දකුණේ වන සතුන් බලන්න හොඳම තැන යාල ගැන දැන ගන්න! අපේ ජාතික වනෝද්‍යාන!

මේ දවස්වල ශී‍්‍ර ලංකාවේ රුහුණු (යාල) ජාතික වනෝද්‍යානයට දෙස් විදෙස් සංචාරකයන් ඇදෙන කාලෙ. දකුණේ වන සතුන් බලන්න හොඳම තැන යාල බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

අපේ පැරණිම වන රජදහන යාල ජාතික වනෝද්‍යානයයි. එහි වෙසෙන විවිධ සත්ව වර්ග ගැන සොයා බලන කොට එය ගණනින් 215ක් හැටියටයි දැක්වෙන්නෙ.



ඒ අතර අපේ රටට පමණක් ආවේණික සත්ව වර්ග 6ක් ඉන්නවා. ඒ අළු කෑඳැත්තා (Sri Lanka Gray Hornbill), වළිකුකුළා (Sri Lanka Junglefowl), මයිල පරවියා හෙවත් මයිලගොයා (Sri Lanka Woodpigeon), රන්මුණත් කොට්ටෝරුවා (Sri Lanka Crimson-fronted Barbet), හිස කළු කොණ්ඩයා (Sri Lanka Gray Hornbill) සහ බොරග-දෙමලිච්චා (Sri Lanka Brown-capped Babbler) යන කුරුල්ලන්.


යාල දී දකින්න ලැබෙන විශාලතම සතා අලියායි. ඒ හැරෙන්නට තවත් සත්ව විශේෂ 43ක් එහි දී දැක ගන්න පුළුවන්. දිවියා (Leopard/Panthera pardus), තිත් මුවා (Spotted deer/ Axis axis) , රිළවා (Toque monkey-Macaca sinica), රන් හෝතඹුවා (Golden palm cat-Paradoxurus zeylonensis), උණහපුළුවා (Slender loris-Loris tordigradus), හඳුන් දිවියා (Tiger cat-Prionailurus viverrinus) ඒ අතරින් කැපී පෙනෙයි.


ඒ වගේම උරග විශේෂ 46ක් එහි වෙසෙන අතර ඉන් පහක් අපේ රටට ම ආවේණික වෙනවා. ඒ සතුන් නම් මුදු කරවලා (Bangarus ceylonicus), දිය නයා (Water snake- Xenochrophis asperrimus), දඟර දණ්ඩා (Chrsopelea taprobanica), තොල විසිතුරු කටුස්සා (Paintedlip lizard-Calotes ceylonensis) හා පිනුම් කටුස්සා (Sri Lanka kangaroo lizard-Otocryptis wijeymanni) ආදියයි. මෙයට අමතරව දාර කැස්බෑවා (Leatherback turtle), බටු කැස්බැවා, ඔළුගෙඩි කැස්බෑවා, පොතු කැස්බෑවා (Hawksbill turtle) හා ගල් කැස්බෑවා (Green turtle) යන කැස්බෑ විශේෂ පහක් ද මෙහි ජීවත් වෙනවා. හැල කිඹුලා (Crocodylus palustris) හා ගැට කිඹුලා (Crocodylus porosus) යන විශේෂ දෙකත් එහි ඉන්නවා.


දිය ගොඩ දෙකෙහිම ජීවත් වන උභය ජීවීන් විශේෂ 18ක් මෙහි ජීවත් වෙනවා. ඒ අතරින් අතුකෝරළගේ කුරු ගෙම්බා (Bufo athkorlei) හා කෙලාට්ගේ කුරු ගෙම්බා (Bufo kelaartii) යන දෙවර්ගය ද අපේ රටට ම ආවේණිකයි.

මිරිදිය මත්ස්‍ය විශේෂ 21ක් දැනට මෙහි ඉන්නා බව සඳහන්. ඉන් රැවුල් දණ්ඩියා (Esomus thermoicos) මෙරටට ආවේණිකයි. ඒ හැරෙන්නට පරිසරය අලංකාර කරන සමනල් විශේෂ රැසක් ම මෙහි දී දැක ගන්න පුළුවන්.

1900 මාර්තු 23 වැනිදා මෙය වන රක්ෂිතයක් ලෙස එවකට මෙහි පැවති ඉංගිරිසි ආණ්ඩුව විසින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග මෙය අභය භූමියක් බවට පත්ව සතුන් දඩයම් කිරීම තහනම් වුණා. මෙය ජාතික වනෝද්‍යානයක් බවට පත් වූයේ 1938 දී ‘වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත’ නීතිගත කිරිමත් සමගයි. ‘යාල’ යන නමින් හැඳින්වෙන්න පටන් ගත්තේ ඒ කාලයේ ඉඳලයි. ‘යාල’ කියන්නේ වී අමුණු විස්සක් වපුරන බිම් ප‍්‍රමාණයටයි. රුහුණු ජාතික වනෝද්‍යානයට මේ නම ලැබෙන්නට ඉස්සර පටන් ම මේ ප‍්‍රදේශයේ වනජීවී සංරක්ෂණයට යම් යම් පියවර ගනිමින් තිබුණා.

එහි එක් පියවරක් වශයෙන් 1908 දී මෙම ප‍්‍රදේශයේ මුල්ම වන අඩවි නිලධාරියා ලෙස එච්. ඊ. වැන් එන්ගල් බ්රෙක්ට් (H.E. van Engel Brecht) නම් ලන්දේසි ජාතිකයා පත් කිරීමට එවකට සිටි සුදු ඒජන්ත වරයා තීරණය කළා.

මේ එන්ගල් බ්රෙක්ට්ගේ කතාවත් කිවයුතු තරම් එකක්. ඔහු 1901 දී බි‍්‍රතාන්‍යයන් විසින් දකුණු අපි‍්‍රකාවේ සිට මෙහි ගෙනා යුද සිරකරුවෙක්. දකුණු අපි‍්‍රකාවේ බූවර් (Beor) වරුන් හා පැවති යුද්ධයේ දී අත්අඩංගුවට ගත් අයෙක්. 17 වන සියවසේ දී දකුණු අපි‍්‍රකාවේ පදිංචියට විත් ගොවීන් ලෙස ජීවත් වූ ලන්දේසි හා ප‍්‍රංශ ජාතිකයන් තමයි, බූවර් වරුන් ලෙස හැඳින්වෙන්නේ. එරට අල්ලා ගත් බි‍්‍රතාන්‍යයන් තමන්ට එරෙහිව ඔවුන් දියත් කළ අරගලයේ දී අල්ලා ගත් බූවර්වරුන්ගෙන් කොටසක් (1800ක් පමණ) යුද සිරකරුවන් ලෙස නැව් මගින් 1901 දී ලංකාවට ගෙනාවේ එරට නැවත අරගලයක් ඇති නොවන පිණිසයි. ඔවුන් එකවර විශාල පිරිසක් ගෙන ඒම නිසා ඔවුන්ට ඇඳන් සැපයීම හදිසියේ කළ නොහැකි දෙයක් වුණා. ඊට පිළියමක් සෙවූ සුද්දන්ට මොරටුවේ සිංහල වඩුවන් පිරිසක් නව නිපැයුමක් හදා දුන්නා. බූවර්වරුන් වෙනුවෙන් මුලින්ම තැනූ ඒ අකුළන ඇඳ ‘බූරු ඇඳ’ වූයේ ඒ නිසයි. ඒ විතරක් නෙවෙයි, 1901 දී අපේ රටේ මුලින්ම චිත‍්‍රපටයක් පෙන් වූයේ ද මේ බූවර් වරුන්ටයි. ඒ වෙනුවෙන් තැනූ ටකරන් මඩුව අපේ මුල්ම චිත‍්‍රපට ශාලාව වුණා. දියතලාවට ගෙන ගිය මේ සිරකරුවන්ට අවුරුදු කීපයකට පසු නිදහස ලබා දී ආපසු යන්නට අවසර දුන් නමුත් ටික දෙනෙක් මෙහිම පදිංචි වුණා. එයින් එක්කෙනෙක් තමයි, එන්ගල් බ්රෙක්ට්. ඔහු හම්බන්තොට ප‍්‍රදේශයට ගොස් ජීවත් වුණා. ඔහු ඒ ප‍්‍රදේශය පාලනය කළ සුදු ඒජන්තවරයාගේ අවධානයට ලක් වූයේ එහිදීයි.


ඒ ප‍්‍රදේශයේ වන සතුන් ආරක්ෂා කරමින්, දඩයක්කරුවන් නීතියේ රැහැනට අල්ලා දෙමින්, විසිවසරක් යාල අඩවියේ තම රාජකාරිය හොඳින් ඉටු කළා. එහෙත් අවසානයේ දී ඔහු පළමු වැනි ලෝක යුද සමයේ ජර්මන් යුද නැවකට මස් සැපයුවේ යැයි චෝදනාව මත සිරගෙට නියම වුණා. සිර දඬුවමින් පසු නිදහස් වූ යළි හම්බන්තොටට පැමිණි ඔහු රැකියාවක් නොමැතිව දුකසේ ජීවත්වුණා. ඔහු නොකළ වරදකට සිර දඬුවම් විඳි බව හෙළි වූයේ ඔහුගේ මරණයෙන් පසුවයි.

කපිල කුමාර කාලිංග විසින් මේ එන්ගල් බ්රෙක්ට්ගේ කතාව ‘වන බිමේ සිරකරු’ කියා ටෙලි නාට්‍ය මාලාවකට පවා නගා තියෙනවා.

- පර්සි ජයමාන්න

(සියලුම පින්තුර අන්තර්ජාලයේ විවිධ වෙබ් පිටුවලින් උපුටා ගන්නා ලදී. විරුද්ධත්වයක් ඇතහොත් ප්‍රකාශ කරන්න.)

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. http://narabamusrilanka.blogspot.com/search/label/%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD මේ තියෙන්නේ මම යාල ගැන ලියපු ලිපි ටික..... ලංකාවේ වනෝද්‍යාන වලින් අංක 1.

    ReplyDelete
  2. තව එකක්.. ඔය අලි බලන පින්තූරේ නම් යාල නෙවෙයි, එක්කො වස්ගමුව, නැත්නම් මින්නේරිය...

    ReplyDelete
  3. ස්තුති අභීත..!

    -මල් කැකුළු

    ReplyDelete