HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඈත විශ්වය දෙසට යොමු වූ ඇස්වලින් හෙළි කර ගන්නා ගැලැක්සිවල අබිරහස්

ලෝකයේ විශාලතම පිරි වැයක් දරා බිම් මට්ටමෙන් සවි කර ඇති ලොකුම ගුවන්විදුලි දුරේක්ෂය ඇල්මා Atacama Large Millimeter Array (ALMA) යන කෙටි නමින් හැඳින්වෙනවා. එය චිලි රාජ්‍යයේ ඇන්ඞීස් කඳු වළල්ලේ උස් සානුවක සවි කර තියෙනවා. ඩොලර් බිලියන 1.3ක් වැය කොට තනා ඇති එයට පැවරී ඇති අලූත් ම රාජකාරිය අපේ පෘථිවිය වැනි ග‍්‍රහ ලෝක හැදුණු හැටි අධ්‍යයනය කිරීමයි.

මේ කාර්යයට තවත් ගුවන්විදුලි දුරේක්ෂයක් ද එක් කර තියෙනවා. ඒ නිව් මෙක්සිකෝවේ සවි කර ඇති ඇන්ටෙනා 27කින් සමන්විත වීඑල්ඒ නම් යෝධ ගුවන්විදුලි දුරේක්ෂයයි. ඇල්මා දැනටමත් නවක තරු වටා ඇති වායු හා දූලි තැටිවලින් ග‍්‍රහයන් හැදෙන හැටි කියාපාන මුල් ම රහස් තොරතුරු එවන්ට පටන් අරන්.

ඇල්මාහී විද්‍යාඥයන් කියන්නේ ඒ දුරේක්ෂය ගැලීලියෝගෙන් පසුව තාරකා විද්‍යාව හා තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් බවයි.

 
ඇල්මා හා වීඑල්ඒ දුරේක්ෂ මගින් මුල් අවධියේ දූවිලි තැටියකින් හා නවක තරු වටා ඇති වායුවලින් ඒ වස්තූන් ඝනීභවනය වීමෙන් ග‍්‍රහයන් නිර්මාණය වන අයුරු හසු කර ගත හැකියි.


ඇල්මා දුරේක්ෂ පෙළට අයත් ඇන්ටෙනා 66න් තවමත් සවි කර ඇත්තේ 16ක් විතරයි. මේ ඇන්ටෙනා සවි කර ඇත්තේ මුහුදු මට්ටමෙන් මීටර් 5000ක් උස් කඳුකර සානුවකයි. මෙහි පාලක නිරීක්ෂණාගාරය පිහිටුවා ඇත්තේ මීටර 2,900 උසකිනි.

හාවඞ්-ස්මිත්සෝනියන් තාරකාභෞතික විද්‍යා කේන්ද්‍රයේ ඬේවිඞ් විල්නර් කියන්නේ, ”මේ අලූත් ඇස්වලින් අපට මෙතෙක් නොතිබුණු වේගයකින් නවක තරු වටා ඇති වායු හා දූවිලි තැටිවල භ‍්‍රමණයන් ගැන නිරීක්ෂණය කරන්නට හා අධ්‍යයනය කරන්න අවස්ථාව දැන් සැලසී තියෙන බවයි. එසේ ම අප මෙතෙක් ඉදිරියට ගෙනා න්‍යායන් ගැන යළි විමසා බලන්නත් මේ නිසා දැන් ඉඩකඩ සැලසී තියෙනවා.

මේ නව දුරේක්ෂ ලබා දෙන තොරතුරුවලින් ග‍්‍රහ වස්තූන් නිර්මාණය වීමේ දී සිදුවන මූලික පියවර, තරු වටා ඇති තැටියෙහි ඇති දූලි අංශු හා වැලි කැට වර්ධනය වීම මෙන්ම තැටිවල හා ඒවා තුළ ඇති නව ග‍්‍රහයන් අතර ඇති වන අන්තර් කි‍්‍රයා ද පෙන්වා දෙනවා.


”බලසම්පන්න ඇල්මා සහ පුළුල් කරන ලද වීඑල්ඒ දුරේක්ෂ අපට තවත් නවක තරු හා සූර්ය ග‍්‍රහ මණ්ඩල දහස් ගණනක් ගැන අධ්‍යයනයට මග පාදා දේවි, වෙන කවරදාටත් වඩා. සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති ග‍්‍රහ පද්ධතිවල ඇති විශාල විවිධත්වය ඇති කළ කි‍්‍රයාවලිය තේරුම් ගන්න අපට එයින් ඉඩ සැලසේවි” විල්නර් කියනවා.

මුලින් ඇල්මා එවූ නිරීක්ෂණ තොරතුරු අතර පෘථිවියෙන් ආලෝක වර්ෂ 170කට දුරින් පිහිටි නවක තරුවක දූලි තැටියක් පිළිබඳ දත්ත අඩංගු වුණා. එයින් විද්‍යාඥයන්ට මග පෑදුණා පෘථිවියේ සාගර ඇරඹුණු හැටි තේරුම් ගන්න.

 
ඇල්මා දුරෙක්ෂ පද්ධතිය විසින් ගන්නා ලද ඇන්ටෙනි ගැලැක්සියේ පිළිබිඹුවක්.

විද්‍යාඥයන් සිතන්නේ අපේ ග‍්‍රහයාගේ ජලයෙන් වැඩි කොටසක් ලැබී ඇත්තේ නවක පෘථිවිය මතට නිරන්තරව කඩා වැදුණු උල්කාපාත වර්ෂා හේතුවෙනි. ඒ කොපමණ ප‍්‍රමාණයක්දැයි හරියටම කියන්නට බැහැ.

ඔවුන් මෙසේ කියන්නේ තරු අතර ඇති වායුවල ඇතිවාට වඩා වැඩි ඩියුටීරියම් ප‍්‍රතිශතයක් අපේ සාගර ජලයෙහි ඇති නිසයි.

”මේ ගැන තවදුරටත් අධ්‍යයනයෙන් පසු අපට හැකි වේවි වල්ගා තරුවලින් අපට ලැබුණු සාගර ජල ප‍්‍රතිශතය කෙතරම් දැයි නිගමනය කරන්න.” විල්නර් කියනවා. ඔහු සමග වැඩ කළ අනිත් අය වන්නේ කැරින් ඕබර්ග්, චුන්හුවා කී හා හාවඞ්-ස්මිත්සෝනියන් තාරකාභෞතික විද්‍යා කේන්ද්‍රයේ පර්යේෂකයන් සමග නෙදර්ලන්තයේ ලීඞ්න් ග‍්‍රහලෝකාගාරයේ මයිකල් හොජර්හෙජ් ආදීන්.

මේ නව දුරේක්ෂ දෙක අවුරුදු බිලියන 10ක් හෝ 12ක් හෝ අතීතයට ගොස් විශ්වයේ බාල කාලේ තරු හැදුණු හැටි හා ගැලැක්සිය පරිණාමය වූ හැටි පිළිබඳ තතු අධ්‍යයනය කරන්නට විද්‍යාඥයන්ට උපකාර වේවි.

 
චිලි රටේ සන්ත්‍යාගෝ නගරයට උතුරින් කි.මී. 1500ක් දුරින් ඇටකාමා කාන්තාරයේ චාජ්නැන්ටර් සානුවේ පිහිටුවා ඇති ඇල්මා ගුවන්විදුලි දුරේක්ෂය ඈතට පෙනෙන හැටි

”මේ සුවිශේෂ දුරේක්ෂ දෙකම ඉතා දුරින් පිහිටි ගැලැක්සිවල අලූත් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට උපකාර වුණා.” යැයි ජාතික ගුවන්විදුලි දුරේක්ෂ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ කාර්තික් ශෙත් කියනවා.

”මේ දුරේක්ෂ දෙකෙහිම නව පහසුකම් තියෙනවා මේ විශ්වයේ ආරම්භක යුගයේ ගැලැක්සිවල ඇති වූ දූවිලි හා වායුවල සවිස්තර වාර්තා අපට ලබා දෙන්න. ඒවායින් අපට දැන් පවත්නා විශ්වයේ හමුවන ගැලැක්සි අධ්‍යයනය කරන්න ඉඩ සැලසෙනවා.” යැයි කියන ශෙත්, දැනටමත් ආලෝක වර්ෂ බිලියන 12ක් තරම් දුරින් පිහිටි ගැලැක්සිවල ඇති අණු හා පරමාණුක වායු පිළිබඳව විස්මිත තොරතුරු ලබා දීමට ඒවා සමත් වී තියෙන බව හෙළි කරනවා.

”මේ දුරේක්ෂ මගින් විවිධ වයස් පරාසවල ගැලැක්සි ගණනාවක් නිරීක්ෂණය කරන්න අපට හැකියාව ලැබේවි. මෙය විශාල ඉදිරි පියවරක් වේවි. අති දීර්ඝ අන්තරීක්ෂ කාලය තුළ සිදු වූ ගැලැක්සිවල උපත, පරිණාමය, ඉන්පසු තරු සෑදුණු ආකාරය ආදිය අවබෝධ කර ගන්නට අපට අනාගතයේ දී මග සැලසේවි.” ඔහු අවසාන වශයෙන් කියනවා.

Post a Comment

1 Comments

  1. me soyaganeem vala idiri thorathuruth apita Malkakulu thulin denna. Hoda lipiyak.Sthuthiy!

    ReplyDelete