HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සක්වළ තරණයට දොරටු විවර කරන ‘කැනැවරල් තුඩුව’

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ මූලස්ථානය පිහිටුවා ඇති ඇමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ‘නාසා’ ආයතනය මේ උඩුගුවන් ගමන් සියල්ල සිදු කරන්නේ ෆ්ලොරීඩා ජනපදයේ කැනැවරල් තුඩුවේ සිටයි. එය ‘නාසා’ ආයතනයේ ප‍්‍රධාන යානා දියත් කිරීම් මධ්‍යස්ථානයයි.



මිසයිල පර්යේෂණයටයි ඉදිකළේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර මධ්‍යම ෆ්ලොරීඩා ජනපදයේ බ්‍රෙවාඞ් ප‍්‍රාන්තයට අයත් දූපතක මුහුදට නෙරා ඇති තුඩුව කැනැවරල් තුඩුව ලෙස හැඳින්වෙනවා. ඉන්දියානු හා බනානා දූපත් නිසා මෙම තුඩුව මහද්වීපයෙන් වෙන් වී පවතියි. කැනැවරල් තුඩුවේ මුලින් ම ඉදිකළේ ඇමෙරිකා ගුවන් හමුදාවේ මිසයිල පර්යේෂණ හා මිසයිල ගුවන් ගත කිරීමේ කටයුතු සම්බන්ධ ප‍්‍රධාන මධ්‍යස්ථානයකි. ඒ 1950 වසරේදීය. ඊට අට වසරකට පසුව එනම් 1958 දී ඇමෙරිකානු ‘ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පාලනය’ එනම් ‘නාසා’ ආයතනය යටතේ ඇරඹූ ඇමෙරිකාවේ අභ්‍යවකාශ යානා දියත් කිරීම් හා සම්බන්ධ ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට කේප් කැනැවරල් පත්විය.


නම ලැබුණ හැටි
මේ ‘කේප් කැනවරල්’ නම වසර 400ක් පැරණි නමක්. ස්පාඤ්ඤ ජාතීන් මෙහි ගොඩ බට අවස්ථාවේ මෙහි වූ වේවැල් වනයක් නිසා ඔවුන් වේවැල් හැඳින්වූ ‘කේන්’ යන නම අනුව ‘වේවැල් තුඩුව’ යන අරුත් දෙන ‘කැනවරල්’ යන නමින් මෙය නම් කෙරුණා. යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණි මුල් කාලයේ තැබූ පැරණි ම නම් තුන අතරට මෙය ඇතුළත් වන බව සඳහන් වෙනවා. ඇමෙරිකාවේ අභ්‍යවකාශ තරණයට පුරෝගාමී වූ ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා 1963 දී හදිසියේ ඝාතනය කරනු ලැබීමෙන් පසු ඔහු සිහි වීම පිණිස මෙය ‘කෙනඩි තුඩුව’ යනුවෙන් නම් කරනු ලැබුවත් පසුව එනම් 1973 සිට පැරණි නම වූ ‘කේප් කැනවරල්’ යළිත් කරළියට ගෙන අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය පමණක් ‘කෙනඩි’ නමින් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

රොකට් බලය ගැන උනන්දුවක් 
1945 වසරේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එනම් ජර්මනිය පරාජය වීමත් සමඟ එවකට රොකට් බලය හා රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් උසස් මට්ටමේ කාර්මීක හා තාක්ෂණික දැනුමකින් පරිපූර්ණ වූ ජර්මානු ඉංජිනේරුවන් හා කාර්මීක ශිල්පීන් රැසක් ඇමෙරිකානු හමුදාවට යටත් වූහ. මොවුන් ඇමෙරිකාවට පැමිණ ඔවුන්ගේ දැනුම යළි පාවිච්චි කරමින් රොකට් තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ‘වී 2’ රොකට්ටුව සාර්ථකව ප‍්‍රථම වරට ගුවන්ගත කිරීමට ලැබිණි. ඒ 1950 වසරේ කැනැවරල් තුඩුවෙනි.


කැනැවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
‘වී 2’ රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශයට යැවීමට හැකිවීමත් සමඟ නවීන තාක්ෂණික පහසුකම්වලින් පරිපූර්ණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කැනැවරල් තුඩුවේ නිර්මාණය කෙරිණි. එදා සිට අද දක්වා පෘථිවි චන්ද්‍රිකා, අභ්‍යවකාශ ගවේෂණ යානා, දුරේක්ෂ, අභ්‍යවකාශ ෂටල, රොකට්ටු ආදී සියලූම අභ්‍යවකාශ කටයුතු සිදුවන්නේ මෙම මධ්‍යස්ථානයෙනි. මීට අමතරව මිසයිල අත්හදා බැලීම් හා අති නවීන තාක්ෂණයෙන් නිෂ්පාදිත හමුදා ප‍්‍රහාරක යානා අත්හදා බැලීම් සිදුවන්නේ ද මෙම මධ්‍යස්ථානයෙනි. පැටි‍්‍රක් ගුවන් හමුදා මධ්‍යස්ථානයද පිහිටා ඇත්තේ කැනැවරල් තුඩුවේය.

ගගන තරණය ඇරඹෙයි
කැනැවරල් තුඩුවෙන් පළමු වරට මිනිසෙකු රැගත් අභ්‍යවකාශ කැප්සියුලයක් සහිත රොකට්ටුවක් උඩු ගුවනට යැවුණේ 1961 දීය. පළමු වරට උඩුගුවනට ගියේ නාවික කොමදෝරු ඇලන් බී. ෂෙපර්ඞ්ය. ඔහු ගමන් කළ කැප්සියුලය හැඳින්වූයේ ‘මර්කරි ප්‍රෙජෙක්ටර් කැප්සියුල්’ යනුවෙනි. 1962 දී ඇමෙරිකානු ගගනගාමී ජෝන් එච්. ග්ලෙන් රැගත් රොකට්ටුව පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියේය. මිනිසුන් රැගත් අභ්‍යවකාශ රොකට්ටුවක් මුලින්ම සඳ මත ගොඩ බැසීමේ අරමුණු ඇතිව පිටත් කර හරිනු ලැබුවේ 1969 වසරේදීය. 1950 දශකයට පෙර කැනැවරල් තුඩුව ජන ශුන්‍ය පාලූ ප‍්‍රදේශයකි. නමුත් 1950 ට පසු එහි ජනගහන වර්ධනයක් ඇති විය. රොකට් හා මිසයිල ආදී නොයෙක් පර්යේෂණ කටයුතු හේතුවෙන් නොයෙක් නොයෙක් කර්මාන්ත අද මෙහි දකින්න ලැබේ.

Post a Comment

2 Comments