ඇන්ටාර්ක්ටිකාවේ මුහුද යටින් සුදු කකුළු විශේෂයක්!

ඇන්ටාර්ක්ටිකාව අසල මුහුද යට ඇති යමහල් සිදුරු ඇසුරු කොට වෙසෙන නව කකුළු විශේෂයක් ගැන වාර්තාවක්, මේ. මේ සත්ව විශේෂය විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කර කැමරාවට නගා තියෙන්නේ පළමු වන වතාවටයි. මුලූමනින් ම සුදු පැහැති සිරුරක් ඇති මේ කකුළු විශේෂය ජීවත් වන්නේ එක්තරා බැක්ටීරියා විශේෂයක් ආහාරයට ගෙනයි. ඒ බැක්ටීරියාව වැඩෙන්නේ එහි සාගර පත්ලෙහි ඇති ද්‍රවතාප hydrothermal සිදුරුවලින් නිකුත් වෙන ඛනිජ ද්‍රව්‍යවලින්.



විද්‍යාඥයන්ට හමුවෙලා තියෙනවා, අප මෙතෙක් නුදුටු අමුතු සත්ව විශේෂ ගණනාවක් මේ ඉසව්වෙදි. මේ සතුන් වෙන සතුන් මෙන් නිතර ම එහා මෙහා යන්නේ නෑ. බොහෝ විට එක තැන රැඳිලායි ජීවත් වෙන්නෙ. මේ අලූතින් හඳුනා ගෙන ඇති සුදු කකුළු විශේෂයත් ඒ වගෙයි. තවමත් විද්‍යාත්මකව නමක් යොදා නැති මේ කකුළු විශේෂය දැනට හඳුන්වන්නේ නව ‘යෙටී ක්රෑබ්’ yeti crab විශේෂයක් කියලයි. ඔවුන්ගේ බඩයට ප‍්‍රදේශය ලෝමවලින් ගහණයි. ඔවුන් අපේ කකුළුවන්ට බොහෝ සමානයි. (මේ සමඟ ඇති විඩියෝව බලන්න.)

වීඩියෝ තාක්ෂණයේ නව උපාංග හා උපක‍්‍රම බිහිවීම නිසයි, අප ද කිසිදාක නොගිය සාගර පත්ලේ ගැඹුරු ඉසව්වකට ගිහින්, ඔවුන් එකා මත එකා නැඟ එකට ගුළි වී සිටින, මේ රූප පෙළ ඔබට ඉදිරිපත් කරන්න විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙන්නෙ.


අඩි 7,800කට වඩා ගැඹුරු සාගර පත්ලේ අඳුරේ ජීවත් වන බොහෝ මුහුදු සතුන් වර්ණ රහිතයි.
මේ සාගර ජීව විද්‍යා පර්යේෂකයන් කණ්ඩායම ඔවුන්ගේ මේ නිරීක්ෂණයන් විද්‍යා පර්යේෂණ නිබන්ධන පළ කෙරෙන ‘පබ්ලික් ලයිබ‍්‍රරි ඔෆ් සයන්ස් ජීව විද්‍යා PLoS Biology සඟරාවේ පළ වී ඇතැයි ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆි’ නාලිකාවේ සඳහන් වෙනවා.

මේ යෙටී ක්රෑබ් පිරිමි සතා ගැහැනු සතාට වැඩිය විශාලයි. ඌ මුහුදු පත්ලේ වා සිදුරුවලට වඩාත් ළංව හිඳිමින් වැඩිපුර බැක්ටීරියාවන් ආහාරයට ගන්නා නිසයි.

බිත්තර දැමීමට ආසන්න කකුළු මව ජලයේ වඩාත් සිසිල් ඉසවුවකට යනවා. ඒ ඇගේ උදරයේ ඇලී ඇති කලලයන්ගේ ආරක්ෂාව සඳහායි. පර්යේෂකයන් කියන්නේ මේ ඇන්ටාර්ක්ටික් වා සිදුරු අවට ඇති ජලයේ උණුසුම නිවර්තන කලාපීයට සාගර ජලයේ උණුසුමට සමාන බවයි.

මේ ප‍්‍රදේශයේ දී ඔවුන්ට හමුවුණු සතුන් අතර කේතුකාකාරව ගල්පරවලට ඇලී සිටින ඛණ්ඩාවාරකයන් හෙවත් බෙලි ඇණයන් විශේෂයෙන් කැපී පෙනුණා. ඒ වගේ ම ඔවුන්ට දැක ගන්න ලැබුණා, වර්ණ රහිත බූවල්ලෙක්. මේ ගවේෂණ කණ්ඩායමට හමු වූ ඉතා දුර්ලභ දසුනක්. අඩි දෙකක් පමණ දිග මේ බූවල්ලා, මුහුදු පත්ලේ එහා මෙහා යමින් සිටිය දී කැමරාවට නැගිය හැකි වුණා.

මේ සීතල අධික ජලය රැඳි සාගර පත්ලෙහි කළු දුමාරය නිකුත් කරන යමහල් වා කවුළු තියෙනවා. පොළෝ ගැබ තුළින් නිකුත් වන ඒවා නිසා ඒ සිදුරු අවට ජලය උණුසුම් වෙනවා පමණක් නොවෙයි, ඛනිජ ද්‍රව්‍යවලින් ද පිරී යනවා. ඒ සිදුරු අසල උණුසුම ෆැරන්හයිට් අංශක 720ක් තරම් ඉහළයි. ඒ උණුසුම අවට පරිසරයේ ජලය රත් කරන්නට උදවු වෙන නිසා මේ නව සොයා ගැනීමක් වන කකුළු විශේෂය ඇතුළු සතුන් ගණනාවකට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කෙරෙනවා. මෙහි ජලයේ බහුලව ඇති ඛනිජ ද්‍රව්‍ය නිසා වැඩෙන බැක්ටීරියාවන් ආහාරයට ගැනීමෙන් තමයි, මේ පරිසරයේ ඉන්නා සතුන් ජීවත් වෙන්නෙ.

මේ විඩියෝ ගත කිරීම් කර ඇත්තේ දකුණු ඇමරිකාවේ උතුරු කෙළවරේ සිට නැගෙනහිරට 3200නප (සැතැපුම් 2000)ක් දුරින් පිහිටි නැගෙනහිර ස්කෝටියා හෙල් වැටියේ ස්ථාන දෙකකදීයි.

මෙවැනි තැන්වලට යන්න විද්‍යාඥයන් පුල පුලා බලා සිටියා. ඒත් මේ වන තෙක් ඊට හැකියාවක් තිබුණෙ නැහැ. මෙවැනි තැන්වලට යන්න, මෙවැනි තැන්වල කැමරා ගත කිරීම් කරන්න අවස්ථාව උදා වෙලා තියෙන්නේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් අප ලද දායාදයන් වූ නව තාක්ෂණය නිසයි.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments