HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මානවයාගේ ඉතිහාසයේ අලූත් පිටුවක් පෙරළෙයි! චීනයෙන් නව මානවයෙක් මතුවෙයි!

චීනයේ ගල් ලෙනක තිබී ගල්යුගයේ මානවයන් දෙදෙනකුගේ ශේෂයන් හමුවෙයි. පුරාවිද්‍යාඥයන් කියන්නේ මෙම සොයා ගැනීමත් සමග මානව පරිණාමය පිළිබඳ නව මානයක් හෙළිදරවු වන බවයි. මෙසේ හමු වී ඇති පොසිලවලින් මතු වූ කරුණු අනුව ඒවා මීට කලින් හඳුනා නොගත් මානව විශේෂයකට අයත් ඒවා ලෙස ඒ පුරාවිද්‍යාඥයන් හඳුන්වනවා.

පැරණි ලෙන් දෙකක තිබී, ගල් යුයේ මානවයන්ගේ යැයි සැක කෙරෙන සිවු දෙනකුගේ අස්ථි පොසිල හමු වී තියෙනවා. ඒ අස්ථි පොසිල මෙතෙක් නොවූ විරූ අයුරින් පැරණි හා වර්තමාන මානවයන්ගේ පොදු ලක්ෂණවල මිශ‍්‍රණයක් ලෙස දකින්න පුළුවන් කියලයි විද්‍යාඥයන් කියන්නේ.

මේ මානවයන් වසර 14,500කටත් 11,500කටත් අතර කාලයේ දී රතු මුවන් දඩයම් කරමින් ජීවත් වූ අයයි. මේ පොසිල ආසියාවේ විසූ ළාබාල ම මානවයන් ලෙසයි, ඔවුන් හඳුන්වන්නේ. කලින් මෙවැනි මානවයන් පිරිසක් ඇතැයි මානව විද්‍යාඥයන් කවුරුනුත් විශ්වාස කළේ නැහැ.

 
බීබීසී රූපවාහිනියේ විකාශය වූ ‘ප්ලැනට් ඔෆ් ද ඒප්මෑන්’ වැඩසටහන් මාලාවෙන් ජවනිකාවක්: මේ රතු මුව දඩයක්කාරයන් අපි‍්‍රකාවෙන් ආසියාවට ආවා විය හැකියි.


ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුර්නෝයි පවසන්නේ මෙම රතු ලෙන් මතු කර ගැනීම ආසියාවේ පැරණි මානවයන් පිළිබඳව කළ සිත් ගන්නාසුලූ සොයා ගැනීමක් බවයි.

”ඔවුන් අපේ ආදි මානවයන් හා එක් ව චීනයේ ආදි කෘෂි සංස්කෘතියේ ආරම්භයත් සමග ජීවත් වෙන්නට ඇතැයි” ඔහු කියනවා.

විද්‍යා නිබන්ධන පළ වන ‘ප්ලොස් වන්’ PLoS One සඟරාවට ලිපියක් සපයමින් ඔහු මේ බව හෙළි කර තියෙනවා. ”අලූතින් සොයා ගෙන ඇති මේ පොසිල කලින් හඳුනා සිටි මානවයන්ට වඩා වෙනස්. මේවා අයත් මානවයන් අවුරුදු 11,000කට පමණ පෙර එනම් අයිස් යුගයේ අවසාන හරියේ ජීවත් වන්නට ඇති.” ඔහු එහි සඳහන් කරනවා.

ඔහු කියන්නේ, ”රතු මුව දඩයක්කාරයන් ගැන කෙරුණු මේ සොයා ගැනීම නිසා මිනිසාගේ පරිණාමය පිළිබඳ ව අලූත් පරිච්ඡේදයක් ලියවෙන බවයි.”

”කලින් හඳුනාගෙන නොතිබූ නව මානවයන් කණ්ඩායමක් අපි‍්‍රකාවෙන් මෙහි සංක‍්‍රමණය වෙන්නට ඇති. මේ කලාපයේ විසූ මානවයන්ට ඔවුන්ගේ සම්බන්ධයක් නොතිබෙන්නට ඇති.”

 
කලින් හඳුනා නොගෙන සිටි ආදි මානව විශේෂයක් ලෙස නම් කර ඇති මේ නව චීන ලෙන් මිනිසාගේ හැඩරුව සිත්තරකුගේ ඇසින්.

1989 දී චීනයේ යුනාන් Yunnan ප‍්‍රාන්තයේ මාලූඩොන්හී Maludong ‘රතු මුව ලෙනේ’ තිබී මේ මානව හිස් කබල් තුනක පොසිල ශේෂයන් හමු වී තියෙනවා. ඒවා ඔහු අධ්‍යයනයට භාජනය කරලා නැහැ 2008 වෙනකම්.

හිස්කබල් හා දත්වල සමානකම් තියෙනවා. පැරණි හා නවීන මානවයා කායික ලක්ෂණවල අසාමාන්‍ය මිශ‍්‍රණයක් ඒවායේ දකිනන්ට පුළුවන්. එසේ ම ඒවා කලින් දකින්නට නොලැබුණු ඒවායි.

විද්‍යාඥයන් මේ මානවයා ‘රතු මුව මිනිස්සු’ කියා හැඳින්වූයේ පසුව වඳ වී ගියා රතු මුවන් දඩයම් කොට මාලූඩොන් ලෙනට ගෙනවුත් පුලූස්සා ගෙන කෑ බවට සාක්ෂි ඇති නිසයි.

 
චීනයේ ‘රතු මුව’ ලෙනෙහි තිබී හමුවූ මේ පොසිල හිස් කබල් අලූත් ආදි මානව විශේෂයකට අයත් බව හෙළි වුණා.

මේ සොයා ගැනීම සිදු වන තෙක් නැගෙනහිර ආසියාවෙන්, වසර ලක්ෂයකට වඩා පැරණි පොසිල හමු වී නෑ. අපේ හෝමෝ සේපියන් මානවයාගේ පොසිල විතරමයි, හමු වී තියෙන්නේ. එයින් අදහස් කරන්නේ හෝමෝ සේපියන් විතරයි මේ ප‍්‍රදේශයේ වාසය කරල තියෙන්නෙ. මේ අලූත් සොයා ගැනීම් නිසා මේ අදහස වෙනස් වෙන ලකුණු පහළ වෙලා තියෙනවා.

සිවුවැන්න 1979 දී හමු වුණා, අසල්වැසි ගුවාන්ෂි සුවාන් Guangxi Zhuang ප‍්‍රාන්තයේ ලොන්ලින් ගම්මානයේ දී. එය පාෂාණයක් කුළ සිර වෙලයි තිබුණේ 2009 වන තෙක්.

යුනාන්හි සංස්කෘතික, කෞතුක හා පුරාවිද්‍යා ආයතනයේ මහාචාර්ය ජී ක්සුවේපින් කියන්නේ, ”නිරිත දිග චීනයේ ක්වින්හයි-ටිබෙට් සානුවේ විශාල භූගෝලීය විවිධත්වයක් දක්නට තියෙනවා, එහි ශ්‍රේෂ්ඨ සංස්කෘතික විවිධත්වයක් ඇති තැනක්. එහි ජෛව විවිධත්වයත් ඉතා වැදගත්. ඒ විවිධත්වය අදටත් දක්නට ලැබෙනවා.” කියායි.

 
චීනයේ ‘රතු මුව ලෙනෙන්’ මතු වූ හිස් කබලක්, පර්යේෂකයන් කියන්නේ මේ හිස් කබලෙහි පැරණි යුගයේ හා වර්තමාන යුගයේ ලක්ෂණ මිශ‍්‍රව ඇති බවයි.

පසුගිය දස වසර තුළ විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා ආසියාවේ විසූ අබිරහස් කුරුමිට්ටකුගේ පොසිල සොයා ගැනීමත්, මෙහි විසු නව මානවයන් සයිබීරියාවෙන් පැමිණි ඩෙනිසෝවියන්වරු හා මිශ‍්‍ර වූ බවට සාක්ෂි හමුවී තියෙනවා.

”මේ අලූත් ම සොයා ගැනීම නිසා මේ මහාද්වීපය තුළ තවත් ඉගෙන ගතයුතු දේ තියෙන බව පැහැදිලි වෙනවා” මහාචාර්ය කුර්නෝයි තව දුරටත් මේ ගැන කියනවා.

Source: DailyMail

Post a Comment

1 Comments

  1. Vadagath lipiyak. Harima aasaven kiyevva.
    Godak Sthuthiy!

    ReplyDelete