HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද 93 වන විය පසු කරන අපේ මහා සිනමාවේදියා - ලෙස්ටර් ජේම්ස් පීරිස් : ආසියානු සිනමාව 3

ලෙස්ටර් ජේම්ස් පීරිස් උපන්නේ 1919 අපේ‍්‍රල් 05 වැනිදා දෙහිවල ‘සිහගිරි’ නිවසේදියි. අද ඔහු 93 වැනි විය සපුරනවා. ඔහුට දිගාසිරි පතමින් ‘මල්කැකුළු’ පාඨකයන් වෙනුවෙන් මෙම විශේෂ සටහන තබන්නට අප අදහස් කළේ ඒ නිසයි.


ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ගෙන ගිය යුග පුරුෂයා යි. ඔහුට මුලින්ම අවශ්‍ය වූයේ ලේඛකයකු වීමටයි. මුලින් ම ඔහු කෙටිකතා ලිව්වා. කවි ලිව්වා. අන්තිමේදී ඔහුට පත‍්‍රකලාවේදියකු වීමට අවස්ථාව පෑදුණා.

පත‍්‍රකලාවේදියකු ලෙස ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතට බැඳුණු ඔහුට පසුව ඒ පත‍්‍රයේ ලන්ඩන් කාර්යාලයේ වාර්තාකරුවකු ලෙස එහි යන්නට මඟ පෑදුණා. ඒ ශිෂ්‍යත්වයක් දිනා චිත‍්‍රශිල්පය ඉගෙන ගන්නට එංගලන්තයට ගිය අයිවන් මල්ලීගේ අසනීප තත්වයක් හේතුවෙන් ඔහුගේ සුවදුක් සොයා බලන්නට ලෙස්ටර් ලන්ඩනයට යැවීමට දෙමාපියන් ගත් තීරණය නිසයි. 1947 දී ලෙස්ටර් ලන්ඩනයට ගියා. මල්ලීට සාත්තු සප්පායම් කරමින් ලෙස්ටර් පුවත්පත් විශේෂාංග සම්පාදනය කළා.

ඒ අතර එංගලන්තයේ දී ලෙස්ටර්ට චිත‍්‍රපටයක් තැනීමේ ආශාව ඇති වුණා. ඒ යුගයේ ලන්ඩන් නුවර සිනමා සංගම් හා ආධුනික චිත‍්‍රපටකරුවන් බහුලවීමත් එයට එක් හේතුවක් වන්නට ඇති. ඔහුට මේ කටයුත්තේ දී හෙරිවර්ඞ් ජෑන්ස් නම් කැමරා ශිල්පියකුත් එක් වුණා.

ඔහු කැමරා මිතුරා සමඟ මුලින් ම කළේ Soliloquy (සොලිලොකි - 1949) නම් ‘ඉබේ දෙඩුම’ යන අරුත් ඇති විනාඩි 12ක කෙටි චිත‍්‍රපටයක්. එයට 1950 දී ආධුනික හා පර්යේෂණාත්මක චිත‍්‍රපට නිර්මාණය කරන්නන් වෙනුවෙන් පැවති විශේෂ සිනමා උළෙලකදී ඉහළ ම ප‍්‍රවීණතාව පළ කරන චිත‍්‍රපටයට හිමි වන ‘මිනි සිනෙමා චැලේන්ජ් කප්‘නම් සම්මානය හිමි වුණා.

ඉන් දිරිමත් වූ ඔහු ඊළඟට තැනූ කෙටි චිත‍්‍රපටය වූ Farewell to childhood (ෆෙයා වෙල් ටු චයිල්ඞ්හුඞ් - 1950) නම් ‘ළමා වියට ආයුබෝවන්’ සඳහා ලොව හොඳම ආධුනික චිත‍්‍රපටය ලෙස බි‍්‍රතාන්‍යයේ දී සම්මාන දිනුවා. එසේ ම එය ‘ඇමටර් සයින් වර්ල්ඞ්’ සඟරාව විසින් බි‍්‍රතාන්‍යයේ නිර්මිත හොඳම කෙටි චිත‍්‍රපට 10න් එකක් ලෙස ද නම් කරනු ලැබුවා. ලන්ඩනයේ සිටිද්දී ලෙස්ටර් කළ තෙ වන සිනමා නිර්මාණය ‘සිංහල නැටුම්’ Sinhalese Dance නමින් විනාඩි 8ක චිත‍්‍රපටයක්. එය සංස්කරණය අතින් කළ අත්හදා බැලීමක්.


1952 දී ලෙස්ටර් ලංකාවට ආවේ බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට අධ්‍යක්ෂ රැල්ෆ් කීන්ගේ බලවත් ඇවිටිල්ල මතයි. රැල්ෆ් කීන් ඒ වන විට රජයේ ආරාධනය පිට රජයේ චිත‍්‍රපට අංශය බාරව මෙහි පැමිණ සිටියා. බි‍්‍රතාන්‍යයේ දී ලෙස්ටර්ගේ හැකියාවන් හඳුනා ගෙන සිටි ඔහු මෙරටට පැමිණෙන ලෙස ලියුම් ගණනාවක් ම යැව්වා.

රජයේ චිත‍්‍රපට අංශයේ දී ලෙස්ටර් වාර්තා චිත‍්‍රපට කීපයක් ම නිර්මාණය කළා. ‘වියළි කලාපය ජය ගැනීම’(1954), ‘රැකෙනු නැත - තැවෙනු’(1955) ඉන් කැපී පෙනෙනවා. ඔහුට සැබෑ සිංහල චිත‍්‍රපටයක් තනන්නට අදහස ආවේ රැල්ෆී කීන්ගේ ‘නෙළුම් ගම’ නම් වාර්තා චිත‍්‍රපටයට හවුල් වී සිටියදියි.

1955 දී ලෙස්ටර්, ටයිටස් තොටවත්ත හා විලී බ්ලේක් සමග රජයේ සේවයට සමු දුන්නේ ‘රේඛාව’ චිත‍්‍රපටය තනන්නටයි. චිත‍්‍රාගාරවලින් බැහැරව ලංකාවේ එළිමහනේ නිපදවූ ප‍්‍රථම චිත‍්‍රපටය එයයි. ලෙස්ටර් ඒ චිත‍්‍රපටයෙහි තිර කතාව ලියා අධ්‍යක්ෂණය කළා. විලී බ්ලේක් කැමරාව මෙහෙය වූ අතර ටයිටස් එය සංස්කරණය කළා. ‘රේඛාව’ තමයි, සිංහල චිත‍්‍රපටයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ.

මේ කාලයේ සිංහල චිත‍්‍රපට නිෂ්පාදනයට වැඩියෙන් අත ගසා සිටියේ ද දකුණු ඉන්දියානු චිත‍්‍රපට මෙහි ගෙන්වා ප‍්‍රදර්ශනය කළ සමාගම් හා විජාතිකයන් කීප දෙනක්. අනෙක් අතට ඔවුන්ගේ සහය නොලබා කරන නිෂ්පාදනවලට ප‍්‍රදර්ශන ඉඩකඩ ලබා ගැනීම ද ප‍්‍රශ්නයක් ව තිබුණා.

‘රේඛාව’ තිරයට එන විට වසර නවයක කාලයක් තුළ ප‍්‍රදර්ශනය කර තිබුණේ සිංහල චිත‍්‍රපට 38ක් පමණයි. එයින් සිංහල අධ්‍යක්ෂවරුන්ගේ නම් සඳහන් වූයේ චිත‍්‍රපට 18ක පමණයි. (ගණනින් සිංහල අධ්‍යක්ෂවරුන් සිටියේ පහකි.) ඔවුන් ද ඒවා අධ්‍යක්ෂණය කළේ ඉන්දියානු ආරටයි. ඒ හැරුණු විට අනෙක් සිංහල චිත‍්‍රපට සියල්ලෙහි ම අධ්‍යක්ෂවරුන් වූයේ විජාතිකයන්, විශේෂයෙන් ම ඉන්දියානුවන්. ඔවුන්ට සිංහලකම, සංස්කෘතිය, දේශීයත්වය ගැන අවබෝධයක් තිබුණේ නෑ. ශිල්පීය දැනුම තිබුණට ඔවුන්ට චිත‍්‍රපට මාධ්‍යය ගැන හරි අවබෝධයක් තිබුණෙත් නෑ.

සිංහල අධ්‍යක්ෂවරයකු මෙහෙයවූ 19 වැනි චිත‍්‍රපටය ලෙස ‘රේඛාව’ රැගෙන ‘ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආගමනය සිදු වූයේ මෙවන් අභියෝගාත්මක තත්වයන් යටතේයි. ඔහුගේ මේ අවතීර්ණ වීම සුවිශේෂත්වයක් වූයේ සිනමා භාෂාව අවියක් කර ගනිමින් සිංහල සිනමාවට පිවිසි ප‍්‍රථමයා වීම නිසයි. ‘රේඛාවෙ’න් ඔහු සිංහල සිනමාව වෙනස්කම් රැසකට යොමු කළා. පළමු කොට ම ඔහු කැමරාව රැගෙන චිත‍්‍රාගාරයෙන් එළිමහනට ආවා. සිංහලකම හා දේශීයත්වය රැක ගැනීම පිණිස එය හඳුනන පිරිස් එක් රැස්කර ගත්තා. එතෙක් සිනමා තිරයෙහි දක්නට ලැබුණු ගොරහැඩි ‘මේකප් ක‍්‍රමය’ (අංග රචනය) හෙවත් වෙස් ගැන්වීම් වෙනස් කළා. ඇඳුම් පැලඳුම් වෙනස් කළා. රූප රාමු හා කැමරා කෝණ භාවිතය අදහස් ප‍්‍රකාශනයට උචිත ලෙස හැසිරෙව්වා. එසේ ම ටයිටස් සමග සංස්කරණය අර්ථවත් එකක් කළා. රංගනයෙහි හා දෙබස් උච්චාරණයෙහි ලා එතෙක් පැවති වේදිකා ස්වරූපය ඉවත් කොට බටහිර සිනමාවේ එන රංගන රීතියට නැඹුරු කළා.

ඉන්දියානු සිනමාවට හුරුවී වී සිටි සිංහල පේ‍්‍රක්ෂකයන් අතර ‘රේඛාව’ එදා ජනපි‍්‍රය නො වූවත් එයින් සිංහල සිනමාවට සිදු වූ බැලපෑම කියා නිම කරන්න බැරි තරම්. 1949 දී ඉතාලි චිත‍්‍රපට අධ්‍යක්ෂ විටෝරියෝ ඩි සිකා Vittorio De Sica ගේ ‘බයිසිකල් තීෆ්’ Bicycle Thief ලෝක සිනමාවට කළ බලපෑම වගේ දෙයක් තමයි, ලෙස්ටර්ගේ ‘රේඛාවෙ’න් සිංහල සිනමාවට සිදු වුණේ.

අන්තර්ජාතික සම්මානයට හා අවධානයට ලක් වූ මුල්ම සිංහල චිත‍්‍රපටය ‘රේඛාව’ යි. සිංහල සිනමාව ගැන ලෝක අවධානය යොමු වූයේ ‘රේඛාව’ එතෙර පෙන්වීමත් සමගයි.

රේඛාවෙන් පසු ලෙස්ටර් තවත් වෘත්තාන්ත චිත‍්‍රපට ගණනාවක් කළා. එයින් ‘ගම්පෙරළිය’ට (1965) නවදිල්ලියේ පැවති අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී හොඳම චිත‍්‍රපටය ලෙස රණ මයුර සම්මානය හිමි වුණා. ලෙස්ටර්ගේ නිර්මාණ අතරින් වැඩි විචාරක ගෞරවයට පාත‍්‍ර වූයේ ‘නිධානය’ (1970) චිත‍්‍රපටයයි.


ලෙස්ටර් නිර්මාණය කළ වෘත්තාන්ත චිත‍්‍රපට ගණන 20කි. ඒවා මෙසේ යි: අම්මාවරුනේ (2007), වෑකන්ද වලව්ව (2002), අවරගිර (1995), යුගාන්තය (1983), කලියුගය (1982), බැද්දේගම (1980), වීර පුරන්අප්පු (1979), පිංහාමි (1979), අහසින් පොළොවට (1978), මඩොල් දූව (1976), ගෝඞ් කිං (1975), දෑස නිසා (1972), නිධානය (1970), අක්කර පහ (1969), ගොළු හදවත (1968), රන්සළු (1967), දෙලොවක් අතර (1966), ගම්පෙරළිය (1964), සන්දේශය (1960) හා රේඛාව (1956).

ලෙස්ටර් සිය නිර්මාණ සඳහා දේශීය හා විදේශීය වශයෙන් සම්මාන රැසක් දිනා ගෙන තියෙනවා. ඔහුට ජීවිත කාලයක් තුළ කළ මෙහෙය වෙනුවෙන් 2000 දී ඉන්දියානු අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේදී විශේෂ සම්මානයත් 2001 ආසියානු සිනමාවට ලබා දුන් දායකත්වය වෙනුවෙන් ප‍්‍රංශයේ ගෝල්ඩන් ලෝටස් සම්මානයත් හිමි වුණා. එසේ ම 1999 දී ඔහුගේ ‘නිධානය’ චිත‍්‍රපටයට පුසන් චිත‍්‍රපට උළෙලේ දී 20 වැනි සියවසේ සම්භාව්‍ය සිනමා කෘතියක් ලෙස තෝරා ගැනීම වෙනුවෙන්ද සම්මානයක් පිරිනැමුණා.
1985 දී කොළඹ විශ්ව විද්‍යාලයෙනුත් 2003 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් ආචාර්ය උපාධි දෙකක් ම ඔහුට පිරිනමනු ලැබුනා.

ආසියානු සිනමාවට විශාල කීර්තියක් අත්කර දුන් ජපානයේ අකිර කුරෝසව, ඉන්දියාවේ සත්‍යජිත් රායි හා ශී‍්‍ර ලංකාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් යන යුග පුරුෂයන් තිදෙනා අතරින් ලෙස්ටර් තවමත් අතර වැජඹීම අපේ වාසනාවක්. ඔහුට චිරාත්කාලයක් අප අතර වීසීමට වාසනාව ලැබේවා!

- පර්සි ජයමාන්න

-සම්බන්ධිත ලිපි-

Post a Comment

2 Comments

  1. ලෙස්ටර් මහත්මයාට දීඝායූ පතනවා! මම හිතන්නෙ රේඛාව චිත්‍රපටියෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ගීත සහ ඒවායේ රූපරචනාත් හරිම නැවුම් තාමත්

    ReplyDelete
  2. ගොඩාක් දක්ෂ සිනමා නිර්මාපකයෙක්

    ReplyDelete