HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිහිමඬලේ ජීවය ගොඩ බිමින්, මුහුදින් නෙමෙයි. චාල්ස් ඩාවින් කී හරි! අලූත් ම අධ්‍යයනයකින්!

මිහිමත ජීවය ආරම්භ වූයේ ගොඩබිම උණුසුම් කුඩා විලකින් මිස සාගරයෙන් නොවෙයි - මීට වසර 140කට පෙර චාල්ස් ඩාවින් පළ කළ මේ අදහස දැන් නවතම පෙරළිකාර අධ්‍යයනයකින් ද සනාථ වී තියෙනවා. එම සොයා ගැනීම් ගැන ජාතික විද්‍යා ඇකඩමිය විසින් පළ කරන ලද වාර්තාවකට ඇතුළත් වෙනවා. මෙය එක්තරා ආකාරයකින් දැන ප‍්‍රචලිතව පවත්නා ජීවය ඇති වූයේ මහ මුහුදෙන් යන්නට විශාල අභියෝගයක් වනු නිසැකයි.

ජීවය හට ගත්තේ ගොඩබිමින් මුහුදෙන් නොවෙයි කී චාල්ස් ඩාවින්. 
මුල්ම ප‍්‍රාථමික සෛල ඇති වූයේ ‘කුඩා උණුසුම් පොකුණකින් - හරියටම හරියන රසායනික සංයුතියක් හා පරාජම්බුල කිරණ උදවු වුණා


මේ පිළිබඳව පර්යේෂණ කළ අය ඉපැරණි අභ්‍යන්තර බිම්වල ඇති ප‍්‍රධාන පාෂණවල හා සාගර පරිසරයේ විශ්ලේෂණයන් පෘථිවියේ මුල් ම සෛලවල ජාන ව්‍යුහය සමඟ සසඳා බැලූ බව සඳහන් වෙනවා.
මේ පර්යේෂණය කර ඇත්තේ ජර්මනියේ ඔස්නාබෘක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු වූ ආචාර්ය ආමෙන් මුල්කිඞ්ජානියන් ප‍්‍රමුඛ පර්යේෂකයන් පිරිසක්. ඔවුන්ගේ සොයා ගැනීම අනුව ජීවය බිහිවිය හැකි ද්‍රව්‍යවල හොඳම තුල්‍යතාව ඇත්තේ ගොඩබිම මිස සාගරයේ නොවන බවයි.

අභ්‍යන්තර භූමිවල බීජ රැක්ක විය හැකි තැන්වල, උණු දිය උල්පත් හා වර්තමානයේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ උණු දිය බුබුලූ වැනි තැන්වල, මුලින්ම සරලතම සෛල එක් රැස් වෙන්න ඇතැයිද යමහල් කි‍්‍රයාවලිය සකි‍්‍රය වීමෙන් පෘථිවි ග‍්‍රහයාගේ අභ්‍යන්තරයේ ඇති වූ විවරවලින් නිකුත් වූ විමෝචනයන් මේ සඳහා අවශ්‍ය උණුසුම සපයන්නට ඇතැයිද කියන මේ පර්යේෂකයන් ඒවායේ සංයුතිය සෛලවල අකාබනික රසායනය හා ඉතා හොඳින් සැසඳෙන බවත් කියනවා.

ඔවුන් කියන්නේ මේ ‘ජීවය බිහි වූ තොටිල්ල’ ගැඹුරු මුහුදේ අධි තාප තත්වවල වාසියත් කාබනික ද්‍රව්‍යවල පැවතීමත් අතින් කලින් සඳහන් කර තිබූ ආකාරයට සම්පූර්ණව ඇති බවයි.

මහාචාර්ය මුල්කිඞ්ජානියන් තවදුරටත් කියන්නේ, ”ඊට අමතරව, ගැඹුරු මුහුදේ ඇති භූගත තාප ශක්තියට වඩා ශක්ති ප‍්‍රභවයක් ලෙස සූර්යාලෝකයෙන් ලැබෙන තාපය මේ කටයුත්තේ දී වැඩි දායකත්වයක් සපයන්නට ඇතැයි” කියායි.

”මා හිතන්නේ නැහැ ජීවයේ සම්භවයට හිතකර පරිසරයක් සාගරවල තියෙනවා කියා. මිරිදිය පොකුණුවල ඊට වඩා හිතකර තත්වයක් තියෙනවා” නිව් සයන්ටිස්ට් සඟරාවට ප‍්‍රකාශයක් කරමින් හාවඞ් විශ්ව විද්‍යාලයේ නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයකු වන ජැක් ශොස්ටැක් කියනවා. ”මිරිදිය පොකුණුවල ලවණ සාන්ද්‍රතාව අඩුයි. ඒ නිසා මේද අම්ල පටක ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි” ඔහු වැඩිදුරටත් කියනවා.

ඒත් සමහර විද්‍යාඥයන් මේ නව අධ්‍යයනය දෙස බලන්නේ මඳක් සැකයෙන්. ඔවුන් කියන්නේ ජීවය බිහි වූයේ යැයි සැලකෙන වසර මිලියන 3.8කට පෙර පෘථිවිය මතුපිට ජීවය බිහි වීමට හිතකර තත්වයක් නොවූ බවයි. ඒ යුගයේ නිතරම පොළොව මතට අධික වේගයෙන් උල්කාපාත කඩා වැදුණු බවත් ඔවුන් තර්කයක් වශයෙන් ගේනවා.

ඇමෙරිකාවේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ පිහිටි උණුදිය උල්පතක්. මෙවැනි තැනකින් පෘථිවි අභ්‍යන්තරයේ යමහල් කි‍්‍රයාකාරිත්වයකින් නඟින අධික තාප දුමාරයක් මතු විය හැකියි.

යමහල් කි‍්‍රයාවලිය හේතුවෙන් පෘථිවි ග‍්‍රහයාගේ අභ්‍යන්තර විවරවලින් නිකුත් වන අධිකතාපයෙන් යුතු වාෂ්ප මෙම පොකුණුවල දී ඝනීභවනය වී නිසි අන්තරීක්ෂ ඛනිජ හා එක්වීමෙන් සෛල ඇති වීමට අවශ්‍ය ආරම්භය ලබා දුන්නා විය හැකියි. ඒ අනුව සෛල ඇතිවීමට අත්‍යවශ්‍ය ජෛවරසායන කි‍්‍රයාවලියක් බිහි වෙන්නට ඇති.

මෙහිද ඩාවින්ගේ න්‍යායේ මූලික අදහසට සමානකමක් තියෙනවා. එහි දී ඩාවින් කීවේ මිහිමත ජීවය ගොඩබිමෙහිදී ආරම්භ වී අනුක‍්‍රමයෙන් සාගර කරා සංක‍්‍රමණය වූ බවයි.

1871 දී ඩාවින් ඉංගී‍්‍රසි ජාතික උද්භිද විද්‍යාඥයකුට ලිපියක් යවමින් කියා ඇත්තේ ජීවයේ මුල් ගිනි පුපුර ආරම්භ වන්නට ඇත්තේ ‘කුඩා උණුසුම් පොකුණකින්’ විය හැකි බවයි.

මහාචාර්ය මුල්කිඞ්ජානියන් කියන්නේ මේ තත්වය යටතේ රසායනික පටක මතු වූවාට පසු කලෙක ජීවින් සාගර ආක‍්‍රමණය කළ බවයි.

”භූරසායන ප‍්‍රතිනිර්මාණයෙන් පෙන්නුම් කෙරෙන්නේ සෛල ඇති වීමට දායක වන රසායන අයන සංයුතිය සාගර පරිසරය තුළ නොපවතින බවයි. එහෙත් ගොඩබිම තුළ ඇති භූතාප පද්ධතිවල වාෂ්ප විමෝචන බහුල කලාපවල ඒ තත්වය පවතිනවා.” යයි ඔහු කියනවා.

”පරිණාමයේ පූර්ව සෛල අවස්ථා නොගැඹුරු පොකුණුවල දැකිය හැකියි. ඒවායේ ඝනීභවනය වෙමින් සිසිල් වූ භූතාප වාෂ්පවලින් යුත් පරිසරයක් තියෙනවා. ඒ සමගම සිදුරු සහිත සිලිකේට් ඛනිජ සමග මිශ‍්‍ර වූ ලෝහ සල්ෆයිඩ හා පොස්පරස් සංයෝග ද තියෙනවා.”

මෙතෙක් පැවති පොදු විශ්වාසය වූයේ මුල්ම මයික්‍රෝබ බිහි වූයේ සාගර පතුලෙන් බවයි. ඒ ගැඹුරු මුහුදේ පිහිටි ජලතාප විවරවලින් නිකුත්වන දුමාරය සහිත චිමිනි අසලයි.

Post a Comment

2 Comments

  1. Api hituwe deviyo loke mewwa kiyalane !

    ReplyDelete
  2. Unusum miri diya pokunakin Jeevin patan gath bavata Darwin idiripath kala mathayata hari yana adahas pasuva scientists la kiyala thibuna.Thanks Malkakulu me lipiyata!

    ReplyDelete