‘සිකුරු ග‍්‍රහයාගේ ජීවීන් ඉන්නවා!’ - රුසියානු විද්‍යාඥයෙක් : ‘නෑ. ඒක බොරුවක්' - ඇමරිකානු විද්‍යාඥයෝ

හරියටම මීට අවුරුදු 30කට ඉස්සර, 1982 දී රුසියානුවන් වෙනෙරා 13 හා 14 වශයෙන් යානා දෙකක් සිකුරු ග‍්‍රහයා බලා යැව්වා. ඒ යානා අතරින් වෙනෙරා 13 එවූ ඡායාරූප පරීක්ෂා කළ රුසියානු අභ්‍යවකාශ විශේෂඥයකු වූ ලියෝනිඞ් ක්සාන්ෆොමැලිටි කීවේ සිකුරු ග‍්‍රහයා මතුපිට ජීවීන් ඉන්නා බව චලනය වන යමකින් තමා සොයා ගත්තා කියායි. ඇමරිකාවේ නාසා ආයතනයේ ඡායාරූප විශ්ලේෂකයකු වන ටෙඞ් ස්ට්රයික් වහා ඉදිරිපත් වී එය බොරුවක් බව පැහැදිලි කර තියෙනවා. ඔහු කියන්නේ මේ සතකු වාගේ ඔහු දැක ඇත්තේ වෙනෙරා යානයක් සිකුරු බිම මත පතිත වෙද්දී ගැලවී විසි වී ගිය කැමරා කාචාවරණයක කොටසක් කියලයි. ගෝනුස්සකු වාගේ රුසියානු විද්‍යාඥයාට පෙනී ඇත්තේ එයයි.

(1982 දී රුසියානු වෙනෙරා 13 යානයෙන් සිකුරු ග‍්‍රහයා මත දී ගන්නා ලද ඡායාරූප. රුසියානු විද්‍යාඥ ලියෝනිඞ් ක්සාන්ෆොමැලිටි කියන්නේ මේ මැද ඇත්තේ චලනය වූයේ යැයි සිතන කාචාවරණයයි)

(රූපයේ පහළ කෙළවරින් පෙනෙන්නේ සිකුරු යානයයි. වම් පැත්තේ බිම ඇත්තේ ‘ජීවියකු’ යැයි සැක කළ යානයෙන් විසි වන්නට ඇතැයි සැලකිය හැකි කාචාවරණ කැබැල්ලයි)


මේ පිළිබඳව රුසියානු සෞරග‍්‍රහ මණ්ඩල පර්යේෂණ සඟරාවට ලිපියක් ලියන ක්සාන්ෆොමැලිටි වැඩි දුරටත් කියා ඇත්තේ ‘ගෝනුස්සකුගේ රූපයක්’ වැනි දෙයක් මතු වී සෙලවී නොපෙනී ගිය බවයි. මේ ඡායාරූප ඩිජිටල් ක‍්‍රමයට හරවා පරීක්ෂා කිරීමේ දී ක්සාන්ෆොමැලිටිට කිසියම් ශබ්දයක් පවා ඇසී තිබුණා. ඒවා ඩිජිටල් ක‍්‍රමයට හැරවීමේ දී ඇති වූ දෝෂයක් නිසා මත වූවක්. එහෙත් එය මුල් පිටපතේ එසේ තිබුණේ නැතැයි ටෙඞ් ස්ට්රයික් වැඩි දුරටත් කියනවා.

(1981 දී දින පහක පරතරයක් ඇතිව රුසියාව විසින් සිකුරු වෙත යවනු ලැබූ වෙනෙරා 13 හා 14 යානා අතරින් එකක්)

සිකුරු ග‍්‍රහයා මෙම සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති ප‍්‍රමාණයෙන් පෘථිවියට බොහෝ සේ සමාන එකක්. එහි විෂ්කම්භය සැතැපුම් 7521ක්. පෘථිවියේ විෂ්කම්භය සැතැපුම් 7926ක්. එහෙත් එහි මතුපිට බොහෝ සේ වෙනස්. එහි වායුගෝලයේ සියයට 97ක් ඇත්තේ කාබන්ඩයොක්සයිඞ්. ඒවා විෂ සහිතයි. එසේම එය සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති තාපාධික ග‍්‍රහයාද වෙනවා. එය පිහිටා ඇත්තේ හිරුගෙන් සැතැපුම් මිලියන 67.2ක් ඈතින්. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 480ක් පමණ වෙනවා. එය හිරුට වඩාත් ළංවූ ග‍්‍රහයා වන බුධටත් වඩා තාපාධිකයි. එහි මතුපිට ඊයම් වැනි ලෝහයක් උණු කළ හැකි තරම් තාපයකින් යුක්තයි. එහි වායු ගෝලීය පීඩනය පෘථිවියට මෙන් 96 ගුණයක්. අනෙක් සියලූ ග‍්‍රහයන් එක් අතකට කැරකෙද්දී සිකුරු ග‍්‍රහයා කැරකෙන්නේ අනෙක් අතටයි. පස්සෙන් පස්සට යනවාක් බඳු මේ ගමන නිසා සිකුරු මතුපිට සිටින විට බස්නාහිරින් ඉර පායා නැගෙනහිරෙන් බහිනවාක් මෙන් පෙනෙනවා. විශේෂඥයන් විශ්වාස කරන්නේ ඉතා ඈත අතීතයේදී දැවැන්ත වස්තුවක් හා ගැටීමෙන් මේ ගමන් වෙනස සිකුරු ග‍්‍රහයාට ලැබෙන්න ඇත කියායි.

(නවජීවයක්? රුසියානු විද්‍යාඥ ලියෝනිඞ් ක්සාන්ෆොමැලිටි දුටුවේ යැයි කියන ජීවියකුගේ පිළිබිඹුව)

‘වෙනෙරා 13 යානයෙහි කැමරා දෙකක් තිබුණා. එකක් ඉදිරිපසින්. අනෙක පසුපසින්. එක ඡායාරූපයකින් ඉදිරිපස කැමරාවේ කාච ආවරණය පෙනෙනවා. අනෙක් ඡායාරූපයෙන් පසුපස කැමරාවේ කාචාවරණය දැක ගත හැකියි. ඒ එකක්වත් සෙලවෙන්නේ නැහැ.’ ටෙඞ් ස්ටයික් ලයිෆ් සඟරාවේ විශේෂ කලාපයක් වූ ‘ලිට්ල් මිස්ට්රීස්’වලට කරුණු පැහැදිලි කරමින් කියනවා.

1989 මැයි 4 වැනිදා ඇමරිකාවේ නාසා ආයතනය විසින් මැගලන් අභ්‍යවකාශ යානය සිකුරු ග‍්‍රහයා වෙත යැව්වා. එය 1990 අගෝස්තු 10 වැනිදා ඒ ග‍්‍රහයා වෙත ළඟා වුණා. මේ යානයට මැගලන් කියා නම් තැබුවේ මුල් වරට පෘථිවිය වටා ගිය පෘතුගීසි දේශ ගවේශක මැගලන් සිහිවීම පිණිසයි. රුසියානු යානා සිකුරු මතුපිට සිට ලබා දුන් ඡායාරූපවලට වඩා පැහැදිලි, සවිස්තරාත්මක ඡායාරූප ලබා දීමට මැගලන් යානය සමත් වුණා. කිසිම ජීවියකු ඒ එක රූප සටහනකවත් දක්යට ලැබුණේ නැහැ. මාස අටක් තිස්සේ සිකුරු වටා යමින් ඒ ග‍්‍රහයාගේ මතුපිට සියයට 84ක් රේඩාර් තාක්ෂණය යොදා ගෙන ඡායාරූප ගත කර පෘථිවියට එවන්න ඒ මැගලන් යානයට හැකි වුණා. ඒ රූප රුසියානු වෙනෙරා යානාවලින් එවන ලද රූපවලට වඩා දස ගණයක් පැහැදිලියි. නාසා ආයතනය කියන්නේ මැගලන් මෙහෙයුම අපේක්ෂිත කාලයට වඩා දිගු කලක් සිකුරු ග‍්‍රහයාගේ මතුපිට සිතියම් පොළොවට එවූ අතර 1991 මැයි 15 වැනිදා සිට 1992 සැප්තැම්බර් 14 වැනිදා තෙක් කාලය තුළ ග‍්‍රහයාගේ මතුපිට සියයට 98ක් දක්වා ආවරණය කරන්න ඒ යානය සමත් වුණා. එසේ එවන ලද ඡායාරූප සිය ගුණයකටත් වඩා පැහැදිලි ඒවා වුණා.

‘සිකුරු ග‍්‍රහයා මත යම් ආකාරයක හෝ ජීවීන් සිටිනවා නම් මේ ඡායාරූපවල ඒවා කොයි ආකාරයෙන් හෝ සටහන් නොවී තියෙන්නේ නැහැ.’ ටෙඞ් ස්ට්රයික් වැඩිදුරටත් කියනවා.

(රුසියානු විද්‍යාඥ ලියෝනිඞ් ක්සාන්ෆොමැලිටි රුසියාවේ අභ්‍යවකාශ පර්යේෂණායතනයේ දී)

(ඇමරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද මැගලන් යානය සිකුරු මත පතිත වීමට මොහොතකට පෙර රේඩාර් තාක්ෂණය යොදා ගෙන එහි වූ කැමරා උපකරණවලින් ගන්නා ලද සිතියමක්)

(1990-1994 අතර සිදුවූ මැගලන් මෙහෙයුමේ දී රේඩාර් තාක්ෂණය යොදා ගෙන කළ නිරීක්ෂණවලින් පසු නාසා අයතනය විසින් සැකසූ සිකුරු ග‍්‍රහයාගේ වර්ණ රූපයක්)

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. දැං නං මේවා ඔක්කොම අතඇරලා අර කෙප්ලර් බී එක පස්සෙ පන්නන්න සල්ලි වියදං කරානං හරි කියලයි මට හිතෙන්නෙ :)

    ReplyDelete
  2. ගොඩක් වටින දේවල් අඩංගු බ්ලොග් අඩවියක් දිගටම ලිපි ලියන්න.

    ReplyDelete
  3. අපි අපේ ග්‍රහ මණ්ඩලය ගැන දන්නේ කොච්චර පොඩ්ඩද ? ආතර් සී. ක්ලාක් මහත්තයා 3001 න් කියලා තියෙන සමහර දේ තව අවුරුදු 100 කින් ඇත්ත වේවි. ඒත් සිකුරුගේ පොලොව යට බේස් එකක් ගහන එක නම් අනේ මන්දා ? 480 C !!!

    ඔක්සිජන් හා ජලය හැම ජීවයකටම පොදුයි කියලා කියන්න බෑ නේද ? එහෙම බැලුවොත් සිකුරුගෙත් ජීවින් නැතිවෙන්නම බෑ...!

    ReplyDelete