HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා

හිපෝ දිවා කාලය ගත කරන්නේ ගංගාවක, විලක හෝ වැවක පතුළේ ගිලී සිටිමිනුයි. කෑම සොයමින් ගොඩට පැමිණෙන්නේ සවස් කාලයේ අඳුර වැටුණාමයි. ඔවුන් කෑම සොයමින් දුර ගමන් කරන්නේ නැහැ. ප‍්‍රධාන ආහාරය තමයි, තණ කොළ වර්ග. හිපෝ පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන හිපෝ සහ ප‍්‍රමාණයෙන් කුඩා පිග්මි හිපෝ. මේ හිපෝ විශේෂයන් දෙකම දකින්න ලැබෙන්නේ සමකයට ආසන්නයේ අපි‍්‍රකානු රටවලයි. ගොඩබිම වාසය කරන තුන්වැනියටම විශාල සත්ත්වයා වන්නේ හිපපොටේමස්. පළමු ස්ථානය හිමි වන්නේ අලියාට. දෙවැනි ස්ථානය සුදු රයිනෝසිරස්ට.



හිපපොටේමස් කෑමට හරිම කෑදරයි. විශාල ප‍්‍රමාණවලින් තණ බුදින්න ඌට හැකියාව තිබෙනවා. විශාල හිපෝ ගහණයක් සිටිනවා නම් උන් රංචු වශයෙන් කෑම සොයා යද්දී තණබිම් විනාශ වෙනවා. හිපෝ කියන්නේ බර සිරුරක් ඇති සත්ත්වයෙක් ඒ නිසාම එම ප‍්‍රදේශවල පාංශු ඛාදනය ඇති වන අවස්ථා පවා දකින්න ලැබෙනවා.

කවුරුත් හොඳින් දන්න පොදු හිපෝ
‘පොදු හිපපොටේමස්’ (Common Hippopotamus) කියලා කියන්නේ ප‍්‍රමාණයෙන් හුඟක් විශාල ප‍්‍රචණ්ඩකාරී සත්ත්වයකුටයි. අලියාට අමතරව ගොඩබිම වාසය කරන, බර අතින් දෙවැනි තැන ගන්නා සත්ත්වයා තමයි, හිපෝ. ප‍්‍රමාණයෙන් විශාල වුනත්, බැරලයක් වැනි යෝධ වටකුරු සිරුරක් තිබුණත්, හිපෝගේ පාද කෙටියි. තරබාරු වුණාට වේගයන් ගමන් කරන්නත් දක්ෂයි. ජලාශයක් වෙත යන හිපෝ කෙනකුට හරස් වන ඕනෑම අයකුට පහර දෙන්නත් හිපෝ පසුබට වෙන්නේ නැහැ.

සම සුරකින හිපෝ
හිපෝගේ සම සුමුදුයි. ලොම් ඇත්තේ නැහැ. නාසයේ, කන්පෙතිවල හා වල්ගයේ ගොරෝසු කෙස් ගස් දකින්න ලැබෙනවා. හිපෝගේ සමට යටින් ඇත්තේ ඝන මේද ස්තරයක්. හිපෝගේ සමෙන් වෑස්සෙන රෝස පැහැ දියරය දැඩි හිරු රැසින් හිපෝගේ සම ආරක්ෂා කරන ආවරණයක් ලෙස කි‍්‍රයා කරනවා. ඒක හරියට දැඩි හිරු රැස්වලින් ආරක්ෂා වෙන්න අපි කී‍්‍රම් එකක් පාවිච්චි කරනවා වගෙයි. වැඩුණු පිරිමි සතුන් එකිනෙකා සමඟ පොර බදමින් සටන් කරද්දී ඇති වන තුවාල සුව වීමට බෙහෙතක් හැටියටත් මේ දියරය ප‍්‍රයෝජනවත් වෙනවා.

පාසල් යන හිපෝ
‘හිපෝ පාසල්’ කියන්නේ මොකක්ද? ඉංගී‍්‍රසි බසින් හිපෝ රංචුවක් හැඳින්වෙන්නේ ‘හිපෝ ස්කූල්’ කියලයි. එහි තේරුම් ‘හිපෝ පාසල්’ යන්නයි. හිපපොටේමස් රංචු වශයෙන් ජීවත්වන සත්ත්වයෙක්. මේ එක රංචුවක හිපෝලා 20 ත් 100 ත් අතර ගණනක් ඉන්නවා. මේ හිපෝ රංචු දිවා කාලය ගත කරන්නේ වතුර යට කිමිඳී සිටීමෙනුයි. එහෙම නැතිනම් මඩවලක බැස සිටීමෙනුයි. හිපෝලා රංචු ගැසෙන්නේ ගැහැනු සතුන් හා හිපෝ පැටවුන් රංචුවේ මැදට හා පිරිමි සතුන් රංචුව වටේ සිටින විධියටයි. පිරිමි හිපෝ සතුන් ගැහැනු සතුන්ට ළං වන්නේ වර්ගයා බෝ කිරීමේ කාලයට විතරයි. එහෙම නැතිව හිපෝ ගැහැනු සතුන් ඉන්න තැනකට පිරිමි සත්ත්වයෙක් කිට්ටු වුනොත් ගැහැනු සතුන් සියල්ලෝම එක්වෙලා ඌට පහර දෙනවා.

හිපෝ පැංචෝ
හිපෝ පැටවකු බිහි වන්නේ ගැහැනු හා පිරිමි හිපෝ සතුන් එක්වී සති 34 ක කාලයක් ගතවීමෙන් පසුවයි. වරකට බිහි වන්නේ එක් පැටවකු පමණයි. සාමාන්‍යයෙන් හිපෝ පැටවකුගේ උපතක් සිදුවන්නේ ගොඩබිම. ඒත් කලාතුරකින් වතුර යටදී එවැන්නක් සිදුවන අවස්ථා තිබෙනවා. හිපෝ පැටවකු ඉපදී මිනිත්තු කීපයක් ඇතුළතදීම පිහිනන්න, දුවන්න, පනින්න හැකිවෙනවා. හිපෝ මවක් ඇය ජීවත් වන වැයික්කියෙන් පිටතට යනවා නම් පුංචි හිපෝ පැටවා තවත් හිපෝ අම්මකුට භාරදීලයි පිටවෙලා යන්නේ.


හිපෝ සටන්
පිරිමි හිපෝ සතුන් එකිනෙකාට අභියෝග කරන්නේ හැකි තරම් මුඛය විවර කරලයි. එහෙම කරලත් අභියෝගය එල්ල කරන පිරිමි හිපෝ පසුබසින්නේ නැතිනම් ඇගේ ගැටෙමින් එකිනෙකා සමඟ සටනට පිවිසෙනවා. යටි හනුවේ තිබෙන උල් දළ මේ සටනට යොදා ගැනෙනවා. හිපෝ පිරිමි සත්තු මේ විධියට සටන් වදින්නේ ගැහැනු සතුන්ගේ සිත් දිනා ගන්නටයි.

කිමිඳෙන හිපෝ
‘හිපෝ’ කියන නමේ තේරුම ඔයාලා දන්නවාද? ‘හිපෝ’ කියන්නේ ‘ගංගාවේ අශ්වයා’ කියන තේරුමයි. හිපෝගේ නිවහන ගොඩබිම නොවේ වතුරේයි. හිපෝ වැඩි කාලයක් ජීවත් වන්නේ වතුරේ. වතුර යටට වෙලා කන් සහ නාස් වසාගෙන හුස්ම හිරකරගෙන මිනිත්තු 3 ත් 5 ත් අතර කාලයක් වතුර යට ඉන්නට හිපෝට පුළුවන්. ආපහු හිස වතුරෙන් උඩට එසවෙන්නේ හුස්ම ගන්න  ඕනෑ වුණාමයි. ඒත් අවශ්‍ය වුනොත් ඊටත් වඩා වැඩි කාලයක් වතුර යටට වෙලා ඉන්න හිපෝ කෙනකුට පුළුවන්. හිපෝ පිහිනන්නත් දක්ෂයි. ඒ විතරක් නොවේ ගංගා, වැව්, විල් හා ජලාශ පතුළේ ඇවිද යාමට පවා හිපෝ දක්ෂයි.

කවුරුත් නොදන්න පිග්මි හිපෝ
‘පිග්මි’ හිපෝ කියන්නේ සාමාන්‍ය ප‍්‍රමාණයේ හිපෝ කෙනකුගෙන් 1/5 ක් තරම් ප‍්‍රමාණයෙන් යුත් හිපෝ විශේෂයකටයි. මෙයාලට කුරු හිපෝ කියලත් කියනවා. පිග්මි හිපෝ පිහින්නන දක්ෂයා. ඒත් සාමාන්‍ය හිපපොටේමස් සත්ත්වයෙක් තරම් ජලයේ ජීවත් වන්නේ නැහැ. ජීවත් වන්නේ වගුරු ආශි‍්‍රත වනාන්තරවලයි. අනතුරකින් බේරීමට ඝන යටිවියනක් ඇති වනගත ප‍්‍රදේශවල සැඟවෙනවා. පිග්මි හිපෝ හරිම ලැජ්ජාකාරයා. ඌ නිශාචරයි. ජීවත්වන්නේ හුදෙකලාව හෝ ජෝඩුවක් හැටියටයි. දිවා කාලය විවේකයෙන් ගත කරනවා. ඇඳිරි වැටුණාමයි තණ වර්ග සෙවීම අරඹන්නේ. ඌ කොළවර්ග, පළතුරු ආදිය ආහාරයට ගන්නවා.

Post a Comment

1 Comments

  1. අනෙක් අඩවි වලට වඩා වෙනස් අඩවියක්.වටිනවා !!!

    ReplyDelete