HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රජු හා රට වෙනුවෙන් වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරු

සාම්ප‍්‍රදායිකව නයිට්වරුන් ලෙස හැඳින්වූයේ වංශවත් පෙළපතකින් පැවත එන වීර රණ ශූරයින්ය. මේ නයිට්වරු අතීතයේ මධ්‍යතන යුගයේ වීරයෝ වූහ. රජු ඉදිරියේ දිවුරුම් දෙමින් නයිට් පදවියට පත්වන්නෝ දේශපේ‍්‍රමීත්වයෙන් රජු හා ආගම සුරැකීමට ඉදිරිපත් වෙති. වර්තමානයේත් නයිට් පදවියෙන් පිදුම් ලැබීමක් සිදු කෙරේ. එය පුද්ගලයකුට පිරි නමනු ලබන විශේෂ ගෞරවයකි. වර්තමානයේ නයිට් පදවියෙන් පිදුම් ලබන්නේ සමාජයට මහා මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ය. ඔවුන්ට නයිට් පදවිය පිරිනැමීම සිදුවන්නේ රාජකීය පෙළපතකින් පැවැත එන රැජිනක් හෝ රජ කෙනකු විසිනි. ඒත් අපි කතාබහ කරන්න සූදානම් වෙන්නේ මධ්‍යතන යුගයේ ජීවත් වූ ලෝහ සන්නාහයකින් සැරසී අසු පිට නැගී රජු වෙනුවෙන් හා රට වෙනුවෙන් වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරුන් ගැනය.



කවුරුද මේ නයිට්වරු ?
නයිට්වරුන් පිළිබඳ ඉතිහාසය රෝම හා ගී‍්‍රක අධිරාජ්‍යය තෙක් ඈත අතීතයට දිවයයි. මුල් යුගයේ නයිට්වරුන් ලෙස සැලකුවේ රෝම සහ ගී‍්‍රක හමුදාවල සිටි උසස් නිලධාරීන්ය. නමුත් ප‍්‍රභූ නයිට්වරුන් අපට හමුවන්නේ 11 වැනි සියවසේදීය. ඒ මධ්‍යතන යුගයේදීය. මුල් යුගයේ නයිට්වරුන්ට අසුන් සිටියේ නොමැත. ඔවුන් යුද්ධයට ගියේ පා ගමනින්ය. මේ නයිට්වරු සාමාන්‍ය සෙබළුන් හා සමාන විය. කල්ගතවෙද්දී නයිට් පදවියට පත්වීම උසස් සමාජ පන්තියට සීමා වූ අතර නයිට්වරයකු වීම විශාල ගෞරවයක් විය.

යකඩ යුගයේ ආරම්භය
‘අයන් ඒජ්’ එනම් යකඩ යුගය යනුවෙන් හැඳින්වෙන්නේ 13 වැනි ශතවර්ෂයයි. නයිට්වරුන්ගේ ලෝහ සන්නාහ සහ සවිමත් අසිපත් නිර්මාණයත් සමඟ නයිට්වරුන්ගේ ප‍්‍රධාන කාර්යය වුණේ රටේ රජතුමා සහ රට ආරක්ෂා කිරීමය. නමුත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නොබියව සතුරන්ට මුහුණ දුන් ලෝහ සන්නාහය සහ හෙල්මට්ටුව පැලඳගෙන මුහුණ වසාගෙන සන්නාහවලින් සන්නද්ධ අසුපිට නැඟී වීර වික‍්‍රම කළ නයිට්වරුන් හමුවන්නේ 15 වැනි සියවසේදීය. මේ නයිට්වරු ජනතාවගේ වීරයෝ වූහ. තමන් ගැන නොසිතා අනුන්ගේ යහපත වෙනුවෙන් සටන් වදින වීරත්වයේ සංකේතය ලෙස නයිට්වරුන් සැලකිණ. ඔවුන් ගැන කතාන්දර, වීර කාව්‍ය නිර්මාණය විය. නඩු තීන්දුවලදී හා ඉඩම් ගැටලූවලදී නයිට්වරුන්ගේ මැදිහත් වීම හා ඔවුන් දුන් තීන්දු අවිවාදයෙන් පිළි ගැනීමට ජනතාව ඉදිරිපත් විය.

රජුට පක්ෂ නයිට්වරු
බොහෝ විට නයිට්වරු රටේ රජුගේ හිතවත්තු වූහ. නයිට්වරු හා රජු අතරේ බැඳීම ඉතා ශක්තිමත් එකක් විය. කැමලොට්හි ආතර් රජුගේ ප‍්‍රවාදවලින් කියවෙන්නේ ද ආතර් රජු හා ඔහුගේ වීර නයිට්වරුන්ගේ එකමුතුවේ හපන්කම් ගැනයි. රජු හා සහයෝගයෙන් කටයුතු කරන නයිට්වරු රටේ හමුදාවේ ජෙනරාල්වරුන් මෙන් යුද සැලසුම්, පහරදීම් සිදු කරන ආකාරය මෙන්ම රටේ දේශපාලන කටයුතු පිළිබඳවත් රජු සමඟ සාකච්ඡුා කළහ.

ඉතිහාසයේ නම රැඳවූ නයිට්වරු
නයිට්වරුන් අතරින් වඩාත් ප‍්‍රසිද්ධියට පත් වී සිටින්නේ ‘ටෙම්පලර් නයිට්වරුන්’ය. මොවුන් කුරුස යුද්ධයේදී දස්කම් පෑමට සමත් වූ නිසා ප‍්‍රසිද්ධියට පත්වූහ. ජෙරුසලම නගරය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා විසූ කිතුනු බැතිමතුන්ගේ පූජා භූමියක්ව පැවැතිණි. නමුත් 11 වන සියවසේදී ජෙරුසලමේ පාලනය මුස්ලිම් බැතිමතුන් වන ටර්ක්වරුන්ගේ අතට පත්විණි. මොවුන් යුරෝපයෙන් පැමිණෙන කිතුනු බැතිමතුන්ට ඔවුන් වරින් වර පහර දෙන්න පටන් ගත් නිසා 1095 වසරේදී 2 වැනි අර්බන් පාප්තුමා ටර්ක් මුස්ලිම්වරුන්ට එරෙහිව ශුද්ධ යුද්ධයක් ආරම්භ කිරීම ඇරඹුවේය. එහි අරමුණ වූයේ කිතුනු බැතිමතුන් සඳහා ජෙරුසලම, මුස්ලිම් ටර්ක්වරුන්ගෙන් මුදවා ගැනීමයි. මෙයයි, පළමු කුරුස යුද්ධය. ටෙම්ප්ලර්වරුන් මුලින් ම කළේ ශුද්ධ දේශයට වන්දනාවේ ගිය කිතුනු බැතිමතුන්ට රැකවරණ සැලසීමයි. මේ පිරිස 1118 දී ශුද්ධ දේශයේ එනම් ජෙරුසලමේ මහ දේවස්ථානය අසල රඳවනු ලැබූහ. ඔවුහූ පසුව ටෙම්ප්ලර් නමින් ආගමික නිකායක් ද පිහිටුවා ගත්හ.


ටෙම්ප්ලර් නයිට්වරුන්ට අමතරව කුරුස යුද්ධයේදී ශාන්ත ජෝන් හා ජර්මන් නයිට්වරු ද කැපී පෙනුණහ. ශාන්ත ජෝන් නයිට්වරුන් ලෙස හැඳින්වෙන්නේ කුරුස යුද්ධවල දී තුවාලකරුවන්ට හා අතරමගදී රෝගී වන වන්දනාකරුවන්ට ප‍්‍රතිකාර කළ පිරිසයි.

පුංචි කාලේදීමයි පුහුණුව ලැබෙන්නේ
නයිට්වරයකුට පුහුණුව ලැබෙන්නේ කුඩා කාලයේ සිට ම ය. නයිට්වරයකු වීමට සුදුසු යැයි තෝරා ගන්නා පිරිමි ළමුන්ව නයට්වරයකු ලෙස පුහුණු කිරීම සඳහා ඔවුන්ගේ ඥාතියකුට හෝ වංශාධිපතියකුට භාර කෙරේ. මෙහි දී මෙම ළමුන්ට කඩු හරඹ ඇතුළු තවත් යුද ශිල්ප උගන්වනු ලැබේ. එපමණක් නොවේ අසුන් පිට යෑම, අසුන් මෙල්ල කිරීමට ද ඉගැන්වේ. මෙම ළමුන් අවුරුදු 17 ක් හෝ 20 ක් වූ පසු නයිට්පදවිය ලැබෙන්නේ විශේෂ උත්සවයකින් පසුවයි. සාමාන්‍යයෙන් සාමකාමී කාලයක නයිට්වරයෙක් වසරකට දින 40 ක් තම සේවය රටට දීමට පොරොන්දු වෙයි. යුද කාලයේදී ඒ කාලය තවත් දීර්ඝ වෙයි. නයිට්වරයෙක් සිදු කරන කැප කිරීම වෙනුවෙන් රජුගෙන් ඔහුට වස්තුව තෑගි වශයෙන් ලැබේ. ඔහුට ම කියා වතුපිටි මෙන් ම රජමැඳුරේ නිසි තැනක් ද හිමිවෙයි.

Post a Comment

2 Comments

  1. Knight varu gana hari avabodhayak labune lipiya kiyaveemen pasuvay. Godak Sthuthiy.Vividha de gana hodha danumak Malkakulu thulin api laba gannava.

    ReplyDelete
  2. හ්ම්ම්ම් බොහොම වැදහත් ලිපියක් අද කාලේ ගොඩක් දෙනෙක් දන්නේ නැති උනාට ඔය සර් කියන්නේ නයිට් වරුන්ටම තමයි ඒ කාලේ සර් කියන්නේ නයිට් වරයෙක්ටම විතරයි. අද කාලේ පොල් කඩන එකාටත් සර් කියනවා පොලිසියේ කොස්සටත් සර් කියනවා පාරේ දකින බල්ලාටත් සර් කියනවා ඒ සර් කියනවචනේ සම්පූර්ණම කාල තියෙන්නේ. ලංකාවේ මිනිස්සුයි ඉන්දියන් කාරයොයි.

    ReplyDelete