HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ධවල මන්දිරය සත්තු වත්තක්? : ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට සිටි සුරතල් සතුන්

ඇමෙරිකාව, හරියටම කියනව නම් ඇමෙරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයෙ බලවත්වම රටවල් අතර ඉහළින්ම ඉන්නෙ. ඒ හින්දයි එහි ජනාධිපතිවරයා ‘ලෝකෙට ලොක්කා’ හැටියට සැලකෙන්නෙ. අද ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා තමයි එරට පළමුවැනි පුරවැසියා ලෙසින් ගෞරව ලබන්නෙ. එතුමාගේ බිරිඳත් එරට ‘පළමුවැනි කාන්තාව’ එනම් ‘ෆස්ට් ලේඩි’ ලෙසින් ගෞරවයට පාත‍්‍ර වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට බිරිඳට පමණක් නොවෙයි දූ දරුවන්ටත් එයාලගේ සුරතල් සතුන්ටත් ඒ විදියට ම ගරු කරනවා. ඔබාමාගේ දියණියන් දෙදෙනා හඳුන්වන්නේ ‘ෆර්ස්ට් ඩෝටර්ස්’ නැතිනම් ‘පළමු දූවරු’ කියලයි. ඒ වගේමයි ඇමෙරිකා ජනපති මැඳුරට යන බලූ සුරතලා හැඳින්වෙන්නෙත්. ‘ෆර්ස්ට් ඩෝග්’ නැතිනම් ‘පළමු සුනඛයා’ කියලයි. ඒ විදියට ලෝකයේ ජීවත් වන සියලූම බලූ යාළුවන්ගේ ‘ලොක්කා’ තමයි ඇමෙරිකානු ජනාධිපතිගේ බලූ සුරතලා.



ජනාධිපති ධූරයට පත් වූ පසු තම දියණියන් දෙදෙනාට දුන් ඡුන්ද පොරොන්දුවක් ඉටු කිරීමට ඇමෙරිකානු ජනාධිපති බැරුක් ඔබාමා කටයුතු කළා. මේ ඡුන්ද පොරොන්දුව තමයි ධවල මන්දිරයට බලූ සුරතලෙක් ගෙන ඒම. ඔබාමාගේ සිඟිති දියණියන් දෙදෙනා වන හත් හැවිරිදි සාෂා සහ 10 හැවිරිදි මලීයා සුරතල් බල්ලකුට හුඟක් ආසා කළත් ලොම් ඇති සතුන්ට මලීයා දක්වන අසාත්මිකතාව හේතුවෙන් ඊට බාධා ඇතිවුණා. මලීයාට ගැලපෙන බලූ සුරතලූන් සිටින්නේ වර්ග දෙකකි. ඒ ‘පෘතුගීස් වෝටර් ඩෝග්’ බල්ලන් සහ ‘ලැබ්රඩූඞ්ල්’ වර්ගයේ බල්ලන්ය. ඒ නිසා අවසානයේදී ඔබාමා පවුලේ උදවිය සමඟ ජීවත් වීමට ධවල මන්දිරයට පැමිණි බලූ යාළුවා වුණේ මාස හයක් වයසැති ‘පෘතුගීස් වෝටර් ඩෝග්’ වර්ගයේ බල්ලෙකි. එයාගේ නම තමයි ‘බෝ’.


ඔබාමා සහ පවුලේ අයට මේ ‘බෝ’ තෑගි කළේ ඇමෙරිකාවේ තවත් ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩිගේ මල්ලී වන සෙනෙට් මන්තී‍්‍ර එඞ්වඞ් කෙනඩි සහ ඔහුගේ බිරිය වික්ටෝරියා විසින්. තද කළු පාට මේ බලූ සුරතලාට ‘බෝ’ යනුවෙන් නම දැම්මේ ඔබාමාගේ දියණියන් දෙදෙනායි. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට පත් වූ දා සිටම ලොව පුරා කාගේත් අවධානය යොමු වුණේ හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරු මෙන් ඔබාමාගේ බලූ සුරතලා වන්නේ කුමන වර්ගයේ බල්ලකුදැයි යන්නයි. මලියාගේ අසාත්මිකතාව නිසා බොහෝ රටවලින් නොයෙක් වර්ගවල බලූ සුරතලූන් යෝජනා කර තිබුණා. ඔබාමාට හිමි වන්නේ කුමන වර්ගයක බල්ලකු ද යන වග ධවල මන්දිරයේ හොඳින් රැකුණු රහස්වලින් එකක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මේ බලූ සුරතලා ‘බෝ’ යනුවෙන් නම් කර තිබෙන්නේ ‘බෝ ඩිඞ්ලි’ නම් ඇමෙරිකානු ගායකයා සිහිවීම පිණිසයි.

‘බෝ’ ඔබාමාට තෑගි කළ මැසචුසෙට් ජනපදයේ සෙනෙට් මන්තී‍්‍ර එඞ්වඞ් කෙනඩි සහ ඔහුගේ බිරිය ළඟ පෘතුගීස් වෝටර් ඩෝග් වර්ගයේ බල්ලන් කීප දෙනෙක්ම ඉන්නවා. ”අපට හරිම සතුටුයි මලීයා සහ සාෂාට බෝ ලැබීම ගැන. පෘතුගීස් වෝටර් ඩෝග් වර්ගයේ බල්ලෝ හරිම අපූරුයි. හොඳට කියන දේ අහනවා. ඒ වගේමයි හරිම කීකරුයි. අපට විශ්වාසයි ඔබාමා සහ මිෂෙල් ආර්යාවත් බෝට හුඟක් ආදරේ කරාවි” කෙනඩි මන්තී‍්‍රවරයා මාධ්‍ය හමුවේ කියයි. ”අපි කොතරම් ආදරේ කළත් බෝට මගේ ඇඳට ගොඩ වෙන්න නම් ඉඩ ලැබෙන්නේ නෑ.” කෙනඩි මන්ත‍්‍රීවරයාට පිළිතුරු දෙමින් මාධ්‍යවේදීන් හමුවූ ඔබාමා විහිළුවක් කිරීමට ද අමතක කළේ නැහැ. එමෙන්ම පෘතුගීස් වෝටර් ඩෝග් වර්ගයේ බල්ලන් තක්කාලිවලට හුඟක් පි‍්‍රය කරන නිසා මිෂෙල් ඔබාමා ධවල මන්දිර ගෙවත්තේ සැකසූ එළවළු පාත්තියට බෝගෙන් තර්ජනයක් වේවි යැයි මිෂෙල් බිය පළ කරනවා.

ධවල මන්දිරයේ බලූ සුරතලූන් හැමවිටම වඩාත් ප‍්‍රසිද්ධියට පත්වුණත්, ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට සිටි සුරතල් සතුන් අතරේ සර්පයන්, ගවයන්, අශ්වයන්, අලියන්, බකමූණන් මෙන්ම හිපපොටේමස් සත්වයකු ද සිටි බව ඇසුවොත් ඔයාලා පුදුම වේවි.

ජනාධිපති බුෂ්ගේ සුරතල් සතුන්
හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට සිටින්නේ ‘බාර්නී’ සහ ‘මිස් බීස්ලි’ යන ස්කොටිෂ් ටෙරියර් බලූ සුරතලූන් දෙදෙනා පමණක් නොවේ. ඔහුට තවත් බලූ සුරතලකු සිටියා. එයාගේ නම ‘ස්පොටි’. ‘ස්පොටි’ ඉංග්ලිෂ් ස්ප‍්‍රින්ජර් වර්ගයේ බල්ලෙක්. බුෂ් ජනාධිපතිවරයාගේ සුරතල් පූසාගේ නම ‘ඉන්දියා’ එහෙම නැතිනම් ‘විලී’ කියලත් එයාට ආදරේට කියනවා. මේ බළල් සුරතලා වසර 10 ක් පුරා බුෂ් පවුලේ සාමාජිකයෙක්. බුෂ් ජනාධිපතිවරයාට තියෙනවා ටෙක්සාස් ජනපදයේ විශාල ගොවිපළක්. මේ ගොවිපළේ ඉන්නවා බුෂ් ජනාධිපතිවරයා හුඟක් ආදරේ කරන ගවයෙක්. එයාගේ නම තමයි ‘ඔෆීලියා’. මේ ගවයාට ‘ඔෆීලියා’ කියලා නම් කළේ ජනාධිපතිවරයා ටෙක්සාස් ජනපදයේ ආණ්ඩුකාරවරයා වී සිටිද්දී ඔහුගේ කාර්යාලයේ වැඩකළ සේවිකාවක් සිහිවීම පිණිසයි. ඇමෙරිකානු වනාරක්ෂක දෙපාර්තමේන්තුවේ (U.S. National Park Service) පැට් ෆෙනිංග් ධවල මන්දිරට ගිය සුරතලූන් ගැන ප‍්‍රවීණයෙක්. ඔහු පවසන්නේ ධවල මන්දිරයට යන බලූ සුරතලූන්ට අසීමිත නිදහසක්, ආදරයක් මෙන්ම ලොකු අවධානයක් ද ලැබෙනවා කියලයි. ”ධවල මන්දිර බලූ යාළුවන් හරිම මිත‍්‍රශීලීයි. එයාල ධවල මන්දිරය පුරා ඇවිදිනවා. අපට වගේ නොවේ එයාලට යන්න එපා කියන්න තැනක් නැති තරම්.” පැට් ෆෙනිංග් පවසයි.


ධවල මන්දිරය සත්තු වත්තක් ?
අතීත ඇමෙරිකානු ජනාධිපතිවරු අපූරු අපූරු සුරතලූන් ධවල මන්දිරයට ගෙනා බව ෆෙනිංග් පෙන්වා දෙනවා. 6 වැනි ඇමෙරිකානු ජනාධිපති ජෝන් ක්විංසි ඇඩම්ස්ගේ බිරිය සුරතලේට පට පණුවන් ඇති කර තිබෙනවා. 31 වැනි ජනාධිපති හර්බට් හූවර්ට ඔපොසම් සතකු ද 30 වැනි ජනාධිපති කැල්වින් කූලිජ්ට රැකූනයකු ද සිටි බව වාර්තා වෙනවා. මේ රැකූනයා නම් කර තිබුනේ ‘රෙබෙකා’ යනුවෙනි. 26 වැනි ඇමෙරිකානු ජනාධිපති තියෙඩෝර් රූස්වෙල්ට් දරුවෝ හය දෙනකු සිටියා. මේ හය දෙනාට අපූරු සුරතලූන් රැසක් සිටි බව පැවසෙනවා. සර්පයන්, බල්ලන්, බළලූන්, බැජරයකු, කුරුල්ලන් වගේ ම රට හාවකු ද ඒ අතර සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.


රූස්වෙල්ට්ගේ සුරතල්
රූස්වෙල්ට් ජනාධිපතිගේ පුතුන්ගෙන් දෙදෙනෙක් තමයි, ආර්චී සහ ක්විංටන්. අර්චීට සරම්ප වැළඳී සිටිද්දී දඟකාර ක්විංටන් ඔහුගේ සිත සතුටු කරන්න හරි අපූරු දෙයක් කළා. එයා පෝනියෙක් සහ තවත් සත්තු කීප දෙනෙක් ධවල මන්දිරයේ සෝපානයට පටවාගෙන ඉහළ මහළේ පිහිටි ආර්චීගේ නිදන කාමරේට අරගෙන ගියා. එක් වතාවක් ක්විංටන් සුරතල් සතුන් විකුණන වෙළඳ සැළකින් සර්පයන් මිලදී ගත්තා. ඔහු ඔවුන්ව අරන් ගියා ධවල මන්දිරයට. ඔහුට  ඕනෑ වුණා සර්පයන් ඔහුගේ තාත්තාට පෙන්වන්න. ඔහු සර්පයන් ද අතැතිව ධවල මන්දිරයේ  ඕවල් කාර්යාලයට දුවගෙන යද්දී වැදගත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණා. කවුරු කවුරුත් හොඳටම කලබල වුණා.


ධවල මන්දිරයේ බැටලූවෝ ?
පළමු ලෝක යුද සමයේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස රාජකාරි කළේ වුඞ්රෝ විල්සන්. ඔහු තමයි ඇමෙරිකාවේ 28 වැනි ජනාධිපතිවරයා. ඔහු ධවල මන්දිර තණ පිට්ටනියේ බැටලූ පට්ටියක් ඇති කළා. ඔහු ධවල මන්දිර තණ පිට්ටනියේ බැටලූවන් ඇති කළේ යුද්ධය වෙනුවෙන් සහය පළ කිරීමට බවයි ෆිනෙගන් පවසන්නේ. ”වුඞ්රෝව් විල්සන් උත්සහ ගත්තේ යුදමය කටයුතු මුදල් ඉතිරි කරමින් ඔහුගේ දායකත්වය ලබා දෙන බව පෙන්වන්නයි. ඒකයි තණකොළ කපා දමන්න සේවකයන් නොගෙන බැටලූ පට්ටියකගේ නොමිලේ සේවය ලබා ගන්නටයි.” ෆිනෙගන් පෙන්වා දෙයි. විල්සන් ඇතිකළ බැටලූවන්ගෙන් ලබා ගත් ලොම් ඇමෙරිකානු රතු කුරුසය වෙනුවෙන් මුදල් ඉපැයීම සඳහා වෙන්දේසි කළ බව ධවල මන්දිර කාර්යය මණ්ඩල සාමාජික ජෝන් රයිලි පවසයි.

විදෙස් රටවලින් ලැබුණු ‘සුරතල්’ තෑගි
විදෙස් රාජ්‍ය නායකයන් අතින් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලබා දුන් තෑගි අතරේ හරිම අපූරු සතුන් දැකගන්න පුළුවනි. 15 වන ඇමෙරිකානු ජනාධිපතිවරයා ව සිටි ජේම්ස් බුකනන්ට එවකට සියම් දේශයේ (වර්මාන තායිලන්තයේ) රජතුමාගෙන් මහා පරිමාණයේ තෑග්ගක් ලැබුණා. ඒ පුංචි පහේ ‘සද්දන්ත’ අලි රංචුවකි. ඒ වගේමයි අටවැනි ජනාධිපති මාටින් වෑන් බූරන්ට  ඕමානයේ සුල්තාන් වරයාගෙන් ව්‍යාඝ‍්‍ර පැටවුන් දෙදෙනෙක් තෑගි ලැබුණා.

ධවල මන්දිරයේ බලූ සාද
ධවල මන්දිර බලූ සුරතලූන් ගැන අපූරු රසබර කතා තියෙනවා. 29 වැනි ජනාධිපති ජෝන් හාඩිං සහ ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ බලූ සුරතලාගේ උපන්දිනය ධවල මන්දිරයේ සැමරූ අතර මෙම උපන්දින සාදය සඳහා ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගේ බල්ලෝ සහභාගී වන අතර මෙම බල්ලන් වෙනුවෙන් සුවිශේෂී සංග‍්‍රහයක් ද පැවැත්වුණා.

පවුල් පිටින්ම ධවල මන්දිරයට
ධවල මන්දිරයට ගිය පිය පුතු දෙදෙනා තමයි ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්. මේ දෙන්නා වගේමයි මේ දෙන්නාගේ බලූ සුරතලූන් දෙදෙනාත් නෑදෑයෝ. මතකයි නේද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට ‘ස්පොටි’ කියලා බල්ලෙක් සිටි බව කීවා ? ස්පොටීගේ අම්මා ‘මිලී’. ‘මිලී’ කියන්නේ බුෂ්ගේ තාත්තා ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ බලූ සුරතලායි. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ජනාධිපති ලෙස රාජකාරි කරද්දී 2003 වසර දක්වාම ‘ස්පොටි’ ධවල මන්දිරයේ පදිංචි වී සිටියා. 2003 වසරෙන් පසුවයි, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපතිවරයාට ‘බාර්නී’ සහ ‘මිස් බීස්ලි’ යන ස්කොටිෂ් ටෙරියර් බලූ සුරතලූන් දෙදෙනා ලැබුණේ.


ඔබාමාට පෙර සිටි ජනාධිපතිවරු 10 දෙනා සහ ඔවුන්ගේ බලූ සුරතලූන්

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (2001-2008) : මිස් බීස්ලී, බාර්නී සහ ස්පොටි

බිල් ක්ලිංටන් (1993-2001) : බඞී

ජෝර්ජ් බුෂ් (1989-1993) : මිලී

රොනල්ඞ් රේගන් (1981-1989) : ලකී

ජිමී කාටර් (1977-1981) : ගි‍්‍රට්ස්

ජෙරල්ඞ් ෆෝඞ් (1974-1977) : ලිබර්ටි

රිචඞ් නික්සන් (1969-1974) : විකී, පාෂා සහ කිංග් ටිමාහෝ

ලින්ඩන් බී ජොන්සන් (1963-1969 ) : හිම් ඇන්ඞ් හර් බලූ සරතලූන් දෙදෙනා, බ්ලැන්කෝ සහ යුකී

ජෝන් එෆ් කෙනඩි (1961-1963) : චාලී

ඩවයිට් ඞී. අයිසන්හවර් (1953-1961) : හයිඞී

Post a Comment

2 Comments

  1. Kohomath oye ratavala surathal sathun sapa vidhinava hugak ratavala kanna bonna nethi asarana minisunta vadaa.

    ReplyDelete