HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අහසේ නම ලියා ලෝ පතල වුණු කවුරුද ? මේ කවුරු ඉකෙයා (Kaoru Ikeya)

මාසයකට ඩොලර් 35ක පඩියකට ඔහු පියානෝ තනන සමාගමක රැකියාවට ගියේය. එහි වූ ඔහුගේ පෞද්ගලික වාර්තා පතෙහි සඳහන් වූයේ ඔහු ‘දැඩි අරමුණු නැති, ඉහළට යාමේ ආශාවන් ගෙන් ප‍්‍රහීණ’ අයකු ලෙසය. ඒත් කවුරු ඉකෙයාට දවසේ රැකියාව නිම වීමෙන් පසු ඉහළට යාමේ ආශාවන්ගෙන් පිරුණු දැඩි අරමුණක් තිබුණේය. මේ අරමුණ ඔහු කෙතරම් හොඳින් සඵල කර ගත්තේ ද යත් එතෙක් සිය පවුල ලබා තිබූ අවමානයෙන් ගලවා ගෙන සස ජාතකයෙහි එන පරිදි සක් දෙවිඳු සා රුව සඳෙහි ඇන්දාක් සේ සිය පවුලේ නාමය අහසේ ලියන්නට සමත් විය. මේ දිරිය වඩන කතාව දිරිය බිඳින සාධක මැද්දෙන් සාර්ථක ගමනක් ගිය ජපන් හපන් පුතකු ගැනයි.



ඔවුන් ජීවත් වූයේ ජපානයේ හොකාඩෝ දූපතේ මෝරිහි පිහිටි හමානා විල අසල නිවසකයි. ඔහු හැමදාම මහ රෑ අහස නරඹන්නට වහලයට නගින්නට සැරසෙනු අම්මා බලා සිටියාය. සමින් කළ සුළං වළකන ඉස්කිරිම ඉවතට ගන්නා අයුරු, බර වැඩට සුදුසු ගොරෝසු කලිසම හඳින අයුරු, ශීත කාලයේ ජපානයේ ඇති දැඩි ශීතලට ඔරොත්තු දෙන පරිදි වූල් හිස් ආවරණය හා අත්මේස් පලඳින අයුරු, ඇය අවදිව, එහෙත් නිසල ව, බලා උන්නාය. ඊළඟට ඔහු සිය බ්ලැන්කෙට්ටුවත් ඔතා ගෙන වහලය මතට නඟින්නට නිවසෙන් පිටවෙනු බලා ඇය දිග සුසුමක් හෙළා ළය සැහැල්ලූ කර ගත්තාය. ඔහු එසේ ගෙන් පිටවුණේ ඉනි මඟ දිගේ නිවසේ වහලය මතට නඟින්නටය. ඔහු ඝන අඳුර හා දැඩි ශීතල මැදින් වහලය මතට නැංගේ අහස දෙස බලන්නටය. එහි ඔහු කාලයක් තිස්සේ වෙහෙස වී සිය දෑතින් ම තනා ගත් දුරදක්නය සවි කර තිබුණේය.


කවුරු ඉකෙයා, ෂොයිචි ඉකෙයා මහත්මියගේ ලොකු පුතාය. පවුලේ බරට කරට ගත් තැනැත්තා ය. ඔහුට තිබුණේ කෙසඟ සිරුරකි. දවල් කාලයේ වෙහෙස වී රැුකියාව කර ආපසු නිදි මරාගෙන තවත් වෙහෙස වීම නිසා ඔහු තවත් කෙට්ටු වන්නේ යැයි ඇය ඔහු සමග මේ වහලයට නඟින ගමන ගැන නිතර ම රණ්ඩු කළාය. එහෙත් ඒ සියල්ල ඉකෙයා සිනහ මුසු මුවින් ඉවසුවේය. කිසිදාක වහලයට නඟින ගමන අත්හළේ නැත.

එදා 1963 ජනවාරි 2 වැනි දා රාති‍්‍රයේ, එවකට 19 හැවිරිදි වියේ පසු වූ කවුරු ඉකෙයා, බොහෝ වේලාවක් අහස දෙස බලමින් ගත කළේය. අපමණ වෙහෙස විඳ තම දෑතින් ම තනා ගත් මේ දුරේක්ෂයෙන් අහස දෙස බලන හැමවිට ම ඔහුගේ හද ගැස්ම වැඩි විය. සිත බලාපොරොත්තු වලින් පිරී ගියේය. මේ දුරදක්නය තනන්නට පටන් ගත් මොහොතේ පටන් ම ඔහුට ඉලක්කයක් තිබුණේය. ඒ මෙතෙක් කිසිවකු නුදුටු අලූත් වල්ගා තරුවක් සොයා ගන්නටය. එදා ඔහු අහස දෙස බලමින් ගත කළේ ඔහුගේ 109 වැනි රාති‍්‍රයයි.

නැගෙනහිර අහස පැයක් පමණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු සිය දුරේක්ෂය ගිනිකොණ දෙසට හැරවීය. එහි දී ඔහුට එතෙක් කිසිදාක නොදුටු වලාකුළක් බඳු වස්තුවක් දුරේක්ෂයෙන් දැක ගත හැකි විය. ඔහු තමා වෙත තිබූ අහස් සිතියම් පරීක්ෂා කර බැලූවේය. අහසේ ඒ හරියේ කිසිවක් ඒ සිතියම්වල සටහන් ව නොතිබුණේය. නැවත වරක් තමාගේ එල්ලය නිවැරදි දැයි හොඳින් පරීක්ෂා කර බැලූවේය. ඉන්පසු ඔහු සිය දුරේක්ෂය තුළින් නෙත් එක මොහොතකටවත් ඉවත් නොකර බලා සිටියේය. තමා මේ දකින්නේ මායාවක් යැයි ඔහු මොහොතකට සැක කළේය. ඒත් මඳ ආලෝකයෙන් දිළිසුණු, වලාවක් බඳු ඒ කුඩා වස්තුව අහසේ නොවෙනස් ව තවමත් රැඳී තිබුණේය. බොහෝ වේලා බලා සිටින විට ඒ වස්තුව දීප්තිමත් තරු අතරින් හෙමින් චලනය වෙන බව ඔහුට දැක ගත හැකි විය. තමා මේ දකින්නේ දීප්තියෙන් අඩු තරුවක් නොව වල්ගා තරුවක හිසක් බව කවුරුට අවබෝධ වීමට වැඩි වේලාවක් ගියේ නැත.


තවත් ටික වේලාවකින් ඒ වල්ගා තරුවක් හෙවත් ධූම කේතුවක් බව හඳුනා ගන්නට ඔහුට පුළුවන් විය. ඒ ධූම කේතුව මිට කලින් කිසිවකු විසින් හඳුනා නොගත් එකක් විය. එතැන් පටන් රාති‍්‍ර අහසට එක් රැයක්වත් ඔහු විමසුම් ඇස මඟ හැර යන්නට ඔහු ඉඩ හැරියේ නැත. ඔහු හැමදාම රැය පහන් කළේ අහස දෙස බලාගත් වන මය.

ඔහුගේ මහන්සියේ ප‍්‍රතිඵල ආවේ වසර දෙකකට පසුවය. ඔහු තවත් වඩා දීප්තිමත් වල්ගා තරුවක් සොයා ගත්තේය. එය ඉකෙයා සොයා ගත් බව දන්වන මොහොතේම සෙකී නම් තවත් අයෙක් එය දුටු බව වාර්තා කළේය. ඒ නිසා එය ඉකෙයා-සෙකි (C/1965 S1) යනුවෙන් නම් කරනු ලැබීය.


2002 පෙබරවාරි 1 වැනිදා ඉකෙයා තවත් වල්ගා තරුවක් සොයා ගත්තේය. එයත් වාර්තා කරන විට ම සැන්ග් නම් චීන ජාතිකයෙක් ද එය දුටු බව වාර්තා කළේය. ඒ නිසා එය ඉකෙයා-සැන්ග් (153P) යනුවෙන් නම් කෙරිණ. එය වරින් වර පෘථිවිය දෙසට එන වල්ගා තරුවකි. එසේම ඔහු විශාල ග‍්‍රහකයක් ද සොයා ගත්තේය. එය නම් කොට ඇත්තේ ‘4037 ඉකෙයා ග‍්‍රහකය’ කියායි.

2010 නොවැම්බර 13 වැනිදා ඔහු තවත් වල්ගා තරුවක් සොයා ගත්තේය. මේ වල්ගා තරුව සොයා ගන්නා විට ඔහුට ඩිජිටල් පිළිබිඹු තාක්ෂණය යොදා ගැනීමට හැකියාව ලැබුණේය. එය ද තවත් මුරාකාමි නම් තවත් ජපන් ජාතිකයෙක් දුටු බව වාර්තා කෙරිණ. එයද ඉකෙයා-මුරාකාමි (P/2010 V1) කියා නම් කෙරිණ.


අද කවුරු ඉකෙයාට වයස අවුරුදු 59කි. වල්ගා තරු ගණනාවක් සොයා තාරකා විද්‍යාඥයෙකි. එදා අවුරුදු 40කට පෙර තමාගේ අතින්ම තනා ගත් කුඩා දුරදක්නයකින් අහස බැලූ ඔහු අද ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් නවීන දුරේක්ෂ උපකරණවලින් අහස නිරීක්ෂණය කරයි. නන්නාඳුනන දිළිඳු දරුවකු ලෙස තම නිවසේ වහලය මතට හොර රහසේ නැඟ අහසේ තරු දෙස බලා සිටි ඔහු අද ලෝක ප‍්‍රකට තාරකා විද්‍යාඥයෙකි. අහසේ තම නම ලියවූ සුප‍්‍රකට අයෙකි.

Post a Comment

7 Comments

  1. වැදගත් ලිපියක් ඔබගේ ලිපි හැමදාම බොහොම වැදගත් කමෙන්ට් වලින් වත් හිට්ස් වලින් වත් බ්ලොග් පෝස්ට් වල කොලටිය බලන්න බෑ. මේ වගේ දිගටම අලුත් දේවල් ලියන්න.
    ඉකෙයාට වගේ ඔබටත් කාලයක් ඒවි ලස්සන තැනක් ලැබෙන...

    ReplyDelete
  2. ගොඩාක් වටින , දැනුම ගන්න පුලුවන් බ්ලොග් එකක්.අසාවෙන් කියවනවා...දිගටම ලියන්න සුභ පතනවා..

    ReplyDelete
  3. වටින ලිපියක්

    ReplyDelete
  4. බොහොම ස්තූතියි.. දැනුම බෙදාගත්තට...ගොඩක් වටින ලිපියක්..

    ReplyDelete
  5. මම මේක මගේ බ්ලොග් එකටත් දැම්මා ඔයාලගේ ලින්කුවත් එක්කමි දැම්මේ.......http://mage-pituwa.blogspot.com/2012/03/blog-post.html

    ReplyDelete
  6. Japan hapanaage kathavata sthuthiy! Malkakulu thulin vividha pathi valin apey danuma vadi venava. Obata jaya!

    ReplyDelete
  7. වටින තොරතුරු ටිකක්

    ReplyDelete