සෙනසුරු ග‍්‍රහයාගේ රහස් සොයා ගිය කැසිනි යානය තොරතුරු එවයි. විද්‍යාඥයෝ ඒවා විග‍්‍රහ කරති.

සෙනසුරු වෙත යැවූ නාසා ආයතනයේ කැසිනි ගවේෂණ යානය සෙනසුරුගේ චන්ද්‍රයන්ගේ තොරතුරු එවන්නට පටන්ගෙන තියෙනවා. මේ අලූත්ම තොරතුරු අතර සෙනසුරුගේ එක් චන්ද්‍රයකු වූ ටයිටන්ගේ මතුපිට පෙනුම අනුව පෘථිවියට සමාන ‘වැලිවැටි’ හා කාන්තාර ඇති බව හෙළි කෙරෙන ඡායාරූප දත්ත තියෙනවා. ඒ හා සමානකම් තිබුණද ඒ ‘වැලිවැටි’ අති දැවැන්තයි. එකක් අඩි 300ක් විතර උසයි. සැතැපුමක් විතර දිගයි. ඒත් ඒවා තැනී ඇත්තේ වැලිකැටවලින් නොවෙයි, මිදුණු හයිඩ්‍රොකාබන කැබලිවලින්. මේ හයිඩ්‍රොකාබන් අපේ බොර තෙල්වල ඇති ප‍්‍රධාන රසායනික සංඝටකයක්.

සෙනෙසුරුගේ චන්ද්‍රයාගේ මතුපිට ස්වාභාවය සිත්තරකුට පෙනෙන හැටි. මේ වැලිවැටි සෑදී ඇත්තේ වැලිවලින් නොවෙයි, මිදුණු හයිඩ්‍රොකාබනික ද්‍රව්‍යවලින්. ඉහළින් පෙනෙන්නේ සෙනසුරු ග‍්‍රහයායි.


ටයිටන් ග‍්‍රහයා මතුපිට මෙවැනි වැලිවැටි වර්ග සැතැපුම් මිලියන 4ක් විතර තියෙනවා. එය ඇමරිකා එක්සත් ජනපදය තරම් විශාල ප‍්‍රදේශයක්. ඒවා හැදෑරීමෙන් වලාවලින් වැසුණු ඒ චන්ද්‍රයාගේ මෙතෙක් අබිරහසක්ව පවතින කාලගුණ රටාවන් පිළිබඳව දැන ගන්න පුළුවන්.

නාසා ආයතනයෙන් යවන ලද කැසිනි ගවේෂණ යානයෙන් එවූ ටයිටන් චන්ද්‍රයාගේ පිළිබිඹු විශ්ලේෂණයන් තුළින් පැහැදිලි වුණා, එහි ඇති ‘වැලි වැටි’ පොළොවේ කාන්තාරවල පිහිටීම්වලට සමාන බව. එහි මතුපිට වැඩිපුර ම දැකිය හැක්කේ මේ ආකාරයේ භූවිෂමතායි. අපේ පොළොවේ අරාබි අර්ධද්වීපයේ පිහිටි නැමීබියාවේ දක්නට ලැබෙන රේඛීයව විහිදෙන වැලිවැටිවල හැඩයට සමාන වුනත් ඒ වැලිවැටි අපේ ඒවාට වඩා ප‍්‍රමාණයෙන් ඉතාමත් විශාලයි. මේ වැලිවැටියක් සාමාන්‍යයෙන් කිලෝමීටරයක් හා දෙකක් අතර දිගින් යුතු වෙනවා පමණක් නොව උසින් මීටර සීයක් පමණ වෙනවා.

කැලිෆෝනියා පසදේනාහී නාසා ආයතනයේ ජෙට් ප‍්‍රචාලන රසායනාගාරයේ ඇලිස් ලේ ගාල් ප‍්‍රමුඛ පිරිසක් තමයි, මේ කැසිනි යානය එවූ දත්ත විශ්ලේෂණය කරමින් සිටින්නේ. ටයිටන් මතුපිට ඇති මේ පිහිටීම් මේ ආකාරයෙන් සිදුවීමට හේතු ලෙස ඔවුන් දකින්නේ එහි දේශාංශක හා අක්ෂාංශකවල බලපෑමයි.

වඩා ඉහළට ගොඩ නැඟුණු වැලිවැටි තුනී ඒවා මෙන්ම ඈතට විහිදුණු ඒවාද වෙනවා. මේ වැටි අතර ඉතා සිහින් වැලි විශේෂයක් පැතිර තියෙනවා. මෙහි වැලි වෙනුවට ඇති මිදුණු හයිඩ්‍රොකාබන් කැබලි ප‍්‍රමාණයෙන් අඟල් 0.04ක් පමණ වෙනවා.

අක්ෂාංශකව බලන විට ටයිටන්ගේ වැලිවැටි වැඩිපුරම පිහිටා ඇත්තේ එහි නිරක්ෂයට (සමකයට) ආසන්නවයි. උතුරට අක්ෂාංශක 30ත් දකුණට අක්ෂාංශක 30 අතර කලාපයකයි, මේවා පිහිටා තියෙන්නේ. උතුරට යන විට මේවා තුනී වී යනවා. ලේ ගාල් හා සගයන් සිතන්නේ මේ තත්වය ඇති වීමට හේතුව සෙනසුරුගේ කක්ෂයේ ඉලිප්සීය ගමන් මගයි.

ටයිටන් චන්ද්‍රයාගේ හා පෘථිවියේ මතුපිට ස්වභාවය සැසඳීමක්. දකුණේ ඇත්තේ පොළොවේ ඔමානයේ හා කලහාරි කාන්තාරයේ වැලිවැටි රටාවන්.

‘සෙනෙසුරුගේ ටයිටන් ග‍්‍රහයාගේ එක් ඍතුවක් සත් වසරක් දිගයි. සෙනසුරුගේ කක්ෂයේ ඇති මේ සුළු ඉලිප්සීය ස්වභාවය නිසා දකුණු අර්ධගෝලයේ ගිම්හානය ඉතා කෙටියි, වඩා තියුණුයි. ඒ නිසා දකුණු කලාපය ස්වභාවයෙන් ඉතා වියළි විය හැකියි. ඒ අනුව සිතා ගත හැකියි, බිමෙහි තෙත ගතියක් නැති බව.’ ඔවුන්ගේ අදහසයි.

”වැලි කැට වියළි වූ විට ඒවා සුළඟට ගසාගෙන ගිහින් වැටි ඇති වීමට පහසු වෙනවා. උතුර දෙසට යන විට පසෙහි ඇති තෙතමනය සමහර විට වැඩි වෙනව ඇති. ඒ නිසා පස් අංශූ එහා මෙහා වීම අඩුයි. ඒකයි උතුරට යන විට වැටි ස්වභාවය අඩුවන්නේ.” ලේ ගාල් කියනවා.

මේ නිගමනය අනුව ටයිටන්ගේ විල් හා මුහුදු එකාකාරලෙසින් අක්ෂාංශකව විහිදෙන්නේ නැතැයි සිති හැකියි. (මේ විල් හා මුහුදු පිරී ඇත්තේ ජලයෙන් නොවෙයි. කුඩා හයිඩ්‍රොකාබන් අංශූවලින්.) උතුරු අර්ධගෝලයේ සමහර විට ඊතේන් හා මීතෙන් දියර වශයෙන් තිබිය හැකියි. උතුරට වෙන්න පසෙහි තෙතමනය වැඩි විය හැකියි. ඒ ලේ ගාල්ගේ අදහසයි.

මේ පිළිබඳව අදහස් දක්වන යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ කැසිනි හියුජින්ස් ව්‍යාපෘති විද්‍යාඥ නිකලස් ඇලටොබෙලී කියන්නේ, ‘මේ ටයිටන් ග‍්‍රහයාගේ වැලිවැටි අධ්‍යයනය එහි දේශගුණය හා භූ විෂමතා තේරුම් ගැනීමට ඉතාමත් වැදගත්’ බවයි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments