HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයෙන් ඈත්ව වෙසෙන මෙතෙක් නුදුටු ගෝත‍්‍රයක්! ගුවනින් ගොස් ඔවුන්ට රැකවරණය

මේ කතාව ඇරැඹෙන්නේ මීට පස් වසරකට පෙර එනම් 2007 වසරේ සැප්තැම්බර් මාසයේ විදෙස් පුවත් සේවා සහ අන්තර්ජාලය ඔස්සේ පළ වූ අපූරු ඡායාරූප පෙළක් සමඟයි. මේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ දකුණු ඇමෙරිකානු රටක් වන බ‍්‍රසීලයේ, රාජ්‍ය ආයතනයක් වන ‘ජාතික ඉන්දියානු පදනම’ හෙවත් ‘ෆූනායි’ Funai පදනමයි. මාධ්‍ය හරහා ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත්වුණේ බ‍්‍රසීලය සහ අසල්වැසි පේරු රාජ්‍ය අතර මැද පිහිටි මහා ඇමසන් වැසි වනාන්තරය මැද සෙසු ලෝක වාසීන්ගෙන් වෙන්වී හුදෙකලාව වෙසෙන ඇමෙරිකන්/ඉන්දියානු එසේත් නැතිනම් ඇමෙරින්දි ගෝත‍්‍රයක ඡායාරූප කීපයක්.



මේ ගෝති‍්‍රකයන් ජීවත් වන්නේ ඇමසන් ඝන වනාන්තරයේ බ‍්‍රසීලයේ පේරු රාජ්‍ය සිමාව අසලයි. පේරු බලධාරීන් පවසන්නේ ඔවුන් ‘මාෂ්කෝ පිරෝ’ Mashco-Piro ඇමෙරින්දි ගෝති‍්‍රකයන් කියායි. ‘මාෂ්කෝ පිරෝ’ ගෝති‍්‍රකයන් මේ අයුරින් ප‍්‍රසිද්ධියට පත්වීමත්, පේරූ රටට අයත් ඇමසන් වනාන්තර කලාපයට එන පාරිසාරික සංචාරකයන්, අනවසර කැළෑ හෙළි පෙහෙළි කරන්නන්, තෙල් සහ ස්වාභාවික වායු ගවේෂකයන්ගේ ඇසට ලක් වීමත් සමඟ ‘මාෂ්කෝ පිරෝ’ ගෝති‍්‍රකයන්ගේ පැවැත්මට අද විශාල තර්ජනයක් එල්ල වෙලා. පිටස්තරයන්ගෙන් ඔවුන් හුදෙකලාව තබා ගැනීම වගකිවයුත්තන්ට විශාල අභියෝගයක් වී තියෙනවා.


2007 වසරේ සැප්තැම්බර් මාසයේ බ‍්‍රසීලයේ ෆූනායි පදනමේ සහ බි‍්‍රතාන්‍යයේ ‘සර්වයිවල් ඉන්ටනැෂනල්’ Survival International පදනමේ පරිසරවේදීන් කණ්ඩායමක් හෙලිකොප්ටරයකින් පේරු/බ‍්‍රසීල දේශසීමාවේ ඇමසන් ඝන වනාන්තරය ගවේෂණය කරමින් සිටියා. ඔවුන්ට වනාන්තරය මැද පිහිටි කුඩා එළිමහන් භූමියක පැල්පත් සමූහයක් දකින්න ලැබුණා. පැල්පත් අසල සිටියේ මුළුමනින්ම වාගේ නිරුවත් ගෝති‍්‍රකයන් පිරිසක්. පිරිමින් සහ කාන්තාවන් ඉණට පමණක් රෙදි කඩක් ඇඳ සිටි අතර කුඩා දරුවන් සිටියේ නිරුවතින්. හිටිහැටියේ අහසින් මතු වූ ‘අමුතු කුරුල්ලා’ දැක ඇතැමුන් බියේ වනාන්තරයට පලා ගිය අතර රතු සායම් තවරා, දුනු හී අතැතිව සිටි ගෝති‍්‍රකයෝ හෙලිකොප්ටරය දෙසට හී පහර එල්ල කරන්නට වුණා. ගෝති‍්‍රකයන් දැක සතුටට පත් පරිසරවේදීන් කණ්ඩායම ගුවනේ සිටම ඔවුන් ඡායාරූපයට නැගූ අතර ඒවා මාධ්‍ය හා අන්තර් ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කෙරුණා.


කිසිම දවසක බාහිර ලෝකය සමඟ සම්බන්ධ වී නැති මෙම ගෝත‍්‍රිකයින් පිරිස ‘මාෂ්කෝ පිරෝ’ ගෝති‍්‍රකයන් බව ෆූනායි පදනම පසුව අනාවරණය කළා. බ‍්‍රසීල රජය විසින් මෙම පදනම පිහිටුවනු ලැබුවේ දකුණු ඇමෙරිකා මහාද්වීපයේ ජීවත් වන තවමත් නූතන සමාජ ජීවිතයට එන්නට අකමැති එමෙන්ම වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ඇමෙරින්දි ගෝත‍්‍රික ප‍්‍රජාව ආරක්ෂා කර ගැනීමටයි. ඇමසන් මහා වනාන්තරය තවමත් ලෝකයේ ගවේෂණයට ලක් නොවූ මහා ඝන වනාන්තරයක් යන වග මෙයින් තවදුරටත් සනාථ වුණා. ඇමසන් මිටියාවතේ ඝන වනාන්තරය තුළ, බාහිර ලොවෙන් වෙන් වී හුදෙකලාව ජීවත් වන රතු ඉන්දියානු ගෝති‍්‍රකයින් ජීවත් වන බවට මීට පෙර කටකතා අසන්න ලැබුණත් ඒ සම්බන්ධව ලැබුණු ප‍්‍රබලම සාක්ෂිය වූයේ මෙයයි. ”අප මේ ගෝති‍්‍රකයන්ට ළං වුණේ අහසින්. ඔවුන් ඉන්නා බව ඔවුන්ට ගෙවල් දොරවල් වගාවල් තියෙන බව පෙන්වන්නයි, අපට අවශ්‍ය වුණේ. ඒ නැතිව ඔවුන්ගේ ජීවිතවලට බාධාවක් කරන්න නෙමෙයි. මේ ප‍්‍රදේශයේ හොරෙන් සිදු වන මහා පරිමාණයේ දැව ජාවාරම් නිසා මෙවැනි ගෝත‍්‍ර වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පෙන්වන්නයි” යැයි ෆූනායි පදනමේ පරිසර ආරක්ෂක විශේෂඥ ජෝස් කාලෝස් මියරලස් José Carlos Meirelles එදා ගෝති‍්‍රකයන් දුටු අවස්ථාව සිහිපත් කරමින් කියනවා.


මියරලස් කියන්නේ මෙවැනි ඇමෙරින්දි ගෝත‍්‍ර කීපයක් ඇමසන් වනාන්තරයේ ජීවත් වන බවට වාර්තා වී ඇති බවයි. එපමණක් නොව තවමත් හඳුනා නොගත් හුදෙකලා ගෝත‍්‍ර 100ක් පමණ සෙසු මිනිස් වාසවලින් ඈත් ව ලොව පුරා ඇති බව ෆූනායි පදනම පෙන්වා දෙනවා. ඒ, දකුණු ඇමෙරිකාවේ, අපි‍්‍රකාවේ සහ අග්නි දිග ආසියාවේ දූපත්වලයි. ”ඇමසන් වනාන්තරයට විතරක් අවේණික වූ ලොවෙන් සැඟවුණු ගෝති‍්‍රකයන් ගැන අප දැනගෙන දැන් වසර 20 ක් පමණ වෙනවා. ඒක අපි රහසක් හැටියට තියා ගත්තේ ඔවුන් බාහිර ලෝකයට යොමු කිරීම මගින් ඔවුන්ගේ ජීවන රටාවට හානියක් සිදුවේවි යන බියෙනුයි. ඒත් අද වන විට වෙනත් පාරිසාරික හේතුන් සහ මිනිස් කි‍්‍රයාකාරකම් නිසා ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් මතුවීම තිබෙනවා.” යැයි ෆූනායි පදනම පවසනවා.


මෂ්කෝ පීරෝ ගෝති‍්‍රකයන් ජීවත් වන්නේ පේරු රටේ ගිනිකොණ දිගින් පිහිටි ඇමසන් වනාන්තරයට අයත් ‘මානූ’ ජාතික වන රක්ෂිතයේය. මෙම ගෝත‍්‍රයේ සාමාජිකයන් සියයක් පමණ සිටින බව කියනවා. ඔවුන්ගේ ජීවන රටාව හරිම සරළ එකක්. සටන් වදින්නේ තමාගේ වැයික්කිය ආරක්ෂා කර ගැනීමට, වෙනත් ගෝත‍්‍රයක ගැහැනුන් සහ කුඩා දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ඒම සහ ආහාර සඳහා පමණයි. පේරු බලධාරීන්ට හොරා අනවසරයෙන් සිදුවන කැළෑ හෙළිපෙහෙළි කිරීම්, තෙල් සහ ස්වාභාවික වායු සොයා පේරු රජයේ අනුදැනුම යටතේ සිදු කෙරන ව්‍යාපෘතිවලින් මෙන්ම මොවුන් බැලීමට එන සංචාරකයන් නිසා මොවුන්ටත් මොවුන්ගේ ගම්මානයටත් තර්ජනයක් එල්ල වී තියෙනවා. ගෝති‍්‍රක ගම අසල ගංගාවේ ගං ඉවුරට සංචාරකයන් යාමට පටන් ගත් හෙයින් එය ද තහනම් කිරීමට පේරු බලධාරීන් පියවර ගත්තා. එසේ කළේ බාහිර මිනිසා සතුව බහුලව ඇති ඇතැම් රෝගවලට ඔවුන් ගොදුරු වේවි යැයි ඇති බිය නිසායි. අපේ හෙම්බිරිස්සාවකින් වුවත් ඔවුන් මරණයට පත් විය හැකියි.


මේ වසර මුලදී ‘සවයිවල් ඉන්ටනැෂනල්’ පරිසර සංවිධානය මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ නවතම ඡායාරූප එකතුවක් ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා. ගෝති‍්‍රකයන් ඡායාරූපයට නැගුවේ ස්පාඤ්ඤ භූගෝල විද්‍යා සංසදයේ කැමරා ශිල්පී දියේගෝ කෝටීහෝය. ඒ මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ ගම්මානය අසලින් වැටී ඇති මාද්‍රේ දෙ දියෝ ගංගාව දිගේ යද්දීයි. දියේගෝ ඇමසන් වනාන්තරයට ආවේ මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් සොයමින් නොවේ, ඇමසන් වනාන්තරයේ භූ විෂමතාවන් ඡායාරූපයට නැගීමේ අරමුණ ඇතිවයි. ඔහුට ගං ඉවරේ සිටි මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් කණ්ඩායමක් ඇස ගැටුණේ අහම්බෙනි. ඔහුගේ මඟ පෙන්වන්නා වූයේ තවත් පේරු ස්වදේශික ගෝති‍්‍රකයෙක්. ඔහු නිකලස් ‘සාචෝ’ ෆ්ලොරේස්. ස්වදේශිකයකු වුවත් ඔහු වනගත දිවියෙන් මිදී නූතන ලෝකය සමඟ සම්බන්ධ වූ පේරු ස්වදේශිකයන්ගෙන් කෙනෙක්. දියේගෝ සමඟ සිටි ෆ්ලොරේස් දුටු ගෝති‍්‍රකයන් කෑ කෝ ගසන්නට වූයේ ඔවුන් ඔහු දැන හඳුනා ගත් බව පෙන්වමිනුයි. ෆ්ලොරේස්, මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයකු බව පසුව හෙළි වුණා. ෆ්ලොරේස්, හැලි වළං සහ මන්න පිහියා මේ ගෝති‍්‍රකයන්ට ලබා දුන් බව ද පේරු බලධාරීන් කියනවා. කෙසේවුවත් අවාසනාවකට වාගේ දියේගෝ සමඟ කළ බෝට්ටු සවාරියෙන් දින හයකට පසු මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ හී පහරකින් ලත් මාරක තුවාලයක් නිසා ෆ්ලොරේස් මියගියා. ඔවුන් සතු මාරක අවියක් වූ උණ බට ලීයකින් නිර්මාණය කළ එම තියුණු හීය ෆ්ලොරේස්ගේ හදවත පසාරු කරගෙන ගොස් තිබුණා.

ජෝස් කාලෝස් මියරලස් ඊතල සමග

මෙසේ ෆ්ලොරේස් මරණයට පත් කරන්නට හේතුව කුමක්දැයි යන්න අබිරහසක්. එහෙත් පේරු බලධාරීන් කියන්නේ මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් සහ ෆ්ලොරේස් අතර පැවැති ගනුදෙනුවකදී කිසියම් බහින්බස් වීමක් නිසා සිදුවූ දෙයක්ය කියායි. ස්වදේශික මැට්සිකුවෙන්කා ගෝති‍්‍රකයකු වූ ෆ්ලොරේස්ට මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන්ගේ මෙන්ම තවත් ඇමෙරින්දි ගෝත‍්‍ර කිහිපයක උප භාෂා කතා කිරීමේ හැකියාව තිබුණා. ”මාෂ්කෝ පිරෝ ගෝති‍්‍රකයන් කැමැති නැහැ බාහිර ලෝකය සමඟ සම්බන්ධකම් පවත්වන්න. ඔවුන් ජීවත් වන්නේ හුදෙකලාවයි. ඔවුන්ට ආවේණික ජීවන රටාවක් තිබෙනවා. අප ඊට මැදිහත් නොවිය යුතුයි. ඔවුන්ව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. බාහිර ලෝකය සමඟ ඔවුන් යම්තාක් දුරකට සම්බන්ධකම් පැවැත්වූවා නම් ඒ ෆ්ලොරේස් හරහායි. ඒත් ඔහුගේ මරණයත් සමඟ ගෝති‍්‍රකයන් සමඟ සම්බන්ධ වෙන්න අපට තිබුණු එකම අවස්ථාව නැති වී ගියා.” යැයි පේරු රජය විසින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ඇමෙරින්දි ගෝත‍්‍රික ප‍්‍රජාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පිහිටු වූ සංවිධානයේ මානව විද්‍යාඥවරියක වන බියෙටි‍්‍රස් හුවෙර්ටා පවසයි.

බීබීසියෙන් විකාශයට පත් කෙරුණා, මේ ගෝති‍්‍රක ගම්මානයේ ගුවනින් ගොස් ලබා ගත් වැඩසටහනක්. එහි දී මග පෙන්වන්නා ලෙස කි‍්‍රයා කළේ ජෝස් කාලෝස් මියරලස්.

Post a Comment

6 Comments

  1. මම මේ ගැන දැනගත්තේ අද..

    ReplyDelete
  2. තවත් ලොස්ට් වර්ල්ඩ් එකක්!

    ReplyDelete
  3. පිංතූර බලා තිබුනාට සම්පූර්ණ විස්තරය කියෙව්වේ අද... ස්තූතියි විග්‍රහයට....

    ReplyDelete
  4. හොඳ ලිපියක්.

    ReplyDelete
  5. විස්තරයට ස්තුතියි...! අද තමයි සම්පූර්ණ කතන්දරේ දැනගත්තේ...

    ReplyDelete
  6. me video eka kalin dakala thibuna. namuth malkakulu thulin me lipiya photos video nevatha balala pahadiliva therum gaththa.me tharam bahira lokayen aathva inna thani vu pirisak inna eka hari pudumai. e ayata e sahallu jeevithaya gatha karanna idiriyatath ida labey nam hari hodai kiyala hithenava!
    Thanx Malkakulu!

    ReplyDelete