සෙනසුරුගේ සඳක වායුගෝලයේ ඔක්සිජන්! නාසා ආයතනයේ කැසිනි යානය කළ හෙළිදරව්වක්!

සෙනසුරු ග‍්‍රහයාගේ චන්ද්‍රයකු වන ඩියෝන් (Dione) හී ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇති බව සොයා ගෙන තියෙනවා. මේ සොයා ගැනීම්වලින් ගම්‍ය වන්නේ බ‍්‍රහස්පතී හා සෙනසුරු ග‍්‍රහයන් පිරිවරා ඇති චන්ද්‍රයන් තුළ කිසියම් ආකාරයක ජීවීයක් ද තිබිය හැකි බවයි.

මේ බව හෙළි වූයේ 2010 අපේ‍්‍රල් 7 වන දා නාසා ආයතනය විසින් යවන ලද කැසිනි අභ්‍යවකාශ යානය ඩියෝන් චන්ද්‍රයාගේ අසලින් ගමන් කරමින් කළ විමසුමකට අනුව එහි වායුගෝලයේ ඔක්සිජන් ඇති බව සොයා ගැනීමෙන් පසුවයි. ඒත් පර්යේෂකයන් කියන්නේ අපේ වායුගෝලයේ මෙන් නොව එහි ඔක්සිජන් ඇත්තේ ඉතාමත් තුනී මට්ටමකින් බවයි. එය ඇත්තේ දළ වශයෙන් අපේ වායුගෝලයේ කි.මී. 483ක් පමණ ඉහළ ඔක්සිජන් පැතිර ඇති ආකාරයක ඉතා සුළු ප‍්‍රතිශතයක් හැටියටයි.



නාසා ආයතනයේ විද්‍යාඥයන් විසින් මීට කලින් ද ඩියෝන් චන්ද්‍රයාගේ වායුගෝලයේ ඔක්සිජන් ඇති බව හඳුනා ගත්තා. ඒ ඩියෝන් චන්ද්‍රයා සෙනසුරුගේ චුම්බක ක්ෂේත‍්‍රය අතරින් යද්දී ශේෂ කර දමා ගිය කිසියම් සලකුණු කීපයක් නිසයි. එහෙත් මේ නවතම අධ්‍යයනය ඩියෝන්හී ඔක්සිජන් ඇති බව ඍජුව ම කළ ප‍්‍රථම නිරීක්ෂණය ලෙස සැලකිය හැකියි.

පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් විශාල වශයෙන් දක්නට ඇත්තේ ගහකොළ, ප්ලවාංග හා බැක්ටීරියා ආදිය මගින් සිදු වන ප‍්‍රභාසංශ්ලේෂණයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස ඔක්සිජන් නිපදවෙන නිසයි. එහෙත් මෙම අධ්‍යයනය පෙන්වා දෙන්නේ ඒ කිසිවක් නැති ඩියෝන් චන්ද්‍රයා මත සුළු මාත‍්‍රාවක ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇත්තේ අභ්‍යවකාශ අංශූ හා ඒ චන්ද්‍රයා මතුපිට ඇති අයිස් ගැටීමෙන් සුළු වශයෙන් ඔක්සිජන් නිපදවන නිසා බවයි.

හිරුගෙන් එන හෝ සෙනසුරුගේ තීව‍්‍ර චුම්බක ක්ෂේත‍්‍රයෙන් නිකුක් වන ආලෝක අංශු ඩියෝන් චන්ද්‍රයා මත වැදුණු විට එහි අයිස්වල ඇති ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් අණු මුදා හැරෙනවා.

”සෙනසුරුගේ චුම්බක ක්ෂේත‍්‍රය ඉතා තියුණුයි. එහි අයනීකරණයට ලක් වූ අංශු ඉතා වේගයෙන් භ‍්‍රමණය වෙමිනුයි පවතින්නේ.” මේ අධ්‍යයනයේ සම කර්තෘ වන රොබට් ටෝකර් කියනවා. ”ඒ ආරෝපිත අංශු චන්ද්‍රයා මතුපිට ඇති අයිස්වල වැදීමෙන් ජලවාෂ්ප හා ඔක්සිජන් නිකුත් කෙරෙනවා.” එසේ කියන ටෝකර් ඇමරිකාවේ නව මෙක්සිකෝවේ ලොස් ඇලමොස් ජාතික රසායනාගාරයේ අභ්‍යවකාශ විද්‍යාඥයෙක්.

මෙම ඔක්සිජන් නිපදවන කි‍්‍රයාවලිය සෙනසුරු අවට ඇති වස්තූන්ට පොදු එකක්. ඒ නිසා පෘථිවියෙන් ඔබ්බෙහි සෞරග‍්‍රහ මණ්ඩලය තුළ කිසියම් ආකාරයක ජීවයක් තිබිය හැකි යැයි අපට අනුමාන කළ හැකියි.

නිදසුනක් වශයෙන් 2010 දී කැසිනි යානයෙන් එවන ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන් සෙනසුරුගේ රියා (Rhea) චන්ද්‍රයාගේ වායුගෝලයෙත් ඔක්සිජන් ඇති බව හෙළිවුණා. එයත් අයිස් බිඳීමේ කි‍්‍රයාවලියෙන් සෑදුණු ඒවායි. මේ කි‍්‍රයාවලිය සෙනසුරුගේ අයිස් ගහණ ප‍්‍රධාන වළලූ අවට ග‍්‍රහ වස්තූන් තුළ සිදු වන්නේ යැයි විශ්වාස කෙරෙනවා. ඒ නිසා සූර්ය ආලෝක අංශු ඒවා මත වැදීමෙන් සෙනසුරු වළලූ අවට චන්ද්‍රයන් තුළත් බ‍්‍රහස්පතීගේ ගැනීමිඞ්, කැලිස්ටෝ හා යුරෝපා යන චන්ද්‍රයන් තුළත් මේ කි‍්‍රයාවලිය සිදු විය හැකි බවයි ටෝකර් කියන්නේ.

මේ නිසා ම ඩියෝන් චන්ද්‍රයා තුළ ජීවීන් සිටිතැයි ස්ථිරව ම කිව නොහැකියි. ඒ චන්ද්‍රයා මතුපිට සෙල්සියස් අංශක -186ක උෂ්ණත්වයක් තිබීම නිසා එහි ද්‍රව ජලය තිබිය හැකියැයි කියන්න පුළුවන්. එය ජීවය පැවතීමට තිබිය යුතු පූර්ව අවශ්‍යතාවක්.

නමුත් මේ ඔක්සිජන් නිපදවීමේ කි‍්‍රයාවලිය ගැන විද්‍යාඥයන් වඩාත් දැනුවත් වීම තුළ ඔවුන් වෙනත් තැන්වල සක්වළ ජීවින් ගැන විමසීමේ දී ඔවුන්ට පහසුවක් වෙනවා.

”අප බ‍්‍රහස්පතීගේ යුරෝපා චන්ද්‍රයා ගැන කතා කළොත් මේ ආකාරයෙන් නිපදවෙන ඔක්සිජන් නිසා ඒවා එම චන්ද්‍රයා මතුපිට ඇති අඩක් ගිළුණු මුහුදු හා සම්බන්ධ වීමෙන් ඒවායේ ඇති කාබන් නිසා ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් පැවති හැකියි.” ටෝකර් පැහැදිලි කරනවා.

යුරෝපා කියන චන්ද්‍රයා අවට ඇති ඔක්සිජන් නිසා ජීවී ස්වරූප බිහි වෙන්නේ නෑ. ඒත් ඒ ඔක්සිජන් ජෛව කි‍්‍රයාවලියකට යොදා ගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් බොහෝ සතුන්ට ඔක්සිජන් අවශ්‍යයි, පෝෂක ද්‍රව්‍ය තුළින් ශක්තිය නිපදවා ගන්නට.

”අප දැන් හඳුනාගෙන තියෙනවා මේ කි‍්‍රයාවලිය අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ විතරක් නෙවෙයි අපට ඈතින් පිහිටා ඇති සූර්යයන්ට අයත් ග‍්‍රහ පද්ධතිවලත් ඇති බව” ටෝකර් කියනවා. ”අයිස් ඇති  ඕනෑම තැනක ආලෝකය හෝ ආරෝපිත අංශු ඇත්නම්, ඒවා අයිස් හා දිගින් දිගටම තදින් ගැටෙන්නට සැලැස්ව ඇත්නම් මේ ක‍්‍රමයෙන් ඔක්සිජන් උපදවිය හැකියි.”

ඩියෝන් චන්ද්‍රයාගේ ඔක්සිජන් පිළිබඳ මේ පර්යේෂණ ලිපිය පසුගිය පෙබරවාරි 9 වැනිදා ‘ජ්‍යොෆිසිකල් රීසර්ච් ලෙටර්ස්’ Geophysical Research Letters නම් ජර්නලයෙහි පළ කර තියෙනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. ලගදිම අපිටත් සෙනසුරුවල පදිංචියට යන්න පුලුවන් වෙයි මේරි ෆීල්ඩ් ලන්තේ දාලා

    ReplyDelete
  2. Can water act as a liquid in -186 degrees?

    ReplyDelete