HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දුරදක්නය ආවේ ළමයින්ගේ සොයා ගැනීමක් නිසාද? ලන්දේසි කටකතාවක් නිසා ඉතාලියේ උපන් දුරදක්නය

මීට අවුරුදු හාරසීයකට විතර ඉස්සර ඕලන්දය (අද නෙදර්ලන්තය) කියන රටේ හිටියා, ඇස් කන්නාඩි හදන්නෙක්, හෑන්ස් ලිපර්ෂී (Hans Lippershey 1587-1619) කියලා. සම්පූර්ණ නම කිව්වොත් ජොහැන්නස් ලිපර්ෂි. ළඟ පෙනීම අඩු අයට පෙනීම වැඩි කර ගන්න ඔහු තැනූ කාචවලින් යුත් ඇස් කන්නාඩි ප‍්‍රයෝජනවත් වුණා. දවසක් ඔහු ළඟ වැඩ පුහුණු වෙමින් සිටි ළමයෙක් කාච තනමින් ඉන්න අතරෙදි අහම්බෙන් තමා තනමින් සිටි එක් කාචයක් ඉදිරියෙන් තවත් කාචයක් තබා ඒ තුළින් බැලූ විට දුර ඇති දේ ළං වී පෙනෙන බව දැක්කා. ඔහු ඒ බව ලිපර්ෂීට කී විට ඔහු ඉන් පිනා ගියා. ඊළඟට ඔහු කළේ ඒ කාච දෙක බට දෙකකට සවිකර, ඒවා යා කර ලොව මුල් ම දුරදක්නය බිහි කිරීමයි. ඔහු ඒ දුරදැකිය හැකි අපූරු උපකරණය (ඒකට ඒකාලෙ දුරදක්නය කීවේ නෑ.)  ඕලන්ද රජයට විකුණන්නට කල්පනා කළා. ඕලන්ද රජය ඊට කැමති වුණා. ඒත් යුද කටයුතුවලට මේ උපකරණයේ ඇති ප‍්‍රයෝජනය තේරුම් ගත්  ඕලන්ද රජය එය ‘යුද රහසක්’ ලෙස සලකා රටින් පිට යන්න දුන්නේ නෑ.


තවත් කතාවක් තියෙනවා, ලිපර්ෂි ඔහුගේ ඇස් කන්නාඩි සාප්පුවේ වැඩ කරමින් සිටිය දී ඒ අසල සෙල්ලම් කරමින් උන් කුඩා ළමයින් දෙදෙනෙකුගේ කතාවකට අහම්බෙන් කන්දෙන්න ඔහු සිදුවෙලා තියෙනවා. ළමයින් දෙන්නා සෙල්ලම් කරමින් සිටියේ ඔහු තැනූ කාච දෙකකින්. එක ළමයෙක් කාචයකින් බලා හිඳිද්දී අනෙක් ළමයා ඒ ඉදිරියෙන් අනෙක් කාචය එහා මෙහා කරමින් සිටියා. ‘හරී, ළංවෙනවා’ කාචයෙන් බලා සිටි ළමයා කීවා. ඔවුන් ඒ කාච තුළින් බැලූවේ ඈත පල්ලියේ ඉහළින් සවි කර තිබූ ඝණ්ටාර කුලූන දිහායි. ලිපර්ෂි ඒ දුර බලන උපකරණය තැනුවේ ඊට පස්සෙයි, කියලයි ඒ කතාවෙන් කියන්නෙ. මේ කතාවල ඇත්ත නැත්ත මොකක් වුනත් කටකතාවක් හැටියටයි, මෙය ලොව පුරා ගියේ.


ඒ නිසා කටකතාවක් හැටියටයි, ඕලන්දයේ කිසිවකු විසින් දුර දැකිය හැකි උපකරණයක් තනා ඇති ආරංචිය ඉතාලියටත් ගියේ. ඉතාලියේ සිටි ගැලීලියෝට මේ ගැන අසන්නට ලැබුණා. ඒත් දැක ගන්න අවස්ථාවක් තිබුණේ නෑ. මේ ආරංචිය ලද ගැලීලියෝ කළේ තමා විසින් ම තනාගත් කාච දෙකක් යොදා දුරදක්නයක් තැනීමයි. එහෙම තැනුවා විතරක් නෙවෙයි, ඒක ඔහු මුල් වරට අහස දෙසට යොමු කළා. ඔහු එතෙක් මිනිසකු පියවි ඇසින් නොදුටු දේ දකින්න පටන් ගත්තා. තරකා විද්‍යාවේ විප්ලවය පටන් ගත්තේ එතැනින්. දුර දකින්නට අපට මග පෑදුවේ ගැලීලියෝ තමයි. ඒ මීට අවුරුදු හාරසීයකට ඉස්සරින්, 1609 දී මුලින්ම දුරදක්නයකින් අහස දිහා බලපු තැනැත්තා හැටියටයි.

බටහිර ජර්මනියේ වෙසල්හී 1570 දී උපන් ලිපර්ෂී 1594 දී නෙදර්ලන්තයේ සීලන්ඞ් ප‍්‍රාන්තයේ මිඞ්ල්බර්ග්හී පදිංචියට ගියා. ඔහු ඒ වසරේ ම විවාහ වී සීලන්ඞ් පුරවැසි භාවය ලබා ගත්තා. ඒ කාලේ එරට සිටි හොඳම ඇස් කන්නාඩි තනන්නා වුයේ ඔහුයි. ඇස් කන්නාඩි සාප්පුවක් දමාගෙන ඒ නගරයේ ම විසූ ඔහු 1619 සැප්තැම්බරයේ දී මිය ගියා. ඔහු ඈත ඇති දේ ළං කර පෙන්වන ලන්දේසි යථාදර්ශක කන්නාඩිය Dutch perspective glass සඳහා හිමිකම් පතක් 1609 දී ඔක්තෝබර් 2 වැනිදා නෙදර්ලන්ත රජයට ඉදිරිපත් කළත් ඊට සති කීපයකට පෙර තවත් කන්නාඩි නිෂ්පාදකයකු ඒ අදහස ලියාපදිංචි කර තිබුණෙන් ඔහුට එහි හිමිකම ලැබුණේ නෑ. එහෙත් නෙදර්ලන්ත රජයෙන් ඔහුට තෑගිබෝග සම්මාන ආදියෙන් හොඳින් සංග‍්‍රහ කෙරුණා.
ඒත් දුරදක්නයේ නියම ගෞරවය හිමි කරගන්නේ ගැලීලියෝයි. ඒ නම පවා යොදනු ලැබුවේ ඔහු තැනූ උපකරණයටයි. ඒක සිදුවුණේ මෙහෙමයි.


1611 දී ඉතාලි විද්‍යා ඇකඩමිය ගැලීලියෝට Galileo Galilei ගෞරව දැක්වීම පිණිස පැවැත්වූ උත්සවයක දී මේ නම තබන ලද්දේ තවත් ඉතාලි ජාතික විද්‍යාඥයකු වූ ජීයෝවන්නි ඩෙමිසියානි Giovanni Demisiani විසිනුයි. ගී‍්‍රක බසෙහි එන ‘ටෙලෙ’ Tele (දුර) ‘ස්කොපියන්’ skopein (දක්නය) යන වදන් එක් කිරීමෙන් තනාගත් ඒ වචනය ඒ මොහොතේ ගැලීලියෝ විසින් ඇකඩමියට පරිත්‍යාග කළ උපකරණය හැඳින්වීමට ඩෙමිසියානි විසින් භාවිත කෙරුණා.

Post a Comment

0 Comments