HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගොඩබිමට පා තැබූ ප‍්‍රථමයා හා උරගයින්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 3

උභය ජීවීන්ගේ පරිණාමය
 ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප‍්‍රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගොඩබිම වෙසෙන සත්ත්වයකුගේ ශරීර බර ගොඩබිමේදී වැඩි බරක් දැනේ. නමුත් ජලයේදී එම බර දැනීම අඩුය) ගොඩබිමේදී සත්ත්වයා තම සිරුරේ බර දරයි. ඒ නිසා මෙතෙක් ලොව බිහිවූ මත්ස්‍යයින්ගෙන් ගොඩබිමට යාමට නම් ඔවුන්ගේ වරල් ශක්තිමත් පාද බවට පරිවර්තනය විය යුතුය. ජලජ පරිසරයක විසූ මත්ස්‍යයින් මෙවැනි පරිණාමයකට බඳුන් විය. මෙසේ ගොඩබිමේ වාසය කිරීමට හැකි පරිදි පා සතරක් සහිත සිව්පාවුන් බවට පරිවර්තනය විය.



ආවේණික ලක්ෂණ
සම තෙත සහිතය. බාහිර කොරපොතු නොමැත. ඇවිදීමට හෝ පිහිනීමට උපකාරී වන ග‍්‍රාතා සඟළ දෙකක් පිහිටයි. පාදවල ඇඟිලි 4 ක් හෝ 5 ක් ඇත. ඇතැමකුට ඇත්තේ මීටත් වඩා අඩු ඇඟිලි ගණනකි. නාස්පුඩු දෙකකි. මුඛ කුහරයට සම්බන්ධව ඇති මේවාට ජලය පිටකර යැවීමට උපකාරීවන කපාට ද වේ. ඇස් ආවරණ හෙවත් ඇසිපිය ඇත. දිව බොහෝවිට පිටතට නෙරිය හැකිය. කන් බෙරය දියුණු තත්වයකට පත්විය. සියුම් සන්වේදීතාවනට ප‍්‍රතිචාර දැක්විය හැකි පරිදි සැකසී වායු ගෝලයේ ඇසෙන ශබ්ද හඳුනාගැනීමට හැකියාව ඇත. පිටකොඳු අස්ථි ඉතාමත් ශක්තිමත් ලෙස පරිණාමය වී ශ්‍රෝණි මේඛලාවට අපරගාත් සම්බන්ධ විය. ජලක් ලෝම, පෙනහළු, සම, මුඛයේ ආස්තරය යනාදී ඉන්ද්‍රිය වෙන වෙනම කි‍්‍රයා කිරීමෙන් හෝ එක්ව කි‍්‍රයා කිරීමෙන් හෝ ශ්වසනය සිදුවේ.


ගොඩබිමට පා තැබූ ප‍්‍රථමයා
ගොඩබිමට පා තැබූ ප‍්‍රථම සත්ත්වයා ඉක්තියොස්ටෙගා (Icthyostega) යනුවෙන් හැඳින්වෙන උභය ජීවියෙකි. මෙම සත්ත්වයාගේ පොසිල හමුවී තිබෙන්නේ ගී‍්‍රන්ලන්තයේ ඩෝවෝනීය යුගයට අයිති පාෂාණවලයි. මෙම පොසිල අතර තිබූ හිස් කබල් දිගින් අඩි 6 ක් පමණ වන බැවින් මේ උභය ජීවීන් සෑහෙන තරම් විශාල ශරීරයක් තිබෙන්නට ඇත. මොවුන් ක්‍රෝසෝප්ටෙරිජි මත්ස්‍ය වර්ගයෙන් ව්‍යාප්ත වූ බවට විශ්වාස කෙරේ. ඉක්තියොස්ටෙගාගේ වරල් ඇඟිලි සහිත පාද ලෙස වෙනස් වී තිබිණි. මෙම සත්ත්වයා ඌට එතෙක් හුස්ම ගැනීමට ආධාර කළ ජලක් ලෝම (Gills) වලින් නොව පෙණහලූවලින් (Lungs) හුස්ම ගන්නට විය.


උභය ජීවීන්ගේ එකම නෑයා
අද උභය ජීවීන්ගෙන් ඉතිරි වී සිටින එකම නෑයා ඇමෙරිකාවේ වෙසෙන සැලමන්දරාය. මොවුන් කි‍්‍රටේසීය යුගයේ දී පහළ වූහ. මොවුන් සිය ආදීතමයන් සේ කුඩා කල ජලයේ ගත කරයි. වැඩුණු පසු ගොඩබිම ජීවිතය අරඹයි. මොවුන් ජීවත් වන්නේ තෙතමනය ඇති ප‍්‍රදේශවලය. හැඩරුව මත්ස්‍යයකුට සමාන වුනත් සැලමැන්දරයන්ට ඇත්තේ වරල් නොව පාදය. එහෙන්ම දිගු වල්ගයක් ද දැකිය හැකිවේ. මෙසොසොයික යුගයේ සිදුවූ මේ ප‍්‍රවර්ධනය නිසා උරග යුගයට මග පෑදුණේ යැයි සැලකේ. අද ලොව වෙසෙන ගෙම්බන්, මැඩියන් සහ සැලමැන්දරයන් වැනි උභය ජීවීන්ගෙන් උරගයන්ගේ පරිණාමය සිදු වූ බවට සැලකේ. මේ නිසා උභය ජීවීන් ගොඩබිම තරණය කිරීම ආරම්භ කළ සතුන් බවත් උරගයන්ට ගොඩබිමේ ජීවත්වීමට මග පාදා දුන් සත්ත්ව කොට්ඨාශයක් ලෙසත් හැඳින්වීමට පුළුවන.


උරගයින්ගේ පරිණාමය
ජලජ පරිසරයක සිට ගොඩබිම් පරිසරයට සංක‍්‍රමණය වූ උභය ජීවීන් පසු කලෙක උරගයන් ලෙසට පරිණාමය වූ බැව් සිතිය හැකිය. මෙම උරගයින්ගේ පහළවීම පර්මියානු යුගයේ පරිසරය තුළ සිදු වූ වෙනස්කම් බොහෝ සේ හේතු වී ඇත. නොයෙක් ගස් ඇතිවීමත් භූමියේ සිදුවූ වෙනස්වීම් හේතුවෙනුත් විවිධ දේශගුණික ලක්ෂණ විවිධ වීමත් මීට නිදසුන් වේ. මේ හේතු සාධක නිසා ප‍්‍රථම උභය ජීවීන් ප‍්‍රථම උරගයන් බවට පත් වන්න ඇතැයි පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති.

උරග යුගයේදී
උරග යුගයේදී වාසය කළ ප‍්‍රමුඛ පෘෂ්ඨවංශීන් මොවුන්ය. එකල තිබූ බොහෝ සත්ත්ව පරිසරවල එනම් අර්ධශුෂ්ක ප‍්‍රදේශවල හා වියළි උස්බිම්වල සිට වගුරු ආදියේත් සාගර දක්වාත් ලොකු කුඩා නානාවිධ ප‍්‍රමාණවලින් යුතු උරගයන් වාසය කර තිබේ. මින් ඇතැමකු දිගින් හා බරින් අනකුන්ට වඩා විශාලය. ව්‍යුහයෙන් හා ගති පැවැතුම්වලින් ද මේ උරගයෝ බොහෝ විවිධ වූහ.

ආවේණික ලක්ෂණ
ශරීරය වියළිය. (කොරොස්) සමකින් ආවරණය වී ඇත. ගාත‍්‍රා සඟළ දෙකකි. ඇඟිලි 5 බැගින් මෙම ගාත‍්‍රාවලට ඇත. දිවීම බඩගෑම, නැගීම සඳහා මේවා හැඩගැසී ඇත. ඇතැම් කටුස්සන්ගේ ගාත‍්‍රා ක්ෂීණ වී ඇති අතර තවත් අයගේ (සර්පයින්) ගාත‍්‍රා කොහෙත්ම නැත. ඔවුහූ පෙණහලූවලින් ආශ්වාස කරති. ශරීර උෂ්ණත්වය පරිසරයට අනුව වෙනස් වෙයි. වේගයෙන් ගමන් කිරීමට පුළුවනි.


ප‍්‍රථම උරගයා: සෙයිමුරියා
ගොඩබිම සහ මුහුදෙහි වාසය කරමින් බිහිවූ උභය ජීවීන් පසුව උරගයින්ගේ පහළවීමට හේතුවූ බව විශ්වාස කෙරේ. ඒ මතය සනාථ කරන පොසිලයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සෙයිමර් නගරය අසළින් හමුවී තිබේ. ඒ සෙයිමුරියා (Seymouria) නම් සත්ත්ව පොසිලයකි. මෙම සත්ත්වයා උභය ජීවී සහ උරග යන දෙවර්ගය යා කරන පුරුකක් සේ සැළකේ.

-සම්බන්ධිත ලිපි-
පෘථිවියේ උපත, ලෝකයේ ආදීතම ජීවියා සහ ජීවයේ ආරම්භය : පරිණාමයේ කතාව 1
අපෘෂ්ඨවංශී, පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 2

Post a Comment

2 Comments

  1. Thavath vadagath karunu sahitha lipiyak. Sthuthiy!

    ReplyDelete
  2. Malkakulu vethin labena Parinama lipi pela apita hari prayojanavath. Thanks.

    ReplyDelete