HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපෘෂ්ඨවංශී, පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය : පරිණාමයේ කතාව 2

අපෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. පළමුවෙන් ම ඒක සෛලික සතුන් ද දෙවනුව බහු සෛලික සතුන් ද මිහිමත පහළ වන්නට ඇත. මේ පිළිබඳ අතීතය සොයා යන්නකුට ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට පළමු පෘෂ්ඨවංශික සතුන් දක්වා සත්ත්ව විශේෂ මිලියන ගණනක් මේ මිහිමත විසූ බව අනාවරණය කර ගත හැකිය.


මෙලෙස වසර මිලියන 500 කට පමණ ඉහත දී සාගරයේ බිහි වී විවිධ වෙනස්කම්වලට භාජන වෙමින් ආ සත්ත්ව විශේෂ අතර ප‍්‍රධාන තැනක් හිමි වූයේ කොඳු ඇට රහිත හෙවත් අපෘෂ්ඨවංශික සත්ත්ව විශේෂයන්ටය. අතීතයේ දී සාගර මේ සතුන්ගෙන් පිරී තිබිණි. ගංගා හා විල් ආදී ගොඩකර ජලාශවල කිසිදු ජීවයක් නොවූවද මුහුද අනන්ත අප‍්‍රමාණ ජීව වර්ගවල නිවහන විය. මෙම කොඳු ඇට රහිත සත්ව වර්ග අද අපට හමුවන කූඩැල්ලන්, හංගොල්ලන් හා පණුවන් වැනි සතුන්ගේ ස්වරූපය ගත් ඔවුන්ගේ ආදීතමයන් ලෙස සැලකේ. වසර මිලියන ගණනක් ගත වී යත් ම මුහුදේ අලූත් ජීව වර්ග පහළ විය. කොරල් (Coral), නොටිලොයිඩ (Nautiloids), කි‍්‍රනොයිඩ (Crinoids), ට‍්‍රයිලෝබයිට (Trilobites), කූණිස්සන්ගේ ස්වරූපයෙන් යුත් සන්ධිපාදකයන්(Arthropodes), බ‍්‍රැකියෝපෝඞ් (Brachiopodes) හෙවත් පහත් කවචයන් හා යුරිප්ටෙරිඞ්ස් (Eurypterids) (මුහුදු ගෝනුස්සන් ආදීන් ඇතුළත්) ආදී වර්ග ඉන් ප‍්‍රධානය.

පෘෂ්ඨවංශීන්ගේ පරිණාමය
අද මේ මිහි මත පෘෂ්ඨවංශීන් සත්ත්ව විශේෂ ගණනාවක් වාසය කරති. කොඳු ඇට පෙළක් ඇති මේ සතුන් අතරට කරදියේ හා මිරිදියේ වාසය කරන මත්ස්‍යයින්, උභය ජීවීන්, උරගයින්, කුරුල්ලන්, ක්ෂීරපායීන් මෙන්ම මිනිසා ඇතුළු මානවයින් ද ඇතුළත් වෙයි. මුලින්ම පෘෂ්ඨවංශීන් බිහිවූයේ මුහුදෙනි. මුහුදු ජීවීන් කිහිප දෙනකුගේ සිරුරේ කොඳු ඇට පේළියක් වර්ධනය විය. මුලින් ම පහළ වූ මත්ස්‍යයන් වන්නේ ද මොවුන්ය. ඔවුන්ගේ වරල් වර්ධනය විය. කරමල්වලින් ශ්වසනය කිරීම ආරම්භ විය. ඔවුන්ගෙන් සමහරක් අයට පෙණහලූ තිබිණි. මේ අතරින් සමහර මසුන් ගොඩබිමට ඇවිත් ගොඩබිම ජීවිතයට හුරු විය. සෙමින් සෙමින් ඔවුන් පරිණාමය වෙන්නටත් පරිසරයට හා ජීවත්වීමට පහසු අයුරින් හැඩ ගැසීමටත් පටන් ගැනිණ.

මසුන්ගේ පරිණාමය
කොඳු ඇට පෙළක් සහිත සියලූම සත්ත්ව වර්ගයන්ට සමීප සබඳතාවක් ඇති ජීව වර්ගයක් ද සිටියි. මොවුන් පොදුවේ හැඳින්වෙන්නේ හනු රහිත මසුන් ලෙසිනි. මීට පෙර විසූ සතුන්ට නොතිබුණු අංගයක් වූ කොඳු ඇට පෙළක් හෙවත් කශේරුකාවක් මොවුනට හිමි වී තිබිණි. මෙම කශේරුකාව තුළ ස්නායු රජ්ජුවක් පිහිටියේය. කශේරුව වටේ පෘෂ්ඨ රජ්ජුවක් පිහිටා තිබේ. ප‍්‍රථම පෘෂ්ඨවංශිකයන් සේ සැලකෙන මේ හනු රහිත මත්ස්‍යයන්ගේ පොසිල විද්‍යාඥයන්ට හමු වී තිබේ. වසර මිලියන 400 ක් තරම් පැරණි කෙෆලැස්පිස් (Cephalaspis) නමින් හැඳින්වෙන මෙම මත්ස්‍යයා පැතළි පළල් එකෙකි.

හනු රහිත මසුන්ගෙන් ආ ‘ලැම්පේ‍්‍ර’
මේ හනු රහිත මසුන්ගෙන් තවත් වර්ග වර්ධනය වූහ. ඔවුන් මූදෙන් මිරිදිය ගංගාවලට ඇතුළු වී ඒවා වාසභූමි කර ගත්හ. පසු කලෙක මෙම හනු රහිත මසුන් සියල්ල ම අතුරුදන් වී ගියහ. නමුත් ඉන් වර්ග කිහිපයක් පමණක් අද ද ඉතිරි වී සිටිති. ලැම්පේ‍්‍ර (lamprey) ඊට හොඳ නිදසුනකි. ආඳකුගේ සිරුරට සමාන සිරුරක් ඇති මෙම සත්ත්වයාට වරල් හෝ පාද නැත. මුව පෙදෙස රවුම්ය. රවුම් මුඛයක් ඇති නිසා ‘සයික්ලොස්ටෝම්ස්’ (ceyclostomes) යනුවෙන් හඳුන්වයි. හනු පෙදෙස් දකින්නට නොමැත. හිස් මුදුන අසල එක් නාසයක් දකින්නට ඇත. කුඩා මොළය කාටිලේජ ස්වභාවයක් ගන්නා ආවරණයක් මැද පිහිටා ඇත. ඇස් කුඩාය. කන් ඇතුළට වෙන්නට පිහිටා ඇත. මෙම සතුන්ගේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ සඟළ පාද හා හනු පිහිටා නැති වීමයි. මෙම ලක්ෂණවලට අනුව මොවුන් පෘෂ්ඨවංශී පරිණාමයේ ඉතාම පහළ තලයක සිටින බව විද්‍යාඥයන්ගේ මතයයි.


මසුන්ගේ පරිණාමයේ කතාව
කොඳු ඇට සහිත සත්ත්ව විශේෂයක් වන මත්ස්‍යයන්ගේ පරිණාමයට අයත් වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙතෙක් සොයා ගත් කරුණුවලට අනුව ලොව පළමුවෙන්ම වාසය කළ කොඳු ඇට සහිත සතුන් හනු රහිත මත්ස්‍යයන් බව කිව හැකියි. මොවුන් ඔස්ට‍්‍රැකෝර්ඩම් (Austracordum) යනුවෙන් හැඳින්වේ. මොවුන්ට හනු හෝ සඟල වරල් නොතිබිණි.


ආදි යුගවල ජීවත් වූ කාටිලේජ මසුන් කිහිප දෙනෙක්
ක්ලැඩොසෙලකි (පැරණි මෝරුන් විශේෂයක් - දිග අඩි 2 - 4 ක් පමණ)
කයිමෙරොයිඞ් (දිග අඩි 2 ක් පමණ)
මන්ටාස් (ආදි මඩුවන් - දිග අඩි 20 ක් දක්වා)

මොවුන්ගෙන් හමුවී ඇති මුල්ම පොසිල වසර දශලක්ෂ 395-440 ත් අතර කාලයකට අයත් වේ. මේ කාලය ‘සිලූරියන් අවධිය’ ලෙසින් හැඳින්වේ. මීට පසු පැමිණි ‘ඩෙවොනියන් යුගයේදී’ මෙම මත්ස්‍යයන් වඩා හොඳින් ව්‍යාප්තව සිට වඳ වී ගොස් ඇත.

ඔස්ට‍්‍රැකෝඩම් වර්ගයේ හනු නැති මසුන්
හෙම්සයික්ලැස්පික් ( දිග අඟල් 8 ක් පමණ)
ටෙරැස්පිස් (දිග අඟල් 6 ක් පමණ)
ෆැරින්ගොලෙපිස් (දිග අඟල් 7 ක් දක්වා)
ඩෙ‍්‍රපනැස්පිස් (දිග අඟල් 1 ක් පමණ)
තෙලොඩස් (දිග අඟල් 3-8 ක් දක්වා)

මොවුන් සතු ලක්ෂණ
හිසේ ආවරණයක් ලෙස අස්ථි කවරයක් තිබේ. සිරුර අස්ථිමය කොරලවලින් වැසී පවතියි. වේගයෙන් ගමන් කළ හැකියි. හිස පැතළි වන අතර කරමල යටට විවෘතව තිබේ.


මුල්ම හනු සහිත මත්ස්‍යයා - ‘ප්ලැකෝර්ඩම්’
මුල්ම හනු සහිත මත්ස්‍යයා ‘ප්ලැකෝඩර්ම්’ නම් වේ. මෙම මසුන්ගෙන් කොටසක් මුහුදේත් තවත් කොටසක් මිරිදිය ජලාශවලත් වාසය කළහ. මොවුන්ට හනු සහ සඟල වරල් තිබේ. මොළය වටා ඇති ආවරණය ශක්තිමත්ය. කශේරුව හනු යුගලක් සහ බාහිර අස්ථි නිර්මාණයක් මොවුන් සතුයි.

ප්ලැකෝර්ඩම් වර්ගයේ මසුන්
ක්ලිමෙටියස් ( දිග අඟල් 3 ක් පමණ)
ඩයිනික්තිස් (දිග අඩි 30 ක් පමණ)
ඇකැන්තෝඩිස් (දිග අඩි 1 ක් දක්වා)
බොත‍්‍රියොලොපිස් (දිග අඩි 1 ක් පමණ)

කාටිලේජ මත්ස්‍යයෝ
අනතුරුව පහළ වූයේ කාටිලේජ (Cartilage Fish) මත්ස්‍යයන්ය. මොවුන්ට අස්ථි වෙනුවට සිනිදු කාටිලේජ පිහිටා ඇත. ශරීරය මොලොක්ය. නමුත් දත්, වරල් සහ කටු ශක්තිමත්ය. ඩෙවොනියන් අවධියට සහ මිසොසොයික යුගයේ මෙම මසුන් ජීවත් වූහ.

ක්ලැඩොසෙලාකි (Cladoselaki) - මෝරුන් හා මුහුදු පතුළේ ජීයත් වූ මඩුවන්
කයිමෙරොයිඞ් (Cymeroid)
ක්ලයිමේෂස් (Climatius)

අස්ථි සහිත මත්ස්‍යයෝ
අද අපට දකින්න ලැබෙන සියලූම අස්ථි සහිත මත්ස්‍යයන්ගේ පරිණාමය සිදුවූයේ මේ අවධියේදීයි. හොඳින් පිහිනීමට හැකිවීමත්, ආහාර ගැනීම අතින් පෙන්වූ දක්ෂතාවත් නිසා මොවුන් අනෙක් මත්ස්‍යයන් අතරින් කැපී පෙනුණි. අස්ථි සහිත මසුන්ගේ ලක්ෂණ අතර කැපී පෙනෙන්නේ මොවුන්ට පෙණහලූ තිබීමයි. මොවුන් මිරිදියෙහි උපන් බවට සැළකේ. ඬේවොනියානු යුගය වන විට පෘථිවියේ මුහුදු විල්, පොකුණු, ඇළ දොළ ආදී සෑම ජලාශයකම මේ මත්ස්‍යයන්ගෙන් පිරී තිබිණි. නමුත් අද වන විට මොවුන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් වඳ වී ගොස් ඇත. පෙණහලූ සහිත මසුන් මීට වසර මිලියන 70 කට පෙර වඳ වී ගියහ.


අස්ථි සහිත මසුන්
එකල වාසය කළ කටු සහිත ප‍්‍රාථමික මත්ස්‍යයින් වූයේ කයිරොලෙපිස් (Cheirolepsis)
ප්‍රොයොස්ටෙරස් (Portosterus)
ලෙපිඩෝසයිරන් (Lepidosiran)
සීලනැන්ති (Seelananthie)
ක්‍රොසොප්ටෙරස් (Crosopteris)
රිපිඞ්ස්ටියන් (Ripidstian)
යුස්නෙතොප්ටෙරෝන් (Yousthenopteron)

අද අපට දකින්න ලැබෙන හුරුල්ලා, කුම්බලාවා, තෝරා, කොප්පරා ආදී මසුන් මීට නිදසුන් වේ.

-සම්බන්ධිත ලිපි-
පෘථිවියේ උපත, ලෝකයේ ආදීතම ජීවියා සහ ජීවයේ ආරම්භය : පරිණාමයේ කතාව 1

Post a Comment

1 Comments

  1. Sathva parinamaya gana vadagath lipiyak. sthuthiy!

    ReplyDelete