කුරුල්ලෙක් ද? අහස් යානයක් ද? නෑ! කාර් එකක්!

ඉගිල්ලෙන කාර් ළඟ එනවා. පියාසර කරන මෝටර් රථ තවදුරටත් විද්‍යා ප‍්‍රබන්ධවලට අයිති දෙයක් නෙවෙයි. එකක් නොවෙයි, දෙකක්! පියාඹන කාර් දෙකක් ම පසුගිය දා හඳුන්වා දෙනු ලැබුවා.

එකක් අපේ‍්‍රල් 2 වැනිදා ප‍්‍රදර්ශන චාරිකාවක යෙදුණා. ඒ තමා ඇමරිකාවේ මැසචුසෙට්ස්හී ටෙරාෆූජියා සමාගම නිපදවූ පියාඹන මොටෝ රිය, ‘ට‍්‍රාන්සිෂන්’. ලබන අවුරුද්දේ ඔවුන් මෙම කාර් වෙළඳ පොළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

මේ කාර් ආවා ම පාවිච්චි කරන්න අලූතින් නීති හදන්නත් වේවි.

ඇමරිකානු ටෙරාෆූජියා සමාගම මේ නව අහස් මොටෝරිය අහසට නංවා වැඩි වේලාවක් ගියේ නෑ, ඕලන්දයේ සමාගමක් ද අහසින් යා හැකි රියක් ලොවට ඉදිරිපත් කළා. එය හැඳින් වූයේ පැල් -ඪ කියායි. එහි නිෂ්පාදක සමාගම කියන්නේ පවත්නා අන්තර් ජාතික නීතිවලට අනුව ඔවුන්ගේ යානයට ගොඩ බිම මෙන්ම අහසේත් යා හැකියි, කියලයි.

මෙම රථයට ආසන දෙකක් තියෙනවා. රෝද හතරක් තියෙනවා. කාර් එකක් හැටියට මහ මඟ යන විට හකුළා තැබිය හැකි අත්තටු (පියාපත්) තියෙනවා. පසුගිය මාසයේ දී අත්හදා බැලීම සඳහා ගිය ගමනක දී මිනිත්තු 8ක් තුළ අඩි 1400ක් ඉහළින් පියාසර කළා. සාමාන්‍යයෙන් ජෙට් යානයක් යන්නේ අඩි 35,000ක් ඉහළ අහසේයි.

අත්හදා බලන්න යන ගමනක්. මාර්තු 23 වැනිදා ‘අහස් රිය’ මුල් ම අහස් ගමනේ යෙදුණු අයුරු.

දැනටමත් ගැනුම්කරුවන් 100ක් පමණ දෙනා ඩොලර් 10,000ක් බැගින් මුදල් තැන්පත් කර තියෙනවා, මේ ට‍්‍රාන්සිෂන් රථයක් මුලින් ම වෙළෙඳ පොළට ආවා ම ලබා ගන්න බලාපොරොත්තුව ඇතුව. මේ ගණන විශාල වශයෙන් වැඩි වෙයි කියලා හිතනවා එන සතියේ නිව්යෝක් නගරයේ පැවැත්වෙන මෝටර් රථ ප‍්‍රදර්ශනයෙන් පස්සෙ.

ඒත් දැන්ම අපට අපේ නගරවල මේ කාර් දැක ගන්න හිතන්න එපා! මේ රථයක් නිපදවන්න යන වියදම ඩොලර් 279,000ක් කියලයි කියන්නේ. වාහන තදබදයකට අහුවුණොත් නම් එක පාරට ම පාරෙන් අහසට නැගලා යන්න බැහැ. හේතුව මේක අහසට නංවන්න ධාවන පථයක් ඕනැ වෙන නිසා.





ඇමරිකානුවන් කාලයක් තිස්සේ මේ පියාඹන කාර් ගන සිහින මැව්වා. 1930 ගණන්වල සිට එවැනි රියක් තනන්න තැත් කළා. ඒ බව සිහිපත් කරන නිව්යෝක්හී මෝටර් කාර්මික විශේෂඥයකු වූ රොබට් මාන් කියන්නේ ටෙරාෆූජියා ආයතනය දැන් ඒ සිහිනය සැබෑ කර ගන්න ආසන්නයි, කියලයි. රජය දැන් අවසර දීලා තියෙනවා නියමිත බරින් අඩු ටයර් හා කවුළු වීදුරු මේ රියට යොදා ගන්න, පියෑඹීම පහසු කරවන්න.

නගරයේ වීථියක දී, ආසන දෙකක් ඇති අහස් රියේ පියාපත් හකුළා ගෙන යන අයුරු

මෙවැනි විශේෂ රථ සඳහා විශේෂ මාර්ග නීති අවශ්‍ය වේවි. රජයන් ඒවා ගෙනෙනතුරු ඉන්න වේවි.

ඇමරිකන් රජය දැනටමත් ට‍්‍රාන්සිෂන් යානයට තාවකාලික අවසරයක් දීල තියෙනවා, ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පාලක උපකරණ නොමැතිව තනන්නට, වැඩිපුර රාත්තල් හයක විතර බරක් යානයට එකතු වෙන හින්දා. මේ යානය සඳහා අනුමත කර තියෙනවා, සාමාන්‍ය ගුවන් යානාවලට වඩා සහනදායී පියවර කීපයක් ම. වේග සීමා, බලපත‍්‍ර අවශ්‍යතා ආදිය ලිහිල් කර තියෙනවා. මේවා පදවන අයට නියමුවන්ට වඩා අඩු පුහුණුවක් ප‍්‍රමාණවත්.

මේවා පදවන්නකුට ඒ සඳහා පියසැරි පැය 20ක පුහුණුවක් හා පරීක්ෂණයක් සමත් වීම අවශ්‍යයි.

1930 ගණන්වල සිට නිර්මාණකරුවන් අහස් කාර් තනන්න උත්සාහ ගත්තා. මේ 1947 දී සැලසුම් කළ කොන්වෙයා අහස් රියයි.

1973 දී තැනූ ඒවීඊ මිසාර් අහස් රිය, ෆෝඞ් පින්ටෝ රථයක් හා සෙස්නා ස්කයිමාස්ටර් ගුවන් යානයක රාමුවක් එක් කළ මේ රිය අත්හදා බලද්දී පියාපත් විවෘත නොවීම හේතුවෙන් අනතුරට ලක් ව එහි නිර්මාණකරුවා මිය ගියා.

1930 ගණන්වල තැනූ වෝටර්මන් ඒරොබයිල් යානය සාර්ථකව පියාසර කෙරුණා. මෙවැනි සරල යානා පහක් නිපදවූවත් එය භාවිතයට ආවේ නෑ.

ට‍්‍රාන්සිෂන් රියකට පාර දිගේ පැයට කිලෝ මීටර 70ක වේගයකින් යත හැකියි. අහසේ පැයට කිලෝ මීටර 115ක් යන්න පුළුවන්. මේ යානය ගැන අදහස් දැක්වූ ස්ටීවන් මොස්කාටිලෝ ප‍්‍රකාශකයා කීවේ මෝටර් රථ ඉන්ධන ගැලූම් 23ක ධාරිතාවක් යානය සතු බවයි. මේ යානයට අහසේ දී පැයකට ගැලූම් 5ක් වැය වන අතර මහ මඟ දී ගැලූමකින් සැතැපුම් 35ක් යා හැකි බවයි.

2006 සිට ම ටෙරාෆූජියා සමාගම මෙවැනි යානයක් තනන්න අත්හදා බැලීම් කරනවා. දැන් තමයි ඔවුන් ඒ සිහිනය සැබෑ කර ගන්න හදන්නේ.

ටෙරාෆූජියා සමාගමේ ට‍්‍රාන්සිෂන් යානයට වගේ ම ඕලන්ද පැල් යානයටත් ඉහළ නඟින්න අඩි 500ක් දිග ධාවන පථයක් ඕනෑ වෙනවා.

පැල් යානයට අහස්යානා තටු වෙනුවට ඇත්තේ හෙලිකොප්ටර් තලයි. බිම යද්දී අකුළා ගෙන යන ඒවා ඉහළට නැංවීමට ඕනෑ වූ විට දිග හැරිය හැකියි.

බිම දී පැල් යානය කි‍්‍රයා කරන්නේ ස්පෝට්ස් කාරෙකක් වගෙයි. දෙදෙනකු පමණක් ගෙන යන විට බිම දී මෙයට පැ.සැ. 112ක වේගයකින් ගිය හැකියි. අවශ්‍ය විට මිනිත්තු කීපයක් ඇතුළත පියාපත් තල හා වල්ගය දිග හැර අහසේ ගමනට සූදානම් කළ හැකියි. මෙයට යොදා ගෙන ඇත්තේ ගයිරොකොප්ටර් තාක්ෂණයයි.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. කොහොමද අපි මේකේ නැගලා යද්දි.... පුහ්... හිනාත් යනවා මතක් වෙද්දි...

    ReplyDelete