HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද ශී‍්‍ර ලංකාවේ සිංහල භාෂා දිනයයි. භාෂා ලෝකයේ යුග පුරුෂයෙක් සිහි කරමු.

අද මාර්තු 2 වැනිදා ශී‍්‍ර ලංකාවට සුවිශේෂ වූ දිනයක්. 1815 දී ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූ උඩරට ගිවිසුම අත්සන් කළේ අද වැනි දවසකයි.


ඒ වගේම ශී‍්‍ර ලංකාවේ සිංහල භාෂා දිනයත් යෙදෙන්නේ අදටයි. ඒ නිසාම අපේ භාෂාව වාර්තමානයේ පවතින තත්වයට ගේන්නට මඟ පෑදූ යුග පුරුෂයෙක් ගැන කතා කරන්න හිතුනා. ඔහු තමා මීට අවුරුදු 68කට පෙර 1944 අද වැනි දිනක අපෙන් වියෝ වූ මුනිදාස කුමාරතුංග මහතා. ඔහුගේ නිර්මාණ ගැන කලින් අප කතා කළා මතක ඇති. ළමයින්ට කතා කවි ලියන්නට ඔහු දැක්වූ දක්ෂතාව අදත් අගය කළ යුතු මට්ටමක තියෙනවා. ඒ හා සම කරන්නට තරම් නිර්මාණ අදත් හමුවෙන්නේ නෑ. හාවාගේ වග එවැනි එක් නිර්මාණයක්. (හා හා හරි හාවා - හාවාගේ වග බලන්න.)


කුමරතුඟුවන් අපේ බොහෝ භාෂා විශාරදයන්ට වඩා විශාල වාංමාලාවකට හිමිකම් කී අයෙක්. ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් එහි දී සඳහන් කළේ ඔහු සතුව සිංහල වදන් 175,000ක වාංකෝෂයක් තිබුණු බවයි. ඔහු අපේ බසට අලූතින් තනා දුන් වචන විශාල ගණනක් අද අප හැම භාවිත කරනවා. මෙන්න ඉන් කීපයක්. ආණ්ඩුව යන්න වෙනුවට ‘රජය’ යන වදනත් පාර්ලිමේන්තුවට ‘මැති සබය’ යන වදනත් විශ්ව විද්‍යාලයට ‘සරසවිය’ යන වදනත් සංගීතයට ‘මියැසිය’ යන වදනත් ඔහු අපට හඳුන්වා දුන් අප අතර බහුලව භාවිත වචනයි.


ඒ කාලේ පැවතියේ යටත් විජිත යුගය නිසා නිදහස ගැන ජාතික ප‍්‍රබෝධයක් හට ගෙන තිබුණා. රට, ජාතිය, සමය කියා තෙරුවනක් හඳුන්වා තිබුණා. කුමරතුඟුවන් මේ තෙරුවන අලූත් කළා. එතුමා කීවේ දෙස, බස, රැස කියායි. එතුමා කීවේ ‘දෙස, රැස රැකෙන්නේ බස රැකුණොත් පමණයි’ කියායි. ඒ නිසා එතුමා තනිවම සිංහල භාෂාව සම්මතයකට ගෙන ඒමට විශාල සටනක් කළා.


එතුමා පැරණි සම්භාව්‍ය ග‍්‍රන්ථ 39කට විවරණ ලීවා; ගැටපද ලීවා; සංස්කරණය කළා. ඉන් නොනැවතී ඒවායේ භාවිත ව්‍යාකරණ රීති විමසුමට ලක් කළා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ‘ව්‍යාකරණ විවරණය’ හා ‘කි‍්‍රයා විවරණය’ යන පොත් ලීවේ. වත්මන් බසෙහි පවත්නා තත්වයට පැමිණීමට වැඩි බරක් යෙදවුණේ එතුමා ගෙනුයි.

එතුමා ළමයින් වෙනුවෙන් කළ පොත් අතර ඉහළින්ම කැපී පෙනෙන්නේ ‘හත්පණ’, ‘හීන් සැරය’, ‘මඟුල් කෑම’, ‘කුමර ගී’ ‘කියවන නුවණ’ හා ‘ශික්ෂාමාර්ගය’ දෙ පොත් පෙළයි. වැඩිහිටි අය වෙනුවෙන් ‘පියසමර’, ‘කවි ශික්ෂාව’, ‘විරිත් වැකිය‘, ‘ප‍්‍රබන්ධ සංග‍්‍රහය’ ‘ප‍්‍රබන්ධෝපදේශය’ ආදිය කීපයකි.


1887 ජූලි 25 වැනිදා ලංකාවේ මාතර දික්වැල්ලේ දික්හේනේ ඉදිගසාරෙහි දී උපන් කුමාරතුංගයන් දික්වැල්ල ප‍්‍රාථමික බෞද්ධ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළුව සිප්සතර හැදෑරුවා. 1905 දී ශිෂ්‍ය ගුරුවරයකු ලෙස කොළඹ රජයේ අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධ ද්විභාෂා පාඨශාලාවේ අධ්‍යාපනය හදාරා අනතුරුව රජයේ අභ්‍යාස විද්‍යාලයෙන් වසර දෙකක ගුරු පුහුණුවක් ලැබුවා. ඉන්පසු 1909 දී කඩුගන්නාවේ ද්විභාෂා පාඨශාලාවේ ප‍්‍රධානියා ලෙස පත් කෙරුණා. වසර අටක් එහි කළ සේවයෙන් පසු පාඨශාලා පරීක්ෂක වරයකු ලෙසට පත් වුණා. පසුව රජයේ සේවයෙන් ඉවත් වූ පූර්ණකාලීන ලේඛකයකු හා භාෂා සේවියකු වශයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. 1934 දී ලක්මිණිපහන ජාතික පුවත්පත ආරම්භ කළා. පුවත් කලාවේ වර්තමාන භාෂා ස්වරූපයට මූලික පදනම වැටුණේ ඒ පුවත්පතිනුයි. 1939 දී ‘සුබස’ සිංහල සඟරාවත් Helio නමින් ඉංගී‍්‍රසි සඟරාවත් ආරම්භ කළා. 1944 දී ‘හෙළ හවුල’ පිහිටුවා බස නංවාලීම සඳහා විශේෂ එකමුතුවක් නිර්මාණය කළා.

ළමයින් රටක අනාගතය ලෙස සැලකූ එතුමා ළමයින් වෙනුවෙන් කළ නිර්මාණ ඉදිරියේදී විමසා බලමු.

- පර්සි ජයමාන්න.

Post a Comment

4 Comments

  1. Hela Basa rekagath ethuma apa govravayen sihipath kala yuthu kenek. me vatina lipiyata obata pin!

    ReplyDelete
  2. වටිනා ලිපියක්! ස්තූතියි!

    මේ ලිපිය අද 'භාෂා වියුණු' ජංගම සිංහල බ්ලොග් කියවනයේ දවසේ වියුණු සටහන විදියට තෝරගත්තා. සුභපැතුම්!

    ReplyDelete
  3. Hela Basa poshanaya kala viruvek. Apey bathibara pranamaya kavadath ohuta himiy. Thanks Malkakulu!

    ReplyDelete
  4. සිංහල භාෂාවට සේවය කල කුමාරතුංග මුනිදාස ශූරීන් ඇතුළු සෑම වියතෙක්ටම අපේ උත්තමාචාරය ! ඇත්තටම මාර්තු 02 කියන්නේ සිංහල භාෂා දිනය කියලා කලින් දැනන් හිටියේ නෑ. ස්තුතියි !!!

    ReplyDelete