HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චිත‍්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගෙන් ලෝක වාර්තාවක්! මරියානා අගාධයට තනිවම ගිය ප‍්‍රථම මිනිසා!

මිනිස්සු 500කට වැඩි ගණනක් උඩු ගුවනට මේ වන විට ගිහින් තියෙනවා. ඒ අතරින් 12 දෙනකු සඳ මත ඇවිදලත් තියෙනවා. ඒත් මුහුදු යට ගැඹුරු ම තැනට ගිහිල්ලා තියෙන්නේ තුන් දෙනෙක් විතරයි. 1960 ජනවාරි 23 වැනිදා දෙදෙනෙක් මුල්වරට ගැඹුරු ම තැන වූ මරියානා අගාධයට ගියා. මුලින් ම ඒ අඳුරු තැන පියවි ඇසින් දැක ගත්තේ ප‍්‍රංශ ජාතික ගවේෂකයකු වූ යාකුස් පිකාඞ් හා නාවික ලූතිනන් ඩොන් වොල්ෂ් යන දෙදෙනායි. ඔවුන් එහි ගියේ ඒ ගමන සඳහා තැනූ විශේෂ කුමුදුවකින්. එය හැඳින් වුණේ ටී‍්‍රස්ට් බැතිස්කැප් කියලයි. ඒ මීට අවුරුදු 52කට ඉස්සර.



පසුගියදා ජේම්ස් කැමරන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා ලෝකයේ ගැඹුරුම සාගර පත්ලට කිමිඳෙන්න සූදානම් වන හැටි අප පෙන්නුවා ඔබට මතක ඇති. ඔහු ඒ ගමන 2012 මාර්තු 23 දා සාර්ථකව නිම කළා. පැය හයක් මුහුදු පත්ලේ රැඳී සිටියා. ඒ ගමන් ඔහු ලෝක වාර්තාවක් ද පිහිටෙව්වා. මරියානා ආගාධයට ‘තනිව ම කිමිඳුණු මිනිසා’ වීමෙන්. මීට කලින් එවන් ගමනක යෙදුණේ දෙදෙනෙක්.


ජේම්ස් කැමරන් මේ ගමන ගැන කියන්නේ මේ වගේ අදහසක්: ”මා හැම තිස්සෙම සාගරයේ ගැඹුරුම තැනට කිමිදෙන්නට හීන දැක්කා. මට ඒක ළමා කාලයේ පටන් පැවතුන හීනයක්. එරවස්ට් ශිඛරය තරණය කරනවා වගේ ආසාවක්. පසුව සාගරයේ ගැඹුරු තැන්වල ගවේෂණය කිරීම ගැන අධ්‍යයනය කරද්දී මේ ආසාව සැබෑවක් කර ගන්න මා තුළ අධිෂ්ඨානයක් ඇති වුණා. ඒ නිසා ම මා සැබෑ ජීවිතයේ දී ම ගවේෂකයෙක් වුණා. මේ සෙවීමේ ආසාව ඇති වුණේ වාර්තා තියන්න ඇති ඕනෑකමක් නිසා නෙවෙයි, සියලූ ම විද්‍යාවන් හා ගවේෂණයන් සඳහා මිනිසා පොලඹවන බලවේගය වූ කුතුහලය නිසයි.


”මේ ගැඹුරු අගාධ ගැන අපේ දැනුම කෙතරම් අල්ප දැයි කීවොත් මා දැන සිටියා ඒ අගාධයකට ගියොත් කිසිදාක මිනිසා නොදුටු දේ මට දැක ගන්න ලැබෙන බව. මේ වන විට මේ මිහිපිට තිබුණෙ නෑ අඩි 36,000ක් වූ ඒ සම්පූර්ණ ගැඹුරට ම කිමිඳිය හැකි කුමුදුවක්. ඒ නිසා මගේ ඒ සිහිනය සැබෑ කර ගැනීමට හැකි එක ම මග හැටියට මට පෙනුනේ දැනට පවතින කිසිදු කුමුදුවකට සමාන නොවන එකක් තැනීම බවයි. අප විසින් මීට පෙර කරන ලද ගවේෂණ හතක දී අපේ ම ගැඹුරු මුහුදේ කිමිදුම් යානා තැනීමෙන් හා ඒවා මෙහෙයවීමෙන් හා කැමරා, ආලෝක පද්ධති හැසිර වීමෙන් ලත් අත්දැකීම් නිසා මා තුළ විශ්වාසයක් ගොඩනැගී තිබුණා.


”මේ සඳහා රජයේ විශාල අරමුදල් වැය නොකර කුඩා ව්‍යවසායකයන් කීප දෙනකු හවුල් ගෙන කරන්න මා කල්පනා කළා. සත් අවුරුද්දක් ගත වුණා, මේ සඳහා අවශ්‍ය වූ විශේෂ කිමිඳුම් යානය සැලසුම් කරල නිපදවන්න. අපේ මුහුදු ගවේෂණ හැම එකකින් ම අපට අත්දැකීම් ලැබුණා. ඒ හැම දෙයක් ම මේ යානය වැඩි දියුණු කරන්න අපි යෙදෙව්වා.”

කැමරන් මරියානා අගාධයට ගෙන ගිය යානය නම් කර තියෙන්නේ ‘ඞීප්සී චලෙන්ජර්’ කියායි. ”මා අපූරු දේ දැක්කා. අඟලකට රාත්තල් 16,000ක වායු පීඩනයක් යටතේ පතුලට ගිය මේ ගමන කිසිදාක අමතක නොවන එකක්. ඒ පීඩනය යටතේ මා ගිය යානය අඟල් තුනක් ඇතුළට හැකුළුණා. යට ඉන්න ජීවීන් පැහැයෙන් සුදුයි. සමහර සතුන්ට ඇස් පවා නැහැ. සමහර මසුන්ගේ සිරුරු ජෛවප‍්‍රතිදීප්තියක් සහිතයි. ඒ කියන්නෙ සිරුරෙන් ආලෝකයක් විහිදෙනවා. මරියානා අගාධය ඇමරිකාවේ ග‍්‍රෑන්ඞ් කැනියොන් වගේ 50ස් ගුණයක් විතර විශාලයි. එහි ගැඹුරු තැන තමා චැලෙන්ජර් ඞීප් කියන්නේ. එතැනට ගියාම මට දැනුනේ පුදුම හුදෙකලා බවක්. හරියට පිටසක්වළ වෙනම ග‍්‍රහ ලෝකයකට තනිවම ගියා වාගේ. LED ආලෝක ධාරාවලින් යම්තම් අවට දැක ගන්න ලැබුණා. අතිසූක්ෂම ස්ටීරිෆෝනික් කැමරාවලින් මා දුටු දේ කැමරාවට නැඟුවා” කැමරන් කියනවා. අනාගතයේ ඔහු දුටු දේ අපටත් දැක ගන්නට ලැබේවි.

මේ ගමනෙන් පස්සේ ජේම්ස් කැමරන් මුලින් ම කළේ නවසීලන්තයෙන් තවත් විශාල ඉඩමක් මිල දී ගැනීමයි. තමන් දැනටමත් ජීවත්වන නිවාසයට අමතරව පසුගිය ජනවාරියේ හෙක්ටයාර 250ක කිරි ගොවිපළක් මිල දී ගත් ඔහු දැන් දකුණු වයිරරපායි ප‍්‍රදේශයෙන් තවත් හෙක්ටයාර 817ක ඉඩමක් තමයි, ඔහු පවුම් ලක්ෂ තුනහමාරකට මිලයට ගත්තේ. ඉදිරියේ දී ලෝක සිනමාව අදාළ නිර්මාණ ගැන සිත යොදවන්නේ එහි සිට කියලයි ඔහු කියන්නේ.





- පර්සි ජයමාන්න

-සම්බන්ධිත ලිපි-
ජේම්ස් කැමරන් සාගරයේ ගැඹුරුම තැනට කිමිදෙන්නට ලෑස්තියි! ඒ සඳහා විශේෂ කිමිදුම් යානයක්!

Post a Comment

2 Comments

  1. සඳමත ඇවිදපු 12 දෙනා කවුද?

    ReplyDelete
  2. සඳමත ඇවිදපු 12 දෙනා :

    01. Neil Armstrong
    02. Buzz Aldrin
    03. Pete Conrad
    04. Alan Bean
    05. Alan Shepard
    06. Edgar Mitchell
    07. David Scott
    08. James Irwin
    09. John W. Young
    10. Charles Duke
    11. Eugene Cernan
    12. Harrison Schmitt

    Link: http://en.wikipedia.org/wiki/List_of_lunar_astronauts

    - Percy (මල් කැකුළු)

    ReplyDelete