ව්‍යාඝ‍්‍රයන්ට ඉරි හා දිවියන්ට තිත් ලැබුණේ කොහොමද? අවුරුදු 60 වසරක් පැරණි නියමය තහවුරු කරයි!

පළමු වතාවට විද්‍යාත්මක පරීක්ෂණ මගින් ශ්‍රේෂ්ඨ බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයකු වූ ඇලන් ටියුරින් ඉදිරිපත් කළ න්‍යායක් තහවුරු කිරීමට බි‍්‍රතාන්‍ය විද්‍යාඥ පිරිසක් සමත් වී තියෙනවා. මේ න්‍යාය ඔහු ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාඝ‍්‍රයන්ට ඉරි හා දිවියන්ට පුල්ලි ආදී ජීව රටාවන් ලැබුණු ආකාරය පිළිබඳවයි.

ටියුරින්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී ඇති මේ වසරේ දී ම ඔහුගේ න්‍යාය තහවුරු කිරීම විශේෂ දෙයක් ලෙස සැලකිය හැකියි. සතුන්ගේ සිරුරවල ඇති වන හඳුනා ගැනීමේ ලක්ෂණ ලෙස විශේෂ රටා ඇති කෙරෙන්නේ ප‍්‍රබෝධකයක් (activator) හා අවශේධකයක් (inhibitor) ලෙස එක විට කි‍්‍රයා කරන රූප ජනක ජාන හෙවත් මෝෆොජන්ස් (morphogens) යුගලක් නිසා යයි ඔහු ඒ න්‍යාය තුළින් ලොවට කීවා.

දැන් ලන්ඩනයේ කිංස් කොලේජ්හී පර්යේෂකයන් ඒ ලෝක ප‍්‍රකට කේත විකේතනය කරන්නාගේ 60 වසරක් තිස්සේ පැවති ඒ න්‍යාය පරීක්ෂණ මගින් තහවුරු කිරීම ප‍්‍රතිජනන විද්‍යාවේ විශාල ජයක් ලෙස සැලකිය හැකියි.

මේ න්‍යාය පරීක්ෂා කිරීම පිණිස පර්යේෂකයන් මීයන්ගේ මුඛයේ උඩු තල්ලෙහි එක අතරක් ඇතිව පිහිටන වැටිවල වර්ධනය අධ්‍යයනයට ලක් කළා.

කොටියන්ට, ව්‍යාඝ‍්‍රයන්ට, දිවියන්ට, සීබ‍්‍රාවන්ට පුල්ලි ඇති වුණේ මෝෆෝජන්ස් විශේෂයක බලපෑමක් නිසයි.

මීයාගේ කලලයෙන් අත්හදා බැලීම් ආරම්භ කළ මේ කණ්ඩායම මෙම වැටිවල වර්ධනයට දායක වෙමින් එකට එක්ව කි‍්‍රයාකරන මෝෆොජන්ස් නම් රසායනික යුගලයක් ඇති බව හඳුනා ගත්තා. මේ රසායන එකිනෙකාගේ ප‍්‍රකාශනය පාලනය කරමින්, ප‍්‍රබෝධනය කරමින් හා නිෂ්පාදනය අවශේධනය කරමින් මුඛයේ උඩු තල්ලෙහි දාර රටා ඇති වීම පාලනය කරන බවද හෙළි කර ගත්තා.

පර්යේෂකයන් මේ කි‍්‍රයාවලිය සිදු කරන විශේෂ මෝෆොජන්ස් යුගලයක් හඳුනා ගන්නත් මෙහිදී ඔවුන් සමත් වුණා. ෆයිබ්‍බ්‍රොලාස්ට් ග්‍රෝත් ෆැක්ටර් FGF හා සොනික් හෙජ්හෝග් Shh යනු ඒවායි. දෙවැන්නට ඒ නම යෙදුවේ රසායනාගාරයේ සිටි පලතුරු මැස්සන්ගේ පියෑඹීමේ හැකියාව අහිමිව ගිය පසු ඔවුන්ගේ සිරුරවල අතිරේකව වර්ධනය වූ කෙඳි විශේෂයක් නිසයි.

කව්ද මේ විද්‍යාඥ ටියුරින් ?
විද්‍යාඥ ඇලන් මැතිසන් ටියුරින් (Alan Mathison Turing) ඉංගී‍්‍රසි ජාතික ගණිතඥයෙක්. දෙවැනි යුද සමයේ විශිෂ්ට මෙහෙවරක් කළ නිහඬ වීරයෙක්. ජර්මානුන්ගේ හමුදා රහස් විකේතනය කරන්නට යොදා ගත් එනිග්මා යන්ත‍්‍රය ඔහුගේ නිමැවුමක්. ඒ නිසා තමයි, බි‍්‍රතාන්‍ය ඔත්තු සේවයට හිට්ලර්ගේ සැලසුම් කල් ඇතිව දැන ගන්නට හැකි වූයේ. එසේ ම බි‍්‍රතාන්‍ය නාවික හමුදාවට හිට්ලර්ගේ ‘යූ බෝට්ටු’ (U-boats) නමින් හැඳින්වුණු සබ්මැරීන පරාජය කරමින් අත්ලාන්තික් යුද්ධය ජය ගන්නට ඉඩ සැලසුණේ. ‘පරිගණක විද්‍යාවේ හා කෘති‍්‍රම බුද්ධියේ පියා’ යන විරුදාවලියෙන් ඔහු හඳුන්වන්නේ ‘ඇල්ගොරිතම’ හා පරිගණනය විධිමත් ලෙස යොදා ගෙන නිර්මාණය කළ එනිග්මා (Enigma) හෙවත් ටියුරින් යන්ත‍්‍රය නිර්මාණය කිරීම නිසයි.

ටියුරින්ගේ ඒ කාර්යයෙන් තමා වර්තමාන පරිගණකය නිර්මාණයට පදනම සැපයුණේ. ලෝක ප‍්‍රකට ටයිම් සඟරාව විසි වන සියවසේ ලොවට විශාල බලපෑමක් එල්ල කළ සිය දෙනා අතරට ටියුරින්ගේ නමත් ඇතුළත් කළේ නිසයි. ඒ සඳහා හේතු පාඨයේ දක්වා තිබුණේ ‘යතුරුපුවරුවක් මත ඇඟිලි දුව වන, පැතුරුම්පතක් හා වදන් සැකසුමක් විවෘත කරන සෑම කෙනෙකුම කි‍්‍රයා කරන්නේ ටියුරින්ගේ යන්ත‍්‍රයේ නව නිපැයුමක් සමග බව සිහිපත් කිරීම වටී’ යනුවෙනුයි.

එහෙත් එදා බි‍්‍රතාන්‍ය රජය ටියුරින්ට සැලකුවේ මහා අපරාධකරුවකු ලෙසයි. 1952 දී ඔහුට එරෙහිව සමලිංගික චෝදනා ඉදිරිපත් කළ ඔවුන් ඔහු වරදකරු කොට දඬුවම් වශයෙන් ස්තී‍්‍ර හෝමෝන චිකිත්සාව ලබා දී ඔහු අකර්මණ්‍ය කළා. එහෙත් ඔහුගේ සිය වන ජන්මදිනය පවත්වන මේ වසරේ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කියන්නත්, ඔහුගෙන් වූ මෙහෙය සමරන්නත්, ඔහුට අහිමි කළ ගෞරවය යළි ලබා දෙන්නත් කටයුතු කිරීම දෛවයේ සරදමක් වගෙයි.

සතුන්ගේ ඉරි රටා පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළ ‘පරිගණක විද්‍යාවේ හා කෘති‍්‍රම බුද්ධියේ පියා’ - ඇලන් ටියුරින්

1952 දී ටියුරින් ඉදිරිපත් කළ නියමය තහවුරු කළ විද්‍යාඥ පිරිස පෙන්නා දුන්නා මෝෆොජන්ස්වල කි‍්‍රයාකාරිත්වය නිසා මුඛයේ තල්ලෙහි දාර රටා අඩු වෙන හෝ වැඩි වෙන ආකාරය ටියුරින් පළ කළ න්‍යායට අනුව සිදු වන බව.

පළමු වතාවටයි, මෙසේ සැබෑ මෝෆොජන්ස් රසායනික මේ කි‍්‍රයාවලියට සම්බන්ධ බව හඳුනා ගනු ලබන්නේ. එදා හරියටම වසර 60කට පෙර ටියුරින් සිතින් ගොඩ නැඟූ ඒ න්‍යාය ඒ කියූ ආකාරයෙන්ම බලපාන බව ඔප්පු කිරීමට මේ පර්යේෂක පිරිස සමත් වුණා.

ලන්ඩනයේ King’s Dental Institute හි කපාල වක්ත‍්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ Department of Craniofacial Development ආචාර්ය ජෙරමි ග‍්‍රීන් කියන්නේ, ”විධිමත් පරතරයක් ඇතිව පිහිටන ව්‍යුහයන් සහිත, කශේරුවේ හා කේෂ මූලවල සිට ව්‍යාඝ‍්‍රයකුගේ හෝ සීබ්රා මාළුවකුගේ හෝ ඉරිවල මූලික රටාවක් තියෙනවා, ජීව විද්‍යාවේ දී මේ බව අප හඳුනා ගන්නවා”

”න්‍යායන් ගණනාවක් ම තියෙනවා, ස්වභාව ධර්මයා තුළ ඒ රටා ඇති වන හැටි ගැන කියන. ඒත් මේ වන තෙක් සැබෑ සාක්ෂියක් තිබුණේ නෑ ටියුරින්ගේ යාන්ත‍්‍රණය තහවුරු කරන්න. අපේ මේ අධ්‍යයනය මගින් කෙරෙන පරීක්ෂණවලින් පළමුවතාවට ඉඩ සැලසෙනවා, ඉරි සෑදීමේ දී ප‍්‍රබෝධක-අවශේධක පද්ධතිය කි‍්‍රයාකාරන ආකාරය පැහැදිලි කරන්න. මෙහිදී එය මුඛයෙහි සිදු වන ආකාරයයි, පර්යේෂණයට භාජනය කෙරුණේ.

”ආහාර පිළිබඳ දැනීමට ඒවා රස විඳීමට අවශ්‍ය වන මුඛයේ ඇති මෙම වැටිවල විශාල වෛද්‍යමය වැදගත්කමක් නැහැ. කොහොම වුනත්, එය අතිශයින්ම වැදගත් වෙනවා, මේ ප‍්‍රබෝධක-අවශේධක කි‍්‍රයාවලිය දැක්වෙන න්‍යාය තහවුරු කරන්න.

”මේ මගින් අපට පෙන්වා දෙනවා ඉරි රටා වැනි දේ ඇති වන්නේ කෙසේද යන්න පමණක් නොව, මේ මෝෆොජන්ස් රසායනික අනාගතයේ දී ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ දී ව්‍යුහයන් හා රටාවන් පුනර්වර්ධනය කිරීමට හා කඳ සෛල වෙනත් පටකවලින් වෙන් කොට හඳුනා ගැනීමට භාවිත කළ හැකි වේවි.

”මේ වසර ටියුරින්ගේ වසර වශයෙන් නම් කර ඇති නිසා ඒ ශ්‍රේෂ්ඨ ගණිතඥයාට හා පරිගණක විද්‍යාඥයාට උපහාරයක් ලෙස ඔහු එදා ඉදිරිපත් කළ නියමය නිවැරදි බව තහවුරු කිරීමට අපට හැකි වීම කාලීන වැදගත්කමක් ඇති දෙයක්.”

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. Honda lipiyak. Sthuthiy. Computer mul piyavara thabu kena govravayata lak viya yuthumay.

    ReplyDelete
  2. Sathunge rataa hadena hati me lipiyen danagaththa. Zebra vage sathnge iri eyala goduru karaganna ena sathunge ilakkayen bereematath udav
    venava.

    ReplyDelete