතු විටෙක පමණයි. සමහර විට මීට හේතුව අපි‍්‍රකාවේ මෙන් නොව මෙහි ගොදුරු කුඩා වීම විය හැකියි.

ආසියානු සිංහයන්ගේ ගිර් සංරක්ෂිතය
අද ආසියානු සිංහයන් ජීවත් වන්නේ බටහිර ඉන්දියාවේ ගිර් ජාතික වන රක්ෂිතයේ විතරයි. 2006 වසරේ අප‍්‍රියෙල් මාසය වන විට මේ රක්ෂිතයේ ඉන්නා සිංහයන් ගණන 359 ක්.  සිංහයන්ගේ වාසභූමිය ලෙස පඳුරුවලින් පිරුණු තැනිතලා බිම් සහ ජල පෝෂක ප‍්‍රදේශ ගණනාවකින් පිරුණු වර්ග කිලෝ මීටර 1,412 ක් ගිර් වනරක්ෂිතයේ වෙන් කොට තියෙනවා. අද 359 දෙනෙක් සිටියත් 1907 වසරේදී නම් ගිරි සිංහයින් සිටියේ 13 දෙනෙක් විතරයි.


ඉන්දියානු උපමහද්වීපයට අයත් බිළාල පවුලේ අනෙක් විශාලතම සාමාජිකයා තමයි, බෙංගාල ව්‍යාඝ‍්‍රයා. ගිර් වන රක්ෂිතයේ සිංහයන් ජීවත් වන ප‍්‍රදේශයේ බෙංගාල ව්‍යාඝ‍්‍රයින් දකින්න ලැබෙන්නේ නැහැ. ගිර් සිංහයන් තැනිතලා බිම් ප‍්‍රිය කළත් බෙංගාල ව්‍යාඝ‍්‍රයින් වාසය කිරීමට ප‍්‍රිය කරන්නේ ඝන කළෑබඳ ප‍්‍රදේශයි.

ගිර් වනරක්ෂිතයේ සිංහ ගහණය සිංහයන් 360 දෙනකු දක්වා වැඩි තියෙන්නේ එදා සිටි සිංහයන් 13 දෙනකුගේ සහාභිජනනය මගින්.

1900 ගණන්වල ආසියානු සිංහයන් ජීවත් වුණේ 13 විතරක් කියා ගණනය කළත් එය නිවැරදි නොවන බව සමහර වාර්තා පෙන්වා දෙනවා. ඉන්දියානු වනජීවී දෙපාර්තමේන්තුව 13 ක් වැනි කුඩා ප‍්‍රමාණයක් සිටින බව පවසා ඇත්තේ සිංහයන් දඩයම් කිරීමට ජනතාව තුළ එවකට පැවති උනන්දුව අඩු කිරීමට බව එම වාර්තාවල දැක්වෙනවා. එවකට සංගණන දත්තවලට අනුව සිංහයන් 100 කට ආසන්න ප‍්‍රමාණයක් සිටි බවත් සඳහන් වෙනවා. සිංහයන් දඩයම් කිරීම එවකට ඉන්දියාවේ සිටි බි‍්‍රතාන්‍යයන් හා ඉන්දියානු රාජකීයයන් අතර ජනපි‍්‍රය ක‍්‍රීඩාවක් වුණා. ඒ නිසා ඉන්දියාවේ අනෙක් ප‍්‍රදේශවල ජීවත් වූ සිංහයන් සම්පූර්ණයෙන්ම වඳවී ගොස් අවසන් ව තිබුණා.

සිංහයන්ට එල්ල වී ඇති තර්ජන
සිංහයන්ට තියෙන විශාලතම තර්ජනය එල්ල වන්නේ මිනිසාගෙනුයි. ගව පට්ටිවලට පහර දෙන සිංහයන්ට වස දැමීම ගැමියන්ගේ සිරිතයි. මීට අමතරව අනෙකුත් මාරක තර්ජන ලෙස සලකන්න පුළුවන් දේවල් තමයි ගංවතුර, ලැව්ගිනි සහ වසංගත. වන රක්ෂිතයේ සීමා වූ බිම් ප‍්‍රදේශයක විතරක් ජීවත් වෙන නිසා මෙම උවදුරුවලට ගොදුරුවීමේ අවදානම ඉතාමත් වැඩියි.

සිංහයන් ජීවත් වන ප‍්‍රදේශයේ වාරි මාර්ග කටයුතු සඳහා නොවසන ලද ළිං 15,000 සිට 20,000 ක් හාරා තියෙනවා. මේ ළිං සිංහයන්ට මර උගුල් බවට පත්වෙනවා. හුඟක් සිංහයන් දියේ ගිලී මිය යනවා. මෙය මඟ හරවා ගැනීමට නළ ළිං ක‍්‍රමය දැන් හඳුන්වාදී තියෙනවා.

ගිර් වන රක්ෂිතය අද්දර ජීවත් වන ගොවීන් ඔවුන්ගේ වගාවන් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට අධි බලැති විදුලි රැහැන් සම්බන්ධ කළ විදුලි වැටවල් සවි කර ඇති අතර මේ සිංහයන්ට විදුලි සැර වැදීමෙන් මියයාමට ද සිදු වෙනවා.

ගිර් වනරක්ෂිතයට ලොකුම තර්ජනය එල්ල වී තියෙන්නේ වනයේ වාසය කරන අහිංසක ජන කොට්ඨාසයකිනුයි. මල්දාරි යනුවෙන් හැඳින්වෙන මේ ජන කොට්ටාශය මස් මාංශ අනුභව කරන්නේ නෑ. ඔවුන් ගවයන් ඇති කරමිනුයි, ජීවත් වෙන්නේ. එසේ ම ඔවුන් දඩයම් කරන පිරිසක් ද නොවෙයි. එහෙනම් කොහොමද ඔවුන්ගෙන් සිංහයන්ට හානියක් වෙන්නේ. මේ එක පවුලකට ගවයින් 50ක විතර පට්ටියක් ඉන්නවා. මොවුන්ගේ ජන ගහනය වැඩි වීමත් සමග, ඔවුන්ගේ ගව පට්ටිත් වැඩි වුණා. නිදැල්ලේ යන මේ ගවයන් වනාන්තරයේ තණ උලා කෑම නිසා සිංහයන්ට ගොදුරු කර ගත හැකි වෙනත් සතුන්ගේ ගහණය අඩු වී ගියා. ඒ නිසා සිංහයන් ගවයන් දඩයමට පෙලඹුණා. ගිර් සිංහයන්ට වස දීමට මේ ගැමියන් පෙලඹුණේ ඔවුන්ගේ ගවයන් බේරා ගන්නයි. ඒ වගේ ම මේ ගැමියන්ගේ දර අවශ්‍යතා සඳහා වනාන්තරයේ ගස් කැපීම නිසාත් ඔවුන්ගෙන් වනාන්තරයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.



යුරෝපයේ සහ නිරිත දිග ආසියානු සිංහයින්
කලකට පෙර යුරෝපයේ සිංහයන් ජීවත් වුණා. මේ බව ගී‍්‍රක ජාතික ඇරිස්ටෝටල් සහ හෙරොඩෝටස්ගේ ලේඛනවල පවා සඳහන් වෙලා තියෙනවා. පර්සියාවේ සරෙක්ස් රජු කි‍්‍ර.පූ. 480 දී සිය හමුදා සමග දික්විජය කරමින් මැසිඩෝනියාව හරහා යද්දී ඔවුන්ගේ බඩු ගෙන ගිය ඔටුවන් සිංහයන් විසින් ඩැහැ ගන්නා ලද බව ඒ යුද වාර්තාවල සඳහන් වෙනවා. එදා ගී‍්‍රසියේ පවා සිංහයන් ජීවත්වුණා. ගී‍්‍රසියේ සිංහයන් වඳවී ගොස් ඇත්තේ කි‍්‍ර.ව. 80ත් 100ත් අතර කාලයේ දියි. රුසියාවේ කෝකේසස් කඳුකරයේත් සිංහයන් සිටි බව සඳහන් වෙනවා.

ආසියානු සංස්කෘතිය හා බැඳුණු ආසියානු සිංහයා
සිංහයා අපේ සංස්කෘතිය හා බැඳී ඇති තරම අමුතුවෙන් කියන්න  ඕනෑ නෑ. ලෝකයේ සියලූ ම ජාතික කොඩිවලට වඩා කැපී පෙනෙන ලෙස අපේ ජාතික කොඩියේ සිංහයා ඇතුළත් ව තියෙනවා. එපමණක් නොව ඉන්දියාවේ රාජ්‍ය ලාංඡුනයට ද යොදා ගෙන ඇත්තේ ද සිංහ හිසක්. එක් හිසක් පමණක් නොවෙයි, සතර දිසාවට හැරුණු සිංහ හිස් හතරක් ඊට ඇතුළත් වෙනවා. මෙය ලබා ගෙන ඇත්තේ කි‍්‍ර.පූ. 250 දී පමණ අශෝක අධිරාජයා විසින් සාරානාත් හී පිහිටුවන ලද ශිලා ස්තම්භයෙන්. ඒ හැරෙන්නට ඉන්දියාව නිරූපණය කරන ‘භාරත මාතාව’ගේ රුව ඇඳ ඇත්තේ ඇගේ පසෙකින් ලැග සිටින ගිර් සිංහයකු ද සහිතවයි. ඓතිහාසිකව සඳහන් වන ආකාරයට අනුව මුලින් ම සිංහයා යොදා ගෙන ඇත්තේ රජ්පුත්හි ක්ෂති‍්‍රයවරුන් තමයි.  එය නමක් හැටියට වේදයේත් ඇතුළත් වෙනවා. ඒ වසර 2000කටත් වඩා පෙර සිටයි. එසේ ම නරසිංහ විෂ්ණු අවතාරයක් ලෙසත් දැක්වෙනවා. ෂීක්වරුන් වැඩි දෙනකු සිය නම අගට සිං යන්න යොදනවා. ඒ වගේ ම අපේ සිංහල නම් අගටත් ‘සිංහ’ යන්න යොදන තැන් බොහෝ ඇති බව අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැ. සිංගප්පූරුවට ඒ නම ලැබුණේත් සිංහයාගෙන්. එහි අරුත ‘සිංහ පුරය‘ යන්නයි.

අපේ සීගිරිය ද සිංහයාට සම්බන්ධ කර තියෙනවා. සීගිරියට නැඟීමට ඇති පඩි පෙළ එදා වැටී තිබුණේ සිංහයකුගේ කට ඔස්සේයි. අද මේ සිංහ කට හෝ සිංහ හිස දකින්නට නැහැ. අපේ නම්වලට විතරක් නොව සිංහල බසේ සිංහ යෙදුම් රැසක් තියෙනවා. සිංහ යන්නෙහි අරුත් ශ්‍රේෂ්ඨ, උතුම්, ප‍්‍රධාන, අභීත ආදී වශයෙන් දක්වන්න පුළුවන්. බුදුන්වහන්සේ ශයනය කළ ඉරියව්ව හැඳින්වෙන්නේ ‘සිංහ ස්‍යෙයාව’ කියලයි. හොඳින් පරීක්ෂාකාරී ව හෙළන බැල්ම අප හඳුන්වන්නේ ‘සිංහාවලෝකනය’ කියලයි. සිංහයා අද අපේ කැළෑවල නොසිටියත් අපේ සමාජයේ, අපේ සංස්කෘතියේ අපේ භාෂාවේ මේ ආදී හැම තැනක ම සිංහයා අපට දැක ගන්න පුළුවන්.








Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. ඔයාගේ මේ ලිපිය හරි වැදගත්. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. සුබ පැතුම්.

    ReplyDelete