HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

DNA තාක්ෂණයෙන් මිසර කුමරාගේ රහස් හෙළිවේ - තවත් අබිරහස් මතුවේ

පුරාණ මිසරයේ රහස් ලොවට අනාවරණය කිරීමේ කාර්යයට ලොකු දායකත්වයක් ලබා දුන්නේ එංගලන්තයේ කානවන් සාමිවරයායි. ඒ සඳහා ඔහු මහා ධනස්කන්ධයක් වැය කොට වෙහෙස මහන්සි වී අවුරුදු 20 ක් තිස්සේ ඊජිප්තුවේ කැණීම් සිදු කරමින් සිටියා. ඒ වන විට වසර දෙසීයක් තිස්සේ කළ කැණීම්වලින් පැරණි සොහොන් ගැබ් 60කට වැඩි ගණනක් සොයා ගෙනයි, තිබුණේ. ඒ හමුවූ සොහොන් ගැබ් සියල්ලම බොහෝ කලකට පෙර නිදන් හොරුන් විසින් බිඳ ඒවායේ වටිනා වස්තුව පැහැර ගෙන තිබුණා. ඉතිරිව තිබූ නටබුන් අතර කැණීම් කරන්න කානවන් සාමිවරයා උනන්දු වුණේ ඒ ගවේෂණ තුළින් මෙතෙක් සොයා නොගත් යමක් සොයා ගන්නා අදහසින්. ඒත් වැය කළ ධනයේ හැටියට වටිනා දෙයක් නම් හමුවුණේ නැහැ. විශේෂඥයන් කානවන් සාමිවරයාට කීවේ තවත් හෙළි කර ගැනීමට ඒ ‘රජුන්ගේ නිම්නයේ’ රහස් ඉතිරිව නැති බවයි. තවදුරටත් කැණීම් ඉදිරියට ගෙන යනවාදැයි යන්න ගැන දෙගිඩියාවෙන් සිටින විට තමයි, කානවන් සාමිවරයාට හොවාඞ් කාටර් නම් චිත‍්‍රශිල්පියෙකු හමුවුණේ. ඔහු වෘත්තයෙන් චිත‍්‍රශිල්පියකු වුනත් පුරාවිද්‍යාව ගැන ලොකු උනන්දුවක් දක්වපු කෙනෙක්. දෙදෙනාම මිසරයේ සැඟවුණු රහස් ගැන දැඩි කුතුහලයකින් පෙළුණු අයයි.



මිසර ඉතිහාසයේ පාරාවෝ රජුන් ගැන ඔවුන් නොයෙක් දේ කියවා තිබුණා. ඒ අතර තුතන්කාමන් නම් රජකු ගැනත් කෙටි සඳහනක් තිබුණා. හොවාඞ් කාටර්ගේ සිත තදින්ම ඒ කෙරේ ඇදී ගොස් තිබුණා. කවුද මේ තුතන්කාමන්? ඔහුගේ සොහොන තවමත් හමුවෙලා නැතත් එය මේ ප‍්‍රදේශයේ කොහේ හරි ඇති. හොවාඞ් කාටර්ගේ සිත කියන්නට වුණා. විශේෂඥයන් රජුන්ගේ නිම්නයේ රහස් ගැන මොනවා කීවත් හොවාඞ් කාටර් ඒවා පිළිගත්තේ නැහැ. ඔහු කානවන් සාමිවරයාට ඒ ගැන කීවා. ඔහු කාටර් වෙනුවෙන් මුදල් යොදවන්න කැමති වුණා. ඒ අනුව කාටර් 200 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග ඔහු විසින් තෝරා ගත් තැනක කැණීම් පටන් ගත්තා.

1922 වසරේ නොවැම්බර් 4 වැනිදා කැණීම් කරද්දී හමුවුණා, සොහොන් ගැබක් දෙසට විහිදුන පඩි පෙළක්. ගලින් නිම කර තිබූ ඒ පිය ගැට පෙළ දුටු කාටර්ට තමා සෙවූ දේ හමුවුණා කියලා සිතුණා. ඒ කැණීම් ගැන පළපුරුදු අය හැමෝම කීවේ ඒක නිදන් හොරුන්ට අසුවූ තවත් සොහොන් ගැබක් පමණක් විය හැකියි කියලයි. ඒත් කාටර් එහෙම හිතුවේ නැහැ. ඔහු ඒ ගැන උනන්දු වුණා. ඔහු තවදුරටත් සිය පිරිස යොදවා කැණීම් කරවා සොහොන් ගැබක පිටත දොරක් මතු කර ගත්තා. ඒත් ඔහු දොර එකපාරටම අරින්න ගියේ නෑ. ඒ වන විට එංගලන්තයට ගොස් සිටි කානවන් සාමිවරයා එන තෙක් බලා හිඳින්නට තීරණය කළා. හොවාඞ් කාටර් තමන් අලූත් සොහොන් ගැබක් සොයා ගත් බව කානවන් සාමිවරයාට දන්වා යැව්වා. ඒ අනුව ඔහු කඩිමුඩියේ යළිත් ඊජිප්තුවට ආවා.


ඒ දොර විවර කරලා සොහොන් ගැබ ඇතුළට යන්නට කාටර් බලා හිටියේ නොඉවසිල්ලෙන්. කානවන් සාමිවරයා ආ විගස කාටර් දොර විවර කරලා පරිස්සමෙන් සොහොන් ගැබ ඇතුළට පා තැබුවා. කානවන් සාමිවරයා පිටත සිට ඒ දෙස විමතියෙන් බලා සිටියා. ”කාටර්, ඇතුළේ මොනවද තියෙන්නේ ?” කානවන් සාමිවරයා නොඉවසිල්ලෙන් ඇසුවා. ”හරි අපූරු දේවල් තියෙනවා. හරිම අපූරුයි” ඇතුළේ සිටි කාටර් පිළිතුරු දුන්නේ කානවන් සාමිවරයාගේ කුතුහලය තවත් වැඩි වෙන විදියටයි. මීට වසර 100කට පෙර මිසරයේ තුතන්කාමන් පාරාවෝ කුමරාගේ සොහොන් ගැබ සොයා ගත් මොහොතේ ඒ සිදුවීම දිග හැරුණේ ඔය විදියටයි.

එදා හොවාඞ් කාටර් සොයා ගත්තේ එතෙක් කිසිවකු ඇස නො ගැසුණු ප‍්‍රථම මිසර රාජකීය සොහොන් ගැබයි. නිදන් හොරුන්ගේ අතට පත් නොවුණු මේ සොහොන් ගැබෙහි එදා තැන්පත් කළ සියල්ලක් ම එසේම සුරැකිව තිබුණා. සොහොන් ගැබ තුළ පාරාවෝ (රජු) ගේ ජීවිතයේ විවිධ අවස්ථා මෙන්ම මරණයෙන් පසු ඔහු යන ගමනේ විවිධ අවස්ථා ද වර්ණ චිත‍්‍රවලින් ඉතා අලංකාර ලෙස ඇඳලා තිබුණා. ඒ සියල්ල අවුරුදු 3300ක් තිස්සේ විනාශ නොවී පැවතුණා. ඒ කිසිම ආපදාවකට ලක් නොවී තිබී හමුවූ එකම අංගසම්පූර්ණ මිසර සොහොන් ගැබ වුණා. එතෙක් හමුවී තිබුණු සෑම සොහොන් ගැබක්ම වසර 1000කට පමණ ඈත කාලයේ දී නිදන් සොරුන් විසින් බිඳ ඒවායේ තිබූ වටිනා දේ සියල්ල සොරා ගෙන තිබුණා. ඒ නිසා එකල රජකුගේ සොහොන් ගැබක තැන්පත් කළා වූ දේ මොනවාදැයි හරි හැටි දැන ගන්න පවා ක‍්‍රමයක් තිබුණේ නැහැ.


හොවාඞ් කාටර් ඇතුළු පිරිසට මේ සොහොන් ගැබෙහි තැන්පත් කර තිබූ දෑ ගොඩ ගෙන ලේඛනයක් පිළියෙල කරන්න අවුරුදු 10ක් පමණ ගත වුණා. ඒ කාර්යය අවසන් කළ පසු පාරාවෝ(රජු)ගේ ධනස්කන්ධය කොටස් 5000කට අධික ගණනකින් සමන්විත වුණා. රාත්තල් 200ක් බර ඝන රනින් නිම කළ මිනී පෙට්ටියක් ද ඊට ඇතුළත් වුණා. ඒ තුළ ඝන රනින් කළ විචිත‍්‍ර වෙස්මුහුණක් ද තිබුණා. අඟල් 21 1/2ක් උස රාත්තල් 22ක් බර එය ඉතාමත් අලංකාර ලෙස නිමවා තිබුණා. එහි ඇස්වල මැණික් ගල් ඔබ්බලා තිබුණා. එය මෙතෙක් ලොව වැඩියෙන් ම වාර ගණනක් ඡායාරූප ගත කළ වෙස්මුහුණ ලෙස ද සැලකෙනවා. එහි වූයේ ළමා මුහුණක් ඇති රජ කෙනෙක්. රන් මුවා පිළිම, අමුතු සත්ව රූප හැම තැනම තැන්පත් කර තිබුණා. එහි දී හමුවූ වටිනා වස්තූන් අතර රනින් කළ පාරාවෝගේ හිටි පිළිමයක් ද තිබුණා. දකුණතින් හෙල්ලක් හා වමතින් ලණු පොටක් ගෙන දඩයමේ යන ඉරියව්වක් ඉන් නිරූපණය කෙරුණා. එය කිඹුල් දඩයමේ ගිය අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. දැන් අපි තුතන්කාමන්ගේ සොහොන් ගැබ ලෙස දැන් හඳුනන්නේ එදා කාටර් සොයා ගත් ඒ සොහොන් ගැබයි. එදා සොයා ගත් පුරාවස්තු තවමත් පර්යේෂණවලට ලක් වෙනවා. ඒ පිළිබඳ රහස් හෙළිදරවු කර ගැනීම් තවත් ඉවර නැහැ. මේ අලූත්ම පර්යේෂණයේ ප‍්‍රතිඵලයි.

ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළිවූ රහස්
තුතන්කාමන් පාරාවෝගේ අබිරහස් යම්තාක් දුරකට විසඳීමට විද්‍යාඥයන් පසුගියදා සමත් වුණා. ඒ ඞී.එන්.ඒ. පරීක්ෂණවලිනුයි. ඒ අනුව තුතන්කාමන්ගේ උපත හා මරණය ගැන අප කලින් නොසිතූ දේවල් දැන ගන්න ලැබෙනවා. ඔහුගේ පියා ඒකදේවවාදී සුප‍්‍රසිද්ධ පාරාවෝ රජෙකු බව කලින් කළ අනුමානය නිවැරදි වුනාට ඔහුගේ මව ගැන ගැන කී දේවල් වැරදියි කියලා මේ පරීක්ෂණවලින් ඔප්පු වුණා. පුරාවිද්‍යාඥයන් මුලින් හිතුවේ තුතන්කාමන්ගේ මව නෙෆ්රතීතී කුමරිය කියලයි. මේ සියලූ කාරණා ලොවට හෙළි කළේ ඊජිප්තුවේ කයිරෝ නුවර කෞතුකාගාරයේ ඉපැරණි නටුබුන් පිළිබඳ ප‍්‍රධානී සාහී හවාස් විසිනුයි. මේ තොරතුරු හෙළි කර ගන්න උදව් වෙලා තියෙන්නේ ඞී.ඇන්.ඒ. පරීක්ෂණයකින් විතරක් නොවේ. සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කරලා තියෙනවා. හවාස් මේ දේවල් හෙළි කළේ කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. ලොව නන්දෙසින් මාධ්‍යවේදීන් රොත්තක්ම මේ අවස්ථාවට සහභාගී වුණා.


මියගියේ මැලේරියාවෙන්
නවතම පරීක්ෂණ ප‍්‍රතිඵලවලට අනුව තුතන්කාමන් මියගියේ මැලේරියා වැළඳීමෙන් හා ඇද වැටීමකින් යැයි හවාස් පෙන්වා දෙනවා. ඒ අනුව ‘තුතන්කාමන් ළමා රජු’ මරා දැමුවා කියන තර්කය බැහැර වෙනවා. තුතන්කාමන් හැරමිටියක් භාවිතා කරමින් ඇවිද ගිය බවට සාක්ෂි හමුවී ඇතැයි ද හවාස් පැහැදිලි කළා. තුතන්කාමන්ගේ හිස්කබල පිටුපස ඇති සිදුර දුටු සැණින් මුලින් හිතුවේ හිසට පහරදීමක් එල්ල කරන්න ඇති කියලයි. ඒ හින්දයි පුරාවිද්‍යාඥයන් මුලින් කීවේ තුතන්කාමන් මරා දැමුවා කියලා. ඒත් හවාස් පෙන්වා දෙන්නේ ඒ තුවාලය සිදු කළේ තුතන්කාමන් මියගියාට පස්සේ ඔහුගේ සිරුර එම්බාම් කළ අවස්ථාවේදී කියලයි. ඒ අනුව තුතන්කාමන් මරා දැමුවා යන තර්කය බැහැර වෙනවා. ”ඞී.එන්.ඒ. සාක්ෂිවලින් හෙළිවුණා. ඔහු දරුණු විධියට මැලේරියා රෝගයෙන් පීඩා වින්දා කියලා. එතකොට ඔහුගේ වයස අවුරුදු 19 යි. ඔහු හිටියේ හුඟක් අසනීපෙන්. ඔහුගේ සිරුර හුඟක් දුර්වල වෙලයි තිබුණේ. ඇවිද යාමට හැරමිටියක් භාවිතා කළේ ඒ නිසයි. මැලේරියාවෙන් දුර්වල වූ තුතන්කාමන් පය පැටලිලා හෝ ලිස්සා ඇද වැටෙන්න ඇති. මරණයට හේතු වුණේ මේ කරුණුයි” හවාස් හෙළි කළේය.

Post a Comment

7 Comments

  1. මීට කලින් ඩිස්කවරි නාලිකාවෙ ගිය වැඩසටහනක දිත් කිව්වෙ හිසට පහර දීලා මරා දමලා කියලා. ඔවුන් එක්ස් - රේ රෑපත් පෙන්නුවා හිස පිටුසින් හිස්කඹල බිදී තියෙන විදිහෙ. දැන් ඒක වෙනස් වෙලා.

    ඒ ඔක්කොමට වැඩිය, මේ මමියක්ව ඉන්න පුද්ගලයා එදා මේ ලොකේ අපි වගේ හුස්ම ගනිමින් ජීවත් වෙච්ච පුද්ගලයෙක් කියලා හිතද්දි ඇතිවෙන හැඟීම හරිම වෙනස් එකක්.

    තොරතුරු වලට ස්තුතියි

    ReplyDelete
  2. ලිපිය සුපිරිය, කියන්න වදන් නැත

    ReplyDelete
  3. වැදගත් තොරතුරකි...

    ReplyDelete
  4. ස්තුතියි අළුත් කරුණූ වලට...!!!

    ReplyDelete
  5. Lipiya hugak hodai.tika kalakin Howard Carter maruna neda?
    Curse of Tutankhamen ganath davasaka liyanna.

    ReplyDelete
  6. හොඳ ලිපියක්. ගොඩක් තුති

    ReplyDelete
  7. ඉතිහාසය ගැන තොරතුරු සොයන අයෙකුට ඉතා වැදගත් ලිපියක්.

    ReplyDelete