HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ උස් ගස් අස්සේ ඇති අහස් කුස් සිඹින වනස්පතිලා කවුරුන්ද? මෙන්න ඒකට එක උත්තරයක්!

අපේ කියවන්නෙක් ඉල්ලා තිබුණා රූස්ස ගස් ගැන කතා කරන්න කියලා. ඒ නිසා අද කතා කරන්නේ රුක් හෙවත් ගස් ගැන. ගස්වලට ‘රුක්’ කියන වදන හැදුනේ ‘වෘක්ෂ’ යන සකු වදනින්. රූස්ස ගස්වලට වනස්පති කියා කියනවා. වනස්පති කියන්නේ වනයට අධිපති කියන අරුතින්.



ලෝකයේ රූස්ස ගස් හෙවත් උසම ගස් ගැන, ඒ කියන්නෙ වනස්පතිලා ගැන, සොයන කොට අපට හම්බ වුණා, ඒ ගැන ඉතාම නිවැරදි දත්ත ගැන විවාදයක් පවතින බව. එසේ ම මෙතෙක් පවතින තොරතුරුවල ඇතැම් වනස්පතිලා පිළිබඳ ඇති තතු පමණ ඉක්මවා පුම්බා ඇති බව. මීටර 150ක් උසට වැඩුණු ගස් පැවතියේ යැයි කියන ඉතිහාස වාර්තා පවා දැන් විශ්වාස කටයුතු ඒවා නොවන බව, දැන් පසක් වෙලයි තියෙන්නෙ. ඇමරිකාවේ නැගෙනහිර ස්වදේශික වෘක්ෂ සංගමය වැනි රුක් සංගම් හා රුක් වියන් ගැන පර්යේෂණ කරන්නන්ගේ තොරතුරු මත පදනම් වුණු ලෝකයේ රූස්ස ගස් නවයක් ගැන විකිපීඩියාවේ දැක්වෙනවා.


ගස්වල උස මනින ක‍්‍රම විවිධයි. එයින් වඩාත් විශ්වාසදායක ක‍්‍රම ලෙස සැලකෙන්නේ ලේසර් කිරණ භාවිතයෙන් කරන මිනුම හා ගස් නගින්නන් විසින් මුදුනේ සිට මිනුම් පටියක් පහළට හෙළා කරන මිනුම පමණයි. ගණිත යොදා ගෙනත් ගසට නගින්නෙ නැතිව උස මනින්න පුලූවන්.

තවමත් ඇද වැටී නැති, ලෝකයේ උසම ගස් නවය මෙන්න. මෙහි දස වන ස්ථානයක් නැත්තේ ඒ තැන තේරීම පිළිබඳ විවාදයක් ඇති නිසයි. (ඉංගිරිසි වදන අසලින් ඇත්තේ ගසෙහි උද්භිද විද්‍යා නාමයයි.)

1. කෝස්ට් රෙඞ්වුඞ් ගස - Coast Redwood (Sequoia sempervirens): 115.56 m (379.1 ft), ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ රෙඞ්වුඞ් ජාතික වනෝද්‍යානයේ හයිපී’රියන්හි පිහිටා ඇත.

2. ඕස්ටේ‍්‍රලියානු මවුන්ටන් ඈෂ් - Australian Mountain-ash (Eucalyptus regnans): 99.6 m (327 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ දකුණු හොබාට්හි පිහිටා ඇත.

3. කොස්ට් ඩග්ලස්-ෆර් ගස - Coast Douglas-fir (Pseudotsuga menziesii): 99.4 m (326 ft), ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ කූට්ස් පළාතේ බෘට්මිට් ක්රීක්හි පිහිටා ඇත.

4. සිට්කා ස්පෲස් ගස - Sitka Spruce (Picea sitchensis): 96.7 m (317 ft), ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පේ‍්‍රරී ක්රීක් රෙඞ්වුඞ්ස් ජනපද උද්‍යානයේ පිහිටා ඇත.

5. ජයන්ට් සෙකුවෝයා ගස - Giant Sequoia (Sequoiadendron giganteum): 94.9 m (311 ft), ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ කිංස් කැනියොන් ජාතික වනොද්‍යා්නයේ රෙඞ්වුඞ් මවුන්ටන් ග්‍රෝව්හි පිහිටා ඇත.

6. තස්මේනියන් බ්ලූ ගම් ගස - Tasmanian Blue Gum (Eucalyptus globulus): 90.7 m (298 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ පිහිටා ඇත.

7. මන්නා ගම් ගස - Manna Gum (Eucalyptus viminalis): 89 m (292 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ එවර්ක්රීච් වන රක්ෂිතයේ පිහිටා ඇත.

8. ශෝරී ෆේටියානා Shorea faguetiana: 88.3 m (290 ft), බෝනියෝ දූපතේ සබාහි ටාවවු හිල්ස් ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.

9. ඇල්පයින් ඈෂ් ගස - Alpine Ash (Eucalyptus delegatensis): 87.9 m (288 ft), ඕස්ටේ‍්‍රලියාවට අයත් තස්මේනියා දූපතේ පිහිටා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ රෙඞ්වුඞ් ජාතික වනෝද්‍යානයේ හයිපී’රියන්හි පිහිටා ඇති කෝස්ට් රෙඞ්වුඞ් ගස අධ්‍යයනයට ලක් කළ හා එහි මුදුනට නැග්ග ඇමරිකන් ජාතික ජීව විද්‍යාඥයකු හා පරිසරවේදියකු ස්ටීව් සිලට් Steve Sillett සිය බිරිඳ සමඟ ඒ ගසෙහි මිනුම් කළ අයුරු මේ වැඩසටහනෙන් බලන්න.



Post a Comment

5 Comments

  1. ස්තුතියි.... පින්තුරු ටිකත් ලස්සනයි

    ReplyDelete
  2. Video dekath samaga Vruksha Rajayin gana me lipiya ithama vadagath.Godak Sthuthiy!

    New Zealand's tallest Kauri Tree,
    TANE MAHUTA(which means God of the Forest) is 45ft in circumference and 169ft tall. It is believed to be 2000 yrs old.

    It is a type of Pine Tree belonging to one of the most ancient families of trees.
    Kauri's ancestors were to be found between 100 to 200 Million years ago.

    ReplyDelete
  3. ගස් ගැන කතා කරද්දි පුංචි විහිළු කතාවක් මතක් වුණා. මහනුවර බෝගම්බර වැව ගාව තියෙනවා රූස්ස ගහක්. ඒ ගහ ඇත්තටම මොන ගහක්ද කියලා මට මතක නැහැ. හැබැයි ඒ ගහට මිනිස්සු නමක් පට බැඳලා තියෙනවා. ඒ තමයි පච ගහ. මේ ගහට පච ගහ කියන්නේ ඇයි?

    තෙල් බෙහෙත් විකුණන වෙද්දු, සාස්තරකරුවන්, මැජික්කරුවන් බොහෝ දෙනෙක් තම ව්‍යාපාර කටයුතු කරන්නේ මේ ගහ යටට වෙලා. එයාලා ගොඩාක් කියන්නේ බොරු. කරන්නේ රැවටීම්. හැබැයි පැයක් දෙකක් ටවුන් එකේ රස්තියාදු වෙන්න ඕනේ මිනිස්සු මේ පච ගහ යටට වෙලා පච අහනවා. ඒ පච හරි ලස්සනයි. සුන්දරයි. මමත් ඔය පච ගහ යට පැය ගණන් ඉඳලා තියෙනවා.

    මේ ගහ අවුරුදු ගාණක් තිස්සේ මේ පච අහනවා. හැබැයි මේ ගහ අපේ අත්තෙක් මුත්තෙක් වගේ. හැමදෙනා දිහාම බලන්නේ උපේක්ෂාවෙන් හා දයාවෙන්. පච කියන අයටත්, පච අහන අයටත්, පචවලට රැවටෙන අයටත් මේ ගහ එක සමානව සෙවන සිසිලස දෙනවා.

    ReplyDelete
  4. @ Jilora : ඔබ ඔය කියන ‘ටානේ මහුටා’ නම් නවසීලන්තයේ යෝධ කව්රී ගම් ගහ බලන්න මමත් ගියා. හරිම ලස්සන තැනක්. වන දෙවි, වනස්පති යන නම් ලොකු ගස්වලට කොයි රටෙත් ස්වදේශිකයන් භාවිත කරනවා. ඒ ගහ උඩ තවත් ගස් වර්ග සිය ගණනක් වැවෙනවා. ඒ ගැනත් ළඟදි ලියන්නම්.

    - Percy

    ReplyDelete
  5. @ Anonymous - ඔබට ස්තුතියි. ඔබේ කමෙන්ටුවෙ අන්තිම කොටස දාර්ශනිකයි; හරිම සුන්දරයි; ගැඹුරුයි; අර්ථවත්. පච ගැන කියන ගමන් ඔබ කියවන්නාගේ නැණ නුවණ වඩවන කියමනක් ඒ ලිව්වෙ. ‘මල් කැකුළු’ අරමුණත් ඒකයි. ඔය පච ගහ ළඟ මමත් ඉස්කෝලෙ යන කාලේ නැවතිලා අහගෙන ඉඳලා තියෙනවා. ඔබ කිව්වෙ මෙහෙමයි:

    "මේ ගහ අවුරුදු ගාණක් තිස්සේ මේ පච අහනවාග හැබැයි මේ ගහ අපේ අත්තෙක් මුත්තෙක් වගේග හැමදෙනා දිහාම බලන්නේ උපේක්ෂාවෙන් හා දයාවෙන්ග පච කියන අයටත්ල පච අහන අයටත්ල පචවලට රැවටෙන අයටත් මේ ගහ එක සමානව සෙවන සිසිලස දෙනවාග"

    බුදු හාමුදුරුවොත් ඔය වගේ අදහසක් කියල තියෙනවා. ‘ගස, මග යන එන අයට විතරක් නොවෙයි, එය කපන්නාටත් සෙවණ දෙයි’ කියලා.

    - Percy J

    ReplyDelete