HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකය දික්විජය කළ රණ ශූරයින්ගෙත් ශූරයා මහා ඇලෙක්සැන්ඩර්


කවුද මේ මහා ඇලෙක්සැන්ඩර් ?
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා තමයි, ලෝකයේ ඇලෙක්සැන්ඩර් නමින් යුත් රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන්නේ. ලෝකය දික් විජය කළ රණශූරයන් අතරින් ශ්‍රේෂ්ඨතමයා වූ ඔහු හැඳින්වෙන්නේ මැසිඩෝනියාවේ තුන් වන ඇලෙක්සැන්ඩර් රජු (කි‍්‍ර.පූ. 336-323) කියායි. අවුරුදු හතරක් වැනි කෙටි කාලයක් තුළ එකල (මධ්‍යතන යුගයට පෙර කාලයේ) දැන සිටි ලෝකය මුළුමනින් ම වාගේ තම අණසකට යටත් කර ගැනීමට ඔහු සමත් වුණා. කි‍්‍ර.පූ. 334 සිට 33 හැවිරිදි වියේ දී ඔහුගේ මරණය සිදු වන තෙක් කාලය තුළ ‘මහා ඇලෙක්සැන්ඩර්’ යන විරුදාවලියෙන් පුද ලද්දේ ඒ හින්දයි. ඔහු ලොව පුරා ගිය මේ ගමනේ දී අල්ලා ගත් හැම ප‍්‍රධාන නගරයක් ම ‘ඇලෙක්සැන්ඩි‍්‍රයා’ නියා නම් කළා. අදත් ලෝක සිතියමක් දිහා විමසිල්ලෙන් බැලූවොත් ඔබට මේ නගර හඳුනා ගන්න පුළුවන්. සිය වස් ගානක් තිස්සේ යුරෝපයත් ආසියාවත් අතර වෙළඳාම සිදු වූයේ මේ නගර ඔස්සේයි.

ඇලෙක්සැන්ඩර් කුමරාගේ උපත
ඇලෙක්සැන්ඩර් උපන්නේ කි‍්‍ර.පූ. 356 මැසිඩන් අගනුවර වූ පෙලා හිදීයි. මැසිඩන් නමින් හැඳින්වුණු හෙලාස්  රාජ්‍යය (අද ගී‍්‍රසිය කියලා අපි හඳුන්වන්නේ මේ හෙලාස් රාජ්‍යයටයි) උතුරින් පිහිටා තිබුණු එක් නගර රාජ්‍යයක්. එය ඇලෙක්සැන්ඩර්ගේ පියා වූ දෙවන පිලිප් රජු යටතේ බලවත් හා එක්සත් රාජ්‍යයක් ව පැවැතුණා. ඒ වන විට ගී‍්‍රසිය එහි ස්වර්ණමය යුගයේ අවසාන කාලයට එළඹෙමින් තිබුණා. එහෙම වුනත් එහි කලාව, සාහිත්‍යය හා දර්ශනය ආදියේ උසස් මට්ටම පෙර සේ ම නොනැසී පැවතුණා. සමගියක්, එක්සත් භාවයක් ඔවුන් අතර නොමැතිවීම නිසා ඒ නගර රාජ්‍ය ඔවුනොවුන් හා යුද වැදෙමින් හෙම්බත් ව සිටියා. ගී‍්‍රකයන් විසින් මේ මැසිඩෝනියානුවන් අශිෂ්ටයන් ලෙස සලකනු ලැබුවත් පිලිප් රජු ගී‍්‍රක සංස්කෘතිය අගය කළා.


පුංචි සන්ධියේදී කළ වීර වික‍්‍රමයන්
ලා බාල වියේ දී ම ඇලෙක්සැන්ඩර් අසුන් හැසිරවීමෙහි දක්ෂයකු විය. අසුන් පුහුණු කරන්නන් කිසිවකුටත් මෙල්ල කළ නොහැකි අසකු ළමා වියේ දී ම මෙල්ල කර ගැනීමෙන් ඔහුගේ හැකියාව මොනවට ප‍්‍රදර්ශනය කළා. ඒ අසු බුස්ෆෙලස් නම් විය. එවකට 13 හැවිරිදි වියේ සිටි සිය පුතුට ඉගැන්වීමට පිලිප් රජු ගී‍්‍රක මහා දර්ශනික ඇරිස්ටෝටල් එරටට ගෙන්වා ගත්තා. ආචාර ධර්ම, දේශපාලනය පමණක් නොව නව විද්‍යාවන් ලෙස එකල සලකනු ලැබූ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, භූගෝල විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව ආදියත් ඔහු ඇරිස්ටෝටල්ගෙන් ඉගෙන ගත්තා. එහෙත් පුංචි ඇලෙක්සැන්ඩර් වැඩි කැමැත්තක් දක් වූයේ යුද්ධ උපක‍්‍රම කෙරෙහියි. ඔහු යුද සටන් හා උපායන් ගැන ඉගෙන ගත්තේ පියාගෙනුයි.


ලෝකය ආක‍්‍රමණය කිරීම ඇරඹීම
කි‍්‍රස්තු පූර්ව 336 සිය පිය රජුගේ ඇවෑමෙන් මැසිඩෝනියාවේ රජ වන විට ඇලෙක්සැන්ඩර් කුමරාට යම්තම් අවුරුදු විස්සක් පිරුණා විතරයි. ඔහුට මුලින්ම කරන්න සිදු වුණේ ගී‍්‍රක රාජ්‍ය තුළ වූ කැරලි මර්දනය කිරීමටයි. ඔහු කාර්යය සාර්ථකව කළා. ඇලෙක්සැන්ඩර්ගේ පියා වූ පිලිප් රජුගේ සිහිනයක් ව තිබුණා, පර්සියාව අල්ලා ගැනීම. ඒ සඳහා ඔහු ළඟ සැලැස්මක් තිබුණා. රජකමත් සමග ඒ සැලැස්මත් පියාගෙන් ඇලෙක්සැන්ඩර්ට උරුම වුණා. පියාගේ සිහිනය තමාගේ ම එකක් කර ගත් ඇලෙක්සැන්ඩර් මුලින් ම මැසිඩෝනියාවේ හා ගී‍්‍රසියේ  බලය තහවුරු කර ගත්තා. ඊළඟට ඔහු සිය සැලසුම් කි‍්‍රයාවට නංවන්නට පටන් ගත්තා. 334 දී ඇලෙක්සැන්ඩර් හෙල්ස්පොයින්ට් (දැන් ඩාඩනෙල්ස්) නම් වූ යුරෝපයත් සුළු ආසියාවත් වෙන් කළ පටු සමුද්‍ර සන්ධිය තරණය කරන විට ඔහු සමඟ ගී‍්‍රක හා මැසිඩෝනියානු භටයන් 30,000කින් හා 5,000ක සන්නද්ධ අශ්වාරෝහක බලකායකින් සමන්විත දැවැන්ත හමුදාවක් සිටියා. ඇලෙක්සැන්ඩර් ඉදිරි පෙළ සිටිමින් ඔවුන් සමග උරෙන් උර ගැටී සටන් කළා. ඔහුගේ මේ හමුදාව සමඟ භූගෝල විද්‍යාඥයන්, උද්භිද විද්‍යාඥයන් ඇතුළු අනෙකුත් විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන් ද ගිය බව සඳහන් වෙනවා. මේ දික්විජය කළ ගමනේ දී ඔවුන් කළේ ඇරිස්ටෝටල්ට අවශ්‍ය තොරතුරු හා ආදර්ශන රැස් කිරීමයි. එපමණක් නොව ඔවුන් සමග ගිය ඉතිහාසඥයෙක් ඇලෙක්සැන්ඩර්ගේ මේ දැවැන්ත ගමන පිළිබඳ ව සියලූ තොරතුරු වාර්තා කළා. ඇලෙක්සැන්ඩර් අල්ලා ගත් ප‍්‍රදේශ හා රටවල් පිළිබඳ සිතියම් මිනින්දෝරුවන් විසින් සකස් කරනු ලැබූ අතර ඒවා සියවස් ගණනාවක් ම ආසියාවේ භූමි විෂමතා දක්වන සිතියම් ලෙස ද භාවිතා කෙරුණා.


ඇලෙක්සැන්ඩර් රජුගේ දික්විජය
333 දී ඔහු පර්සියාවේ තුන් වන ඬේරියස්  රජු ඉසස් වල දී පරාජය කළා. 332 දී ටයරය යටත් කර ගත්තා. එතැනින් නොනැවතුණු ඔහු තවදුරටත් දික් විජය ඇරඹුවා. ඊළඟට ඔහු මිසරය හා බැබිලෝනියාව ආක‍්‍රමණය කර ජය ගත්තා. ඊළඟට මිඩියා වට ගිය ඔහු ඉන් නැගෙනහිර දෙසට හැරෙමින් මධ්‍යම ආසියාව දෙසට හමුදා මෙහෙය වූවා. ඉන්දියානු රටවල් අල්ලා ගන්නට ගිය ඔහු ඉන්දු නදිය තරණය කොට පන්ජාබය තෙක් රාජ්‍ය තමන්ට නතු කර ගත්තා. ඒ වන ඇලෙක්සැන්ඩර් හා භට හමුදාව කි.මී. 18,000 ක් දුර ගෙවා තිබුණා. හමුදාව තවදුරටත් ඉදිරියට යාම ප‍්‍රතික්ෂේප කළෙන් ඇලෙක්සැන්ඩර්ට අකමැත්තන් වුවත් ආපසු හැරෙන්නට සිදු වුණා.

ඇලෙක්සැන්ඩර් රජුගේ අවසානය
දීර්ඝ යුද ගමනත්, නොකඩවා කෙරුණු සංග‍්‍රාමත්, නිසා විඩාවට පත් ව සිට ඇලෙක්සැන්ඩර් ආපසු එන ගමනේ දී ඔහුට උණ රෝගයක් (මෙය දැන් විශේෂඥයන් විසින් සොයා ගෙන ඇත්තේ ඩෙංගි උණ වශයෙනුයි) සෑදුණා. මේ රෝගය උත්සන්න වීමෙන් කි‍්‍රස්තු පූර්ව 323 ජූනි 13 වන දා ඇලෙක්සැන්ඩර් බැබිලන් නුවර දී මිය ගියා. ඔහුගේ දේහය රන් පත‍්‍රයකින් ඔතා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ චිත්තාකර්ෂණීය සොහොන් ගැබක තැන්පත් කර තියෙනවා.


මහා ඇලෙක්සැන්ඩර් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙයි
සිය අධිරාජ්‍යය පාලනය කිරීමේ දී ඇලෙක්සැන්ඩර් අනුගමනය කළේ නව ප‍්‍රතිපත්තියක්. ඒ තමන් අල්ලා ගත් රටේ පාලකයකු ම එහි නායකත්වයට පත් කිරීමයි. සමහර ඉතිහාසඥයන් එය පරමාදර්ශයක් ලෙස දකිතත් සමහරුන් එය දකින්නේ අවස්ථාවාදී වීමක් ලෙසයි. ඒ කෙසේ වෙතත් හමුදා ජනරාල්වරයකු ලෙස ඔහු කළ කාර්යය භාරය ඒ යුගයේ හැටියට අසම සම එකක් ලෙස සැලකෙනවා.


මහා ඇලෙක්සැන්ඩර් හොලිවුඞ් රිදී තිරියට ගිය හැටි
2004 වසරේ දී හොලිවුඞ් පුරවරයෙන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ චරිතය ඇසුරින් ‘ඇලෙක්සැන්ඩර්’ නමින් චිත‍්‍රපටයක් ද නිර්මාණය කෙරුණා. මෙහි ඇලෙක්සැන්ඩර්ගේ චරිතයට පණ පෙව්වේ කොලින් ෆැරල්. සම්මාන කිහිපයක් දිනාගත් මෙම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළේ සම්මානනීය අධ්‍යක්ෂක ඔලිවර් ස්ටෝන් විසින්.

Post a Comment

2 Comments

  1. කලින් දනගෙන හිටිය කරුනු වලට වඩා ගොඩක් කරුනු මෙමෙ ලිපියෙන් දන ගත්ත.

    ReplyDelete
  2. කලින් දනගෙන හිටිය කරුනු වලට වඩා ගොඩක් කරුනු මෙමෙ ලිපියෙන් දන ගත්ත.

    ReplyDelete