HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කැල්කියුලේටරයට පෙර ඉපදුන කැල්කියුලේටරයක් වැනි ෆ්ලූවරි

ඔබ සමහර විට අහලා ඇති මෝඩකමයි නුවණක්කාරකමයි අතර තියෙන්නෙ ඉතාමත් තුනී සීමා ඉරක් කියල. මං කියන්න කැමතියි, එහෙමවත් සීමා ඉරක් නැති අවස්ථාත් තියෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, ඒ දෙකම එකම මොළේක තියෙන අයත් ඉන්නවා. මේ එහෙම කෙනෙක් ගැන කතාවක්.


බි‍්‍රතාන්‍යයේ සිටි ලෝක ප‍්‍රකට මානසික විශේෂඥයකු වූ වෛද්‍ය ඒ.ෆ්. ටෙ‍්‍රඞ්ගෝල්ඞ් විසින් 1914 දී පළ කළ ඔහුගේ ‘මානසික ඌනතාව’ (Mental Deficiency) නම් පොතේ එක් තැනක එම්. ෆ්ලූවරි නම් පුද්ගලයකු ගැන සඳහන් කරනවා. ඔහු ඔහුගේ මුළු ජීවිත කාලයම වාගේ ප‍්‍රංශයේ ආමෙන්ටියරස් නම් මානසික අනාථාගාරයක ගත කළ අහිංසක පුද්ගලයෙක්.

ෆ්ලූවරි උපදංශය වැළඳුණු දෙමාපියන්ට දාව උපන් දරුවෙක්. ඔහු උපන්නේම අන්ධ බෙලහීන මනසක් ඇති දරුවකු ලෙසයි. කුඩා කාලයේ ම අතහැර දමන ලද දරුවකු වූ ඔහු හැදුණේ වැඩුණේ අනාථ නිවාසයකයි. ඔහුට මනෝමයෙන් ගණන් හදන්නට හැකියාව ඇති බව මුලින් ම හෙළි වූයේ එහි සිටියදීයි. ඔහුට එදිනෙදා ජීවිතයේ යහපත් පුරුදු කියා දීම නිෂ්ඵල කි‍්‍රයාවක් වුණා. එසේ කියා දෙන යමකින් ඔහුගේ මතකයේ රැඳුණේ ඉතා සුළු ප‍්‍රමාණයක් විතරයි. කිසිදෙයක් හරිහැටි කළ නොහැකි දරුවකු ලෙස ඔහුට සලකනු ලැබුවා. හිස පහතට නවා ගෙන, අරමුණක් නැතිව ඔහු ජීවත් වූ අනාථ නිවාසය පිහිටි බිමෙහි ඔබ මොබ යමින් දිවි ගෙවූ ඔහුගෙන් කිසිවකුටත් කරදරයක් වුණේ නැහැ. එහි සිටි කවුරුනුත් සැලකුවේ ඔහු උපන් මෝඩයකු ලෙසයි.

එහෙත් ඉඳහිට අවස්ථාවක ඔහු තම මෝඩකම ඉවතලා සිය බුද්ධි මහිමය ප‍්‍රදර්ශනය කරමින් විද්‍යාඥයන් මවිත කළා. ඒ ඔහුගේ එසැණ ගණන් සෑදීමට ඇති හැකියාව පරීක්ෂා කරන්නට උගතුන් හා බුද්ධිමතුන් එක් රැස් වූ අවස්ථාවල දීයි. ඒ හැම අවස්ථාවක දීම ඔවුන් පිටව ගියේ ෆ්ලූවරිගේ බුද්ධි මහිමය ගැන මවිතයට පත් වෙමිනුයි. ඔවුන් දෙන  ඕනෑම ගණනක් තත්පර කීපයක් ඇතුළත මනෝමයෙන් සාදා උත්තරය එසැණ කියන්නට ඔහුට හැකියාව තිබුණා. ඒ හැකියාව ඔහුට ලැබුණේ කෙසේ දැයි කියන්න ඒ කිසිවකුටත් බැරි වුණා. ඔහුට විසඳන්නට බැරි ගණනක් නිර්මාණය කිරීමත් ඒ අයට නොහැකි වුණා.

වරක් යුරෝපයේ ඉහළම උගතුන් හා ගණිතඥයන් දොළොස් දෙනකු ඔහු පරීක්ෂා කිරීමට ආවා. ෆ්ලූවරි ඔවුන් සිටි කාමරයට ගෙන එනු ලැබුවේ ඔහු සුපුරුදු දක්ෂකම් පෙන්වන්නටයි. ඔහු ඒ කාමරයේ බිත්තියට හේත්තු වී බලා සිටියා. තමා නොහඳුනන පිරිසක් ඉදිරියට පැමිණවීම නිසා ඇතිවූ ලජ්ජාශීලී ගතියක් ඔහු වෙතින් පළ වුණා. මුහුණේ හිස් බැල්මක් සහිත මෝඩ සිනාවක් ද රැඳී තිබුණා. උගත් පිරිස ඔවුන්ගේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළා. ෆ්ලූවරි සමග සිටි ඒ ආයතනයේ සේවකයා උගත් පිරිසගේ ප‍්‍රශ්නය ඔහුට ඇසෙන සේ කියෙව්වා.

ප‍්‍රශ්නය මේකයි: ‘ඔබට පෙට්ටි 64ක් ලැබෙනවා. ඒ පෙට්ටිවල දමන්න වී ඇටත් ලැබෙනවා. මුල් පෙට්ටියට එක් වී ඇටයකුත් දෙවැනි පෙට්ටියට ඒ වගේ දෙගුණයකුත්, තුන්වැනි පෙට්ටියට දෙවැනි පෙට්ටියට දැමූ ගණන මෙන් දෙගුණයකුත් වශයෙන් වැඩි වන සේ ඒ පෙට්ටි 64ට ම වී දමන්නට නම් වී ඇට කොපමණ ගණනක් අවශ්‍ය වෙනවාද?’

ෆ්ලූවරි දිගටම මෝඩ විදියට හිනාවෙමින් ඒ උගත් පිරිසගෙන් මුහුණ සඟවා ගැනීමට උත්සහ කළා. තත්තපර කීපයක් ගෙවුණා. ඔහු ඒ ප‍්‍රශ්නය තේරුණාදැයි සේවකයා ඇසුවා. ඔහු හිස සලා තමාට ඒ ප‍්‍රශ්නය තේරුණු බව කීවා. ඔහුට ඊට උත්තර දිය හැකිදැයි අසනු ලැබුවා. ඔහු හිස සලා තමාට හැකි බව කිවා. ඒ උගත් පිරිස බොහෝ වෙහෙස මහන්සි වී සදාගෙන ආ ඒ ගැටලූව විසඳන්නට ඔහුට තත්පර 30කට වැඩි කාලයක් ගත වුණේ නෑ. යුරෝපයේ නන් දෙසින් පැමිණි ඒ උගත් පිරිස මවිත කරමින් ඔහු දුන් නිවැරදි උත්තරය මෙන්න:

18,446,744,073,709,551,616.

ප‍්‍රංශයේ පිහිටි මේ අනාථාගාරයේ ජීවත් වූ ෆ්ලූවරි වරින්වර ඔහුගේ අසාමාන්‍ය හැකියාව පරීක්ෂා කිරීම සඳහා විවිධ උගතුන් ඉදිරියට පමුණුවනු ලැබුවා. ඔවුන් අතර තාරකා විද්‍යාඥයන්, වාස්තු විද්‍යාඥයන්, බැංකුකරුවන්, ආදායම් බදු එකතු කරන්නන්, නැව් ඉදිකරන්නන් ආදී විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන් සිටියා. ඔවුන් හැම දෙනාම තම ක්ෂේත‍්‍රවලින් සොයා ගත් ගණිත ගැටලූයි ඉදිරිපත් කළේ. ඒ හැම එකක් ම ෆ්ලූවරි එසැණ විසඳුවා. ඔහු ඒ කිසිම ගණනකට තත්පර කීපයකට වඩා ගත කළේ නැහැ. ඔහුගේ මේ හැකියාව ඒ අයුරින් ම කළ හැකි වෙනත් අයකු තවත් දශක කීපයක් යන තෙක් පහළ වූයේ නැහැ. ඒත් එය කළ හැකි උපකරණයක් නම් පහළ වුණා. ඒ තමයි, 60 දශකයේ ආ ඉලෙක්ට්‍රොනික කැල්කියුලේටරය.

Post a Comment

2 Comments

  1. Kalakata ihathadi me kathavata kittu dakshakam athi ayek hamuvuna lankavedi.

    ReplyDelete