21 වැනි සියවසේ ජීවමාන මහිමය - මහා විද්‍යාඥ ස්ටීවන් හෝකින් සක්වළ ජීවීන් ගැන හා අපේ අනාගතය ගැන දක්වන අදහස්

ඔහු මේ සියවසේ විශිෂ්ටතම විද්‍යාඥයා මෙන් ම ජීවිත අභියෝගය ජයගත් මිනිසා යැයි හැඳින්වූවාට වරදක් නැහැ. මීට අවුරුදු 50කට පෙර ඔහු සුව කළ නොහැකි ස්නායුගත ආබාධයකින් පෙළෙන බව හෙළිවූවාට පසු වෛද්‍යවරුන් කීවේ ඔහු මාස 18කට වඩා ජීවත් නො වන බවයි. එහෙත් ඔහු පසුගියදා 70 විය පසු කරන විට විද්‍යාව වෙනුවෙන් ඔහු කර ඇති මෙහෙය ලොව වෙනත් කිසිම විද්‍යාඥයකු කර නැහැ.

1974 දී ඔහුට තනිවම කෑම ගන්නත් ඇඳට යන්නත් නොහැකි වුණා. 1984 දී ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි වුණා. 1985 දී ඔහුට මුලූමනින්ම කතා කිරීම අහිමි වුණා. ඒත් ඔහු අධෛර්යයට පත් වුණේ නැහැ. එතැන් සිට ඔහු අදහස් පළ කළේ ඔහුගේ කතාව හඬට බවට පෙරළීමට හැකි පරිගණකයක් භාවිත කිරීමෙනුයි.

 
වසර ගණනාවක් තිස්සේ මහාචාර්ය හෝකින්ස් විශ්වය ගැන විස්මිත මත රැසක් ම පළ කළේ මේ අයුරින් ඔහු වෙනුවෙන් ම නිර්මාණය කෙරුණු විශේෂ රෝද පුටුවක සිටයි.


21 වැනි සියවසේ ජීවමාන මහිමය වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් Stephen Hawking පසුගිය ජනවාරි 8 වැනිදා ඔහුගේ 70 වැනි උපන් දිනය පසු කළා. ඒ නිමිත්තෙන් එංගලන්තයේ සන්නිවේදන දැවැන්තයන් කීප දෙනකු ම ඔහු සමග සම්මුඛ සාකච්ඡා පැවැත් වුවා. එයින් මතු වූ අදහස් කීපයක් ගෙන එන්නයි, මේ සූදානම.

විශ්වය ගැන මත පළ කළ විද්‍යාඥයන් අතර විශිෂ්ටයකු සේ සැලකෙන මහාචාර්ය ස්ටීවන් හෝකින් දැඩි සේ විශ්වාසයකින් කියන්නේ මිනිසා අඟහරු ග‍්‍රහය මත ජනපද පිහිටුවීම අනාගතයේ දී අනිවාර්යයෙන් ම සිදුවන්නක් බවයි. එහෙත් ඒ සඳහා තවත් වසර සීයක්වත් ගත වේවි යයි ඔහු කියනවා. දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ට ගණයේ භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය හෝකින් සිතන්නේ ස්ථිර වශයෙන් ම වසර දහසක් ඇතුළත මේ පෘථිවි ග‍්‍රහයා විනාශයට පත් විය හැකි සිදුවීමක්, ‘න්‍යෂ්ටික යුද්ධයක් හෝ ගෝලීය උණුසුම් වීමක්’ හෝ ඇති විය හැකි බවයි. ඒ නිසා දිවි ගළවා ගැනීමට නම් මිනිසා වෙනත් ලෝකයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙහි ඇති ග‍්‍රහයන් අතුරින් පෘථිවියට විකල්පයක් ලෙස තෝරා ගත හැකි හොඳම ග‍්‍රහයා අඟහරු බව මහාචාර්ය හෝකින්ගේ අදහසයි. ඔහුගේ පවසන්නේ දැනටමත් අඟහරු වෙත මිනිසුන් යැවීමට ගවේශන සැලසුම් කෙරුණත් එය තවත් දශක කීපයකින් මෙහා සිදු නොවන බවයි. අඟහරු වෙත යන එවැනි එක් ගමනකට දින 450ක් ගත වෙනවා.

 
මහාචාර්ය හෝකින්ස් කියන්නේ මිනිසා යම් දවසක අඟහරු මත ජනපද පිහිටුවන බවයි. මේ ‘අඟහරු වෙත ගිය ගමන නම් වූ ඩිස්නි චිත‍්‍රපටයේ දර්ශනයක්.

මිනිසා මිහිපිටින් තුරන්වේදැයි, නගන ප‍්‍රශ්නයට මහාචාර්ය හෝකින් කියන්නේ ‘විය හැකියි, එහෙත් නියත වශයෙන් වෙනවා යැයි කිව නොහැකියි’ කියායි. ‘මගේ විශ්වාසයට අනුව ඊට ප‍්‍රථම මිනිසා විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවෙන් සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට, විශ්වයේ ඈතට යාවි’ ඔහු තවදුරටත් කියනවා.

70 වැනි උපන්දිනයට පෙර දා බීබීසියේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් මහාචාර්ය හෝකින්ස් විශ්වයේ කොතැනක හෝ බුද්ධිමත් ජීවීන් ඇතැයි සොයා ගැනීමට හැකි වුවහොත් එය විද්‍යාව විසින් කරනු ලබන ලොකුම සොයා ගැනීම යැයි පවසනවා.

”පිටසක්වළ ජීවීන් ඉන්න පුළුවන්! හැබැයි ඔවුන් සමඟ ඇයිහොඳයිකම් පැවැත්වීමෙන් වැළකී සිටින්නට මනුෂ්‍ය වර්ගයා වග බලා ගන්න ඕනෑ. එහෙම නොවුනහොත් ඇති වන ඵලවිපාක දරුණු වෙන්න පුළුවනි” පසුගිය දා ලොව කාගේත් අවධානයට බඳුන් වූ මේ අනතුරු ඇඟවීම සිදු කළේ නූතන ලොවේ සිටින ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඔහු වෙන කවුරුවත් නොවේ බි‍්‍රතාන්‍ය තාරකා භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්. ”පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණියහොත් ඒක හරියට කොලම්බස් ඇමරිකාව සොයා ගත්තා හා සමාන වේවි. අපි කවුරුත් හොඳින් දන්නවානේ, යුරෝපීයයන් ඇමෙරිකාව හොයාගත්තාට පස්සේ එහි ජීවත් වූ ස්වදේශීය රතු ඉන්දියානුවන්ට වුණු විපත්තිය මොකක්ද කියලා” තාරකා භෞතික විද්‍යාඥයකු ලෙස ප‍්‍රසිද්ධ මහාචාර්ය හෝකින් මේ බව මුලින් ම කීවේ ඩිස්කවරි නාළිකාව ඉදිරිපත් කළ ‘ඉන් ටූ ද යුනිවර්ස් විත් ස්ටීවන් හෝකින්’ නම් රූපවාහිනී විද්‍යා වැඩසටහන් මාලාව ඉදිරිපත් කරමින්.

එම වැඩසටහන් මාලාවට පාදක වී ඇත්තේ විද්‍යාඥයන්ගේ සිතෙහි මැවුණු පිටසක්වළ ජීවීන් පිරිසක් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් නිසා ග‍්‍රහලොව විනාශ වූවාට පස්සේ ජීවයට සුදුසු නව ග‍්‍රහලොවක් සොයා පිටසක්වළ යානාවල නැගී යන ගවේෂණයක් ගැනයි. ”මෙවැනි අති දියුණු පිටසක්වළ ජීවීන් පිරිසක් ඇත්තටම සිටිනවා නම් ඔවුන් විශ්වය පුරා වාසයට සුදුසු ග‍්‍රහලොවක් සොයමින් යනවා. ඔවුන්ට අපේ පෘථිවිය වැනි ජීවයෙන් පිරුණු සශ්‍රීක ග‍්‍රහලොවක් හමුවුවහොත් ඔවුන් ඒ ග‍්‍රහලොව ආක‍්‍රමණය කර ඔවුන්ගේ ජනපද බිහිකර ගන්නවා නිසැකයි.” විද්‍යාඥ හෝකින් අනතුරු අඟවනවා.

”පිටසක්වළ ජීවය පවතිනවා කියලා ගණනය කරමින් අදහසක් ඉදිරිපත් කරන්න මට දැනුමක් තිබෙනවා. නමුත් ඒ පිටසක්වළ ජීවීන් මොන වගේදැයි පිරිසක් දැයි කීමට මට හැකියාවක් නැහැ.” මහාචාර්ය හෝකින් පවසනවා.

මහාචාර්ය ස්ටීවන් හෝකින් තමයි, ‘කළු කුහර’ ගැන න්‍යායන් ලොවට හෙළි කළ තාරකා භෞතික විද්‍යාඥයා. කේම්බි‍්‍රජ් සරසවියේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥ අයිසැක් නිව්ටන්ගේ තනතුර හෙබවීමේ ගෞරවයත් ඔහුට හිමි වුණා. හෝකින්ස් උපත ලැබුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හිදී 1942 වසරේ දී, ගැලීලියෝ ගැලීලීගේ අභාවය සිදු වී හරියටම වසර 300කට පසුවයි. මේ සියවසේ මහා විද්‍යාඥයකු ලෙස සැලකෙන හෝකින් ඔහුගේ දෙමාපියන් ඉගෙනගත් ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුළත්ව 1962 දී කලා උපාධියක් හිමිකර ගත්තත්, විද්‍යාඥයකු වශයෙන් ඔහුගේ කීර්තිය පැතිර යන්නට පටන් ගත්තේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පසුවයි. සිරුර අකි‍්‍රය වන පරිහානික රෝගයකින් රෝගී වූයේ 1963 දීයි. වෛද්‍යවරුන් කීවේ ඔහුට ජීවත් වෙන්න තිබෙන්නේ මාස 18 ක් පමණයි කියලයි. සිරුර අකි‍්‍රය වී රෝද පුටුවකට සීමා වුනත් හෝකින්ගේ මොළයේ අකි‍්‍රය වුණේ නැහැ. මොළය ඉතාමත් තියුණු වෙමින් කි‍්‍රයා කරන්න පටන් ගත්තා. වෛද්‍යවරුන් කී විධියට ඔහු මාස 18 කින් මියගියේ ද නැහැ. රෝගය නිසා මුළු සිරුරම අප‍්‍රාණික වී රෝද පුටුවට සීමාවූ ඔහුට කතා කරන්න පවා බැරිවුණා. ඒත් ඔහු පර්යේෂණ කිරීම හා පොතපත ලිවීම මඳකින්වත් නැවැත්තුවේ නෑ. දැන් හෝකින් කතා කරන්නේ පවා රෝද පුටුවට සම්බන්ධ විශේෂ පරිගණකයක් හරහායි. ඒ පරිගණකය කි‍්‍රයා කරන්නේ හෝකින් ඇසෙන් හා මොළයෙන් නිකුත් කරන සංඥාවලිනුයි.

 
මහාචාර්ය හෝකින්ස්ගේ 69 වැනි වියේ දී ඔහුගේ සාත්තු සේවිකාව වූ එලයන් හා විවාහ වූ මොහොත

මහාචාර්ය හෝකින් 1965 දී ජේන් වයිල්ඞ් හා විවාහ වුණා. ඇය 1991 වන තෙක් ඔහුව හොඳින් රැුක බලා ගත් අතර ඒ විවාහයේ රොබට්, ලූසී හා තිමති නමින් දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඇගෙන් දික්කසාද වුණු මහාචාර්ය හෝකින් 1965 දී ඔහුගේ සාත්තු සේවිකාව වූ එලයන් මේසන් සමග විවාහ වුණා. ඇය කලින් විවාහව සිටියේ හෝකින්ට ඔහුගේ ප‍්‍රථම කතා කරන පරිගණකය නිර්මාණය කර දුන් ඬේවිඞ් මේසන් සමගයි. 2006 දී ඔහු ඇගෙන් ද දික්කසාද වුණා.

මහාචාර්ය ස්ටීවන් හෝකින් සිරුර අකි‍්‍රය වන චාලක නිරෝන රෝගයකින් පෙලෙන බව සොයා ගනු ලැබුවේ ඔහුට වයස අවුරුදු 21 දියි. ඔහු දිගු කලක් ජීවත් නොවෙතැයි වෛද්‍යවරු කීවත් ඔහු පසුගිය ජනවාරි 8 වැනිදා 70 උපන් දිනයත් පසු කළේ ලෝකය ම මවිත කරමින්. ඔහු වෙනුවෙන් බි‍්‍රතාන්‍යයේ විශේෂ උපන්දින උළෙල කීපයක් ම පැවැත් වුණා. ඒත් ඒ එකකටවත් ඔහුට සහභාගිවීමට හැකි වුණේ නැහැ. ඒ ඔහුගේ දුර්වල ශරීර සෞඛ්‍යය නිසා. කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පැවති විශේෂ උපන්දින සමුළුවට සහභාගි වීමට ද මහාචාර්ය හෝකින්ට නොහැකි වුණා.

ඔහු වෙනුවෙන් ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ පැවති උපන්දින උළෙලට සම්භාවනීය අමුත්තන් හා විද්වතුන් රැුසක් සහභාගි වුණා. ඔහු වෙනුවෙන් ඊට සහභාගි වූයේ සුප‍්‍රකට නවකතාකාරියක් හා පුවත්කලාවේදිනියක් වූ ඔහුගේ දියණිය වූ ලූසී හෝකින්.

ඒ උළෙලේදී මහාචාර්ය ස්ටීවන් හෝකින් වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ තිළිණයක් ඔහුගේ දියණිය බාර ගත්තා. ‘කළු කුහර ආලෝකය’ නම් වූ එය මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ කළුකුහර න්‍යාය විදහා දක්වූවක්. එය ඇයට පිරිනැමුවේ විද්‍යා කෞතුකාගාරයේ නේවාසික නිපැයුම්කරු මාක් චැප්ම්කින්ස් විසින්.

ඒවා අතර 2007 ශූන්‍ය ගුරුත්ව පියසැරියේ දී ඔහු පැලඳි නිල් පැහැති ඇඳුම් කට්ටලය, චිත‍්‍රශිල්පී ඬේවිඞ් හොක්නි David Hockney විසින් 1978 දී අඳින ලද උඩුකය සිත්තමක්, 1999 දී ‘ද සිම්සන්ස්’ කාටූන් වැඩ සටහනේ විශේෂ අමුත්තා ලෙස සහභාගි වූ අවස්ථාවේ තම අදහස් පැහැදිලි කිරීම සඳහා යොදා ගත් සටහන් ආදිය ඇතුළත් වුණා.

ඊට අමතරව, මහාචාර්ය ස්ටීවන් හෝකින් ඉදිරිපත් කළ කළු කුහර පිළිබඳ න්‍යායට අදාළව ඒවායින් විමෝචනය වන විකිරණ දැක්වෙන චිත‍්‍ර රූප සටහන් ද එයට ඇතුළත් වුණා.

ඒ අවස්ථාවට ‘තමා විද්‍යාත්මක සොයා ගැනීම්වල නිරතවීමෙන් ලද ආස්වාදය තරුණ පරපුරට පෙන්වා දෙන, නව නිපැයුම් සඳහා තරුණ පරපුර පොලඹවන’ මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ අදහස් රැුගත් පටිගත කළ ප‍්‍රකාශයක් ද එක් කර තිබුණා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. Blog අවකාශයේ තියෙන වටිනාම blog එක.තවත් මේ වගේ වටිනා post ලියන්න.කරුණාකරලා blog එකට subscribe feature එක add කරන්න තව twitter page එකකුත් හදන්න.පුලුවන්නම් albert einstein ගැන හොද post එකක් ලියන්න.ඉස්සරහටත් වටිනා post ලියන්න සුබ පතනවා.

    ReplyDelete
  2. Professor Stephen Hawking says no God created Universe
    http://www.bbc.co.uk/news/uk-11172158

    ReplyDelete
  3. Me lipiya harima asaven kiyevva.daruvanta adarshayata ganna puluvan vishishta charithayak. nopasubasina uthsahayen idiriyata giya hati saha lovata daayada kala deval athi vishishtay.

    Ohu kiyu paridi me lova vinashayath Agaharu vetha janapada hadena hatith thava parampara keepayak giya vita siduvevi!

    ReplyDelete
  4. Hugak honda lipiyak. Thanks.

    ReplyDelete
  5. සැබවින්ම විශිෂ්ඨයි....

    ReplyDelete