වත්මන් පරපුරේ තරුණ ලේඛකයන් අතරින් තවදත් අපේ සිත් ගත් තිඹිරියාගම බණ්ඩාර සහෘදයාගේ අලූත් පොත් තුනක් පසුගිය දා විශේෂ දොරට වැඞීමකදී පිටවුණා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද පොත් තුනක් ජනගත කිරීමක් එදා සිදු වුණත් අද කතා කරන්න යන්නේ ඔහුගේ අලූත් ම කවි නිර්මාණ එකතුව ‘ගිනි සිසිල’ ගැනයි. එහි විවිධ මාතෘකා යටතේ පළ වූ කවි අතර අප හදවත් සසල කළ කවි ගණනාවක් ම තිබුණා. ඒ අතර තිබූ එක් පුංචි කවි පෙළක් ‘මල් කැකුළු’ තුළින් ඔබේ වින්දනය සඳහා ඉදිරිපත් කරන්නට අප කල්පනා කළා. කවියා කොතරම් සියුම් ලෙස සිය කවීත්වයෙන් අපේ හද ස්පර්ශ කරනවාද කියා හඳුනා ගන්න ඉතා හොඳ නිර්මාණයක් හැටියටයි, අප මෙය දකින්නෙ.



    අකුරු උගනී කුමරු සොඳවා

    පුංචි කිකිළියක් වට
    රතු පාට කකුල් ඇති
    කුකුළු පැටවුන් වගේ
    අපි හිඳිමු ඈ වටා

    මේ මොකද ඔයාගේ පොත අදත්
    ගොම තවරලා වගේ
    පැන්සලෙන් ලියන්නේ
    හතේ පන්තියේ වෙලත්   
 
    උස්ව නැඟි ඇගේ හඬ
    රිදවමින් සවන් යුග
    ඇතුළු වෙයි මගෙ හිතට
    බිය ගනියි මගේ සිත

    ඈ සැණින් විසිකෙරූ
    මගේ පොත අහුල ගෙන
    හිඳ ගනිමි මම හෙමින්
    මගෙ පුංචි පුටුව මත

    පුංචි කිකිළියක් වට
    රතු පාට කකුල් ඇති
    කුකුළු පැටවුන් වගේ
    ඔවුන් දැන් ඈ වටා

    මදෙස බලමින් හොරෙන්
    විමතියෙන් පිරි නෙතින්

    මගේ ගුරුතුමිය හට
    මගේ පුංචි මිතුරන්ට
    මගේ දුක් ගැනවිල්ල
    මං කෙසේ කියන්න ද

    අංශ බාගේ හැදුණු
    තාත්තා ලෙඩ ඇඳේ
    අම්මා ගෑ පොල් ඉරටු
    මගේ කර මතින් ගොස්   
    මුදලාලිගේ කඩෙන් මාරු වී
    අතට ආ කාසි ටික
    දියවුණා අද උදේ පාන්දර
    සුදු පාන් ගෙඩියකට

    තනිරූල් පොතක් නැන
    කී වරක් කියන්නට
    හැදුවාද මා අදත්
    අම්ම ළඟට ම ගිහින්

    කියන්නට බෑ දුකයි
    මකන්නේ ඒ හින්ද
    කලින් දවසේ ලියූ අකුරු ටික
    පැන්සලෙන් ලියන්නේ
    පහුවදා මකන්නට ලේසියට

    තරහ මුහුණෙන් වගේ
    හිටියාට ගුරුතුමී
    තවත් මොහොතකින් මට
    අඬ ගහයි හිනා වී
    මා ලියූ ඔක්කෝම හරි නිසා

    හැමදා ම ඔය වගේ
    ගුරුතුමී තරහ නෑ මා එක්ක
    මාත් අමනාප නෑ ඈ එක්ක

    කොහොම හරි ඉගෙන ගන්නවා මම
    පළවෙනිය වෙනව මම මේ සැරෙත්

    පුංචි කිකිළියක් වට
    රතු පාට කකුල් ඇති
    කුකුළු පැටවුන් වාගෙ
    අපි ආයෙත් ඈ වටා