HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක සිනමා ලෝලයන්ගේ ඇස් ආසියාවට ඇද ගත් සිනමාකරුවන් තිදෙනා : ආසියානු සිනමාව 1

ලෝක සිනමාව බිහිවී වසර 50කට පසුව එළඹි 1950 දශකය ආසියාවේ ජයග‍්‍රාහී දශකය වුණා. ලෝක සිනමාවට පිවිසෙන්නට ආසියානු චිත‍්‍රපටවලට වරම් ලැබුණේ ඒ දශකය තුළයි. ආසියාවට එම කීර්තිය මුල් වරට අත් කර දෙන්නට ආසියානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු සමත් වුණා.

ඒ අවස්ථාව මුලින්ම උදා කර ගත්තේ ජපානයේ අකිර කුරෝසව (Akira Kurosawa) යි. ඒ ඔහුගේ ‘රශෝමොන්’(Rashomon -1951) චිත‍්‍රපටයෙන්. දෙවැන්නා ඉන්දියාවේ සත්‍යජිත් රායි. ඒ ඔහුගේ ‘පාතේර් පංචාලි’ (Pather Panchali - 1955) චිත‍්‍රපටයෙන්. ඒ දෙදෙනාම අද ජීවතුන් අතර නැහැ.


ආසියාවට ඒ ගෞරවය අත් කර දුන් තෙවැන්නා තවමත් අප අතර ජීවමානව සිටින 93 හැවිරිදි වියේ පසුවන ශී‍්‍ර ලංකාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒ ඔහුගේ ‘රේඛාව’ (1956) චිත‍්‍රපටයෙන්.

අපි මුලින් ම ආසියාවෙන් ලෝකයට ගිය සිනමාකරු ජපානයේ අකිර කුරෝසව ගැන විමසා බලමු. ඔහු ජපාන සිනමාවෙන් ලෝක සිනමාවට ගියා පමණක් නොව ලෝක සිනමාවේ හැඩතල පවා වෙනස් කරන්නට සමත් වුණා.

ඔහුගේ ‘රශෝමොන්’ චිත‍්‍රපටයට 1951 සැප්තැම්බර් 10 වැනිදා එය වැනීස් චිත‍්‍රපට උළෙලේදී එහි උසස් ම සම්මානය වූ ‘ගෝල්ඩන් ලයන්’ සම්මානය දිනා ගත්තා. ආසියානු සිනමා කෘතියක් ජාත්‍යන්තර සිනමා උළෙලක දී මුල් තැනට පත් වුයේ මුල් වතාවටයි. ඒ සමග ම හොඳ ම විදේශ චිත‍්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයත් ‘රශෝමොන්’ චිත‍්‍රපටයට හිමි වුණා. ඒ නිසා ප‍්‍රථම වතාවට බටහිර සිනමා ලෝලයන්ගේ ඇස් ආසියාව දෙසට හැරුණා. ජපානයේ නිපදවූ චිත‍්‍රපටවලට යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ වෙළෙඳ පොළ විවෘත වුණා.

‘රශෝමොන්’ තිරගත වී වසර 14කට පසු ඒ චිත‍්‍රපටය කෙළින්ම අනුකරණය කරමින් බටහිර චිත‍්‍රපට අධ්‍යක්ෂ මාටින් රිට් ‘ද අවුට්රේජ්’ (The Outrage - 1964) නමින් ඉංගිරිසියෙන් තැනුවා. එහි රඟපෑවේ පෝල් නිව්මන්, ලෝරන්ස් හාවි හා ක්ලෙයා බ්ලූම් ආදීන්. කුරොසව ඊළඟට නිර්මාණය කළ ‘සෙවන් සමුරායි’ (Seaven Samurai -1954) අනුකරණය කරමින් බටහිර චිත‍්‍රපට අධ්‍යක්ෂ ජෝන් ස්ටර්ජස් ‘ද මැග්නිෆිෂන්ට් සෙවන්’ (Magnificent Seven - 1960) අධ්‍යක්ෂණය කළා. යූල් බ‍්‍රයිනර්, ස්ටීව් මැක්වීන්, ඉලයි වලක් ආදීන් රඟපෑවා.


කුරොසව ඉන්පසු තැනූ ‘යොජිම්බෝ’ (Yojimbo - 1961), සන්ජිරෝ (Sanjiro -1962) චිත‍්‍රපටවලින් පසු ඒවා අනුකරණයෙන් බටහිර චිත‍්‍රපට රැසක් නිපදවුණා. ක්ලින්ට් ඊස්ට්වුඞ් ‘නමක් නැති වීරයා’ගේ චරිතය රඟපෑ ‘ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස් (1964), ‘ෆෝර් අ ෆිව් ඩොලර්ස් මෝ’ ආදී වශයෙන් බටහිර චිත‍්‍රපට රැල්ලක් ආවා.

කුරෝසව සිය ‘රෂෝමොන්’ චිත‍්‍රපටයට පාදක කර ගත්තේ ජපන් කෙටිකතාකරුවකු වූ රියුනොසුකෙ අකුතගව ගේ කෙටිකතා දෙකකි. ඒ ‘රශෝමොන්’ හා ‘වන ලැහැබක දී’ යන කෙටිකතා දෙක ය. මේ කතාව අපේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයට පාදක වෙච්ච කතාවට ටිකක් සමාන එකක්.

අකිර කුරෝසව උපන්නේ 1910 මාර්තු 23 වැනිදායි. ඔහු සමුරායි පරපුරකින් පැවත එන්නෙක්. ඔහු ඔසාකාවේ ජීවත්වූ මධ්‍යම පන්තික පවුලක බාලයායි. පියා බටහිර සාම්ප‍්‍රදායනට විවෘත වූ අයකු වූ බැවින් නාට්‍ය හා චිත‍්‍රපට වැනි දේ අධ්‍යාපනික වශයෙන් වැදගත්කමක් ඇති දේ ලෙස පිළිගෙන තිබුණා. ඒ නිසා ඔහුට ඉතා කුඩා කාලයේ දී පටන් චිත‍්‍රපට බැලීමට ඉඩ ලැබුණා. අකිර මුල්ම චිත‍්‍රපටය නැරඹුවේ අවුරුදු හයේදීයි. ප‍්‍රාථමික පාසලේ දීම ඔහු චිත‍්‍ර ඇඳීමත් අක්ෂර ලේඛන කලාවත් කෙන්ඩෝ කඩු හරඹයත් ඉගෙන ගත්තා.

අකිරගේ ජීවිතයට මහත් සේ බලපෑවේ හියිගෝ අයියායි. 1920 ගණන්වල දී ඔහු තෝකියෝවේ සිනමාහල්වල පෙන්වූ නිහඬ චිත‍්‍රපටවල කථනය කිරීම සිය වෘත්තිය කර ගත්තා. මේ කාලයේ සිත්තරකු වීමට ආසාවෙන් සිටි අකිර අයියා ළඟට ගියේ ඒ නිසයි. අයියා නිසා ඔහු චිත‍්‍රපට පමණක් නොව වේදිකා නාට්‍ය හා සර්කස් නරඹන්නට පෙලඹුණා. චිත‍්‍රශිල්පියකු වශයෙන් ඔහු එවකට නිර්ධන පන්තිය හුවා දැක්වූ චිත‍්‍රශිල්පීන්ගේ කණ්ඩායමකට බැඳුණා. එහිදී කැන්වසය තුළින් ඍජුව දේශපාලන මතවාද ඉදිරිපත් කිරීමට සිදු වීම නිසා වැඩිකල් නොගොස් ඔහුට චිත‍්‍රශිල්පය එපා වුණා.

1930 ගණන්වල දී නිහඬ චිත‍්‍රපට වෙනුවට කතානාද චිත‍්‍රපට ආ නිසා හියිගෝගේ සේවය තවදුරටත් සිනමාහල්වලට අවශ්‍ය වුණේ නෑ. ඔහුගේ ආදායම අඩු වුණා. අකිරා ආපසු ගමට ගියා. 1933 දී අයියා දිවි නසා ගත්තා. එය අකිරගේ හිතේ දැඩිකම්පාවක් ඇති කළා.

1935 දී අලූතින් ආරම්භ කළ සිනමා චිත‍්‍රාගාරයක් සහය අධ්‍යක්ෂවරුන් ඉල්ලා පළ කර තිබූ දැන්වීමකට වෘත්තීය සුදුසුකම් නොතිබුණත් අකිරත් ඉල්ලූම් පතක් දැම්මා. ඊට සම්බන්ධව සිටි චිත‍්‍රපට අධ්‍යක්ෂ කජිරෝ යමමොටෝ දුටු කෙණෙහි අකිර ගැන පැහැදුණා. ඔහු අකිරව බඳවා ගන්නා ලෙස චිත‍්‍රාගාර පාලක මණ්ඩලයට කීවා. ඒ අනුව ඔහු සහය අධ්‍යක්ෂවරයකු ලෙස බැඳෙන විට වයස අවුරුදු 25යි.

ඔහු චිත‍්‍රපට 24ක සහය අධ්‍යක්ෂවරයකු ලෙස ඒ සමාගමේ විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ කටයුතු කළා. ඉන් චිත‍්‍රපට 17ක්ම අධ්‍යක්ෂණය කළේ කජිරෝ යමමොටෝයි. ඔහුගේ වර්ධනයට ප‍්‍රධාන වශයෙන් බලපෑ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා වූයේත් යමමොටෝයි. අකිරගේ හැකියාවන් හඳුනාගත් ඔහු වසරකට පසු තුන්වැනි සහය අධ්‍යක්ෂගේ සිට ප‍්‍රධාන සහය අධ්‍යක්ෂ දක්වා ඉහළට ගෙනාවා. අකිරගේ වගකීම් වැඩි වුණා. ඔහු චිත‍්‍රපට නිෂ්පාදනයේ දී හැම අංශයකම වැඩ කළා. චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු, වේදිකා පසුතල නිර්මාණය, දර්ශන තල සොයා යාම, තිරනාටකවල අඩුපාඩු සැකසීම, නළුනිළියන් පුහුණ කිරීම, ආලෝකකරණය, හඬ කැවීම, සංස්කරණය, දෙ වන ඒකකය අධ්‍යක්ෂණය කිරීම ආදිය හැම දෙයක් ම ඉටු කළා. යමමොටෝගේ ප‍්‍රධාන සහය අධ්‍යක්ෂ වශයෙන් අකිර වැඩ කළ අවසාන චිත‍්‍රපටය වූ ‘උමා’ (අශ්වයා -1947) සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කළේ ඔහුයි. ඒ යමමොටෝ වෙනත් චිත‍්‍රපටයක රූ ගත කිරීම්වල නිරතව සිටි නිසයි.

අකිරගේ මුල්ම අධ්‍යක්ෂණය වුයේ ‘සන්ශිරෝ සුගත’ (1943) නම් ජනපි‍්‍රය කි‍්‍රයාදාම චිත‍්‍රපටයක්. ඊළඟට ඔහු අධ්‍යක්ෂණය කළ ‘ඩ‍්‍රන්කන් ඒන්ජල්’ (1948) විචාරක පැසසුමට ලක් වූවක්. එහිදී ඔහු හඳුන්වා දුන් එවකට අප‍්‍රකට නළුවකු වූ තොෂිරෝ මිෆුනේ පසුව ලෝකප‍්‍රකට නළුවකු වුණා. ‘රෂෝමොන්’ (1951) කුරෝසවගේ දෙවැනි චිත‍්‍රපටයයි. කුරෝසවගේ චිත‍්‍රපට රාශිය අතරින් මගේ සිත් වඩාත් ඇදගත්තේ ජීවිතය යන අරුත රැගත් ‘ඉකුරු’ (Ikuru - 1952) චිත‍්‍රපටයයි.

අකිර කුරෝසව ජගත් කීර්තියට පත් මුල්ම ජපන් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයායි. ඔහු චිත‍්‍රපට අධ්‍යක්ෂණයට අමතරව චිත‍්‍රපට තිරනාටක රචකයකු, චිත‍්‍රපට නිෂ්පාදකයකු, සංස්කාරකවරයකු වශයෙන් ද කීර්තියක් දිනා ගත්තා. ඔහු සිනමා ඉතිහාසයට එක්වූයේ ලෝක සිනමාවට විශාලතම බලපැමක් ඇති කළ ආසියානු විශිෂ්ටයා ලෙසයි.

1990 දී ඔහුට ජීවිත කාලයක් සඳහා පිරිනැමෙන ඔස්කාර් සම්මානය පිරිනැමිණ. මරණින් පසු ඔහු ‘සියවසේ ආසියානුවා’ ලෙස නම් කරමින් ඒෂියන්වීක් ප‍්‍රකාශනයත් ‘ගත වූ සියවසේ ආසියාවේ යහපත වෙනුවෙන් කි‍්‍රයාකළ විශිෂ්ටතම පස් දෙනා අතරින් එක් අයකු’ ලෙස නම් කරමින් ක්‍භභ ප‍්‍රවෘත්ති ජාලයත් ඔහුට ගෞරව දැක්වුවා.

කුරෝසවගේ ‘රෂෝමොන්’ චිත‍්‍රපටයෙන් පසු ජපානයේ ශ්‍රේෂ්ඨ සිනමාකරුවන් රැසකට ලෝක සිනමාවේ දොර ඇරුණා. කෙන්ජි මිශොගුචි (ද ලයිෆ් ඔහාරු, උගෙට්සු, සැන්ශෝ ද බේලිෆ්), යසුජිරෝ ඔශු (ටෝකියෝ ස්ටෝරි, ඇන් ඕටම් ආෆ්ටර්නූන්) වැනි අග‍්‍ර ගණයේ ජපන් සිනමාකරුවන්ගේත්, පසුව, නගිසා ඔසිමා, ශොහෙයි ඉමමුරා, ජුසෝ ඉටාමි, තකෙෂි කිටානෝ, කතෂි මීකේ ආදීන්ගේත් කෘතීන් ලෝක සිනමා ලෝලයන්ට දැක ගන්නට අවස්ථාව සැලසුණේ ඉන් පසුවයි.

මීළඟ ලිපියෙන් ඉන්දියාවේ සත්‍යජිත් රායි ගැන කියවමු.

- පර්සි ජයමාන්න

Post a Comment

6 Comments

  1. වටිනව.
    ඊළඟ එකත් ඉක්මනටම දාමු......

    ReplyDelete
  2. මම අද වෙන තුරු දැනගෙන හිටියෙ අකිර කුරසොව, ජපානය, රෂෝමාන් කියන ටික විතරයි.. ස්තුතියි!

    ReplyDelete
  3. අකිර කුරසෝවගේ රෂෝමොන් කතාව පදනම් කරගෙන නේද අපේ මනමේ නාට්‍යය හදල තියෙන්නේ.. රෂෝමොන් කතාවේ තියෙන්නෙත් මනමේ වගේ ම කතාවක්..

    ReplyDelete
  4. පැතුම්,
    මහාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ නාටකයට පාදක කර ගත්තේ මනමේ නාඩගමයි. ඒක වෙනස් නිර්මාණයක්. අකුතගාවගේ ‘කැලයක දී’ කෙටිකතාවෙත් මනමේ කතාවට සමාන වෙන තැන් තියෙනවා. මහාචාර්ය තුමා සමහර විට රෂෝමොන් දැකල තියෙන්න ඇති කලින්. අකුතගාව ඒ කතාව ලියා ඇත්තේ පැරණි ජපන් ජනප‍්‍රවාදයක් ඇසුරෙන් කියලයි කියන්නෙ. පැය ලණනක් දිගට යන මනමේ නාඩගම වේදිකාවට උචිත විදියට හදලා නව නිර්මාණයක් කරමින් ඊට නව මානයක් එක් කළ මහාචාර්යතුමා කළ කාර්යය වෙනම අගය කළ යුතුයි. ඒ ගැන වෙනම දවසක ලියන්නම්.
    -පර්සි

    ReplyDelete
  5. රෂෝමොන් නම් ඇත්තටම හොඳයි. අවුරුදු 60 කට කළින් නිර්මාණයක් වුණත් අදට ඒක ඒ විදියටම රස විඳිය හැකියි.
    මොක වුණත් කුරසෝවගෙ රෂෝමොන් හැරුණම ලංකාවෙ අපිට අනෙක් චිත්‍රපට තවම හොයාගන්න අමාරුයි.

    ReplyDelete
  6. පර්සි මහත්මයා, පැහැදිලි කිරීමට ස්තූතියි.. අද මම ඔබ තුමා කවුදැයි පරණ පත්තර කැබැල්ලකින් දැන ගත්තා..නම හුරු ගතියක් මුල ඉඳලම තිබුණට කවුද කියල දැනගෙන හිටියෙ නෑ.. මට මතක හැටියට ජනවාරි මාසේ ඉරිදා ලංකාදීප පත්තරයක් ඔබ තුමාගේ සෙන් කතා පොත ගැන තිබුණු ලිපියක්, අද වැඩට එන්න කලින් විනාඩි 5-10ක් අක්කලගෙ ගෙදර ඉන්න වෙලාවේ කියෙව්වා.. බොහොම සන්තෝසයි ඔබ තුමාගේ දැනුම අපට බෙදල දෙනවට..

    ReplyDelete