ළමා කලම මාපියන් මියගියත් මහ පඬුවකු වනතුරු ඉගෙනීම අත්හළේ නෑ : රැපියෙල් තෙන්නකෝන් ගැන තවත් විස්තර...

රැ. තෙන්නකෝන්ගේ ‘හැවිල්ල’ නම් පැදි ගතෙන් උපුටා පළ කළ ‘කුකුළු හැවිල්ල’ රස විඳි අපේ රසවතුන් ඔහු ගැන තවත් විස්තර අපෙන් විපරම් කළා. ඒ නිසා ඔහුගේ වතගොත සටහන් කර තබන්නට අප කල්පනා කළා. අදට එය කාලෝචිත වන්නේ ඔහු මියගොස් හරියටම වසර 47ක් සපිරෙන නිසාය.

සිංහලයේ වැඩි ම පැදි ගණනක් පබැදූ කිවිඳුන් කවුරුන්දැයි විමසුවොත් ඊට පිළිතුර රැ. තෙන්නකෝන් ය. ඔහුගේ පැදි නදිය ඇරඹුණේ ‘වවුලූව’ ගතෙනි. එම පළමු නිබැඳුමෙන් ම ඔහු මහ කිවිඳකු බව පළ විය. සංවාද ස්වරූපයෙන් රචනා කර ඇති වවුලූවෙන් කියැවුණේ කැවිඩියක හා වවුලකු අතර කතාවකි. උපහාස රසයෙන් අනූන ඒ කාව්‍යය සමාජයේ දුබල තැන්වලට පහර එල්ල කළ කෘතියකි. ‘සක්පුබුදුව’, ‘පඬු ඇඹුල’, ‘දෑ විනය’, ‘මුළුතැන අන්දරය’, ‘රුප්පෙ අන්දරය’, ‘බැතිමත’ හා කුමරතුඟුවන්ගේ දරුවන්ට පිදි ‘පඬුර’ ඇතුළු තවත් පැදි ගත් කිහිපයක් වෙයි. ඔහු ‘සිංහල වංශය’ නමින් අපේ ඉතිහාසය කවි 2500කින් ලියා සම්මානයක් ද දිනා ගත්තේ ය. ‘ගමායනය’ නම් පැදි ගතෙහි පැදි 5302 කි.


එතුමාගේ බොහෝ පැදි නිමැවුම් ලියැවුණේ කුමරතුඟුවන් ඇතුළු හෙළයන්ට සති අන්තයේ රස විඳීම පිණිසය. කුමරතුඟුවන් ඇතුළු පිරිස මේ කව් මී උරා බිව්වේ ගෙඟහි පාවෙන පාරුවක හිඳ ගෙන රස මදිරා ද සමගිනි. හැම සති අන්තයකම රැ. තෙන්නකෝන් ළබැඳියාණන් ගෙනෙනතුරු ඔවුන් සිටියේ නොඉවසිල්ලෙනි. ඒ බව දන්නා අපේ කිවිඳුද නො වරදවා ම නවමු යමක් ලියා ගෙන ගියේය. ඔහුගේ මහ පැදි නදිය ගලා ගියේ එසේ ය.

ඔහු කවි පැබැඳුවේ සුහදයන් පිනවන්නටය. ඊට එහා අරමුණක් ඔහුට නො වීය. මේවා පසුව පළ කළේ හිතවතුන්ගේ උනන්දුව මතය. ඒ නිසා අද පරපුරටත් රස විඳින්නට ඒවා ඉතිරිව ඇත.

කවි පැබැදුම්වලට අමතරව ‘අපේ කව්’ හා ‘අපේ අසුන් කව්’ නමින් කාව්‍ය විචාර පොත් දෙකක් ද ලියා ඇත. ඒ හැරෙන්නට කවුඩුව, ගියකල, බස්පාර යන ගැදි පබඳ කීපයක් ද ඔහුගේ නමට වෙයි. අනුරපුර පිරිහීම, අපේ යටගියාව, යට ගිය දවස ඔහුගේ ඉතිහාස පොත් ය. ඔහු අතින් ලියැවුණු පැරණි කවි පොත් විවරණ කීපයක් වෙයි.

රැ. තෙන්නකෝන් කිවිසුරාණන් 1890 දෙසැම්බර් 19 වැනිදා උපන්නේ මීගමුවට නුදුරු ගනේපොළ වැල්ලාවිට ගම්මානයෙහිය. තෙන්නකෝන් ආරච්චිලාගේ රැයිපියෙල් යන නමින් උපන් ඔහුගේ පියා තෙන්නකෝන් ආරච්චිලාගේ සුදප්පුහාමි ය. මව නොවරුගේ අබේසේකර වන්නකු ආරච්චිලාගේ දෝන ප‍්‍රැන්සිනා වූවාය. කුඩා රැයිපියෙල් පස් හැවිරිදි වෙද්දී මව මියගිය අතර අට හැවිරිදි වියේ දී පියාද මිය ගියේය.

මාපිය අහිමි වීම නිසා නෑසියන් සමග හැදුණු වැඩුණු ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ රද්දොළුව පාසලෙනි. සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගත්තේ රද්දොළුව පන්සලේ පඤ්ඤානන්ද හිමියන් ගෙනි. ඉංගිරිසි ඉගෙන ගත්තේ කොටුවේගොඩ ජයවර්ධන නොතාරිස් රාළහාමි ගෙනි. පසුව ජර්මන්, ලතින් ආදී භාෂවලින්ද ප‍්‍රවීණත්වයක් ලැබුවේය.

රද්දොළුව පාසලේ ම සිසු ගුරු තනතුරක් ලබා පසුව ගුරු පුහුණුව සඳහා නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහලට ඇතුළත් විය. ඔහුට කුමාරතුංග මුනිදාස පඬිවරයා හා මිතුරු වීමට ඉඩ සැලසුණේ එහි දීය. ඔහුගේ නිර්මාණ උල්පත මතු වූයේ ඉන් පසුවය.

කවියකු, ලේඛකයකු පමණක් නොව ගුරුවරයකු, විදුහල්පතිවරයකු, ගුරු විද්‍යාල කථිකාචාර්යවරයකු, ගුරු විද්‍යාල අධිපතිවරයකු, ඉතිහාසඥයකු, විචාරකයෙකු, භාෂා විශාරදයකු ලෙස, සාහිත්‍ය විචාරකයකු ලෙස රටට මහ මෙහෙයක් කළ එතුමා 75 වසරක් ආයු වළඳා 1965 මාර්තු 8 වැනිදා ගම්පහ පැරකුම්දෙනියේ දී (පරකන්දෙණියේ දී) මෙලොවින් සමු ගත්තේය.

- පර්සි ජයමාන්න

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. kuda kalama mavpiyan ahimi vuvath metharam durak gos maha padivarayaku vu kathava harima aasaven kiyevva. Sthuthiy!

    ReplyDelete