HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තහනම් නගරයට ඇතුළු වූ බි‍්‍රතාන්‍ය ජාතික දේශ ගවේෂක : ලොව මවිත කළ වීර කතා


කතාන්දර අහන්න අපි කවුරුත් ආසයි. ඒ කතාන්දර ඇත්තක් නම්? ඇත්තටම සිදුවූ වීර වික‍්‍රමයක් නම් ඒවායේ අගය තවත් වැඩි වෙනවා. අතීතයට එක්වූ අපූරු වික‍්‍රමයන් රැසක් තියෙනවා. ඒ වික‍්‍රම හරිම විස්මිතයි, ත‍්‍රාසජනකයි. එවැනි කතාන්තර විටින් විට අපි ඉදිරිපත් කිරීමට සූදානම්.

මේ වීර වික‍්‍රමයට පාදක වෙන්නේ බි‍්‍රතාන්‍ය ජාතික සෙබළෙකු හා දේශ ගවේෂකයෙකු වූ ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් බි‍්‍රතාන්‍ය රජය කළ ඉල්ලීමකට අනුව ටිබෙට්වරුන්ගේ හා ලාමාවරුන්ගේ විරෝධතාවන් හා බාධක හමුවේ නොසැලී ටිබෙට් දේශයේ ‘තහනම් නගරයට’ ඇතුළු වූ අයුරුයි. විදේශිකයින් ‘තහනම් නගරය’ ලෙස එදා හැඳින්වූවේ අද ටිබෙට් අගනුවර වන ලාසා නුවරටයි.

ලූතිනන් කර්නල් ෆ‍්‍රැන්සින් යංහස්බන්ඞ්
ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් සුප‍්‍රකට බි‍්‍රතාන්‍ය ජාතික හමුදා ලූතිනන් කර්නල්වරයෙක් හා දේශ ගවේෂකයෙකු හා දේශ ගවේෂකයෙකු ලෙස ඔහු ලැබූ ප‍්‍රසිද්ධිය නිසා ටිබෙට් දේශය ගවේෂණය කිරීමේ කණ්ඩායමේ නායකත්වය පැවරුණේ ඔහුටයි. ඉන්දියාවේ සිට ගෝබි කාන්තාරය තරණය කරමින් ටිබෙටයට මුලින්ම ආ සුදු ජාතිකයා වන්නේ මොහුයි. මෙම ගමනේදී ඔහු හිමාලයට ගියේ බිහිසුණු මුස්ටාග් දුර්ගය පසු කරමිනුයි. හිමෙන් වැසුණු සුදෝ සුදු හිමාල අඩවියට පය තැබූ පළමු සුදු ජාතිකයා වන්නේ ද ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ්ය.

දලයි ලාමා සමඟ මිත‍්‍රත්වයක් ?
1902 දී රුසියානුවන්ට ටිබෙට් දේශයේ කටයුතු ගැන උනන්දුවක් ඇතිවුණා. ඒ උනන්දුව යහපත් අරමුණින් ඇතිවූ එකක් නොවන බව තේරුම් ගත් බි‍්‍රතාන්‍ය රජයට  ඕනෑ වුණා ටිබෙට් දේශයේ පාලකවරයා සහ ආධ්‍යාත්මික නායක දලයි ලාමා සමඟ මිත‍්‍රත්ව ගිවිසුමක් ඇති කර ගන්නට රුසියානුවන්ට කලින්. මේ හේතුව නිසයි මධ්‍යම ආසියාවේ ‘තහනම් සානුව’ යනුවෙන් නම් කළ ප‍්‍රදේශය ගවේෂණය කිරීමට සූදානම් කෙරුණේ. එවකට තහනම් සානුව ලෙස නම් කෙරුණේ ටිබෙට් දේශයයි.

ජලපාලා දුර්ගය තරණය කිරීම
ෆ‍්‍රැන්සිස් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම ඔවුන්ගේ වීර චාරිකාව ඇරඹුවේ ඉන්දියාවෙන්. ඔවුන්ට හමුවූ මුල්ම බාධකය වුණේ  ‘ජලපාලා දුර්ගය’ පසු කිරීමයි. මෙම දුර්ගය හරහා හමා ගිය ප‍්‍රචණ්ඩ හා සීතල සුළංවලට ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ්ගේ කණ්ඩායමේ සෙබළුන් කිහිප දෙනෙක් ගසාගෙන ගියා. සමහරු සීතලේම මියැදුණා. මීට පෙර මෙම දුර්ගය තරණය කරමින් ටිබෙට් දේශය බලා ගමන් කර තිබුණේ ටිබෙට් ලාමාවරු පමණයි. ලාමාවරුන් යංහස්බන්ඞ් සහ ඔහුගේ සෙබළ කණ්ඩායමට අනතුරු අඟවමින් කියා සිටියේ කඳුකරයේ රාක්ෂයින් ඔවුන්ව ගොදුරු කර ගනීවි කියලයි. ඊට හේතු වුණේ විදේශිකයින්ගේ පැමිණීමට එම පළාත්වල ස්වදේශීකයින් තදබල ලෙස විරෝධය පෑමයි. ස්වදේශිකයින් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් සහ ඔහුගේ ගවේෂණ කණ්ඩායම හැඳින්වූයේ ‘පරදේශක්කාර යක්ෂයින්’ කියලයි.


‘සාගින්නේ යක්ෂයා’
ඒත් රාක්ෂයින්ට වඩා බරපතල උවදුරකට මුහුණදීමට ගවේෂකයන්ට සිදුවුණා. ඒක තමයි ආහාර හිඟය. ස්වදේශිකයින්ගේ ආහාර නොලැබීම නිසා ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් අණ කළා ඔවුන් සතුව තිබූ කෑම බීම අරපරිස්සමෙන් පාවිච්චි කරන්න. එහෙත් පියවරෙන් පියවර ඉදිරියට යද්දී කෑමබීම කෙමෙන් කෙමෙන් අඩු වීමට පටන් ගැනුණා. සෙබළුන්ට හිම මත සාගින්නේ මැරී වැටෙන්න සිදුවුණා. සැතැපුම් 7ක් ඇතුළත අඩි 7000ක් උසට විහිදුණු කඳු සහිත දුර්ග මාර්ගයකත් ඔවුන්ට යන්න සිදු වුණා.

ධාන්‍ය ගබඩා කොල්ලය
කලින් කළ සංචාරවලදී යංහස්බන්ඞ් දැන සිටියා, ලාමාවරුන්ගේ ආශ‍්‍රමවල ධාන්‍ය ගබඩා ඇති බව. ඔහු කල්පනා කළා තමාගේත් තම සෙබළුන්ගේත් පණ බේරා ගැනීමට නම් ලාමාවරුන්ගේ ආශ‍්‍රමයක් ආක‍්‍රමණය කළ යුතු බව. ඔහු අණ දුන්නා කඳුකරයේ හුදෙකලාව පිහිටි එක් ආශ‍්‍රමයකට පහර දෙන්න. සාගින්නේ සිටි ඔහුගේ සෙබළු බයිනෙත්තු තුවක්කුත් රැගෙන ආශ‍්‍රමය කොල්ල කන්න වුණා. අවි දරා සිටියත් ඔවුන්ට එකදු වෙඩි උණ්ඩයක්වත් පිට කිරීමට සිදුවුණේ නැහැ. ආශ‍්‍රමයේ සිටි ලාමාවරුන් බයේ පැන දුවන්න වුණා. ගවේෂණයේ අවසානය දක්වාම ප‍්‍රමාණවත් තරමේ ධාන්‍ය එක්රැස් කර ගන්න ගවේෂණ කණ්ඩායමට හැකිවුණා.

‘ගුරු’ දුර්ගය තරණය කිරීම
ගවේෂණයේ මීළඟ අසීරු කාර්යය වුණේ ‘ගුරු’ නමින් හැඳින්වෙන දුර්ගය පසු කිරීමයි. දුර්ගය තරණය කරමින් ඉදිරියට ගිය සෙබළුන්ට පෙනුණා, ටිබෙට් වැසියන් ඔවුන්ගේ ගමන අවහිර වෙන අයුරින් විශාල ගල් පවුරක් ඉදිකර ඇති අයුරු. ගවේෂකයින් කණ්ඩායමට ඒ පවුර ටිබෙට් සෙබළුන් ඉන්දියානු හා බි‍්‍රතාන්‍ය හමුදාවලින් සමන්විත වූ ගවේෂණ කණ්ඩායමට පහර දීමට සූදා නමින් බලා ගෙන හිටියා. ප‍්‍රහාරය සඳහා ඔවුන් සූදානමින් සිටියේ වරක් වෙඩි තැබූ පසු යළි උණ්ඩ දැමිය යුතු පැරණි තාලේ තුවක්කුවලිනුයි. ලාසා තහනම් නගරයෙන් ඔවුන්ට ලැබී තිබුණු නියෝගය වූයේ දිවිපුදා හෝ සටන් කර විදේශීය හමුදාවට නගරයට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසටයි.

ටිබෙට්වරු පහරදෙති
යංහස්බන්ඞ් හා පිරිස සතුරු බාධක මැඬලමින් ගල් පවුර ළඟට කෙමෙන් කෙමෙන් කිට්ටු වන්න වුණා. අසු පිටට නැඟ තම සෙබළුන් මෙහෙයවූ යංහස්බන්ඞ් සිතුවේ තමන්ගේ භට පිරිස සංඛ්‍යාවෙන් අඩු වුනත් අවි බලය පෙන්නා විනයක් හා නිසි නායකත්වයක් නැති ටිබෙට් හමුදාව සාමකාමීව යටත් කර ගැනීමටයි. එහෙත් ගල් පවුරට කිට්ටු වෙත්ම ටිබෙට් වැසියන් එල්ල කළ වෙඩි පහරින් එක් ඉන්දියානු සෙබළෙකු තුවාල ලැබුවා. ඒ සමඟම මුළු කඳුකරයට දෝංකාර නංවමින් අනෙක් ටිබෙට් ජාතිකයිනුත් වෙඩි තබන්න පටන් ගත්තා. ඔවුන් වෙඩි තැබුවේ එකවරයි. ඉන්පසු තුවක්කුවලට නැවත උණ්ඩ දමන්නවත් පමා නොවී කඩු අතින් ගෙන මරාගෙන මැරෙන්න යනවාක් මෙන් සතුරු හමුදාව වෙත කඩා පැන්නා.


ටිබෙට්වරු පලා යති
අවාසනාවකට වාගේ ටිබෙට්වරුන් යංහස්බන්ඞ්ගේ හමුදාව අත තිබූ ස්වයංක‍්‍රීය ගිනි අවි ඊට පෙර දැක තිබුණේ නැහැ. ඔවුන් සිතුවේ යංහස්බන්ඞ්ගේ හමුදාව සතුව තිබූ තුවක්කුත් ඔවුන්ගේ ඒවා මෙන් නැවත වෙඩි තැබීම සඳහා නැවත පිරවිය යුතු ඒවා කියලයි. ඒ නිසයි, ඔවුන්ගේ තුවක්කු නැවත පිරවීමට නොනැවතී ඒ විදේශීය භට හමුදාව වෙත කඩු අතැති ටිබෙට් වැසියන් කඩා පැන්නේ. ඒත් යංහස්බන්ඞ්ගේ හමුදාව සතුව තිබුණේ ස්වයංකී‍්‍රය රයිපල විශේෂයක්. ඒ නිසා යංහස්බන්ඞ් අණ දුන් විගස ඔහුගේ ඉන්දියානු හා බි‍්‍රතාන්‍ය සෙබළුන් වහාම ටිබෙට්වරුන්ට වෙඩි තියන්න වුණා. වෙඩි උණ්ඩ වරුසාවක් ටිබෙට්වරුන් වෙත එල්ල වුණා. එයින් ටිබෙට්වරුන් මවිතයටත් බියටත් පත් වුණු ආපහු හැරී පලා ගියා.


ගවේෂණය යළි ඇරඹෙයි
තුවාල වූ ටිබෙට් ජාතිකයින්ට ප‍්‍රතිකාර කරන ලෙස යංහස්බන්ඞ් ඔහුගේ හමුදා වෛද්‍යවරුන්ට උපදෙස් දුන්නා. ඉන්පසු යළිත් වතාවක් ‘ලෝකයේ පියස්ස’ යනුවෙන් එවකට හැඳින්වූ උස් කඳුකරය තරණය කරමින් ඔහුගේ ගවේෂණය ආරම්භ කළා. ගුරු දුර්ගය පසු කළ පසු ඔවුන්ගේ ගමනට ඊළඟට හරස් වූයේ ‘ජින්සේ’ නම් යෝධ ප‍්‍රාකාරයයි.

ටිබෙට් ජාතිකයින්ට මැදිවෙමින් ...
ජින්සේ ප‍්‍රාකාරය අබියසදී ගමන තාවකාලිකව නතර කරන්නට යංහස්බන්ඞ් සහ පිරිසට සිදු වුණා. ඒ වන විට ටිබෙට්වරුන් ඔවුන්ව වට කර ගෙන සිටියා. මාසයක පමණ කාලයක් මෙසේ කඳවුරු බැඳගෙන සිටින්න ගවේෂණ කණ්ඩායමට සිදුවුණා. යංහස්බන්ඞ්ට ඉන්දියාවෙන් එද්දී බි‍්‍රතාන්‍ය හමුදාවේ උසස් නිලධාරීන් අණ කර තිබුණේ ජින්සේ පවුරෙන් ඔබ්බට නොයන ලෙසයි. ඒකට හේතුව තවත් ඉදිරියට ගමන් කළොත් යුරෝපීයයන් තවදුරටත් ටිබෙට් වැසියන්ගේ අප‍්‍රසාදයට ලක් වේවි යන බිය නිසයි. තවදුරටත් ඉදිරියට නොගොස් මෙහි සිට කෙසේ හෝ දලයි ලාමා තුමන් සමඟ මිත‍්‍රත්ව ගිවිසුමක් ඇති කර ගැනීමයි යංහස්බන්ඞ්ට උපදෙස් දුන් බලධාරීන්ගේ බලාපොරොත්තුව වුණේ.

‘ජින්සේ පවුරට’ පහරදීම
ඒත් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ්ට නම් ඒ සඳහා තවත් බලා සිටිය නොහැකි වුණා. ඔහු දැන් ටිබෙට් දේශයේ තහනම් නගරයට ඉතාමත් ආසන්නයටම ඇවිත්. ඔහු තීරණය කළා, බි‍්‍රතාන්‍ය රජයේ සහ හමුදාවේ උසස් නිලධාරීන්ගේ අණ නොතකා ටිබෙට් සෙබළුන්ගේ පහරදීම් මැඬලමින් ජින්සේ පවුර තරණය කර ලාසා නුවරට යන්නට. ඔහු ඔහුගේ සෙබළුන්ට අණ දුන්නා, පවුරට පහර දෙන්න. ඉන් පසු ඔහුත් ඔහුගේ සෙබළුනුත් ලාසා නුවර දෙසට පිය නගන්න වුණා.


‘තහනම් නගරය’ හෙවත් ලාසා
1903 වසරේ අගෝස්තු 4 වැනිදා ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් මහත් ආඩම්බරයෙන් ඔහුගේ පිරිසත් සමඟ රන් අලේපිත පියැසි සහිත මාළිගාවලින් හා පටු මං තීරුවලින් සමන්විත වූ ලාසා අගනුවර පටු වීථි දිගේ ඉදිරියට ගමන් කරන්න වුණා. ටිබෙට් අගනුවරට එහෙම නැතිනම් තහනම් නගරයට මුලින්ම පැමිණි යුරෝපීය ජාතිකයා වීමේ ගෞරවය ඔහු හිමිකර ගත්තා.

ලාමාවරු සමඟ මිත‍්‍රත්ව ගිවිසුම
‘පිටදේශක්කාර යක්ෂයින්ගේ’ පැමිණීමත් සමඟම ආරක්ෂාව සඳහා දලයි ලාමා තුමා පලා ගියා. ඒත් අනෙක් ප‍්‍රධාන ලාමාවරුන් ඇතුළු මණ්ඩලයක් සමඟ සුහදව සාකච්ඡා කිරීමට යංහස්බන්ඞ් සමත් වුණා. අන්තිමේ දී ටිබෙට් දේශයට පිවිසෙන වෙළඳ මාර්ග බි‍්‍රතාන්‍යයන් වෙනුවෙන් විවෘත කරන්නට ඔවුන් එකඟ වුණා. පලා ගිය දලයි ලාමා තුමාගේ මුද්‍රාව යොදා ගෙන එංගලන්තය සහ ලාමාවරුන් අතරේ මිත‍්‍රත්ව ගිවිසුමක් ද අත්සන් කරනු ලැබුවා.


ඉන්දියාව බලා ආපසු ගමන
ටිබෙට් දේශයේ මාස 15 ක කාලයක් ගත කිරීමෙන් පස්සේ යංහස්බන්ඞ් සහ ඔහුගේ සෙබළුන් යළි ඉන්දියාව බලා පැමිණීමේ දුෂ්කර ගමන ඇරඹුවා. ආපහු ඉන්දියාවට ආ විගස ඔහුට  බලධරයන්ගේ චෝදනාවලට ලක් වීමට සිදු වුණා. ඒ උසස් නිලධාරීන්ගේ නියෝග නොතකා ලාසා නුවර තුළට ගමන් කිරීමේ වරදටයි. ඒත් මිත‍්‍රත්ව ගිවිසුම අත්සන් කිරීම ගැන නම් ඔවුන් හුඟක් සතුටු වුණා. ඒ නිසා ඔහුට දඬුවම් කිරීමක් සිදු වුණේ නැහැ.

වීරයාට නයිට් පදවියක්
ටිබෙට්වරුන්ගේ ඇසින් කෙසේ වුවත් ලෝකයාගේ ඇසින් බලනවා නම් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් කියන්නේ වීරයෙක්. ලෝකයේ පියැස්ස ලෙස සලකනු ලැබූ එතෙක් යුරෝපීයයකු නොගිය දුෂ්කර ගමනක් ගිය ධෛර්යසම්පන්න පුද්ගලයෙක්. ඒ නිසා එංගලන්තයේ 7 වන එඞ්වර්ඞ් රජු ඔහුගේ ධෛර්ය සම්පන්න භාවය හා වීරත්වය ඇගයීමකට ලක් කරමින් නයිට් පදවියක් ද පිරිනැමුවා.

Post a Comment

9 Comments

  1. මම නම් එයා වීරයෙක් විධියට දකින්නෙ නැහැ. එයා කරලා තියෙන්නෙ ආක්‍රමණයක්. අද ඇමරිකාව කරනවා වගේ.
    ඔයා ලිපිය එක හුස්මට කියෙව්වා. ස්තුතියි

    ReplyDelete
  2. කොහෙද ඉන්න කාලකන්නි වීරයෝ විදියට නම් කරන්න එපා

    ReplyDelete
  3. ඉෂාර, Anonymous ඔබ හරි.

    ටිබෙට්වරුන්ගේ හෝ ආසියානුවන් ගේ ඇසින් බලනවා නම් ෆ‍්‍රැන්සිස් යංහස්බන්ඞ් කියන්නේ වීරයෙක් නොවේ, ආක්‍රමණිකයෙක්.

    ඔබලාගේ මතය ඉදිරිපත් කීරීම ගැන ස්තුති.!

    ReplyDelete
  4. මල් කැකුලු බ්ලොග් එකට මම කැමතියි. වටිනා තොරතුරු සපයන බ්ලොග් අඩවි අතරින් මා කැමතිම බ්ලොග් අඩවි අතලොස්සෙන් එකක් මෙය. ඒක මම මීට පෙර බොහෝ වතාවල් වල කියලා ඇති. මේ බ්ලොග් එකේ ලිපි බොහෝමයක් කාලයත් එක්ක යල්පනින්නෙ නැති ලිපි.

    නමුත් ‘පරදේශක්කාර යක්ෂයින්’ වීරයන් කිරීම මල් කැකුලු කියවන්න එන, අනාගතයේ කියවන්න ඉන්න බාල පරපුරට දෙන්නෙ නරක ආදර්ශයක්. ඔවුන් අපට කලෙත් ඔය දේමයි වෙනස් විදිහකට. ඉතින් ඔවුනුත් වීරයෝ ද?

    උපක්‍රමශීලිව තමන්ගේ අරමුණු වෙනුවෙන් අනෙකෙකුගේ දේවල් අයිතිකරගන්න පිටසක්වල තරණය කලත් ඔහු වීරයෙක් නෙමේ පරදේශක්කාර යක්ෂයෙක්මයි මටනම්.

    ReplyDelete
  5. මම නම් එයා වීරයෙක් විධියට දකින්නෙ නැහැ. ආක්‍රමණයක් !!!
    LA

    ReplyDelete
  6. කරුණු කාරණා බලද්දී යුරෝපීයන්ට, විශේෂයෙන් බ්‍රිතාන්යන්ට යන්හස්බන්ඩ් වීරයෙක්. ඒත් පෙරදිග ඇසෙන් බලන අපිටනම් පෙනෙන්නේ මේ තවත් එක ආක්‍රමණිකයෙක් විතරක් කියලයි. කොහොම වුනත් හොඳ ලිපියක්. නොදන්නා දෙයක් දැනගත්ත.

    ReplyDelete
  7. වීරයා කියන වචනය ඇත්තටම සාපේක්ශයි කියල තමයි මට හිතෙන්නෙ. අපි මොන කදවුරද නිහයෝජනය කරන්නෙ කියන එක තමයි ඒකට බලපාන්නෙ. ගොඩක් අය මෙතන කියල තියන විදිහට බැලුවොත් ලෝක ඉතිහාසයෙ වීරයො ගොඩක් ආක්‍රමනිකයො වෙනවා... King Alexandra, Julius Caesar එතකොට අශෝක රජතුමා, අපේ මහා පරාක්‍රමභාහු රජතුමා.....

    ReplyDelete
  8. බටහිර රටවල් යන්හස්බන්ඩ් වීරයෙක් ලෙසට හදුන්වන්නේ. ඔහුගැන ලියවුනු ගොඩක් පොත් වල සදහන් වෙන්නේ එලෙස. අපට ඔහු වීරයෙක් නොවේ. අප මෙම ලිපිය ලිවීමට උපකාරකරගත් පොත් පත් බටහිර එවා නිසා ලිපියෙන් ඔහු වීරයකු ආකාරයට සිතෙන්නට ඇත.

    සමාවන්න, සමහර Anonymous කමෙන්ට් මෙහි සදහන් කල නොහැක. මල් කැකුළු කිසිම පුද්ගලයකුට හනියක් කිරීමට ලිපි හෝ කමෙන්ට්ස් දමන්නේ නැත. කමෙන්ට් කිරීම ගැන ස්තුති.

    ළමා හා වැඩිහිටි මනසට තොරතුරු/දනුම පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම කවදත් අපගේ අරමුණ වේ.

    - වජිර (මල් කැකුළු)

    ReplyDelete
  9. හිතවත් මල්කැකුළු පාඨකයන් වෙතටයි.

    තිබ්බතයට ගිය සුද්දා ගැන ලියූ ලිපියට මිනිත්තු කීපයක් තුළ එවපු ඔබේ ප‍්‍රතිචාර දැකපු ගමන් ම මුලින්ම මට දුක හිතුණා. ඊළඟට ඇති වුණේ අප‍්‍රමාණ සතුටක්. දුක හිතුණේ ඒ වගේ ලිපියක් පළ කිරීම ගැන. එවැනි ලිපියක් පළ නොකර ඉන්නයි තිබුණේ. එය පළ කිරීමෙන් ඔබේ බුද්ධියට නිග‍්‍රහයක් කළාදෝයි සිතෙනවා. පළමුවරට සුද්දෙක් ගිය ඒ ගමන ගැන ඒ ආකාරයෙන් ම වාර්තා කිරීමටත් තමන්ගෙ වාසියට ගනුදෙනු කරන්න සුද්දා නොගිය තැනක්, නොවිඳි දුකක් නෑ කියලා පෙන්වීමත් අරමුණු කර ගෙනයි, ඒ ගවේෂකයාගේ දෘෂ්ටි කෝණයෙන් ඒ ලිපිය පළ කළේ.

    දැන් කාලේ නීතියේ හැටියට නම් අනවසරයෙන් රටකට නෙමෙයි, ඉඩමකට ඇතුළු වීමත් අපරාධයක්. ඒ අතින් ඒ සුද්ද වීරයෙක් නෙවෙයි, මහා අපරාධකාරයෙක්! අනුන්ගේ නිජ බිමකට ඇතුළු වී ඔවුන් බියවැද්දීමත්, මරා දැමීමත්, බියවද්දා ගිවිසුම් ගැසීමත්, ශිෂ්ට සම්පන්න කි‍්‍රයා නොවෙයි.

    ලෝකයේ කොතැන සිටියත් සියලූ සත්වයාගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය අගයන, ‘වීරයා’ යන්න නියම අර්ථයෙන් වටහා ගත්ත බුද්ධිමත් පාඨක පිරිසක් අපේ පාඨකයන් අතර සිටීම ගැනයි, මට අප‍්‍රමාණ සතුටක් ඇති වුණේ.

    අප, අපේ ශ‍්‍රමයත්, කාලයත් කැප කර, කිසිදු ආදායමකින් තොරව, මේ ලිපි ඔබ වෙත ගෙන එන්නේ, පාඨක ඔබ සැම කෙරෙහි ඇති අසීමිත ආදර ගෞරවය පෙරදැරි කර ගෙනයි. එය අපේ ජීවත් වීමේ එක් අරමුණක් ලෙසයි, අප සලකන්නේ. වයසට යද්දීත් පෑන අත නොහැර තවමත් ලියන්නේ ඒ නිසයි. එසේ නැතිව වත්මන් පරපුර හෝ මතු පරපුර හෝ නොමඟ යැවීමට හෝ නරක ආදර්ශයක් සැපයීමට හෝ නොවෙයි. අපට, අපේ පාඨක, ඔබේ සිතුම් පැතුම් හඳුනා ගන්න මෙවැනි ප‍්‍රතිචාර දක්වීම් මගින් ඉඩ සැලසීම ගැන ඔබට අනේක වාරයක් ප‍්‍රශංසා කරනවා. ඔබේ දක්වන එසැණ ප‍්‍රතිචාර අපට ධෛර්යයක් හා ශක්තියක් ලබා දෙනවා. තව තවත් ලියන්න හිතෙනවා.

    ඔබට වාසනාවන්ත අනාගතයක් වේවා!

    පර්සි ජයමාන්න
    ප‍්‍රධාන සංස්කාරක - මල්කැකුළු

    ReplyDelete