HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගෝලීය උණුසුම් වීම වෙනස් මඟක් ගනියි! ග්ලැසියර දිය වීම වෙනුවට වැඞීමක්!

මෙතෙක් කලක් අප දැන සිටියේ ගෝලීය උණුසුම් වීම නිසා උතුරු ධ්රුවයේ ග්ලැසියර දිය වී යන බවයි. එහෙත් දැන් හිමාලයේ දී එය වෙනස් මඟක් ගෙන තියෙනවා. විද්‍යාඥයන්ගේ අලූත් ම සොයා ගැනීම වන්නේ ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියර දිය වීම වෙනුවට ලියලීමක් හෙවත් වැඞීමක් සිදු වන බවයි!

ප‍්‍රංශ චන්ද්‍රිකාවකින් ගත් ඡායාරූපවලින් මේ බව හෙළි වී තියෙනවා. හිමාලයේ බටහිර කඳුවළල්ලේ ග්ලැසියර මෙසේ පසුගිය දශකයක කාලය තුළ දිය වීම වෙනුවට වර්ධණය වී ඇති බව හෙළි වෙනවා.

ගෝලීය සිසිල් වීමක්! කේ 2 නම් කරාකෝරම් කඳුවැටියේ ග්ලැසියරවල වර්ධනයක්!

ලෝකයේ උස ම ශිඛර අතරින් දෙ වන තැන් ගන්නා කේ 2 ශිඛරය, එනම් කරාකෝරම් කඳු වැටියේ ඇති ග්ලැසියර මෙසේ වර්ධනය වන ඒවා ලෙස දැන් හඳුනා ගෙන තියෙනවා.

මේ විස්මිත සොයා ගැනීමෙන් විද්‍යාඥයන් දැන් අන්දුන්කුන්දුන් වී ගිහින්. ලෝකයේ අනෙක් පෙදෙස්වල ග්ලැසියර ගෝලීය උණුසුම් වීම හේතුවෙන් දිය වී, ක්ෂය වී, හැකිළී යද්දී මේ හිමාලයේ ග්ලැසියර පමණක් මෙසේ වර්ධනය වීම ඔවුන්ගේ පුදුමයට හේතුවක් වී තියෙනවා.

ප‍්‍රංශයේ ග්රෙනෝබල් විශ්ව විද්‍යාලයේ හා විද්‍යා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රංශ විද්‍යාඥයන් තමයි, මේ චන්ද්‍රිකා ඡායාරූප විමසුමට ලක් කරල තියෙන්නෙ. මේ කරාකෝරම් කඳු වැටියට යාම හා එහි මැනීම් කිරීම දුෂ්කර එකක්. පහසුම ක‍්‍රමය මෙවැනි ඡායාරූපවලින් ඒවා විමර්ශනය කිරීමයි.

දැනට ඔවුන් සතුව ඇත්තේ 1999 වසරේත්, 2008 වසරේත් ගන්නා ලද එම ප‍්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයි. ඒවා සසඳා බලන විට ඒ ග්ලැසියරවල සුළු වර්ධනයක් දක්නට ලැබෙනවා.

ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව සෑම වසරක දී මීටර 0.11කත් 0.22කත් අතර ප‍්‍රමාණයක් මෙම ග්ලැසියරවල වර්ධනය වීමක් සිදු වී තිබෙනවා.

ගෝලීය ප‍්‍රවණතාව වෙනස් ආකාරයට මෙසේ සිදු වන්නේ කුමක් නිසා ද යන්න පර්යේෂකයන්ට තවමත් ප‍්‍රශ්නයක්. එහෙත් ඔවුන් දන්නවා, කරාකෝරම් කඳු වැටිය හා සමාන ලොව පුරා වෙනත් ශීතලාධික ප‍්‍රදේශවල කළ අධ්‍යයනයන්ගෙන් අධික ශීතල සහිත දේශගුණයත් සමග වැඩිපුර වර්ෂණයක් ඇති වුවහොත් ඒවා ඝන වී ප‍්‍රසාරණයක් සිදු විය හැකි බව.  

ඒ පර්යේෂකයන්ගේ ප‍්‍රධානියා වූ යූලී ගාඩෙලේ මේ පිළිබඳව බීබීසියට ප‍්‍රකාශයක් කරමින් කීවේ, ”අපි මේකට හේතුව හරියට ම දන්නේ නෑ. දැනට අප විශ්වාස කරන්නේ කරාකෝරම් ඉහළ අහසේ ඇති ඉතා විශේෂ වූ කලාපීය දේශගුණය නිසා වන්නට ඇති කියායි. කාලගුණ විද්‍යා ගණනයන් අනුව මේ ප‍්‍රදේශයේ ශීත කාලයේ වැඩි වර්ෂණයක් පෙන්නුම් කරනවා. ඒත් ඒක තාම අනුමානයක් විතරයි” කියායි.

හැරිසන් කියන්නේ ඒ හිම කඳු ලියලන ස්කන්ධයෙන් වැඩි කොටසක් උස් ශිඛරවල සිදු වන හිමධාවයන්ගෙන් ලැබෙන බවයි.

එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ සම මහාචාර්ය ස්ටීවන් හැරිසන් කියන්නේ නව පර්යේෂණ අනුව ගෝලීය දේශගුණයේ සැලකිය යුතු විචල්‍යයක් ඇති වී තිබෙන බවයි. ඔහුගේ අදහස ඒ ග්ලැසියර ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය කියායි.

කරාකෝරම් ග්ලැසියර අසාමාන්‍යයි. ඒවා වසා ගෙන ඇති තට්ටු යටින් ඇත්තේ පාෂාණමය ජීර්ණාවශේෂ ඝන ස්තරයක්. ඒ නිසා එහි ඝන වීමේ හා දිය වීමේ කි‍්‍රයාවලියට ඒ ජීර්ණාවශේෂවල හා කාලගුණයේ වෙනස්කම් දෙක ම බලපානවා.

”ග්ලැසියර දිය වීම නිසා සමස්ත මුහුදු මට්ටමට සිදු වන බලපෑම ගණන් ගතයුතු තරමේ එකක් නෙවෙයි. ඒක ඉතා සුළුයි. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ නැහැ, නොකඩවා සිදු වන ගෝලීය උණුසුම් වීම නිසා ලෝකයේ ග්ලැසියරවලට ඇති වන බලපෑම ගැන ඉගෙන ගැනීමට තරම් දෙයක් ඇත්තේ නැතැයි කියා.”
ලොව පුරා ග්ලැසියර ඉතා වේගයෙන් දිය වී යන මේ කාලයේ මෙවැනි නව සොයා ගැනීම්වලින් යම් ආකාරයක සහනයක් ලැබෙනවා.

2011 දී හිමාලය ගැන කළ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා, ග්ලැසියරවල හිම දිය වී යාමේ වේගය අනුව 1980 ගණන්වලට වඩා දෙගුණයක් වී ඇති බව. එයින් අවට රටවල බිලියන 1.3ක් වන ජනතාවකට පිරිසිදු ජලය ලැබෙන බවත් සඳහන් වෙනවා.

Post a Comment

0 Comments