HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර මිලියන 60කට පෙර විසූ ලොව ලොකුම සර්ප දැවැන්තයා වූ අති බිහිසුණු ටයිටනබෝ

මේ මිහි මත විසූ ලොව ලොකුම සර්ප දැවැන්තයා වූ අති බිහිසුණු ටයිටනබෝ දැන් දැක ගන්න පුළුවන්. ඌ තමයි ඩයිනොසෝරයන් ගෙන් පස්සෙ ලෝකය හෙල්ලූ දැවැන්තයන්. පසුගිය දා ඇමරිකාවේ ස්මිත්සෝනියන් ස්වභාව විද්‍යා කෞතුකාගාරයෙහි මේ සතකුගේ අනුරුවක් අලූතින් නිර්මාණය කළා.

ඌ අඩි 48ක් දිග, රාත්තල් 2,500 බර විලෝපික උරගයෙක්. ඔබ දන්නවා නේ විලෝපිකයන් කියන්නේ ආහාරය සඳහා සතුන් ගොදුරු ගන්නා මාංශ භක්ෂකයන්ට බව. වසර මිලියන 60කට ඉහත ලොව දෙවනත් කරමින් ජීවත් වූ මේ බිහිසුණු පිඹුරු දැවන්තයා ප‍්‍රති නිර්මාණය කරන්න ස්මිත්සෝනින් ආයතනයේ විශේෂඥයන් සමත් වුණා.

 
ස්මිත්සෝනියන් විද්‍යාඥයන් වීඩියෝ චිත‍්‍රපටයක් සඳහා ප‍්‍රති නිර්මාණය කළ ටයිටනබෝගේ දිග අඩි 48ක් හා බරින් රාත්තල් 2500ක්.


ඩයිනොසෝරයන් සිටි අවදියේ අනිත් විලෝපිකයන් ගණනාවක් ම සිය ආධිපතිත්වය උදෙසා සටන් කළා. ඒ අතරින් විශාලත්වයෙන් වැඩි දැවැන්ත ම සත්වයා ටයිටනබෝ නම් පිඹුරු විශේෂයයි. විශාල ම ඇනකොන්ඩා මේ පිඹුරු දැවැන්තයා ඉදිරියේ අඟුටු මිට්ටෙකු වෙනවා. පෘථිවි ඉතිහාසයේත් දැවැන්ත ම සර්පයා ටයිටනබෝ බවට විවාදයක් නැහැ.

ස්මිත්සෝනියන් ආයතනය මේ දැවැන්ත බිහිසුණු සර්පයා යළි නිර්මාණය කළේ නව රූපවාහිනී වැඩ සටහනක් සඳහායි. එහි දී විද්‍යාඥයන්ට ගැටලූවක් වූ සර්පයකු මේ තරම් විශාල දැවැන්තයකු වූයේ කෙසේ ද යන්නයි. ඊට පිළිතුරු සොයන්න ඔවුන් උත්සාහ ගත්තා.

 
පොසිල වශයෙන් හමු වූ ටයිටනබෝ හිස් කබලක් යොදා ගෙනයි, මේ අපූරු සත්වයා නිර්මාණය කෙරුණේ.

”මේ සොයා ගැනීම විස්මිත එකක්. හරියට සුරංගනා කතාවක එන අමුතු සතෙක් වගෙයි. හරියට චිත‍්‍රපට අධ්‍යක්ෂ ස්පීල්බර්ග් හිතලූ අතීතයෙන් ආ එකෙක් වාගේ. මේ දැවැන්ත සර්පයාට යොදා ඇත් නමත් දැවැන්තයි. ඒ තමා ටයිටනොබෝ.” එහෙම කියන්නේ ස්මිත්සෝනියන් රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානී ඬේවිඞ් රෝයල්.

ස්මිත්සෝනියන් රූපවාහිනී නාලිකාව මේ දැවැන්ත සත්වයා ගැන, වසර මිලියන 60කට එපිට කාලයක විසූ අඩි 48ක් දිග රාත්තල් 2,500ක් බර මේ සර්පයාගේ සොයා ගැනීම ගැන වාර්තා චිත‍්‍රපටයක් තැනුවා. ඒ සමගම ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ග‍්‍රෑන්ඞ් සෙන්ට‍්‍රල්හි මේ සර්පයාගේ ජීවමාන ප‍්‍රමාණයේ පිළිරුවක් ද තනා ප‍්‍රදර්ශනයට තබා තියෙනවා.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ස්වාභාවික විද්‍යා කෞකුකාගාරයේ පොසිල විද්‍යාඥ ආචාර්ය ජොනතන් බ්ලොක් මේ ටයිටනොබෝ පොසිල සොයා ගැනීමට මුල් වූ විද්‍යා ගවේෂකයන් අතරින් කෙනෙක්. ඔහු කියන්නේ, ”බොහෝ විට සර්පයන්ගේ හිස් කබල් පොසිල වශයෙන් හමුවන්නේ කලාතුරකින්. ඒවා පහසුවෙන් බිඳී යන නිසා කල්පවතින්නේ නැහැ. ඒ නිසා මේ හමුවීම දුර්ලභ අවස්ථාවක්.” බවයි.

ඔහු කියන විදියට මේ ටයිටනොබෝ ඩයිනොසෝරයන්ගේ වඳ වී යාමෙන් පසුත් තවත් අවුරුදු මිලියන 10ක් විතර කාලයක් ජීවත් වෙන්න ඇති.

 
1997 නිපද වූ ඇනකොන්ඩා චිත‍්‍රපටයේ එන මේ ඇනකොන්ඩාට වඩා ප‍්‍රමාණයෙන් අති විශාල බව කිවයුතුයි.

මේ පොසිල අස්ථි කොටස් ඔවුන්ට හමුවී තියෙන්නේ කොලොම්බියාවේ සෙරෙයෝන් හිදියි. ඒ නිසා මේ සත්වයා විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ටයිටනොබෝ සෙරෙයොනෙන්සිස් Titanoboa cerrejonensis කියලයි. මේ පොසිල අස්ථි කොටස් හමු වූ ප‍්‍රදේශය පේලියෝසීන යුගයේ ආරම්භයේ දී පුරාණ වැසි වනාන්තර පැවති එකක් ලෙසයි සැලකෙන්නේ. මේ පොසිල හමුවෙලා තියෙන්නේ කිඹුලන්ගේ හා අනිකුත් උරගයන්ගේ පොසිලත් සමගයි.

”අපට එක ප‍්‍රශ්නයක් වුණේ මේ සතා මෙච්චර විශාල වුණේ කොහොමද යන්නයි. අප හිතන්නේ ඊට හේතුව ඒ කාලයේ නිවර්තන කලාපවල උෂ්ණත්වය වැඩියෙන් පැවතීමයි.”

”ටයිටනොබෝ තමයි ලොව සිටි ප‍්‍රධාන ම විලෝපිකයා ඩයිනොසෝරයන්ගෙන් පස්සෙ. අවුරුදු මිලියන දහයක් විතර කාලයක් ඔවුන් තවු දුරටත් ජීවත් වෙලා තියෙනවා.” බ්ලොක් පැහැදිලි කරනවා.

 
මීට වසර මිලියන 60කට එපිට උතුරු කොලොම්බියාවේ ජීවත් වූයේ යැයි සැලකෙන ටයිටනෙබෝ දිවි ගෙවූ පරිසරයයි.

Source: DailyMail



-සම්බන්ධිත ලිපි-
ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් : විස්මිත සොයා ගැනීම්

Post a Comment

3 Comments

  1. මේ සත්තු මේ විදිහට වදවෙලා නොගියනම් මිනිස්සුන්ට ජීවත් වන්න ලොකු සටනක් දෙන්න තිබුනා..

    ReplyDelete
  2. ඩයිනෝසරයන්ගේ වදවීයාමෙනුත් වසර මිලියන 10 ක් වගේ කාලයක් වාසය කල මේ උරග විශේෂය වදවීයන්න හේතුව ආහාර හිගකමද කියලත් හිතෙනව...මේ වගේ අති විශාල මාංශභක්ෂක උරගයෙක්ගේ පැවැත්මට විශාල ආහාර ප්‍රමානයක් අවශ්‍යය වෙන්න ඇති.....
    ....වටිනා ලිපියක් බොහොම ස්තූතියි අප හා දැනුම බෙදා ගත්තට...

    ReplyDelete
  3. Greate. Carry on. Good Luck Mal Kakulu.

    ReplyDelete