කබරගොයන්ගේ නෑයෙකු වන ප‍්‍රචණ්ඩකාරී කොමෝඩෝ මකරු (Komodo Dragon)

කොමෝඩෝ මකරුන් (Komodo Dragon) පහරදීමෙන් මිනිසුන් මියගිය පුවත් ඉන්දුනීසියාවෙන් පසුගිය වසරවල වාර්තා විය. කොමෝඩෝ මකරුන්ගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් කොමෝඩෝ ජාතික වන රක්ෂිතයට මිනිසුන්ට ඇතුළු වීම තහනම් කර තිබේ.



”රක්ෂිතයේ කොමෝඩෝ මකරුන් විශාල ප‍්‍රමාණයක් ජීවත්වෙනවා. උන් මිනිසුන්ට හීලෑ නැහැ. මනුෂ්‍යයෙක් දුටු විට ප‍්‍රචණ්ඩ ව හැසිරෙනවා. පහර දෙනවා. ඒ නිසයි අපි මිනිසුන්ට රක්ෂිතය තුළට යෑම තහනම් කර තිබෙන්නේ” කොමෝඩෝ ජාතික වන රක්ෂිතයේ කළමනාකාර ෆ‍්‍රැන්සිස්කුස් හරුම් ප‍්‍රකාශ කරයි.

ලොව විශාලතම උරගයා වන කොමෝඩෝ මකරුන්ගේ ඛේටය විෂ සහිතය. ඊට හේතුව උන්ගේ ඛේටයේ බැක්ටීරියා වර්ධනය වන නිසාත් සපා කෑමක් සිදුවුවහොත් දරුණු ලෙස ආසාදන තත්ත්වයක් ඇති වන නිසාත්ය. කොමෝඩෝ මකරුන් තමන්ට අල්ලා ගන්නට බැරි තරම් වේගයෙන් පැන දුවන සතුන් පවා ගොදුරු කර ගන්නේ කෙසේ හෝ එම සතා සපා කෑමෙන්ය. සපා කෑමට ලක්වන සතා පැන දුවන නමුත් වැඩි දුරක් යාමට නොහැකිව මැරී වැටෙයි. කොමෝඩෝ මකරුන් ඇවිත් සතා ගිල දමන්නේ ඉන් පසුවය.

අද වනගතව ජීවත්වන කොමෝඩෝ මකරුන්ගේ ගහණය 4,000 ක් පමණ වෙයි. නමුත් වනරක්ෂිත හා සත්ත්වෝද්‍යානයන් තුළ ඉතා සාර්ථක ව කොමෝඩෝ මකරුන් බෝ කිරීම සිදුවෙයි. ඉන්දුනීසියාවේ කොමෝඩෝ රක්ෂිතය නැරඹීමට සංචාරකයන් යන්නේ වන අඩවි නිලධාරීන්ගේ මග පෙන්වීම ඇතුව ය. වසර කීපයකට පෙර එවැනි ආරක්ෂාවක් නොමැතිව රක්ෂිතයට ගිය ස්විට්සර්ලන්ත ජාතික සංචාරකයකු අතුරුදන් වූ අතර සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී හමුවුණේ ඔහුගේ කැමරාව සහ උපැස් යුවළ පමණි.


කවුද මේ කොමෝඩෝ මකරා ?
‘වරනුස් කොමොඩෝඑන්සිස්’(Varanus komodoensis) යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොමෝඩෝ මකරුන් ජීවත්වන්නේ ඉන්දුනීසියාවට අයත් 11,000කට අධික දූපත් සමූහය අතරින් ඉතා කුඩා දූපත් හතරක පමණය. ඒවා නම් කොමොඩෝ, ෆ්ලෝරෙස්, පිංටා හා පදාර් යන දූපත් වේ. ඉන් ප‍්‍රධාන වන්නේ කොමෝඩෝ දූපතයි. කොමෝඩෝ (Komodo) මකරුන් ඒ නම ලැබී ඇත්තේ මේ දූපත නිසාය. කොමෝඩෝ මකරා අපට හොඳින් හුරු පුරුදු තලගොයන්ගේ සහ කබරගොයන්ගේ නෑයෙකි. ඌ අයත් වන්නේ ද තලගොයන් හා කබරගොයන් අයත් වන වරනිඬේ (Varanidae) පවුලටය. හොඳින් වැඩුණු සතකු මීටර 2 සිට 3 දක්වා (අඩි 6.6 සිට 9.8) දක්වා දික් වෙයි. එවැනි සතකුගේ බර කිලෝ ග‍්‍රෑම් 70 ක් පමණ වේ.

කොහොමද කෑම බීම ?
ප‍්‍රමාණයෙන් විශාල නිසාත් මාංශභක්ෂක සත්ත්වයන් වන නිසාත් කොමෝඩෝ මකරුන් සිටින  දූපත්වල රජ කරන්නේ ඔවුන්ය. තමන් ජීවත්වන පරිසර පද්ධතියේ ආධිපත්‍යය පතුරුවා ගැනීමට කොමෝඩෝ මකරු සමත්ව සිටිති. ප‍්‍රධාන වශයෙන් කසළ භක්ෂකයකු වුවත් කුඩා ක්ෂීරපායීන් කුරුල්ලන් ආදී සතුන් අල්ලා ගෙන ගොදුරු කර ගැනීමට ඌ දක්ෂයෙකි.


පැටවුන් බිහිකිරීම
කොමෝඩෝ මකරුන් පැටවුන් බිහි කිරීමට සූදානම් වන්නේ මැයි සහ අගෝස්තු මාස අතරතුරය. පිරිමි සතකු නොසිටියත් ගැහැනු සතකුට පැටියකු බිහි කළ හැකි බිත්තරයක් දැමිය හැකිය. ගැහැනු සතකු වරකට බිත්තර 20 ක් පමණ දමන අතර ඒ බිත්තර මෝරා පැටවුන් පිටතට එන්නේ මාස 6 ක් හෝ 7 ක් ගත වීමෙන් පසුවය. බොහෝ විට ඒ අප‍්‍රියෙල් මාසයේදීය. අපි‍්‍රයෙල් මාසයේ කෘමි සතුන් බහුල හෙයින් කුඩා කොමෝඩෝ පැටවුන්ට ආහාර බහුල ව ලැබේ. ඒ කාලයේ ඔවුන් පැටවුන් බිහි කරන්නේ ආහාර බහුල නිසාය. ඒ කුඩා කොමෝඩෝ පැටවුන්ට වැඩි කාලයක් ජීවත්වීමට නම් වැඩුණු කොමෝඩෝ මකරුන්ගෙන් පවා සැඟවී සිටිය යුතු වෙයි. වැඩුණු සතුන් ඔවුන්ගේ ම පැටවුන් ගොදුරු කර ගැනීම සිරිතය. ඒ නිසා කුඩා පැටවුන් වැඩි කාලයක් ගත කරන්නේ ගස් උඩට වී සතුරන්ගෙන් ආරක්ෂා වෙමිනි. පැටියෙක් හොඳින් වර්ධනය වීමට වසර පහක පමණ කාලයක් ගතවේ. සතුරන්ගෙන් හා වෙනත් උපද්‍රවවලින් බේරී ජීවත්වීමට කොමෝඩෝ මකරකුට හැකි වුවහොත් ඌට අවුරුදු 50 කටත් වැඩි කාලයක් ජීවත් විය හැකිය.

සද්දන්ත ආකර්ෂණයක්
කොමෝඩෝ මකරුන් පිළිබඳ ව තොරතුරු බටහිර විද්‍යාඥයන්ට දැන ගැනීමට ලැබුණේ 1910 දී පමණය. ඔවුන්ගේ සද්දන්ත පෙනුම හා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවය නිසා ලොව පුරා සත්ත්ව උද්‍යානවල සුවිශේෂී ආකර්ෂණයක් බවට පත් වී තිබේ. මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් කොමෝඩෝ මකරුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල වී ඇති වී ඇති අතර ලෝක වනජීවි සංරක්ෂණ ආයතනයේ අවධානය ද ඔවුන් වෙත යොමු වී තිබේ. ඒ අනුව ඉන්දුනීසියානු රජය විසින් ඔවුන් ආරක්ෂා කිරීමට නීති පනවා තිබේ. ඒ අනුව ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩ පිළිවෙළක් සමග ‘කොමෝඩෝ ජාතික වන රක්ෂිතය’ යනුවෙන් වෙන ම වනාන්තර කලාපයක් ද වෙන් කර තිබේ.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments