සිය ප‍්‍රබන්ධ තුළින් විස්මිත ලෙස අනාගතය දුටු දිවැසිවරයා - අද අප අත්දකින දේ එදා ඔහු දුටු හැටි!

ලෝකයට විද්‍යා ප‍්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප‍්‍රංශ ජාතික විද්‍යා ප‍්‍රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්.

ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප‍්‍රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප‍්‍රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි.



විද්‍යා ප‍්‍රබන්ධ කථා කලාව ආරම්භ වූයේ ඔහුගෙන්. ඔහු වඩාත් ලෝක ප‍්‍රසිද්ධියට පත් වූයේ Twenty Thousand Leagues Under the Sea ‘ලීග 20,000ක් මුහුද යටට’(1870),A Journey to the Center of the Earth පෘථිවිය මැදට ගිය ගමනක් (1864), Around the World in Eighty Days ලොව වටා දින 80කින් (1873), From the Earth to the Moon ‘පොළොවේ සිට සඳ බලා’ (1865) ඔහු විසින් ලියන ලද නවකතා නිසයි.

වර්න් අභ්‍යවකාශ ගමන්, ගුවන් ගමන් හා දිය යට ගමන් ගැන ‘අමුතු චාරිකා’ ලියූ කාලේ ගුවන් යානා හෝ ප‍්‍රායෝගික සබ්මැරීන හෝ නිපදවා තිබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, අභ්‍යවකාශ ගමන් ගැන නම් හිතලවත් තිබුණේ නෑ.

ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වූ ප‍්‍රබන්ධ කථා අතරින් ඔහුගේ නිර්මාණ දෙවැනි වන්නේ ඇගතා කි‍්‍රස්ටි නම් බි‍්‍රතාන්‍ය ලේඛිකාවගේ රහස් පරීක්ෂක කතාවලට පමණයි. ඔහුගේ පොත් වැඩි හරියක් සිනමාවට හෝ ටෙලිවිෂනයට නඟා තියෙනවා. ඒවා පදනම් කර ගෙන සජීවී කාටූන් චිත‍්‍රපට පවා තනා තියෙනවා.

‘විද්‍යා ප‍්‍රබන්ධ කථාවේ පියා’ යන විරුදාවලියෙන් පිදුම් ලත් ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන් තිදෙනා අතරින් වඩාත් ඉදිරියෙන් සිටින ලේඛකයා ජූල්ස් වර්න් තමයි. හියුගෝ ජර්න්ස්බැක් Hugo Gernsback හා එච්. ජී. වේල්ස් H. G. Wells අනෙක් දෙදෙනායි.


ජූල්ස් උපන්නේ හා කුඩා කල ජීවත් වුණේ වරාය නගරයක වුනත් ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ නගරයෙන් බැහැර ලෝ ඕ Loire ගඟබඩ පිහිටි බ‍්‍රයන්ස් ගමේ ගත කළ ගිම්හාන කාලවලටයි. ඒ කාලේ ඔහු සිය සොහොයුරා වූ පෝල් සමග ඒ ගෙඟ් බෝට්ටු පැද්දා. ඒ ගඟ හරහා එහා මෙහා ගිය නැව් දුටු ජූල්ස්ගේ සිතිවිලි පිබිදුණා. චාරිකා ගැන සිත ඇදී ගියේ ඒ කාලෙයි.

අවුරුදු නවයේ දී ජූල්ස්ට පෝල් සමග නේවාසික පාසලකට යන්න සිදු වුණා. ඒ සෙන්ට් ඩොනේෂියන් විදුහලටයි. ගවේෂණ චාරිකා ගැන හිතන්නත් ඒවා සැබෑ සිදුවීම් ලෙස ලියන්නත් ඔහුගේ සිත තදින් යොමු වුණේ ඒ කාලෙදියි. ඒ නිසා අනික් විෂයයන් කෙරෙහි ඔහුගේ ඇති දියුණුව විටෙක අඩාල වුණා. කෙසේ හෝ එහි අධ්‍යාපනය අවසන් කළ පසු ඔහුව පැරීසියට යවන්න ඔහුගේ පියා තීරණය කළා.

වෘත්තියෙන් නීතිඥයකු වූ ජූල්ස්ගේ පියා, පුතාත් ඒ මග යවනු අදහසින් නීතිය හැදෑරීමටයි පැරීසියට යැව්වේ. එහෙත් ජූල්ස් නීතිය ඉගෙනීම පසෙකලා ලේඛන කලාවට වැඩි තැනක් දෙන බව දනගත් පසු ඔහුට මුදල් එවීම ටිකෙන් ටික නතර කළා. ඒ නිසා අකමැත්තෙන් හෝ කොටස් වෙළෙඳ පොළේ තැරැව්කරුවකු ලෙස රැකියාවක් කරන්නට ජූල්ස්ට සිදු වුණා. මේ කාලයේ දී තමයි, ඔහුට වික්ටර් හියුගෝ හා ඇලෙක්සැන්ඩර් ඩූමාස් යන ලේඛකයන් හමු වුණේ. ඔවුන්ගෙන් ලේඛන කලාව ගැන ඔහුට ගුරුහරුකම් ලැබුණේ.

වර්න් විවාහ වුණේ 1857 දී, ඔනරීන් ඩි වියාන මොරල් නම් වැන්දඹුවක් සමගයි. ඇයට ඒ වන විට දූවරුන් දෙදෙනකු සිටියා. 1861 දී ඔහුට මයිකල් වර්න් නම් පුතා උපන්නා.

ජූල්ස්ගේ ඉරණම වෙනස් වූයේ ඔහුට තවත් ජූල්ස් කෙනෙක් හමුවීමෙන් පසුවයි. ඒ පියරේ ජූල්ස් හෙට්සෙල්. ඔහු පොක් ප‍්‍රකාශකයෙක්. 19 වැනි සියවසේ විසූ වඩාත් වැදගත් ප‍්‍රකාශකයා වුණේ ඔහුයි. ඔහු වික්ටර් හියුගෝ වැනි ප‍්‍රකට ලේඛකයන්ගේ පොත් ප‍්‍රකාශයට පත් කළ අයෙක්. වර්න්ගේ ලේඛන කලාව දියුණු කර ගැනීමට උදවු වූයේ ඔහුයි. අපි‍්‍රකාවට ඉහළින් බැලූනයකින් ගිය චාරිකාවක් ගැන වර්න් ලියූ පොතක් වෙනත් ප‍්‍රකාශයකු ‘විද්‍යාත්මක කරුණු වැඩියි’ කියා ප‍්‍රතික්ෂේප කළ විට හෙට්සෙල් එය කියවා නැවත ලියන්නට උපදෙස් දුන්නා. ඒ අනුව වර්න් එය නැවත ලිව්වා. දිග වැඩි දේශපාලන පණිවිඩ කෙටි කළා. සිනහ උපදවන යෙදුම් භාවිත කළා. වදන් ගොනු කිරීමේ දී රසවත්ව එය කිරීමට වැඩි අවධානයක් යොමු කළා. ඛේදාන්ත සුඛාන්ත බවට පත් කළා. 1863 දී ‘බැලූනයකින් සති පහක්’ ලියා පළ කළේ එහෙමයි.

එතැන් පටන් වර්න් වසරකට චරිකා වික‍්‍රම කතා ඇතුළත් වෙළුම් දෙකක් හෝ වැඩි ගණනක් ලියා පළ කරන්නට වුණා. ඒවා අතරින් වඩාත් සාර්ථක වූයේ A Journey to the Center of the Earth පෘථිවිය මැදට ගිය ගමනක් (1864), From the Earth to the Moon ‘පොළොවේ සිට සඳ බලා’ (1865), Twenty Thousand Leagues Under the Sea ‘ලීග 20,000ක් මුහුද යටට’(1870),Around the World in Eighty Days ‘ලොව වටා දින 80කින්’ (1873) ආදියයි. මෙයින් ‘ලොව වටා දින 80කින්’ නම් කතාව 1872 දී ලෙ ටෙම්ප්ස් සඟරාවේ කොටස් වශයෙන් පළ වුණා. මේ කතා සියල්ල ඇතුළත් පොත් පෙළ හැඳින්වුණේ ‘අමුතු චාරිකා’ යන අරුත් ඇති Voyages Extraordinaires යන නමිනුයි. වර්න්ට මේ අමුතු කතා කලාව නිසා ජීවත්වීමට තරම් ආදායමක් ලැබුණා. ඒ ආදායම වැඩි දියුණු වූයේ ඔහු වේදිකාවට විශේෂයෙන් සැකසූ ‘ලොව වටා දින 80කින්’ කතාව නිසයි. තවත් වේදිකා නාට්‍ය පිටපත් ගණනාවක් ම ඔහු ඒ කාලයේ ලිව්වා.


1867 දී වර්න් කුඩා නැවක් මිල දී ගත්තා. පසුව මුදල් අත මිට සරුවෙද්දී වඩාත් හොඳ නැවකටත් පසුව තවත් අලූත් නැවකටත් මාරු වුණා. ඔහු පි‍්‍රයතම විනෝදාංශය වූ යාත‍්‍රා කිරීමේ යෙදුණා. තුන්වැනි නැවෙන් ඔහු යුරෝපය වටා යාත‍්‍රා කළා. 1870 දී ඔහු නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.

ඔහුගේ මුල් නවකතාවෙන් පසු ඔහුගේ කතා බොහොමයක් ම හෙට්සෙල්ගේ ‘විනෝදයෙන් අධ්‍යාපනය’ යන අරුත් ඇති d'Éducation et de Récréation ප‍්‍රංශ බසින් කළ සඟරාවෙහි පළ වුණා. (මේ කාලයේ ම ඔහුගේ සොහොයුරු පෝල් ද චාරිකා කතාවක් හා කෙටිකතා එකතුවක් පළ කළා.) මේ වන විට ජූල්ස් වර්න් බොහොම පොහොසත්; ඒ වගේ ම ජනපි‍්‍රයයි. යුනෙස්කෝ ආයතනය පළ කළ වාර්තා අනුව ඒ කාලයේ වෙනත් භාෂාවලට පරිවර්තනය වුණු ලේඛකයන් අතර ඉහළ ම පස් දෙනා අතර වර්න් නමත් පළ වුණා.

මීට අවුරුදු 149කට පෙර, 1863 දී, ජූල්ස් වර්න් නවකතාවක් ලීවා, ‘විසිවන සියවසේ පැරීසිය’ යන අරුත් ඇති Paris in the Twentieth Century නමින්. ඒක විසිවැනි සියවසේ ජීවත් වූ තරුණයකු පිළිබඳ කතාවක්. ඔහු වාසය කළේ අහස උසට තැනුනු වීදුරු මැඳුරුවලයි. ගමන් බිමන් ගියේ අධිවේගී දුම්රියෙන්, එහෙම නැත්නම් ගෑස්වලින් දුවන මෝටර් රථවලින්. ඔහු භාවිත කළේ කැල්කියුලේටර, ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලා ඒ සියල්ල තිබිය දීත් ඔහු ජීවිතයේ සතුට තිබුණේ නැහැ. මේ කතාව සර්ව අශූභවාදී එකක් නිසා ඒ කාලේ වර්න්ට තිබූ ජනපි‍්‍රයත්වයට හානියක් වෙතැයි සැලකූ ඔහුගේ ප‍්‍රකාශක හෙට්සෙල් එය පළ කිරීම තවත් වසර 20ක් පසුව කරන්නට යෝජනා කළා. වර්න් ඒ අත්පිටපත පසෙකට දැම්මා. ඒ ප‍්‍රකාශකයාත් මිය ගියා. ඒක වර්න්ගේ ජීවිත කාලයෙදි මුද්‍රණය කෙරුණෙත් නෑ. ඔහුගේ මරණයෙන් බොහෝ කලකට පසු එය නැවත සොයා ගත්තේ වර්න්ගේ මීමුනුපුරා විසින් 1989 දියි. එය පළ වූයේ 1994දියි. ඒ සමගම ඔහුගේ තවත් නොපළ කෘතීන්, කෙටිකතා, නවකතා ආදිය ගණනාවක් ද පළ කෙරුණා.


ජූල්ස් වර්න්ගේ සැබෑ වූ නව නිපැයුම් 8ක්
ජූල්ස් වර්න් 2012 දී පැවැත්වීමට නියමිත ඔහු 184 වැනි උපන්දිනය තෙක් ජීවත්ව සිටියා නම් දිවැසිවර ලේඛකයකු ලෙස ඔහු එදා පෑ දස්කම් ගැන ඔහුත් මවිතයට පත් වෙනවා නොඅනුමානයි. ඉඩකඩ සීමිත නිසා එයින් සැබෑ වූ අටක් ගැන විතරක් විමසා බලමු.


1. විදුලි සබ්මැරිනය
ජූල්ස් වර්න් ඔහුගේ ‘මුහුද යටට ලීග 20,000ක්’ නම් කෘතියේ එන කපිතන් නීමෝ ලෝකයේ සාගර පත්ල තරණය කරන්නේ ‘නෞටිලස්’ Nautilus නම් යෝධ විදුලි සබ්මැරිනයෙන්. එදා ඔහු ඒ ගැන ලිව්වේ 1870 දියි. එදා ඔහු විස්තර කළ ඒ සබ්මැරිනය අද ඒවාට බොහෝ සේ සමානයි. මේ 1964 දී හැබෑවක් වුණු ඒ සබ්මැරිනය නම් කෙරුණේ ‘ඇල්වින්’ Alvin කියලයි. මෙය කි‍්‍රයා කරන්නට විදුලි බලය සැපයෙන්නේ ලෙඞ් ඇසිඞ් බැටරිවලින්.


2. රූපවාහිනී පුවත් විකාශය
1889 දී ‘2889 වසරේදී’ යනුවෙන් ලිපියක් ලියමින් තවත් අවුරුදු 1000කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි කියන ජූල්ස් වර්න් පුවත්පතට ආදේශකයක් බිහි වන බව කියා තියෙනවා. ”අර්ත් ක්‍රොනිකල්’ නම් ඒ පුවත්පත මුද්‍රණය කරනවා වෙනුවට සෑම උදයකම එහි ග‍්‍රහකයන් අමතා කතා කරනවා. එහි වාර්තාකරුවන්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා විද්‍යාඥයන් වැනි අයගේ මුවින්ම ඔබට එදා දවසේ පුවත් කෙළින්ම අසා ගන්න පුළුවන්” ඔහු මෙහෙම ලීවේ 1889දියි.

සැබැවින්ම පළමු ප‍්‍රවෘත්ති විකාශය 1920 වන තෙක් ආවේ නැහැ. ඒ අසොසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති විකාශය ආවේ වර්න් ඒ ගැන සඳහන් කර වසර 30කට පසුවයි. CBS ප‍්‍රවෘත්ති සේවය කියන විදියට ප‍්‍රථම ජාලගත ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති විකාශයක් ආවේ තවත් වසර 28කට පසුවයි. එදා, 1974 දී ඇමරිකන් ජනාධිපති රිචඞ් නික්සන් ඉල්ලා අස්වෙන අවස්ථාව මිලියන ගණනක් දෙනා ටෙලිවිෂනයෙන් දැක ගත්තා.


3. සූර්ය රුවල් යාත‍්‍රා
1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන අරුත් ඇති ෆ්‍රොම් ද අර්ත් ටු ද මූන්’ නම් කෘතියෙහි ආලෝකයේ ශක්තිය යොදා ගෙන පියාසර කළ අභ්‍යවකාශ යානයක් ගැන සඳහන් කර තිබුණා. ඒ තාක්ෂණයට එදා නමක් තිබුණේ නැහැ. එය අද හැඳින්වෙන්නේ සූර්ය රුවල් solar sails ලෙසයි. මෙහි දැක්වෙන්නේ නාසා ආයතනය කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන නැනෝසේල්-ඞී NanoSail-D යානයයි. ජපානය දැනටමත් සූර්ය පීඩනය හා සූර්ය කෝෂ යන දෙවර්ගයම යොදා ගත් දෙමුහුන් තාක්ෂණයෙන් යුත් සරුංගල් අභ්‍යවකාශ යානයක් අභ්‍යවකාශයට යවා තියෙනවා.

අද වර්න් ගෞරව ලබන්නේ අනාගතවක්තෘ ලේඛකයකු ලෙසයි. වර්තමාන තාක්ෂණයේ බිහි වී ඇති බොහෝ දේ ගැන ඒවා බිහිවෙන්නට බොහෝ කලකට පෙර ඔහුගේ ලේඛනවල පළ වුණා.


4. ලූනා මොඩියුල නම් චන්ද්‍ර යානා
ජූල්ස් වර්න් 1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන අරුත් ඇති ෆ්‍රොම් ද අර්ත් ටු ද මූන්’ නම් කෘතියෙහි ලූනා මොඩියුල ගැන සඳහන් කර තිබුණා. නාසා ආයතනය යැවූ රොකට්ටුව මුදුනේ රඳවා යවන ලද කේතුවක හැඩ ගත් ලූනා මොඩියුලය පමණක් නොව එය ප‍්‍රක්ෂිප්තයක් සේ අහසට විදිය හැකි බවට ඔහු අනාවැකි පළ කළා. යෝධ තුවක්කුවකින් ගුරුත්ව බලය ඉක්මවා ගිය හැකි වේගයකින් ඉහළ විදිය හැකි බව කීවා. ඔහු ඒ නව නිපැයුම කි‍්‍රයා කරන ආකාරය විස්තර කරන්න දැඩි උත්සාහයක් ගත්තා. ඔහු ඒ අතින් එච්.ජී. වේල්ස්ට වැඩිය වෙනස්. වේල්ස් හඳ ගමනේ දී ගුරුත්වය බිඳින්නට යොදා ගත්තේ ද්‍රව්‍යයක්. වර්න් කීවේ ඒ සඳහා බල ප‍්‍රභවයක් යොදා ගත හැකි බවයි.


5. හැමෝටම බලන්න අහසේ ලිවීම
1889 දී ‘2889 වසරේදී’ යන ලිපියෙන් තවත් අවුරුදු 1000කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි පළ කළ ජූල්ස් වර්න් දැන්වීම් කලාව ගැන සඳහන් කරමින් කීවේ ‘වායුගෝලීය දැන්වීම්’ ඒ කාලයේ දී බිහිවන බවයි. මේවා කොයිතරම් විශාල ද කීවොත් හැමදෙනාටම දැක ගත හැකි වෙනවා. අහසේ දිස් වෙන වලාකුළුවලින් පරාවර්තනය වන මේ දැන්වීම් මුළු නගරයකම, සමහර විට මුළු රටකටම විශාල ජනකායකට පෙනෙන සේ සැකසිය හැකි වෙනවා. එදා ඔහු කී දෙය මේ වන විටත් සැබෑ වී තියෙනවා.


6. වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම
1889 දී ‘2889 වසරේදී’ යනුවෙන් ලිපියක් ලියමින් තවත් අවුරුදු 100කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි පළ කළ වර්න් තව කී දෙයක් තමයි, වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම. වර්න් එය විස්තර කළේ ‘ෆෝනෝටෙලිෆෝටේ’ phonotelephote යනුවෙන් හඬ, රූප මුසුව ඈත දෙපළක සිට කතා කිරීමේ ක‍්‍රමයක් ලෙසයි. ඔහු එය සිදුවෙන හැටි විස්තර කළේ සංවේදී දර්පණ යොදා ගෙන රැහැන් මගින් එය කරනු ඇතැයි කියායි. වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීමේ තාක්ෂණය videoconferencing technologies අද අපට අලූත් දෙයක් නොවෙයි.


7. මිනිසුන් ගල් කරන ‘පිස්තෝලයක්’
‘ලීග 20,000ක් මුහුද යට’ විද්‍යා ප‍්‍රබන්ධයෙන් වර්න් වැඩියෙන් විස්තර කළේත් කාගෙත් වැඩි අවධානය යොමු වුනෙත් එහි යානයටයි. ඒත් එහි අමුතු අවියක් ගැනත් කියැවුණා. වර්න් කියූ විදියට ”ඒ අවියෙන් නිකුත් වුණේ සාමාන්‍ය බෝල (උණ්ඩ) නොවෙයි. වීදුරු බෝල විශේෂයක් ඒ වටා වානේ ආවරණයක් යොදා තිබුණා. බර වැඩි කරන්නට ඊයම් ගුළි යොදා තිබුණා. ඒවා හරියට කුඩා ලීඩන් බෝතල් වගෙයි. (ලීඩන් බෝතල් කියා කියන්නේ ඒ කාලේ ස්ථිත විදුලිය ගබඩා කරන්න යොදා ගත් බහාලූමක්) අධික විදුලි සැරයක් ඒ එකක තියෙනවා. ඒවායින් එකක් වැදුනොත් කොයිතරම් බලවන්තයෙක් වුනත් මැරිල වැටෙනවා.” ඒක හරිම ප‍්‍රබල අවියක්. ඒ අවිය හරියටම තවමත් නිපදවා නැහැ. ඒත් ඊට මඳක් සමාන එකක් දැන් නිපදවා තියෙනවා. ඒ තමා ‘ටාසීර්’ Taser කියන ඉලෙක්ට්‍රොනික පාලක මෙවලම, ඒකෙන් විදුලි සැරයක් නිකුත් කරන්න පුළුවන්.


8. උඩුගුවනට ගිය කැප්සියුලය මුහුදට පතිත වීම.
ජූල්ස් වර්න් 1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන නමින් ලියූ විද්‍යා ප‍්‍රබන්ධයෙන් කීවා හඳට ගිය යානය මුහුද පතිත ව පාවෙමින් තිබුණාය කියා. ඔහු එදා ඒ කතාවෙන් විස්තර කළේ ඔහුගේ සිතේ මවා ගත් දසුනක්. ඒත් සැබැවින් ම උඩුගුවනට මිනිසකු රැගෙන ගිය මර්කරි කැප්සියුලය ඒ අයුරින්ම මුහුදටයි පතිත වුණේ, 1961 දි.

19 වැනි සියවසේ තවත් ලේඛකයන් සිටියා, මේ වගේ අනාගතයේ එන නව තාක්ෂණික උපකරණ හා මෙවලම් ගැන ඔවුන්ගේ කතාවල ලියූ. ඒත් වර්න් මෙහිදී සුවිශේෂී වුණේ ඔහුගේ අපූරු චාරිකා අත්දැකීම් තුළ ඒවා ඇතුළත් කර තිබූ අපූරු ආකාරය නිසයි. බොහෝ විට ඔහු මේ නව නිර්මාණ යොදා ගත්තේ ඔහුගේ ප‍්‍රබන්ධය රසවත් කරන්නයි. එසේ නැතිව අනාගතයේ අත්‍යවශයෙන් බිහිකළ යුතු ප‍්‍රයෝජනවත් මෙවලම් හැටියට නොවෙයි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. hariyata divasin anagathaya desa bala kivva vage. Harima pudumai.Ohuge anavaki ekineka sathya vu hati karunu gonu kala obey lipiya anga sampoornay. Rasavath. Thanx malkakulu!

    ReplyDelete
  2. වැදගත් ලිපියක්.. ස්තුතියි...

    ReplyDelete
  3. මම ගරු කරන ලේඛකයෙක් තමා ජූල්ස් වර්න්. ඔහු ගැන වැඩි දුර තොරතුරු දැනගත්තේ මේ ලිපියෙන්... මේ වගේ විස්තර හොයාගෙන පළ කරනවාට ඔබට පිං !!!

    ReplyDelete
  4. ගොඩක් ගොඳ ලිපියක්.......ස්තුතියි..........

    ReplyDelete
  5. මුතුහර සඟරාවෙන් සහ විජය පත්තරෙන් තමා ජූල්ස් වර්න්ව මම හඳුනාගත්තේ...

    ReplyDelete