HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්දරේ කිරිපැණි කෑ හැටි

දවසක් රජතුමා ආහාර අනුභව කරන අතරෙ දක්කා අන්දරේ ඒ පැත්තට එබිකම් කරනවා. අන්දරේ කවදත් කෑමට ආසයි කියලා දන්න රජතුමා කල්පනා කළා, අන්දරේට රජ බොජුන්වලින් ටිකක් කවන්න. එහෙම හිතලා රජතුමා කෑම කාලා ඉවර වුණු ගමන් අන්දරේව කැඳෙව්වා. කැඳවලා මෙහෙම ඇහුවා:

”අන්දරේ මොකද මං වළඳන වෙලාවෙ එබිකම් කළේ ?”

”අනේ නෑ, දේවයන් වහන්ස, උදහස් වෙන්න කාරි නෑ. මට ඇහුනා ඔබ වහන්සෙ මට අඬ ගහනවා වගේ. ඒකයි බැලූවෙ.” අන්දරේ බොහොම යටත්පහත්ව කිව්වා.


”එහෙනම් අන්දරේ අද කමු රජ බොජුන් ටිකක්. එනව මෙහාට” කියලා කතා කළා.

”අනේ දේවයන් වහන්ස, මට සමා වී වදාරන්ඩ, මට තවම බඩගිනි නැහැ. දුප්පත් අපට බඩගිනි වෙන්න තව වෙලා තියෙනවා.” අන්දරේ කිව්වා.

අන්දරේ අදිමදි කරන්නෙ බොරුවට බව දන්න රජතුමා, ”එහෙම කියන්න එපා. මේක රාජ අණක්. ඇවිත් කමු” කියලා සේවකයකුට අණ කළා අන්දරේට රාජ භෝජනවලින් සංග‍්‍රහ කරන්න කියලා. රජතුමා එතැනින් ගියේ නෑ, අන්දරේට විහිළුවක් කරන්න හිතාගෙන.

”අනේ දේවයන් වහන්ස, රජ කෑම අපට කැප නැහැ. ඒත් ඔබ වහන්සේ උදහස් වෙයි කියලා බයයි” කියලා කියමින් අන්දරේ කෑමට වාඩි වුණා. ඒත් අන්දරේ තමාට ම කියා ගත්තෙ වෙන දෙයක්. ‘ආයේ කවදා මේ වගේ රජ කෑමක් කන්න වෙලාවක් එයි ද දන්නේ. ඒ හින්දා අද කනව ඇති තරම්’ කියලයි අන්දරේ හිතුවේ. අන්දරේ කෑම කනව රජතුමා බලා ගෙන හිටියා.

”අන්දරේ ඇති තරම් කා බී සතුටු වෙන්න” රජතුමා කිව්වා.

අන්දරේ තව තවත් කෑම බෙදා ගෙන උස්මුරුත්තෙට ඒ කියන්නේ උගුර ළඟට එන කං කෑවා. තවත් බෙදා ගෙන කන්න කියලා රජතුමා කිව්වා.

”අනේ දේවයන් වහන්ස, මං ඇති තරම් කෑවා. තවත් නං බත් හුලක්වත් (බත් ඇටයක්වත්) කන්න බෑ.” අන්දරේ කිව්වා.

ඒත් රජතුමා එතැනින් නැවතුනේ නෑ. සේවකයකුට කතා කරල මීකිරිත් කිතුල් පැණිත් ගෙනත් තියන්න කියලා කිව්වා. සේවකයා එසැණෙන් මීකිරි හට්ටියකුයි, කිතුල් පැණි මුලකුයි ගෙනාවා.

කිරිපැණි දැක්කාම අන්දරේට ඒවා කන්නට ආසා හිතුනා. ටිකක් අදිමදි කරල කිරි පැණි ටික ටික කන්න පටන් ගත්තා. අන්දරෙත් දන්නෙම නැතුව ඒ කිරි හට්ටියම හිස් වුනා.

ඒ දිහා බලන් හිටිය රජතුමා උදහස් වුණු ලීලාවක් පාලා අන්දරේගෙන් මෙහෙම ඇහුවා: ”අන්දරේ, නුඹ මට බොරු කිව්වා නේද? දැන් මොහොතකට කලින් නුඹ මට කීවා තවත් නම් බත් හුළක්වත් කන්න බෑ කියා. ඒත් දැන් මේ මුළු කිරි හට්ටියම හිස් කළා. රජ්ජුරුවන්ට බොරු කීම රාජ උදහසට ලක් වන කරුණක් බව දන්නෙ නැද්ද? මා නුඹට දඬුවම් දෙනවා. නිදහසට කරුණු ඇත්නම් කියව”

රජතුමාගේ ඒ සැර වදන් ඇසුණු අන්දරේගෙ ඇඟ කිළිපොළා ගියා. ඔහු වහාම දෑත් එක්කරලා වැඳගෙන රජ්ජුරුවන් ඉදිරියේ දණින් වැටුණා.

”අනේ පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස. මම කිසිදාක ඔබ වහන්සේට බොරු කියන්නේ නෑ. කිරිපැණි වාගේ රජ කෑමකට ඕනැම වෙලාවක බඬේ ඉඩ ලැබෙනවා.” අන්දරේ බැගෑපත්ව කිව්වා. ඒ කතාවට රජතුමාට තවත් තරහ ගියා.

”නුඹ එක බොරුවක් කීවා මදිවාට තවත් බොරු කියා මාව රවට්ටන්නත් හදනවද? මේකට නම් මා නුඹට සමාවක් දෙන්නේ නැහැ. දඬුවම් විඳීමට සැරසෙව” රජතුමා ගෝරනාඩු කළා.

”සමා අවසර දේවයනි, මා කීවේ ඇත්තයි. මට ඒ බව ඔප්පු කර පෙන්වන්නට අවසර දුන මැනවි” අන්දරේ යටහත් පහත්ව ඉල්ලා සිටියා.

”හොඳයි, මා ඒ අවසරය දෙනවා. නුඹ කී දේ ඔප්පු කර පෙන්වන්නට නුඹට නොහැකි වුනොත් මම නුඹට දඬුවම් කරමි.”

”දේවයන් වහන්ස, රජවාසල සිර කුටිය මිනිසුන්ගෙන් පුරවන ලෙස රාජ සේවකයන්ට අණ කරනු මැනවි.” අන්දරේ ඉල්ලා සිටියා.

රජ අණ අනුව සිර කුටිය මිනිසුන්ගෙන් පුරවනු ලැබුවා. ඒ බව රාජ පුරුෂයා ඇවිත් රජුට සැල කළා.

රජතුමා අන්දරේ සමග සිර කුටිය වෙත ගියා. ඒ තුළ මිනිසුන් පොරකමින් තෙරපෙමින් සිටියා.

”මේ කුටිය තුළට තවත් එකකුවත් දැමිය නොහැකිද?” රජතුමා රාජපුරුෂයාගෙන් ඇසුවා.

”එසේය දේවයන් වහන්ස, මේ කුටියට තවත් එකකුවත් ඇතුළු කළ නොහැකියි” රාජපුරුෂයා කිව්වා.

”දේවයන් වහන්ස, මා සමග වඩිනු මැනව.” රජතුමාට ආරාධනය කරමින් අන්දරේ කුටියේ දොර දෙසට ගියා.

කුටියේ දොර ඉදිරිපිට නතර වූ අන්දරේ උස් හඬින් මෙහෙම කිව්වා: ”බොලව්! අපේ මහ රජ්ජුරුවන්ට එහා බිත්තියට අත තබන්නට අවශ්‍යයි. වහා ඉඩ දියව්!”

බියට පත් මිනිසුන් එකිනෙකා තව තවත් තෙරපෙමින් රජතුමා ඒ මැදින් කාමරයේ අනෙක් කෙළවරේ බිත්තිය ළඟට යන්නට ඉඩ දුන්නා.

ඒ අවසරයෙන් අන්දරේ වහා ඒ මැදින් ගොස් බිත්තිය අල්ලා ආපසු ආවා. රජතුමා සිනාසෙමින් ඒ දෙස බලා සිටියා.

”අවසර! දේවයන් වහන්ස, තවත් එකකුටවත් ඇතුළු වෙන්න බැරි තරමට පිර වූ මේ සිර කුටියේ එහා කෙළවරට යාමට මට හැකි වූයේ ඔබ වහන්සේ නිසයි. ඒ වගේම තමයි කිරිපැණි වගේ රජ කෑමකට මගේ බඬේ ඉඩ ලැබුනෙත්” අන්දරේ යටහත් පහත්ව කිව්වා.

”අන්දරේ නුඹේ උපමාව නම් කදිමයි!” රජතුමා මහ හඬින් සිනාසුනා.

Post a Comment

3 Comments

  1. Thavath rasavath Andare kathavak! thanx.

    ReplyDelete
  2. කවදාවත්ම අමතක නොවෙන කතාවක් වගේම අන්දරේ කියන්නේ කවදාවත්ම අපිට අමතක නොවෙන චරිතයක්..

    ReplyDelete
  3. දැනුම විනෝදය වෙනුවෙන් මහන්සි වෙලා මෙහෙම ලිපි ලියන එකට ගොඩාක් ස්තුතියි යාළුවා.

    www.dasathanews.com
    ගිහින් බලන්නකෝ මේ සයිට් 1 ට. දැනුම වගේම ඔයාලගේ කඩ්ඩ හදාගන්නත් පුළුවන් හැමදාම ලිපි කියෙව්වොත්.
    ලෝකේ වැදගත් විස්තර ඔක්කොම සාරාංශ ලෙස දැනගන්නත් පුළුවන්.

    ReplyDelete