HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඩ සිය වසකට පෙර අමරණීය නමක් තනා ඒ නිසා ම අකල් මරණයක් වැළඳ ගත් සොඳුරු මිනිසා!


අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප‍්‍රශ්න සියල්ලට ම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝන් ය (Ananda Samarakoon). අප අතර අමරණීය නමක් තබා හරියට ම මීට අඩ සිය වසරකට ඉහත අපෙන් වියෝ වූ ඒ දේශමාමක රචකයා සිහිපත් කරනු පිණිසයි, මේ සටහන ලියන්නේ.

ඔහු මිය ගියේ 1962 අපේ‍්‍රල් 5 වැනිදායි.

අද අප ජාතික ගීය වශයෙන් භාවිත කරන ගීය ඔහු විසින් පබඳන ලද්දේ 1940 දීයි. ඒ ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ගුරුවරයකුව සිටියදීයි. එය එහි ඉගෙන ගත් දරුවන් තුළ රට ගැන ජාතික හැඟීමක් ඇති කරනු පිණිස ලියූවක් මිස ජාතික ගීයක් උදෙසා ලියූවක් නොවෙයි.

1948 පෙබරවාරි 4 වැනිදා බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබන විට අපට ජාතික ගීයක් තිබුණේ නැත. ඒ නිසා ජාතික ගීයක් තැනීම අවශ්‍ය යැයි යෝජනා වුණා. ඒ සඳහා කොමිටියක් ද පත් කෙරුණා. අවසානයේ දී කොමිටියේ සාමාජිකයකුගේ ම ගීයක් තෝරා ගනු ලැබුවා. එය අසාධාරණයක් ලෙස දුටු එවකට සිටි මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා නැවත සොයා බැලීමක් කරන්නට තීරණය කළා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ගීතය තෝරා ගැනුණා. ඇමති මණ්ඩලය එය ජාතික ගීය කළ යුතු බවට අනුමැතිය දුන්නේ 1951 නොවැම්බර් 22 වැනිදායි.

කවුද මේ ආනන්ද සමරකෝන් ? ඔහු උපන්නේ 1911 ජනවාරි 13 වැනිදා එගොඩහගේ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් ලෙසයි. සමරකෝන් කුඩා කල පටන් ම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍යයකු වුණා. ගණිතය ඔහු අකමැති ම විෂයය වූ අතර දවසක් ගණිත පන්තියේ දී පොතේ වෙනත් යමක් ලියද්දී ගුරුවරයාගේ අතට ම අසු වුණා.

”මොකක්ද මේ?” ගුරුවරයා ඇසුවා.

”ගීයක්” ගෝලයා නොපැකිළ පිළිතුරු දුන්නා.

ගුරුවරයා ගැස්සුණා. ”හඃ! අනිත් ළමයින්ටත් ඇහෙන්න ගයනවා බලන්න.” ගුරුවරයා ඔහුට දඬුවමක් හැටියට නියම කළා.

ඔහු එවේලේ ම හිතෙන් තනුවක් යොදා මිහිරි ලෙස ගායනා කළා. පන්තියම ප‍්‍රමෝදයට පත් වුණා. ගුරුවරයාගේ කේන්තිය ද පහව ගියා. එයින් ගුරුවරයාද විමතියටත් සතුටටත් පත් වුවත් ඔහු ඒ බව පෙන්නුවේ නැත. සමරකෝන්ගේ හපන්කම ඔහු හිතෙන් අගය කර නිහඬ වුණා.

ජෝර්ජ් විල්ප‍්‍රඞ් උපන්නේ පාදුක්ක ප‍්‍රදේශයේ වටරැක අසල ලියන්වල නම් කුඩා ගම්මානයේ සැමුවෙල් සමරකෝන් හා දොමිංගා පීරිස් යන කි‍්‍රස්තියානි පවුලකටයි. කුඩා කල ඔහුගේ නම එගොඩහගේ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් නමින් බෞතීස්ම කෙරුණා.

ඔහු පාසල් ගියේ වෑවල ආණ්ඩුවේ පාඨශාලාවටයි. පසුව ඔහු කෝට්ටේ කි‍්‍රස්තියානි කොලීජියට ඇතුළත් කරනු ලැබුවා. ඔහුගේ මව ගුරුවරියක වූ අතර ඇය ඉගැන්වූයේ නාවල රජයේ පාසලේයි. ඔහු ඉගෙන ගත් පාසලත් මව ඉගැන් වූ පාසලත් පිහිටියේ දියවන්නා ඔය දෙපසයි. කි‍්‍රස්තියානි කොලීජියේ ඉගෙන ගනිද්දී ඔහු සිය මවගේ පාසලේ ළමයින් වෙනුවෙන් ගීතයක් රචනා කළා. ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ පාඨශාලාන්තර තරගයක් සඳහායි. තරගය පැවැත් වූයේ කෝට්ටේ කි‍්‍රස්තියානි කොලීජියේදීයි. එහිදී නාවල සිසුන්ගේ එම ගීතය පළමු තැනට පත් වූ බව ප‍්‍රකාශ කරද්දී සමරකෝන් ඉමහත් සතුටට පත් වුණා.

ඔහු 1929 දී පාසල් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගයෙන් උසස් සාමාර්ථයක් ලැබුවා. 1934 දී ඔහුට කි‍්‍රස්තියානි කොලීජියේ ම චිත‍්‍ර හා සංගීත ගුරුවරයා ලෙස පත් වීමක් ලැබුණා.


රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ඔහුගේ නාට්‍ය හා සංගීත කණ්ඩායමත් සමඟ මෙහි පැමිණියේ මේ කාලයේ දීයි. රාමායනය ඇසුරින් කළ මුද්‍රා නාට්‍ය කොටස් කීපයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබුණා. තාගෝර්තුමාගේ මේ සංචාරයෙන් අපේ සංස්කෘතියේ පෙරළියක් ඇති වුණා. ඒ අනුව ගායනයට හා නැටුමට කැමති තරුණ පිරිස් බෙංගාලයේ පිහිටි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට යන්නට තීරණය කළ අතර ජෝර්ජ් විල්ප‍්‍රඞ් ද එයින් එක් තරුණයකු වුණා.

1936 දී සමරකෝන් ශාන්ති නිකේතනයට ගියේ චිත‍්‍ර කලාව ඉගෙන ගන්නටයි. ඔහු එහිදී නන්ද ලාල් බෝස්ගෙන් චිත‍්‍ර කලාවත්, අතිරේක ව ශාන්ති දේවී ගෝෂ්ගෙන් සංගීතය හා නැටුම් ද ඉගෙන ගත්තා. එහෙත් මුදල් අගහිඟකම නිසා ඔහුට ඒ පාඨමාලා සම්පූර්ණ කරගත හැකි වූයේ නෑ. 1937 දී ඔහු ආපසු ලංකාවට ආවා. එවර ඔහු ලංකාවට ආවේ ‘ජෝර්ජ් විල්ප‍්‍රඞ්’ නම අත හැර ආනන්ද සමරකෝන් යන නමිනුයි. 1940 දී ඔහු ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එක් වුණා.

ආනන්ද සමරකෝන්ගේ ජීවිතයේ හොඳම කාලය එළඹුණේ මේ කාලයේයි. ඔහු ගායකයකු, සංගීතඥයකු හා ගීත රචකයකු වශයෙන් නමක් දිනා ගත්තේත් මේ කාලයේ දීයි. 1939 දී HMV තැටියකට මුල් ම ගීතය ගැයූ ඔහුගේ ගීවලට එදා ග‍්‍රැමෆෝන් යුගයේ ලොකු ඉල්ලූමක් ඇති වුණා.

එතෙක් පැවති බරපතල මිශ‍්‍ර සිංහල කඨෝර වදනින් ලියවුණු ගීත වෙනුවට සරල සිංහල වදන් යොදා පිටිසර ගැමි පරිසරය චිත‍්‍රණය කරන රචනාවලින් හා හින්දුස්ථාන හා කර්ණාටක තනු අනුකරණය කළ තාල වෙනුවට සරල ස්වරමාලාවන්ගෙන් යුත් ඔහුගේ ගීත සිංහල ගීතය නව මඟකට යොමු කළා. (ඔහුගෙන් සිංහල ගීත සාහිත්‍යයට වූ සේවය ගැන ඉදිරියේ දී වෙන ම කතා කරමු.)



ආනන්ද සමරකෝන් තමා අද අප රස විඳින ගීත සාහිත්‍යයේ පුරෝගාමියා වූණේ. එසේ ම ඔහු නව යුග ගී සාම්ප‍්‍රදායක් ද බිහි කළා. ඔහු සමග මුල් යුග ගී ගැයූ ලීලාවතී අකාලයේ මිය යාම නිසා ඔහු ඊළඟට සහාය ගායිකාව ලෙස යොදා ගත්තේ ස්වර්ණා ද සිල්වායි. ඇය පසුකලෙක ප‍්‍රසිද්ධ සංගීතඥයකු හා බටනලාවාදකයකු වූ ඩන්ස්ටන් ද සිල්වාගේ සොහොයුරියක්. සමරකෝන් මුලින් ම ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කළේ ඇය සමගයි. ‘සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ’ හා ‘පොසොන් පොහෝ දින පුන් සඳ පායා’ ඇය සමඟ ඔහු ගැයූ තවත් ගීත දෙකක්.

සිය එකම පුතු පස් හැවිරිදි වියේ දී මිය ගියෙන් ඇති වූ ශෝකය දරා ගත නොහැකි වූ නිසා 1948 දී ඉන්දියාවට ගිය ඔහු හද සනසා ගන්නට චිත‍්‍ර ඇඳීමෙන් උත්සහ කළා. දකුණු ආසියාවේ රටවල චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වුවා.

ඔහු ආපසු ලංකාවට ආවේ 1951 දීයි. ගීත රචනයෙන් හා ගායනයෙන් ජීවත් වූ ඔහුට ගුවන් විදුලියේ පාසල් සේවයෙන් වැඩසටහනක් පැවරුණා. ඒ කාලයේ චිත‍්‍රපට ගීත ලියන්නටත් ගයන්නටත් අවස්ථාව ලැබුණා. 1955 තිරයට ආ ‘සැඩසුළං’ චිත‍්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගයන ‘ශී‍්‍ර ලංකා මා පි‍්‍රයාදර ජය භූමී’ ගීතයේ රචනය හා තනුව ආනන්ද සමරකෝන්ගේයි. ඒ ගීයේ වදන් ලතාට පුහුණු කළේ ඔහුයි.

ඔහු 1957 දී ‘අමරණීය ලංකා’ නමින් ගීත හා නැටුම් ඇතුළත් ප‍්‍රසංගයක් ද නිර්මාණය කළා. මේ කාලයේ දී ඔහුගේ ආර්ථිකය නරක අතට හැරුණේය. ඔහුට ජීවත් වීමට ආධාරයක් හැටියට එකල ‘ජනතා’ පත‍්‍රයේ කාටූන් චිත‍්‍ර තීරුවක් දිනපතා අඳින්නට එහි ප‍්‍රධාන කර්තෘ පදවිය හෙබ වූ ඩෙන්සිල් පීරිස් ලබා දුන්නා. ඔහු ජීවිතයේ අවසාන වසර කීපය ගත කළේ කාටූන් ශිල්පියකු වශයෙනුයි.

එදා අපේ රටේ ජාතික ගීය ලෙස තෝරා ගැනුනේ ඔහු ගාල්ලේ මහින්ද විදුහලේ දරුවන්ට පුහුණු කරන්නට ලියූ ගීයක්. ඒ ගීය තෝරා ගැනීම වෙනුවෙන් ඔහුට රජයෙන් ලැබුණු ප‍්‍රදානය ගැන ද මේ අවස්ථාවේ සඳහන් නොකර බැහැ. එය ඔහු විසින් මුද්‍රණය කරන්නට දී තිබූ පොතකට මේ ගීය ඇතුළත් කිරීම නිසා එහි මුද්‍රණකරු හා ප‍්‍රකාශක ඔහු සමඟ නඩු කියා උසාවිය මගින් ඒ මුදලෙන් අඩක් උදුරා ගත්තා. මෙයට අමතරව ඔහුගේ ගීයේ ආරම්භක වදන් දෝෂ සහිත ගණවලින් යුක්ත බැවින් රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුට හොරෙන් එවකට පැවති රජය විසින් එය ‘ශී‍්‍ර ලංකා මාතා’ යනුවෙන් වෙනස් කරනු ලැබීය. මෙය ඔහුගේ බලවත් සිත් තැවුලට හේතු විය. (සමරකෝන් හා අපේ ජාතික ගීය ගැන වෙන ම සටහනක් ඉදිරියේ දී ලියැවෙනවා.)

අපේ ජාතික ගීය ආනන්ද සමරකෝන් නම අමරණීය කරන්නට සමත් වුණත් ඔහුගේ අකල් මරණය වළක්වන්නට එය සමත් වුණේ නෑ. ඒ නිසා ලද සිත් තැවුලෙන් සිටි ඔහු 1962 අපේ‍්‍රල් 5 වැනිදා නිදි පෙති පමණ ඉක්මවා ගැනීමන් මරණයට පත් වුණා.

එදා සිට අද වනතෙක් පණ්ඩිතයන් ජාතික ගීයේ විවිධ දොස් දැක්කත් අපට සුදුසු වෙනත් ආදේශකයක් සොයා ගැනීමට ඒ කිසිවකුත් සමත් වුණේ නෑ. ඒ නිසා නිදහස් ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ලෙස ඔහුගේ නම තවමත් අමරණීයව පවතිනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. ආනන්ද සමරකෝන් මහතා ගැන අපි දන්නෙ ජාතික ගියේ නිර්මාතෘ කියලා විතරයි. න‍මෝ නමෝ මාතා කොටස ශ්‍රී ලංකා මාතා කියලා වෙනස් කලා කියලත් දැනගෙන හිටියා. ඉතුරු විස්තර සියල්ල අදයි දැන ගත්තෙ.

    ReplyDelete