මේ ලොක් නෙස් විලේ අබිරහස ජලාශ පත්ලක සැඟවුණු, මෙතෙක් හෙළි කර ගත නොහුණු සුවිශේෂ එකක් ලෙස සලකන්න පුළුවන්. එය පරම්පරා ගණනක් තිස්සේ පරීක්ෂකයන්ට ජයගත නොහැකි වූ අභියෝගයක්.
ස්කොට්ලන්තයේ ගැඹුරු ම විලේ ජීවත්වන මේ රාක්ෂයා ගැන ජනප‍්‍රවාද රැසක් ම තියෙනවා. හදිසියේ දියෙන් මතුවුණු මේ සතාගේ හැඩරුව ගැන ඇසින් දුටුවන්ගේ විස්තර, ගත්තා යැයි කියන ඡායාරූප, ඌ හා බැඳුණු කටකතා අති මහත් රාශියක් දස ගණනාවක් තිස්සේ සමාජයට එක් වී තියෙනවා.

දැන් විශ්වාස කරන්නේ සර්පයකුගේ බඳු මේ අඳුරු රූපවලින් ඒ ලොක් නෙස් විලේ රුදුරු සත්වයාගේ නියම ස්වරූපය හෙළිදරවු කර ගත හැකිවේවි කියලයි.
සෝනාර් (sonar) ක‍්‍රමයට ශබ්ද තරංග යවා ගැඹුරු දිය යට හඳුනා නොගත් පණ ඇතැයි සිතිය හැකි වස්තුවක් රූ ගත කිරීමට ලොක් නෙස් විලේ බෝට්ටු නියමුවකු වූ මාකස් ඇට්කින්සන් සමත් වී තියෙනවා. මේ අද්භූත සත්වයාගේ අපැහැදිලි රූපයක් ගූඪ විල් ජලයේ අඩි 75ක් පමණ ගැඹුරේදී සෝනාර් ක‍්‍රමයට ලබා ගන්න ඔහුට හැකි වී තියෙනවා. ඌට අඩි 5ක් පමණ මහත කඳක් ඇතැයි ඔහු මැන බලා තියෙනවා.
ඇට්කින්සන් සතු සෝනාර් ක‍්‍රමයට මාළුන් ඉන්නා තැන් සොයන උපකරණය මගින් තමයි, ඔහු මේ සත්වයා සිටි ගැඹුර මැන ගෙන තියෙන්නෙ. ඔහුගේ සංචාරක බෝට්ටුවෙන් යද්දී මේ උපකරණය සෑම තත්පර කාලකට ම වරක් බෝට්ටුවේ සිට ඍජුව ඊට හසුවන වස්තූන්වල පළල හා ඒවා හමුවන ගැඹුර සටහන් කර දක්වනවා.
ලොක් විලේ උර්කුහාට් බොක්කේ දී ඔහුගේ බෝට්ටුවට අමුතු පිළිබිඹුවක් හසු වුණා. ඒ දිග චලනය වන යමක්. බෝට්ටුවට විනාඩි දෙකකට වැඩි කාලයක් විතර ගත වුණා, එය පසු කරන්න.
ඇට්කින්සන්ගේ සෝනාර් උපකරණය නොකඩවා එවූ සංඥාවලින් ප‍්‍රතිරූපණය වුණේ තිරස් ස්කන්ධයක්. එහි දිග දක්වන්න ක‍්‍රමයක් තිබුණේ නැහැ.
මේ රූපය දැක විමතියට පත් ලොක් නෙස් විශේෂඥයන් කීවේ එය මාළුවකුගේ හෝ සීල් සතකුගේ හෝ දිය යට දිරා යමින් ඇති ලී කොටයක් හෝ නොවන බවයි. එය ලොක් විලේ ඉන්නා කිසියම් අද්භූත සත්වයකුගේ රූපයක් යැයි එකහෙළා පිළි ගත්තා.

ලොක් නෙස් විලේ මීටර 23ක් ගැඹුරේ කිසියම් ගුප්ත සතකුගේ රුවක පිළිබිඹුවක් සෝනාර් උපකරණයේ සටහන් වී ඇත්තේ මෙසේයි.

මාටින් ඇට්කින්සන් මෙවැනි දෙයක් කලින් දැක තිබුණේ නැහැ. ඔහු සැක කරනවා, තමා ඒ දුටුවේ මේ රූපයෙන් රූපයෙන් දක්වෙන ඒ ගුප්ත සත්වයාද කියා.
ඇට්කින්සන් ඔහුගේ සෝනාර් තිරයේ සටහන් වුණු රූපය සිය ජංගම දුරකථනයෙන් කැමරාවට නැඟුවා. ඔහුට ඒ සඳහා වසරේ හොඳම ලොක් නෙස් දර්ශනය වීමට හිමි ප‍්‍රථම සම්මානයත් ලැබුණා.
දැනට 43 හැවිරිදි වියේ පසුවන ඇට්කින්සන් ස්කොට්ලන්ත කඳුකරයේ ඔගස්ටස් කොටුවේ සිට ඒ ගැන අදහස් දැක්වූවේ මෙහෙමයි:
”මං සංචාරකයන් පිරිසක් උර්කුවාට් මාළිගයට ගෙන යමින් සිටියා. ඒ යද්දී මගේ බෝට්ටුව අනික් අය ගිය බෝට්ටුවලට ඈතිනුයි යාත‍්‍රා කරමින් තිබුණේ. ඒ යද්දී තමයි, මගේ සෝනාර් උපකරණයේ මේ රුව අඳෙන්න පටන් ගත්තේ.
”මේ උපකරණයෙන් සිදු වන්නේ සෑම තත්පර කාලකට ම වරක් බෝට්ටුවේ සිට ජල පත්ලට ශබ්ද තරංග යැවීමයි. ඒ තරංග ජලය යට ඇති දේ හා ගැටී ආපසු විත් මෙහි තිරයේ පිළිබිඹුවක් ඇති කරනවා. එවැනි පිළිබිඹුවක් සම්පූර්ණ වෙන්න මිනිත්තු පහක් විතර ගත වෙනවා.
”ඒ පිළිබිඹුව එන්න එන්න ම විශාල පෙනෙන්න පටන් ගත්තා. මං පුදුම වෙලා මේ පින්තුරය මගේ ජංගම දුරකථනයෙන් සටහන් කර ගත්තා.
”ඒ තරම් ලොකු සතෙක් මේ ලොක් විලේ නැහැ. එන්න එන්න ම ලොකු වෙවී පේන කොට මට පුදුම හිතුණා. සෝනාර් පිළිබිඹුවක් බොරුවට හදන්න බැහැ. මේ වගේ දෙයක් කිසිදාක මේ උපකරණයෙන් මා දැක නැහැ.
”මේක මට ලොකු ගැටලූවක් වුණා. මං මේක අපේ අනික් පළපුරුදු අයටත් පෙන්නුවා. ඒ කාටවත් මේ කුමක් විය හැකි දැයි කියන්න හැකියාවක් තිබුණෙ නෑ.
”මා මෙහි ගෙවූ 21 අවුරුද්ද තුළ මේ වගේ පින්තූර කොතෙකුත් දැකලා තියෙනවා. ඒත් මේ තරමටවත් පැහැදිලි එකක් මින් පෙර දැක නැහැ. කිසිම සැකයක් නැහැ, ලොක් විලේ මොකෙක් හරි ඉන්නවා”
හඳුනා නොගත් ඒ යෝධ සත්වයාගේ රූපය මීටර 22ක් ගැඹුරේ තිබෙනු සෝනාර් තිරයේ සටහන් වූ අයුරු.

මාකස් ඇට්කින්සන් දුටු ඒ අසාමාන්‍ය සෝනාර් තිරයේ සටහන් වූ දේ ඔහු විසින් ම ජංගම දුරකථනයෙන් කැමරාවට නගනු ලැබුවා.
පූර්ණ කාලීනව ලොක් නෙස් විලේ ගුප්ත සත්වයා සොයමින් සිටින, 49 හැවිරිදි ස්ටීව් ෆෙල්ට්හැම් කියන්නේ මේ රූපයේ ඇති පිළිබිඹුව තරම් ලොකු සතුන් එම විලේ නැති බවයි. ”අපි දැකල තියෙන ලොකු ම සතා සීල් තමයි. ඒත් මේ ඊට වඩා හුඟක් ලොකු සතකුගේ රූපයක්. ඒත් මේක හරියට මොකක්ද කියල කියන්න බැහැ. මාළු වෙන්නත් බැහැ, අඩි 75 ගැඹුරේ මාළු නැහැ. කොහොම වුනත් මේ වගේ රූපයක් කවදාවත් ඉදිරිපත් වුණේ නැහැ. මේක මට ඇති තවත් අවුරුදු 20ක් මගේ සෙවීම ගෙනියන්න.” ඔහු අවසාන වශයෙන් කීවා.
නමුත් වෙනත් අදහස් දරන සාගර ජීවී විශේෂඥයනුත් ඉන්නවා. ඒ අය කියන්නේ මේ ජලයේ ඇති ඇල්ගේ ශාක ගොන්නක් කියලයි. සදම්ප්ටන් හී ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්ය සයිමන් බොක්සැල් කියන්නේ, ”බෝට්ටුව යාත‍්‍රා කරද්දී හෙමින් හෙමින් සෑදුණු රූපයක්, මේක. දිය යට ඇති ඇල්ගී ශාක පද්ධතියක් ඇසුරෙන් මේ රූපය බිහිවෙන්න ඇති. ඒ හින්දා මේක කෙළින් ම කැමරාවකින් ගත්තු රූපයක් නෙවෙයි. මේ රූපය ඇල්ගී හා සත්ව ප්ලවාංග එකතුවක පිළිබිඹුවක් විය හැකි” බවයි.
”සත්ව ප්ලවාංග වැඩෙන්නේ ඇල්ගී ආහාරයට ගෙනයි. එවැන්නක වැදී එන සෝනාර් ශබ්ද තරංග වලින් මෙවැනි පිළිබිඹුවක් ඇති විය හැකියි. මං හිතන්නෙ මේ ‘ජල රකුසා’ නිර්මාණය වී තියෙන්නේ ලක්ෂ සංඛ්‍යාත කුඩා ප‍්‍රාණීන් හා ශාකවලින්.” ඔහු අවසාන වශයෙන් කළ නිගමනයයි.
සමහර විට මේක ලොක් නෙස් විලට තවතවත් සංචාරකයන් අද්දවා ගන්නට ඇට්කින්සන් ඇතුලූ පිරිස කළ උප්පරවැට්ටියක් වෙන්නත් බැරි නැහැ. කොහොම වුනත් ලොක් නෙස් විලේ ගුප්ත සත්වයා පිළිබඳ අබිරහස තවදුරටත් ඉදිරියට යන බවයි පෙනෙන්නෙ.

ලොක් නෙස් විලේ දිය රැලි අතර මතු වී නැති වී ගිය අද්භූත සතකුගේ හැඩ කලයක්. මෙය 2011 දී ගන්නා ලද ඡායාරූපයක්.
-සම්බන්ධිත ලිපි-
ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්)
2 Comments
දවසක විසදෙනකම් බලාපොරොත්තුවෙන් ඉන්න එක් දෙයක් තමයි මේ අහිරහස.. මිත්‍යාවක් වෙන්නත් පුළුවන්..
ReplyDeleteship hàng đi mỹ
ReplyDeleteship hàng mỹ việt
ship hàng mỹ giá rẻ nhất
chuyên ship hàng mỹ
ship hàng mỹ về hà nội
phí ship hàng từ mỹ
ship hàng từ mỹ về hà nội
nhận ship hàng từ mỹ về hà nội
giá vận chuyển hàng đi mỹ
giá ship hàng từ mỹ
ship hàng từ mỹ giá rẻ